Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1978 සිට 2018 වසර දක්වා රන් පන්දුව ජයග්‍රහණය කළ ක්‍රීඩකයන්

1930 වසරේ සිට 1974 වසර දක්වා පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලිවල රන් පන්දුව දිනාගත් ක්‍රීඩකයන් පිළිබඳ ව අපි මෙම ලිපියේ පළමු කොටසින් කතා කළා. එසේ නම් මෙම ලිපියෙන් 1978 වසරේ සිට 2018 වසර දක්වා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ රන් පන්දුව දිනාගත් ක්‍රීඩකයින් පිළිබඳ ව තොරතුරු දැන ගැනීමට හැකි වේවි.

මාරියෝ කෙම්පස් (ආජන්ටිනාව)- 1978

1978 වසරේ ආජන්ටිනාවට මුල් ම පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට විශාල මෙහෙවරක් කළ මාරියෝ කෙම්පස්, දෙවන වටයේ තරගවල දී පෝලන්තය හා පේරු යන කණ්ඩායම්වලට එරෙහිව ගෝල 2ක බැඟින් ලබා ගත්තා. ඉන්පසු ව, නෙදර්ලන්තයට එරෙහිව පැවති අවසන් තරගයේ දී ද ගෝල 2ක් ලබා ගත් කෙම්පස් සමස්ත තරගාවලිය තුළ ගෝල 6ක් ලබා ගනිමින් තරගාවලිය තුළ වැඩි ම ගෝල ලාභියා වුණා. එදා සිය කණ්ඩායම වෙනුවෙන් උපරිම දක්ෂතා පෙන්වූ කෙම්පස්ට, තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිවුණා.

අවසන් තරගයේ දී ගෝලයක් රැස් කළ සතුට සැමරූ කෙම්පස් (gettyimages)

පාවුලෝ රොසි (ඉතාලිය)- 1982

වසර 44කට පසු ඉතාලියට නැවතත් පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට විශාල දායකත්වයක් ලබාදුන් රොසි මූලික වටයේ දී කිසිදු ගෝලයක් ලබා නොගත්ත ද, දෙවෙනි වටයේ දී ප්‍රබල බ්‍රසීල පිලට එරෙහිව ත්‍රිත්ව ගෝලයක් වාර්තා කරමින් ඉතාලියට 3-2ක ජයක් හිමිකර දුන්නේ, ඉතාලිය අවසන් පූර්ව තරගය දක්වා රැගෙන යමිනුයි. ඉන් නොනැවතුණු රොසි, අවසන් පූර්ව තරගයේ දී පෝලන්ත පිලට එරෙහිව නැවතත් ගෝල 2ක් ලබා ගත්තේ ඉතාලි පිලට 2-0ක ජයක් උරුමකර දෙමින්. එලෙස සුපිරි දස්කම් දක්වමින් ඉතාලි පිල අවසන් සටනට ගෙන ආ රොසි, අවසන් තරගයේ දී බටහිර ජර්මනියට එරෙහිව ගෝලය වාර්තා කරන ලද්දේ ඉතාලිය ජය මාවතට යොමු කරමිනුයි. රොසි එදා දුන් සාර්ථක ආරම්භය ඔස්සේ ඉදිරියට ගිය ඉතාලි ක්‍රීඩකයින්, අවසානයේ දී 3-2 ලෙස බටහිර ජර්මනිය පරාජය කරමින් ලෝක ශූරතාවය දිනා ගත්තා. එදා සමස්ත තරගාවලිය තුළ ගෝල 6ක් ලබා ගත් රොසි, තරගාවලියේ වැඩි ම ගෝල් ලාභියා මෙන් ම වටිනා ම ක්‍රීඩකයා ද වුණා.

රොසි අවසන් තරගයේ දී ගෝලයක් රැස් කිරීමේ සතුට සමරමින් (gettyimages)

දියාගෝ මැරඩෝනා (ආජන්ටිනාව)- 1986

මැරඩෝනාගේ පාපන්දු ලෝක කුසලානය නමින් හැඳින්වූ 1986 ලෝක කුසලාන තරගාවලිය, දියාගෝ මැරඩෝනාගේ පාපන්දු ජීවිතයේ සුවිශේෂී ම තරගාවලිය වුණා. මූලික වටයේ දී ප්‍රබල ඉතාලි පිලට එරෙහිව 1-0 ලෙස ආජන්ටිනාව පසුපසින් සිටි අවස්ථාවේ ගෝලයක් ලබා ගනිමින්, එම තරගය 1-1 ලෙස ගෞරවාන්විත ව නිමා කිරීමට දායක වූ මැරඩෝනා ඉන් නොනැවතී අර්ධ අවසන් පූර්ව තරගයේ දී එංගලන්තයට එරෙහිව ගෝල 2ක් හා අවසන් පූර්ව තරගයේ දී බෙල්ජියමට එරෙහිව ගෝල 2ක් ලබා ගනිමින්, ආර්ජන්ටිනාව අවසන් තරගයට ගෙන යාම නිසා මැරඩෝනාට තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව හිමිවෙනවා.

3)මැරඩෝනා අර්ධ අවසන් පූර්ව තරගයේ දී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරමින් (gettyimages)

සැල්වටෝර් ෂිලාසී (ඉතාලිය)- 1990

1990 වසරේ ඉතාලියේ දී පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ඉතාලියේ ගෝල මැෂිම වූ ෂිලාසී මූලික වටයේ දී ඔස්ට්‍රියාව සහ චෙකොස්ලෝවැකියාවට එරෙහිව ගෝල වාර්තා කළා. ඉන් අනතුරුව 16 දෙනාගේ වටයේ දී උරුගුවට එරෙහිව ගෝලයක් වාර්තා කළ ෂිලාසි, අර්ධ අවසන් පූර්ව තරගයේ දී අයර්ලන්තයට එරෙහිව ජයග්‍රාහි එක ම ගෝලය වාර්තා කරනවා. ෂිලාසි එදා සිය උපරිම දස්කම් දක්වමින් ඉතාලිය අවසන් පූර්ව වටය කරා ගෙන ගිය අතර, එහි දීත් ඔහු ඉතාලිය වෙනුවෙන් වාර්තා වූ එක ම ගෝලයේ හිමිකරුවා වුව ද අවසානයේ දී දඬුවම් පහර මඟින් ඔවුන් පරාජයට පත්වුණා. එම පරාජයෙන් පසු තෙවන ස්ථානය වෙනුවෙන් එංගලන්තය සමග පැවති තරගයේ දී ද නැවතත් ගෝලයක් වාර්තා කළ ෂිලාසී, තරගාවලිය තුළ වැඩි ම ගෝල ලබාගත් ක්‍රීඩකයා මෙන්ම වටිනා ම ක්‍රීඩකයා ද වුණා.

ෂිලාසී තරගාවලිය අතරතුර (gettyimages)

රොමාරියෝ (බ්‍රසීලය) -1994

1994 වසරේ වසර 24කට පසු බ්‍රසීලයට නැවතත් පාපන්දු ලෝක කුසලානය දිනා දීමට විශාල මෙහෙවරක් කළ රොමාරියෝ මූලික වටයේ දී රුසියාව, කැමරූන්, සහ ස්වීඩනය යන සියලු ම රටවලට එරෙහිව ගෝලය බැඟින් ලබා ගත්තා. ඉන්පසු ව, නෙදර්ලන්තය හමුවේ 3-2ක් ලෙස බ්‍රසීලය ජයගත් අර්ධ අවසන් පූර්ව තරගයේ දී බ්‍රසීලය වෙනුවෙන් මුල්ම ගෝලය වාර්තා කළේ රොමාරියෝ. ඉන් නොනැවතුණු රොමාරියෝ ස්වීඩනය සමග පැවති අවසන් පූර්ව තරගයේ දී ජයග්‍රාහී එක ම ගෝලය වාර්තා කරන ලද්දේ තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමිවන රන් පන්දුව දිනා ගැනීමට සියලු සුදුසුකම් සපුරාලමිනි.

රොමාරියෝ අවසන් තරගය අතරතුර (gettyimages)

රොනාල්ඩෝ (බ්‍රසීලය)- 1998

1998 ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සමග තීරණාත්මක අවසන් පූර්ව  තරගයේ දී ලබාගත් ගෝලය ඇතුළු ව ගෝල 4ක් තරගාවලිය තුළ ලබා ගත් රොනාල්ඩෝ තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කරගත්තේ, ඔහු බ්‍රසීල පිල අවසන් තරගයට ගෙන යාම සඳහා කළ විශාල මෙහෙවර නිසා යි.

රොනාල්ඩෝ අවසන් පූර්ව තරගයේ දී (gettyimages)

ඔලිවර් ඛාන් (ජර්මනිය)- 2002

2002 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජර්මන් පිලේ නායකත්වය දැරූ ඔලිවර් ඛාන් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් පන්දුව හිමිකර ගත් එක ම දැල් රකින්නා යි. එදා ජර්මනිය අවසන් තරගයට සුදුසුකම් ලබන තුරු ම ඔලිවර් ප්‍රතිවාදීන්ට තරග 6ක් තුළ ලබා දී තිබුණේ ගෝල 1ක් පමණයි. එතරම් විශ්වාසනීය අන්දමින් ඔලිවර් තරගාවලිය පුරා දැල් රැක්ක ද, අවසන් තරගයේ 67 වන විනාඩියේ ද ඔහු අතින් සිදු වූ අත්වැරැදීමකින් රොනාල්ඩෝ ලබා ගත් ගෝලය නිසා පසුබැසීමට ලක් වූ ජර්මනිය අවසානයේ දී 2-0ක පරාජයක් ලැබුවා.

කැමරූන් පිලට එරෙහිව ඔලිවර්ගෙන් සුපිරි දැල් රැකීමක් (gettyimages)

සිනෙඩින් සිඩෑන් (ප්‍රංශය)

 2004 යුරෝ කුසලාන තරගාවලියේ ග්‍රීසිය සමග පැවති අර්ධ අවසන් පූර්ව තරගය නොසිතූ ලෙස ප්‍රංශය පරාජය වීමත් සමග පාපන්දු පිටියෙන් සමුගත් සිඩෑන් ප්‍රංශ කණ්ඩායමේ ප්‍රබල පසුබෑම දැක ප්‍රංශ පිල එම අගාධයෙන් ගොඩ ගැනීම සඳහා නැවතත් 2006 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක් වූයේ ප්‍රංශ පිලේ නායකයා ලෙසිනුයි. එදා එලෙස තරගාවලියට පැමිණි සිඩෑන්, අවසන් පූර්ව සහ අවසන් තරගවල ලබා ගත් ගෝල 2ක සමගින් තරගාවලිය පුරාවට ලබා ගත් ගෝල 3 සහ සමස්ත තරගාවලිය පුරාවට ඔහු ප්‍රංශ පිලට ලබාදුන් විශිෂ්ට නායකත්වය නිසා, ඔහුට තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව හිමිවුණා. නමුත් ඔහු විශිෂ්ට සමුගැනීමක් අභියස අවසන් තරගයේ දී ඉතාලි ක්‍රීඩක මාකෝ මටරාසිට හිසින් පහර දී රතු කාඩ්පතක් ලබාගෙන පිටියෙන් ඉවත්වීම ඔහුගේ පාපන්දු ක්‍රීඩා දිවියේ කණගාටුදායක අවස්ථාවක් වුණා.

සිඩෑන්, අවසන් තරගය අතරතුර (gettyimage)

දියාගෝ ෆෝර්ලන් (උරුගුවේ)- 2010

2010 පාපන්දු කුසලාන තරගාවලිය තුළ අවසන් කණ්ඩායම් 4ට උරුගුවේ කණ්ඩායම රැගෙන යාමට විශාල මෙහෙවරක් කළ ෆෝර්ලන් තරගාවලිය තුළ ගෝල 5ක් ලබා ගත්තේ තරගාවලියේ වැඩි ම ගෝල ලබා ගත් ක්‍රීඩකයන් 4දෙනා අතරට එක්වෙමිනුයි. එලෙස තරගාවලිය තුළ ෆෝර්ලන් දැක්වූ දස්කම් නිසා ම ඔහුට තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව හිමිවෙනවා.

ෆෝර්ලන් තරගාවලිය තුළ (gettyimages)

ලියොනල් මෙසී (ආජන්ටිනාව)- 2014

2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තුළ ගෝල 4ක් ලබා ගත් මෙසී ආජන්ටිනාව අවසන් තරගය සඳහා රැගෙන යාමට ක්‍රීඩකයෙකු සහ නායකයා ලෙස ඉටුකළ මෙහෙවර නිසා ඔහුට තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව හිමිවුණා.

මෙසී බෙල්ජියමට එරෙහිව අර්ධ අවසන් පූර්ව තරගයේ දී (gettyimages)

ලුකා මොඩ්‍රික් (ක්‍රොයේෂියාව)- 2018

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තුළ ගෝල 2ක් පමණක් ලබා ගත් මොඩ්‍රික්, ක්‍රොයේෂියානු පිලට විශිෂ්ට නායකත්වයක් ලබා දෙමින් මුල්මවරට ක්‍රොයේෂියාව පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයක් කරා ගෙන යමින් දැක්වූ දස්කම් නිසා ම මොඩ්‍රික්ට තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව හිමිවෙනවා.

ලුකා මොඩ්‍රික් අවසන් තරගය ක්‍රීඩා කරමින් (gettyimages)

කවරයේ ඡායාරූපය: මෙසී (YouTube)

මූලාශ්‍රයයන්:

FIFA.COM

Related Articles