Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හැන්සි ක්‍රොන්යේගේ තරග​ පාවා දීම – සෙන්චූරියන් ටෙස්ට් තරගය​​

1996 සිදුවීම ක්‍රොන්යේගේ දක්ෂතා කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොවුණු අතර ඔහු දකුණු අප්‍රිකානු පිල ජයග්‍රහණ රැසක් කරා සාර්ථකව මෙහෙයවන ලදී. නමුත් ඉන් පසුව වරින් වර ඔහුගේ විනය කඩකිරීම් කිහිපයක් ද වාර්තා විය. 1998 ඇඩ්ලෙඩ් හි දී පැවති ටෙස්ට් තරගය අතරතුර ඕස්ට්‍රේලියානු පිතිකරු මාර්ක් වෝ විසින් පන්දුවකට සාර්ථකව මුහුණ දී පසුව පිත්ත සෙලවිමේ දී එය කඩුල්ලේ ගැටී බේල්ස් ඉවත්වීම නිසාවෙන් එය “හිට් විකට්” දැවියාමක් නොවන බවට විනිසුරු ප්‍රකාශ කළේ ය. මෙයින් කෝපයට පත්වූ ක්‍රොන්යේ විනිසුරු සමඟ වාද කිරීමෙන් පසු ප්‍රශ්නය සමනය විය. එය දැවියාමක් වූවානම් දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණය සඳහා වැඩි අවස්ථාවක් හිමිව තිබෙන්නට ඉඩ තිබූ නමුත් මාර්ක් වෝ එම ඉනිමේ දී විශිෂ්ට ශතකයක් රැස්කරමින් (නොදැවී 115) තරග​ය​ ජය පරාජයකින් තොරව නිමාකරන්නට සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකාව ටෙස්ට් තරඟාවලිය​ 1 – 0 ක් ලෙස පරාජය වූ අතර තරග පරාජයෙන් කලකිරුණු ක්‍රොන්යේ විනිසුරුවන්ගේ කාමරය තුලට ගොස් විනිසුරුවරුන් සමඟ කෝපයට පත්ව ගැටුමක් දක්වා ගෙන ගිය බවට එවකට විවිධ වාර්තා පළ විය. එමෙන්ම 1997 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නි හි දී පැවති එක්දින තරගයක හැන්සි ක්‍රොන්යේහට පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් ද එල්ල විය.

විවිධ හැල හැප්පීම් මධ්‍යයේ වූවද ක්‍රොන්යේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉහල ජයග්‍රහණ රැසක් කරා ගෙන යාමට සමත් වූ අතර 1998 වසරේ දී ICC ශුරයින්ගේ කුසලානය පවා ජයග්‍රහණය කරවීමට ඔහුට හැකිවිය. ඉන් වසර දෙකකට පසු එනම් 2000 වසරේ දී ක්‍රොන්යේගේ ක්‍රිකට් දිවියේ තීරණාත්මක වසර බවට පත්විය. එංගලන්තයේ දකුණු අප්‍රිකානු සංචාරය 1999 අග භාගයේ දී යෙදී තිබුණු අතර එයට ටෙස්ට් තරග 5ක් ඇතුලත් විය. 5 වන සහ අවසන් ටෙස්ට් තරඟය​ වන විට දකුණු අප්‍රිකාව තරග 2 – 0 ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය ඔවුන් සතුකරගැනීමට හැකිවීම නිසාවෙන්ම ක්‍රීඩකයෝ ඉතාම හොඳ රිද්මයක පසුවූහ.

අවසන් ටෙස්ට් තරගය සෙන්චූරියන් හි දී පැවති අතර එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තයේ නසාර් හුසේන් සමත් විය​. තණතීරුව පන්දුයවන්නන්ට ඉතාමත් යෝග්‍ය වූ බැවින් ප්‍රථමයෙන් පන්දු රකින්නට ඔහු තීරණය කළේ ය. ඒ අනුව හුසේන්ගේ තීරණය සාර්ථක වෙමින් දිනය අවසානය වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 155කට සීමා කරගන්නට ඔහුට හැකි විය. කෙසේ වෙතත් එදින වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසාවෙන් සහ ඉන් පසු දින 3ක් වර්ෂාව නිසා තරගය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට නොහැකි විය​. අවසන් දිනය වන විට වර්ෂාවෙන් බාධාවක් එල්ල නොවුනත් තරගය ජය පරාජයකින් තොරව අවසන් වන බව නියත විය.

සෙන්චූරියන් පාක් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාව – Credit – Getty Images

අවසන් දිනයේ තරග​ය​ ආරම්භ වීමට ප්‍රථම නායක හැන්සි ක්‍රොන්යේ එවකට එංගලන්ත කඩුලු රකින්නා වූ ඇලෙක් ස්ටුවර්ට් හමුවෙමින් පැවසුවේ හුසේන්හට තරගකාරී අවස්ථාවක් ලබාදීමට ඔහු සුදානම් බවත් ඔහු බලාපොරොත්තු වන ඉලක්කය කුමක් ද යන්න දැනුවත් කරන ලෙසයි. ඒ අනුව හුසේන්ගේ ඉල්ලීම වුයේ අවම වශයෙන් ඕවර 73 කින් ලකුණු 270ක ඉලක්කයක් සාධාරණ බවයි. නමුත් එයට ඇලෙක් ස්ටුවර්ට් ඇතුළු පාර්ශ්වයක් එකඟ නොවූයේ දින 3ක වර්ෂාව නිසා තණතීරුවේ තත්ත්වය පිලිබඳ ඔවුන්ට කිසිදු අදහසක් නොමැති වීම යි.

කිසිදු අවසන් තීරණයක් නොමැතිව දකුණු අප්‍රිකාව නැවතත් ඔවුන්ගේ ඉනිම ආරම්භ කරන ලදී. දින 3ක වර්ෂාව නිසා ප්‍රථම දිනයේ දී දැකගැනීමට හැකිවූ වේගවත් ඉපිලෙන තණතීරුව එදින දක්නට නොලැබිණ. පිතිකරණයට පහසු තණතීරුවක් බවට එය පත්වීම නිසාවෙන්ම ඒවනවිට පිටියේ සිටි ෂෝන් පොලොක් සහ ලාන්ස් ක්ලුස්නර් ඉතාමත් පහසුවෙන් ලකුණු රැස්කරන බව දෙපිලටම තේරුම් ගැනීමට හැකි විය​.

ඒ අනුව හුසේන් පිටියේ සිට අමතර ක්‍රීඩකයෙක් හරහා ක්‍රොන්යේට දැනුම් දුන්නේ ඔහුගේ යෝජනාව (තරගාකාරී ඉලක්කය) ට කැමති නමුත් ඉලක්කය 250ක් පමණ විය යුතු බවත් ය. හුසේන් පුදුමයට පත්කරමින් ක්‍රොන්යේගෙන් ඔහුට දැනගන්නට ලැබුනේ ඔහු එම ඉලක්කය ලබාදීමට එකඟ බවයි. ඒ අනුව ක්‍රොන්යේ විසින් එංගලන්තයට ලබාදුන් ඉලක්කය වූයේ පන්දුවාර 76ක් තුල ලකුණු 245කි. (ක්‍රොන්යේ ප්‍රථමයෙන් එකඟ වූයේ පන්දුවාර 73ක් තුල ලකුණු 270ක්). මේ සියලු ගණුදෙනුව සිදු වුයේ තරගය ක්‍රියාත්මක වන අතරතුර හුසේන් පිටියේ සිට ක්‍රීඩකයකු මාර්ගයෙන් ක්‍රීඩාගාරයේ සිටි ක්‍රොන්යේ වෙතටත්, ක්‍රීඩාගාරයේ සිට පිටියටත් වූ අතර ක්‍රොන්යේ ඉනිම අත්හිටුවන්නට පෙර අවසන් පන්දුවේ දී පෝල් ඇඩම්ස් විසින් හතරේ පහරක් එල්ල කිරීම නිසාවෙන් ඉලක්කය පන්දුවාර 73ක් තුල ලකුණු 249ක් විය.

නසාර් හුසේන් – Credit – Alchetron

ක්‍රොන්යේ නායකයා වූවද මෙවැනි ඉලක්කයක් ලබාදෙන්නේ ද යන්න ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් ගෙන් විමසූ විට. සියල්ලන්ම මෙම ඉලක්කයට වැඩි කැමැත්තක් නොදැක්වූ බවට වාර්තා වේ. කෙසේ වෙතත් අවසන් තීරණය මෙම ඉලක්කය වූ බැවින් තරග තීරක බැරි ජාර්මන්ගේ අවසරය මත එංගලන්තයේ ප්‍රථම ඉනිම අතිහිටුවා (0/0dec) සහ දකුණු අප්‍රිකාවේ දෙවැනි ඉනිම අත්හැර දමා (forfeit) එංගලන්තය, දකුණු අප්‍රිකාව විසින් ලබා දුන් ඉලක්කය හඹා යෑමට ආරම්භ කරන ලදී. ඇලෙක් ස්ටුවර්ට් සහ මයිකල් වෝන්ගේ අර්ධ ශතක හේතුවෙන් මෙම ඉලක්කය සාර්ථකව හඹා යෑමට එංගලන්තයට හැකි විය.

ජයග්‍රාහි එංගලන්ත ටෙස්ට් කණ්ඩායම – Credit – Getty Images

මුදල් සහ ලෙදර් ජැකට්ටුව

මෙම ටෙස්ට් තරගයේ සිවුවන දිනය වර්ෂාවෙන් අත්හැර දැමීමට සිදුවීම නිසා එදින සවස ක්‍රොන්යේට ඔහු සහ කණ්ඩායම නවාතැන් ගත් “සෑන්ඩ්ටන් සන්” හෝටලයේ දී දුරකථන ඇමතුමක් ලැබිණ. ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත් මාලන් අරෝන්ස්ටම් (Marlon Aronstam) නමැත්තා පවසා සිටියේ තරඟයේ ඉනිම් අත්හිටුවා තරඟය​ පැවැත්වෙන අයුරින් එංගලන්ත නායක නසාර් හුසේන් සමඟ තීරණයකට එළඹෙන ලෙසයි. මාලන්, NSI නම් සමාගමකට අනුයුක්තව කටයුතු කරන බවත් මෙම තරග​ය​, තරග​ කෙරෙන මට්ටමට කටයුතු කළ හැකි නම් ඔහුට පවුම් 50,000ක පමණ මුදලක් (දකුණු අප්‍රිකානු රෑන්ඩ් 500,000ක්) ලබාදිය හැකි බවත් ඊට අමතරව කුඩා ත්‍යාගයක් ද ලබාදිය හැකි බවත් පැවසුවේ ය.

ක්‍රොන්යේ පසුව හෙළි කළ පරිදි, ඉනිම් අත්හිටුවා තරගය ඇරඹෙන්නේ නම් ඔහු දැනුවත් කරන ලෙස මාලන්, ක්‍රොන්යේට පැවසුවත් එංගලන්තය ඔහුගේ මුල් ඉල්ලීමට අවසන් තීරණයක් ලබා නොදීමෙන් පසු (ඕවර 73 / ලකුණු 270) දකුණු අප්‍රිකාව ඉනිම ක්‍රියාත්මක කළ හෙයින් ක්‍රොන්යේ, මාලන් හට ඔහුගේ යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි බව දන්වා සිටියේ ය. නමුත් තරගය අතරතුර හුසේන් , ක්‍රොන්යේගේ ඉලක්කය ට එකඟ වීම (ඕවර 76 / ලකුණු 245) නිසාවෙන් ක්‍රොන්යේ මාලන් හට එම අවස්ථාවේ දී ම ඊමේල් පණිවුඩයක් යවමින් යෝජනාව ක්‍රියාත්මක වන බව (“the Game is on”) පැවසුවේ ය. කෙසේ වෙතත් මාලන්, ක්‍රොන්යේ හට දැනුවත් කළේ එම අවස්ථාවේ දී ඔට්ටු ඇල්ලීමට අපහසු බව සහ ප්‍රමාද බවයි.

මාලන් අරෝන්ස්ටම් – Credit – BBC

මාලන් අරෝන්ස්ටම් ගේ සාක්ෂි

මාලන් පසුව කිං කොමිසම (King Commission) ඉදිරියේ දී සාක්ෂි දක්වමින් පැවසුවේ මෙම ක්‍රියාවලිය ඔහු පොරොන්දු වූ පරිදි නොවුනත් තරගයෙන් අනතුරුව ක්‍රොන්යේ හට මුදලින් රෑන්ඩ් 50,000 – 53,000 ක පමණ මුදලක් (දින දෙකක් තුල 20,000 සහ 30,000 බැගින්) සහ ලෙදර් ජැකට්ටුවක් ලබා දෙන ලද බවයි. මාලන් වැඩිදුරටත් පැවසුවේ එම මුදල ලබාදුන්නේ ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන්නට නියමිතව තිබු තුන්කොන් එක්දින තරගාවලියේ තොරතුරු ක්‍රොන්යේගෙන් ලබාගැනීම පිණිස බවයි.

මාලන් ඉහත සිදුවීම පැහැදිලි කරන අවස්ථාවක්

එමෙන්ම මාලන් අරෝන්ස්ටම් වැදගත් හෙළිදරව්වක් ඉදිරිපත් කළේ ය. එනම් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක හැන්සි ක්‍රොන්යේ සමඟ ප්‍රථම වරට සෑන්ඩ්ටන් සන් හෝටල් කාමරයේ දී හමුවීමෙන් අනතුරුව පැයක පමණ කාලයකින් අනතුරුව ක්‍රොන්යේ ඔහුට දුරකථනයෙන් කතාකළ බවයි. එහිදී ක්‍රොන්යේ, තමන් අන්තර්ජාතික ක්‍රිකට් තරගයක් පරාජය කරවීමට කැමැත්ත පලකළ බවට ඔහු කොමිසම ඉදිරියේ පැවසුවේ ය. එමෙන්ම දකුණු අප්‍රිකානු පිලේ හර්ෂල් ගිබ්ස්, නිකී බෝයේ සහ පීටර් ස්ට්‍රයිඩම්, ක්‍රොන්යේ ට පහසුවෙන් මෙම ක්‍රියාවලියට සම්බන්ධ කළ හැකි බවට ද ක්‍රොන්යේ පැවසු බව හෙළි කළේ ය.

තරගයේ ලකුණු සටහන – Credit – Dailymail

ක්‍රොන්යේගේ පාවා දීම මෙයින් අවසන් නොවීම කණගාටුවට කරුණක්. එවකට ක්‍රිකට් පිටියේ දැවැන්ත චරිතයක් වූ හැන්සි ක්‍රොන්යේ 1996 වසරින් පසු මෙලෙස​ අල්ලසක් ලබාගත්තේ ය. නමුත් ක්‍රොන්යේගේ ක්‍රිකට් දිවිය ට දැවැන්ත කළු පැල්ලමක් එල්ල වූයේ මේ තරඟාවලියෙන් පසු 2000 වසරේ ඉන්දියානු සංචාරය අතරතුර යි. එය ඊළඟ ලිපියෙන් ගෙන ඒමට අප සුදානම්.

කවරය – talkSPORT

Related Articles