Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරග පාවා දීම – කිං කොමිසම, ක්‍රොන්යේ සහ අසරුදීන්

2000 වසරේ මැයි මස 4 වන දින, 71 හැවරිදි අධිකරණ විනිසුරු එඩ්වින් කිං ප්‍රමුඛ කොමිසමක් පත්කරන ලද අතර ඔවුන්ගේ කාර්යභාරය වූයේ ක්‍රොන්යේ ඇතුළු ක්‍රීඩකයින් විසින් මුදල් ගත් බවට සැකකෙරෙන සිදුවීම් මාලාවේ සියල්ලම පරීක්ෂණයට ගෙන තීරණයක් ලබා දීමයි. එඩ්වින් කිං ප්‍රමුඛ කොමිසම එතැන් පටන් ජනප්‍රිය වූයේ “King Commission” ලෙස යි.

එඩ්වින් කිං – Credit – Getty Images

එඩ්වින් කිං ප්‍රමුඛ කිං කොමිසම පත්වීමෙන් අනතුරුව ඔවුන් මුලිකව පරීක්ෂණයට බඳුන් කරන ලද්දේ සහ විනිශ්චය සඳහා තෝරාගත් තරග පහත වේ. මේ සියලු තරග හා එයට අදාළ හේතුන් ඊට ඉදිරියේ දැක්වේ.

මැන්ඩෙලා කුසලාන අවසන් තරගය – දකුණු අප්‍රිකාව සහ පකිස්තානය – 1995 (මුල්ම වරට ක්‍රොන්යේ හට අල්ලසක් ලබාදෙන්නට උත්සහ කළ අවස්ථාව)
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර 3 වන ටෙස්ට් තරගය – කාන්පුර් – 1996 (ක්‍රොන්යේ, බුකීකරු MK ගුප්තා හමුවූ අවස්ථාව සහ ප්‍රථම වරට ක්‍රොන්යේ හට මුදල් ලැබීම)
මොහින්දර් අමරනාත් Benefit තරගය – මුම්බායි – 1996 (ක්‍රොන්යේ ඇ.ඩො. 250,000 යෝජනාවට එකඟ නොවූ අවස්ථාව)
දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර ප්‍රථම සහ දෙවන ටෙස්ට් තරග – ඩර්බන් සහ කේප්ටවුන් – 1996/1997 (ගුප්තාගෙන් වරින් වර මුදල් ලැබූ අවස්ථාවන්)
දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර 5 වන ටෙස්ට් තරගය – සෙන්චූරියන් – 2000 (මාලන් අරොන්ස්ටම් මුණ ගැසුණු අවස්ථාව)
දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර 6 වන තරගය – තුන්කොන් තරගාවලිය – 2000 (සංජේ චව්ලා මුණ ගැසීම, බුකිකරු හමීඩ් කාසිම් විසින් හඳුන්වාදුන් අවස්ථාව)
ප්‍රථම ටෙස්ට් තරගය – ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව – මුම්බායි – 2000 (පීටර් ස්ට්‍රයිඩොම් පාවාදීමේ ක්‍රියාවලියට ඇතුලත් කිරීමට උත්සහ කළ අවස්ථාව)
දෙවන ටෙස්ට් තරගය – ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව – බැංගලෝර් – 2000 (කලිස්, ක්ලුස්නර්, බවුචර් පාවාදීමේ ක්‍රියාවලියට ඇතුලත් කිරීමට උත්සහ කළ අවස්ථාව)
1,2,3,4 එක්දින තරග – ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව – 2000 – (ක්‍රොන්යේ සහ චව්ලා අතර සංවාද ඇතිවූ අවස්ථාවන්)
පස්වන එක්දින තරගය – ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව – නාග්පුර් – 2000 – (ගිබ්ස් සහ විලියම්ස් ක්‍රොන්යේගේ යෝජනා වලට එකඟ වූ අවස්ථාව)

කිං කොමිසමේ මූලික කාර්යභාරයන් වූයේ,

2000 වසරේ මුල් භාගයේ දී පැවති තුන්කොන් තරගාවලියේ දී ක්‍රොන්යේ හට ලැබුණු මුදල් පිළිබඳව.
1999 නොවැම්බර් 1 සිට 2000 අප්‍රේල් 17 දක්වා කාලය තුල දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට ලැබුණු හෝ ලබාදෙන බවට පොරොන්දු වූ මුදල් පිළිබඳව.
1996 සිදුවීම් දාමය පිළිබඳව.

කිං කොමිසම ඉදිරියේ දී…

ජූනි මස 7 වන දින – දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නෙකු වූ පැට් සිම්කොක්ස් විසින් කිං කොමිසම ඉදිරියේ දී ක්‍රොන්යේ 1995 දී පකිස්තානයට එරෙහි තරගයක් පරාජය උදෙසා තරග කරනවා ද යන්න පිලිබඳ අදහස් දැක්වූ බව සහ 1996 වසරේ දී බුකිකරුවෙකු විසින් ඇ.ඩො. 250,000 ක ලබාදෙන බවට පොරොන්දු වීමෙන් ක්‍රොන්යේ ඒ පිළිබඳව ඔහුගෙන් විමසූ බව පැවසීම.

ජූනි මස 8 වන දින – හර්ෂල් ගිබ්ස් , කිං කොමිසම ඉදිරියේ දී ඔහුගේ වැරදි පිළිගන්නා ලදී. මාර්තු මස 19 වන දින පාන්දර 5.30 ට පමණ ගිබ්ස් සහ විලියම්ස් දෙදෙනා නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයට පැමිණි ක්‍රොන්යේ එක්දින තරගයේ අඩු දස්කම් දැක්වීමෙන් විශාල මුදලක් ලබාගත හැකි බවට පැවසු බවට ගිබ්ස් හෙළි කළේ ය. ගිබ්ස් පිත්තෙන් ලකුණු 20කට වඩා අඩු ගණනකින් දැවී යන්නේ නම් සහ විලියම්ස් යොමුකරන පන්දුවාර 10 තුල ලකුණු 50 ඉක්මවන්නේ නම් දෙදෙනාටම ඇ.ඩො. 15,000 බැගින් ලබාදීමට නියමිතව තිබු බව ද ගිබ්ස් සඳහන් කළේ ය. කෙසේ නමුත් මෙම යෝජනාව ඔවුන් මුලින් එකඟ වූවත් තරගය අතරතුර ගිබ්ස් වේගවත් ලකුණු 74ක් රැස්කළ අතර විලියම්ස් පන්දුවාර 1.5ක් යැවීමේ දී ආබාධයකට ලක්විය, එම නිසාම දෙදෙනාටම මුදල් හිමි නොවිය. එමෙන්ම මෙම සිදුවීමෙන් අනතුරුව ක්‍රොන්යේ, ගිබ්ස් හට මේ පිලිබඳ කිසිදු තොරතුරක් හෙළි නොකරන ලෙසත් පැවසු බවට ගිබ්ස් කොමිසම ඉදිරියේ අදහස් දැක්වුයේ ය.

හර්ෂල් ගිබ්ස් සහ හෙන්රි විලියම්ස් – Credit – Associated Press

ජූනි මස 9 වන දින – කිං කොමිසම ඉදිරියේ දී නිකී බෝයේ සාක්ෂි දීමට පැමිණියේ ය. ක්‍රොන්යේ ඔහුට මේ පිලිබඳ කිසිදු දෙයක් නොකියූ බවත් මෙම සිදුවීම් මාලාව තුල ඔහුගේ නමත් තිබීම ඔහුට පුදුම දනවන කරුණක් බව බෝයේ පවසන ලදී. වේග පන්දු යවන හෙන්රි විලියම්ස් ඔහුට ඇ.ඩො. 15,000ක් ලබාදෙන්නට ක්‍රොන්යේ පොරොන්දු වූ බව ද සඳහන් කළේ ය. එවකට නවක ක්‍රීඩකයෙක් වූ පීටර් ස්ට්‍රයිඩොම් පැවසුවේ මුම්බායි හි දී පැවති ප්‍රථම ටෙස්ට් තරගයට පෙර ක්‍රොන්යේ ඔහුට මුදල් ලබාදීමට තීරණය කළ බවයි.

ජූනි මස 13 වන දින – ජැක් කලිස් සාක්ෂි දෙමින් පැවසුවේ ක්‍රොන්යේ ඉන්දීය ටෙස්ට් තරගාවලිය අතරතුර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් තිදෙනෙක්ට මුදල් ලබා දෙන බවට තීරණය කළ බවයි. මෙයට ක්ලුස්නර් සහ බවුචර්ගේ සාක්ෂි ද ඉවහල් විය.

ජූනි මස 15 වන දින – දින ගණනාවක් තිස්සේ මාධ්‍යය ඉදිරියේ සහ කිං කොමිසම ඉදිරියේ මුදල් ලබානොගත් බවත් තරග පාවා නොදුන් බවත් කියූ හැන්සි ක්‍රොන්යේ මෙදින ප්‍රථම වරට වරද පිළිගන්නා ලදී. 1996 වසරේ සිට ඔට්ටු අල්ලන්නන්ගෙන් ආසන්න වශයෙන් ඇ.ඩො. 100,000ක් පමණ ලබාගත්ත ද ඔහු එකදු තරගයක් හෝ පරාජය උදෙසා තරග නොකළ බවට පැවසුවේ ය. එමෙන්ම ක්‍රොන්යේ අන්තර්ජාතික ක්‍රිකට් තරග තුලින් ඔහු විශ්‍රාම ගන්නා බවත් ඔහුට ඔට්ටුඅල්ලන්නන් හඳුන්වා දෙන ලද්දේ ඉන්දියාවේ මොහොමඩ් අසරුදීන් බවත් හෙළි කළේ ය. මෙයට පිළිතුරු වශයෙන් අසාරුදින් පැවසුවේ මෙය සම්පුර්ණ අසත්‍යයක් බවයි.

ජූනි මස 23 වන දින – හැන්සි ක්‍රොන්යේ, කිං කොමිසම ඉදිරියේ කදුළු සලමින් සියලු වැරදි පිළිගත් අතර ඔහු ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාවට වඩා මුදල් ඔහුට වැදගත් වීම පිළිබඳව කණගාටු වන බව සඳහන් කළේ ය​.

ක්‍රොන්යේ, වරද පිළිගැනීමෙන් පසු – Credit – Pintrest

අගෝස්තු මස 28 වන දින  – දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ගිබ්ස් සහ විලියම්ස් දෙදෙනාටම 2000 දෙසැම්බර් මස 31 වන තෙක් ක්‍රිකට් තහනමක් පැනවූ අතර පීටර් ස්ට්‍රයිඩොම් මෙම සිදුවීම් දාමයට කිසිදු දායකත්වයක් ලබානොදුන් හෙයින් ඔහුට තරග කිරීමට අවසර ලබා දෙන ලදී.

ඔක්තෝම්බර් මස 11 වන දින – දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය, හැන්සි ක්‍රොන්යේ හට ජීවිතාන්ත තරග තහනමක් සහ ක්‍රිකට් හි කිසිදු ක්‍රියාකාරකමකට නිරත නොවිය හැකි පරිදි දඬුවම් පනවන ලදී.

Credit – Getty Images

මෙම සියලු සිදුවීම් අවසානයේ දී එක් වැදගත් පුද්ගලයෙක් පිලිබඳ හෙළිදරව් විය. ඉන්දීය නායක මොහොමඩ් අසරුදීන්, ක්‍රොන්යේට ඔට්ටු අල්ලන්නන් හඳුන්වා දුන් බවත් අසරුදීන් ඔට්ටු අල්ලන්නන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවත් ය. නමුත් මෙම කාල සීමාව තුල අසරුදීන් ඉහත සියලුම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය. කෙසේ වෙතත් ක්‍රොන්යේ පිළිබඳව පැවති විභාගයට සමගාමීව ව ඉන්දියාවේ දී CBI ආයතනය විමර්ශන ඇරඹු අතර එහිදී අසාරුදින් ද මුදල් ගෙන තරග පාවා දී අතරත් බුකිකරුවන් සමඟ ඔහු පැවැත්වූ සම්බන්ධතා ක්‍රිකට් ක්‍රීඩාවට හානිකර වීම නිසාවෙන් ඔහුට ද ජීවිතාන්ත ක්‍රිකට් තහනමක් පනවන්නට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළේ ය. එමෙන්ම 1996 දී කරළියට පැමිණි MK ගුප්තා , CBI ප්‍රශ්න කිරීම් හමුවේ අසරුදීන්, මනෝජ් ප්‍රභාකර්, අජේ ජඩේජා, අජේ ශර්මා සහ නායාන් මොන්ගියාගේ නම් ඉදිරිපත් කරන ලදී. මීට අමතරව CBI වාර්තා තුල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක්, බ්‍රයන් ලාරා, ඇලෙක් ස්ටුවර්ට්, සලීම් මලික්, අසිෆ් ඉක්බාල්, මාර්ක් වෝ, ඩීන් ජෝන්ස් සහ මාටින් ක්‍රෝ යන ක්‍රීඩකයින්ගේ නම් ද සදහන් කර ඇත. මෙයින්, සලීම් මලික් හට 2000 වසරේ දී අධිකරණ විනිසුරු කයියුම්ගේ විභාගය අවසානයේ දී ජීවිතාන්ත ක්‍රිකට් තහනමක් පැනවූ අතර එම තැනම 2008 වසරේ දී ඉවත් කරන්නට වෙනත් අධිකරණයක් විසින් තීන්දු කරන ලදී. එමෙන්ම අසරුදීන් ගේ තරග තහනම ද 2012 වසරේ දී මහාධිකරණයෙන් ඉවත්කරන ලදී.

අසරුදීන් තරග පාවා දීමේ චෝදනවාලට පිළිතුරු දීම සඳහා – Credit – Getty Images

පසු සටහන්:

ජීවිතාන්ත ක්‍රිකට් තහනමකට යටත් වූ හැන්සි ක්‍රොන්යේ අවස්ථා කිහිපයක දී මෙම දඬුවම අවම කරන ලෙස ඉල්ලා සිටි නමුත් ඒ සියල්ලම නිෂ්ප්‍රභ විය. 2002 වසරේ ජූනි පළමුවැනි දින ජොහැනස්බර්ග් සිට ගුවන්ගත වූ ක්‍රොන්යේ ගමන් කළ ගුවන් යානය ජෝර්ජ් හී දී ගොඩ බසින්නට තීරණය වී තිබුණත් එදින පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත ගුවන් යානය Outeniqua කඳු පන්තියේ දී කඩා වැටුණු අතර ක්‍රොන්යේ සහ ගුවන් නියමුවන් දෙදෙනාම එම අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ.

ගුවන් අනතුර – Credit – baa-acro.com
ජීවිතක්ෂයට පත් හැන්සි ක්‍රොන්යේගේ සිරුර රැගෙන යමින් – Credit – Image|Joke

ක්‍රොන්යේ ගේ සිදුවීම් මාලාවට සමාන සිදුවීම් සහිතව සහ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳී දූෂිත ක්‍රියාකාරකම් රැගත් අපූරු නාට්‍යයක් පසුගිය වසරේ දී අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට හැකි අයුරින් ඉන්දියාවේ දී නිකුත් විය. “Inside Edge” නමින් හඳුන්වන මෙහි ක්‍රොන්යේ 1996 සිට ඔහුගේ මරණය තෙක් මුහුණ දුන් සිදුවීම් වෙනස් අයුරකින් ඉදිරිපත් කර ඇත. එමෙන්ම “Hansie” යන නමින් දකුණු අප්‍රිකානු චිත්‍රපටයක් ද නිර්මාණය වී තිබේ.

Cover – ක්‍රොන්යේ, කිං කොමිසම ඉදිරියේ – Credit – sacricketmag.com

Related Articles