Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හැන්සි ක්‍රොන්යේගේ අසාර්ථක වූ පළමු තරග​ පාවාදීම

ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව විස්තර කිරීමේ දී එය සැලකෙන්නේ මහත්මයින්ගේ ක්‍රීඩාව ලෙස යි. එහෙත් වර්තමානය වන විට එය එලෙස හැඳින්වීම විහිළුවක් වන මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාව පහතට වැටි ඇත. මේ ලිපිය, ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය ට හානිකළ ඉතිහාසයේ වාර්තා වූ අපකීර්තිමත් සිදුවීම් මාලාවක් පිලිබඳව යි.

දකුණු අප්‍රිකාව වසර 20 කට අධික කාලයක් පමණ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්කර දැමීමට ICC ය 1970 දී තීරණයකට එළඹුන අතර එමනිසාම එරට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකට ක්‍රිකට් වරම් අහිමි වීමත් ක්‍රිකට් දිවිය කෙටි වීමත් සිදු විය. කෙසේ වෙතත් 90 දශකයේ මුල් භාගයේ දී දකුණු අප්‍රිකානුවන්ට නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් වරම් ලැබිණ. එතැන් පටන් ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසය පිරික්සීමේ දී එරටින් බිහිවූ දක්ෂතම නායකයා කවුරුන්දැයි යමෙක් විමසූවිට වෙසල් ජොහැන්ස් “හැන්සි” ක්‍රොන්යේ නම් ක්‍රීඩකයා නිතැනින් මතකයට නැගෙනු ඇත.

වසර – 1996

ක්‍රොන්යේට දකුණු අප්‍රිකානු නායකත්වය හිමිවන්නේ 1993/94 තරග කාල සමය තුල යි. කණ්ඩායමේ නිත්‍ය මැද පෙළ පිතිකරුවෙකු මෙන්ම අවශ්‍ය නම් පන්දුවෙන් ද දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයෙකු වීමත් අන් ක්‍රීඩකයන්හට මෙන් ප්‍රගුණ කළ නොහැකි නායකත්වයේ ගුණාංග පිහිටීම නිසාවෙන්ම ඔහුට නායකත්වය පහසුවෙන්ම හිමි විය. ක්‍රොන්යේගේ ක්‍රිකට් දිවියට විශාල බලපෑමක් සිදුවූ වසර 2000 වසර වූවත් ක්‍රොන්යේ මුල්වරට තරග පාවාදීමේ අදහසකට එළැඹුණේ 1996 වසරේ දී යි.

මෙම වසරේ තුල පමණක් දකුණු අප්‍රිකානුවන්ට පුහුණු තරගය​ක්, ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 7ක් සහ ප්‍රදර්ශනාත්මක තරගය​ක් (උපයන මුදල් සියල්ලම යම් ආයතනයකට හෝ ක්‍රීඩකයෙකු හට ප්‍රධානය කිරීමේ තරගය​ක් – Benefit Match) ඇතුලත් දීර්ඝ තරගාවලියක් උදෙසා ඉන්දියාවට යාමට සිදුවිය. එමෙන්ම ලෝක කුසලාන තරගාවලිය ද පැවතියේ දකුණු ආසියානු රටවල් මුල්කරගෙන යි.

කාන්පූර් ටෙස්ට් තරගය සහ බුකීකරුවන්ගේ පළමු උත්සාහය

මෙම ටෙස්ට් තරගය​ අතරතුර  මුකේෂ් ගුප්තා (ජෝන්) නම් අයෙක් හැන්සි ක්‍රොන්යේ හමුවූ අතර ඔහු, ක්‍රොන්යේ වෙත හඳුන්වා දෙන ලද්දේ එවකට ඉන්දියානු නායක මොහොමඩ් අසරුදීන් ය. රන් ආභරණ ව්‍යාපාරයක් හිමි ගුප්තා (MK) නමැත්තා ක්‍රොන්යේගෙන් ටෙස්ට් තරගය පරාජය වන අයුරින් ක්‍රීඩා කළ හැකිදැයි විමසු අතර එයට සාර්ථක පිළිතුරක් ක්‍රොන්යේගේ පාර්ශවයෙන් නිකුත් නොවුනේ අනෙකුත් ක්‍රීඩකයින් මෙයට එකඟ වේද යන්න පිලිබඳ තිබූ ගැටළු නිසයි.

මුකේෂ් ගුප්තා – courtesy: sportisbent/youtube

රැස්වීම් ත්‍රිත්වය

මේ තරගාවලියේ අවසන් ප්‍රදර්ශනාත්මක තරගය​​ දක්වා පැමිණෙන විට දකුණු අප්‍රිකානුවන් බොහෝ දෙනෙක් ආබාධ වලට ලක්ව තිබීම සහ ඒ වනවිට ඔවුන් ඉන්දියාව තුලදී පමණක් එක් එක් තරග උදෙසා අන්තර් ගුවන් ගමන් 23කට අධික ප්‍රමාණයක නිරතවීමෙන් සියලුම ක්‍රීඩකයින් හෙම්බත් ව සිටීමෙන් මේ තරඟ සංචාරයේ අපහසුතාවය පිලිබඳ අදහසක් ගත හැක.

ප්‍රදර්ශනාත්මක තරගය​ට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ඉන්දියානු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියේ ප්‍රදර්ශනාත්මක තරගය​​ ද අනතර්ජාතික තරගය​​ක් ලෙස සලකා ක්‍රීඩා කරන ලෙස යි. ඊට හේතූන් වූයේ, ඒ වනවිට ප්‍රදර්ශනාත්මක තරගය​​ සඳහා ප්‍රේක්ෂක ආකර්ෂණය අවම වීමත්, මෙම තරඟයේ ප්‍රධානතම අරමුණ මුදල් එක්රැස්කිරිම නිසා එයට ප්‍රේක්ෂකයින් නොමැති වීමෙන් එම අරමුණ සාක්ෂාත් කරගැනීමට නොහැකි වීමත් ය.

මේ අතරතුර දී ටාජ් හෝටලයේ දකුණු අප්‍රිකානුවන්ගේ කණ්ඩායම වෙනුවෙන් වෙන්කළ කාමරයක ක්‍රොන්යේ, කණ්ඩායම් හමුවීමකට පැමිණෙන ලෙස අනෙකුත් ක්‍රීඩකයින් හට දැනුම් දුන්නේය. ඒ අනුව, ක්‍රොන්යේ ඔහුගේ අනෙකුත් ක්‍රීඩකයින්ට පැවසුවේ බොම්බේ (වර්තමාන නාමය – මුම්බායි) හි දී පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරඟය​​ (ප්‍රදර්ශනාත්මක Benefit තරගය​​​ක් ලෙස යෝජනා වූ නමුත් පසුව එක්දින තරගය​​​ක් බවට පත් විය) සඳහා ඇමෙරිකානු ඩොලර් 250,000 ක මුදලක් පිරිනැමීමට අයෙක් කැමැත්තක් දක්වන බවත් ඒ සඳහා අවසන් තරගය​​​ අවම වශයෙන් ලකුණු 70 ක් සහ 90ක් අතර ප්‍රමාණයකින් පරාජය විය යුතු බවත් ය. ක්‍රීඩකයින්ගේ ආබාධ සහ ඔවුන්ගේ දක්ෂතා ඒ වනවිට දැඩි ලෙස පහත වැටීම නිසාවෙන් අවසන් තරගය​​​ නියත පරාජයක් බවට ක්‍රොන්යේ හේතු දැක්වීය​.

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර ටයිටන් කුසලානය අතරතුර, 1996 – courtesy: facebook

මේ ප්‍රථම රැස්වීමෙන් අනතුරුව කණ්ඩායමේ සාමාජිකයින් කොටස් දෙකකට කැඩිණ. එක් පාර්ශවයක් තරගය​​​ පරාජය කරවීමට එකඟ වූ අතර (බහුතරයක් නවක ක්‍රීඩකයින්), අනෙක් පාර්ශවය එයට විරුද්ධ විය. විරුද්ධ වූ පාර්ශවයේ එවකට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වූ ඇන්ඩෲ හඩ්සන්, ඩේව් රිචර්ඩ්සන් සහ ජොන්ටි රෝඩ්ස් වූහ. ඔවුන් අනෙකුත් ක්‍රීඩකයන් හට ද තරග පරාජය වෙනුවෙන් ක්‍රීඩා නොකරන ලෙසත් මුදල් නොගන්නා ලෙසත් පැවසුවත් එය එතරම් සාර්ථක වූයේ නැත.

දෙවැනි සහ තෙවැනි රැස්වීම් අතරතුරත් ක්‍රොන්යේ උත්සහ කළේ සියලු ක්‍රීඩකයින්ගේ සහයෝගය මෙයට උපකාරී කර ගැනීම යි. ඒ වනවිට ඩොලර් 250,000 ක මුදලක් කිසිදු තරගය​ක හෝ තරගාවලියක​ ලබා නොදෙන මට්ටමේ දැවැන්ත මුදලක් නිසාම ඒ වෙනුවෙන් ක්‍රීඩකයින් පොළඹවා ගැනීම ඉතාමත් පහසු විය. නමුත්, අනෙක් පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක හඩ්සන් විසින් තරුණ ක්‍රීඩකයින් සහ ජ්‍යෙෂ්ඨන් තරග පාවා දීමෙන් විය හැකි හානි පිලිබඳ දැනුවත් කර ඔවුන් මෙයින් මුදවා ගැනීමට විශාල සටනක් කළ බවට වර්තමාන ICC ප්‍රධාන විධායක නිලධාරි ඩේව් රිචර්ඩ්සන් සහ ඇන්ඩෲ හඩ්සන් පසු කළක මාධ්‍යය වෙත පවසන ලදී. කෙසේ වෙතත් තරග පරාජය වෙනුවෙන් ක්‍රීඩා කර ඉහත දැවැන්ත මුදල ලබාගන්නේ ද නැද්ද යන්න ඔවුන්ගේ අවසන් තීරණය රැස්වීම් ත්‍රිත්වය අවසානයේ දී ද නිශ්චිත නොවුනේ ය.

එවකට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බ්‍රයන් මැක්මිලන් පැවසුවේ, ජ්‍යෙෂ්ඨන් තරග පාවා දීමට එකඟ වීමට ප්‍රධානතම හේතුව වූයේ ඔවුන්ගේ ක්‍රිකට් දිවියේ අවසන් අදියරට පිවිසීමත් මෙවැනි මුදලක් ඔවුනට උපයා ගැනීම ඉතාමත් අපහසු වීම බවත් ය. එමෙන්ම තරුණ ක්‍රීඩකයින් මෙයට එකඟ කරවාගැනීම ඉතාමත් පහසු වූවත් ඔවුන්ගේ ක්‍රිකට් දිවිය ට විශාල හානියක් මෙමගින් සිදුවීම නිසාවෙන් ඉහත තීරණයේ ගැටලුකාරී අවස්තාවන් උද්ගත වූ බවයි.

බ්‍රයන් මැක්මිලන් – courtesy: UPPA

මෙම සිදුවීමේ දී රැස්වීම් ත්‍රිත්වයක් පැවතුන බවට එවකට දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු බොබ් වූල්මර් පවා නොදැන සිටි අතර ඔවුන් තරග පරාජයක් උදෙසා ක්‍රීඩා කරන්නට කතාබහ කළ බවට පසුව ඔහුට දැනගන්නට ලැබිණ.

කෙසේ වෙතත් විවිධ ගැටලුකාරී හේතුන් සහ තිරය පිටුපස සිට ඇන්ඩෲ හඩ්සන් ඇතුළු විරුද්ධ පාර්ශ්වය විසින් තරග පාවා දීමට එකඟ නොවන ලෙස උත්සහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තරග පාවාදීම ක්‍රියාත්මක වූයේ නැත. නමුත් මුම්බායි හිදී පැවති එක්දින තරගය දකුණු අප්‍රිකානුවන් පරාජය වූහ. බුකිකරු ගුප්තා නියමකළ අයුරින් ඔවුන් පරාජය වූයේ ලකුණු 70 – 90 අතර ගණනකින් වීම පුදුමයට කරුණක් වූවත් ඔවුන් තරග පරාජය වෙනුවෙන් ක්‍රීඩා නොකළ බවට තහවුරු විය.

ක්‍රොන්යේ, නැවතත් තරග පාවා දීමකට යොමු වූ සෙන්චූරියන් ටෙස්ට් තරගය ඊළඟ ලිපියෙන්.

ඇන්ඩෲ හඩ්සන් – courtesy: Cricket South Africa

පසු සටහන : Match Fixing යනු තරගයක ප්‍රතිපලයකට බලපෑම් කළ හැකි මට්ටමේ ක්‍රියාවලියකි. ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි සිදුවීම් ඇත්තේ අල්ප ප්‍රමාණයක් පමණයි. Spot Fixing යනු තරගයක කොටසක් හෝ ඉරියව්වක්, හැසිරීම් රටාවක් ඉලක්ක කරමින් යම් ක්‍රියාවලියක නිරත වීම යි (උදා: ඉන්දීය වේග පන්දු යවන්නෙකු වූ ශ්‍රී සාන්ත් විසින් ලේන්සුවක් භාවිතයෙන් ඔට්ටු අල්ලන්නන් හට පන්දුවාරයක් පිළිබඳව දැනුම් දීම, පකිස්තානු වේග පන්දු යවන්නන්ගේ නිපන්දු). එමන්ම මින් දින කිහිපයකට පෙර වාර්තා වූ Pitch Fixing යනු තණතීරුවේ හැසිරීම් රටාවන් වෙනස් කර එය තරගයකට බලපෑම් කරවීම යි. කෙසේ වෙතත් හැන්සි ක්‍රොන්යේ සිදුවීම් මාලාව ක්‍රිකට් ඉතිහාසයේ පළමු වැන්න නොවේ සහ අවසන් අවස්ථාව ද නොවේ. ක්‍රොන්යේ සිදුවීමෙන් හෙළි වූ වැදගත්ම කරුණු වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඔට්ටු අල්ලන්නන්ගේ සංවිධානාත්මක බව සහ ඔවුන්ගේ මුල්‍යමය සහ දේශපාලනමය බලය යි.

Cover – හැන්සි ක්‍රොන්යේ – courtesy: espncricinfo

Related Articles