Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරග පාවා දීම – ක්‍රොන්යේ සහ දිල්ලි පොලීසිය

2000 වසරේ මාර්තු මස 19 නාග්පූර් හි දී පැවති 5 වන එක්දින තරගය නිමා වූයේ තියුණු අන්දමිනි. මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල ලකුණු 320ක් රැස්කරගත් අතර ඉන්දියානු පිල පිළිතුරු ඉනිම ලෙස ලකුණු 310ක් රැස්කරගන්නා ලදී. හැන්සි ක්‍රොන්යේ ප්‍රමුඛ දකුණු අප්‍රිකාව තරගයෙන් ජයග්‍රහණය කළ ද තරගාවලියේ ජය ඉන්දියාවට හිමි වුයේ 3 – 2 ක් ලෙස යි.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර කෝචි හිදී පැවති එක්දින තරගය – credit – Getty Images

[පහත දින සමඟ සිදුවීම් උපුටා ගත් මුලාශ්‍රය – Wisden Cricket Monthly (June, 2000)]

මෙම තරගාවලියෙන් අනතුරුව අප්‍රේල් මස 7 වන දින දිල්ලි පොලීසිය බරපතළ අන්දමේ ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කරන ලදී. එනම් ඔවුන්, දකුණු අප්‍රිකානු නායක හැන්සි ක්‍රොන්යේ, නිකී බෝයේ, හර්ෂල් ගිබ්ස් සහ පීටර් ස්ට්‍රයිඩම් යන පුද්ගලයින්ට වංචාව, රැවටීම, තරග පාවා දීම සහ ඔට්ටු ඇල්ලීම ට එරෙහිව නඩු පවරන බවයි. එමෙන්ම දිල්ලි පොලිසිය, ක්‍රොන්යේ සහ එක් ව්‍යාපාරිකයෙක් අතර සිදුවූ සංවාදයක හඬපට කිහිපයක් ද නිකුත් කරන ලදී. සංජීව් චව්ලා නම් ව්‍යාපාරිකයා සමඟ ඇතිවන මේ සංවාද තුල ක්‍රොන්යේ විසින් ගිබ්ස්, බෝයේ, ස්ට්‍රයිඩම් යන ක්‍රීඩකයින්ගේ නම් ප්‍රකාශ කරමින්, ඔවුන් හැර අනෙකුත් ක්‍රීඩකයින් තරග පාවා දීමේ කටයුත්තට සහභාගී කරවා ගැනීමේ ගැටළු ඇති බව පැහැදිලිව සඳහන් කරයි.

සංජීව් චව්ලා – Credit – Indiatimes

දිල්ලි පොලිසියේ චෝදනාවට හැන්සි ක්‍රොන්යේ විරුද්ධ වන අතර ඔහුගේ සහයට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක අලි බැකර් ද මෙම චෝදනා පුස්සක් බව පවසමින් විරෝධතාවය දැක්වීය. එවකට ICC යේ සභාපති ධුරය දැරූ ජග්මොහන් දල්මියා පවසන ලද්දේ මෙම චෝදනා සියල්ල පිළිබඳ​ විනිවිද​භාවයකින් යුක්තව ICCය පරීක්ෂණ අරඹන බවයි.

මේ අතරතුර අප්‍රේල් මස 8 වන දා ඉන්දියාවේ ඔට්ටු අල්ලන්නෙකු වන රාජේශ් කල්රා නමැත්තෙක් India Today සඟරාවට හෙළිකළේ ඔහු ඇමෙරිකානු ඩොලර් 400,000 – 500,000 පමණ මුදලක් තරග පාවා දීම උදෙසා ක්‍රීඩකයින්ට ලබා දුන් බවයි.  මින් පසු දින එනම් අප්‍රේල් 9 වන දින ක්‍රොන්යේ මාධ්‍යය හමුවක් කැඳවූ අතර එහිදී ඔහු පැවසුවේ ඉන්දියානු තරගාවලිය අතරතුර ඔහුට කිසිදු මුදලක් පිටස්තරයින්ගෙන් නොලැබුණු බවත් ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් සමඟ තරග පාවාදීමක් පිලිබඳ සාකච්ඡා නොකරන ලද බවත් ය. ගිබ්ස් සහ බෝයේ දෙදෙනා ද පැවසුවේ තරග පාවා දීමක් පිලිබඳ ක්‍රොන්යේ කිසිදු අදහසක් ඔවුන්ට නොදැන්වූ අතර කිසිවෙකුත් ඔවුන් හට මුදල් ලබා නොදුන් බවයි.

හැන්සි ක්‍රොන්යේ – Credit – AFP

අප්‍රේල් 10 වන දින දිල්ලි අපරාධ අංශයේ ප්‍රධානි ප්‍රදීප් ශ්‍රීවස්තවා මාධ්‍යය වෙත දැක්වුයේ ක්‍රොන්යේ සහ චව්ලා අතර තරගාවලිය අතරතුර නිතරම සංවාදයන් සිදුවූ බවට පැහැදිලි සාක්ෂි ඇති බවයි. එමෙන්ම කල්රා නමැත්තා පොලිසියට සාක්ෂි දෙමින් පැවසුවේ කොචී හිදී පැවති එක්දින තරගය ඇමෙරිකානු ඩොලර් 300,000 කට වෙන්කළ බවත් එම තරගයේ දී දකුණු අප්‍රිකානුවන් ලකුණු 300 ට වඩා රැස්කිරීම නිසා ඔට්ටු අල්ලන්නන් දැවැන්ත ලෙස පාඩු ලැබූ බවත් ය.

අප්‍රේල් මස 11 එනම් අඟහරුවාදා දින පෙරවරු 3.00 ට පමණ ක්‍රොන්යේ, අලි බැකර් වෙත ට දුරකථන ඇමතුමක් ගෙන ඔහුගේ අවංක භාවය පිලිබඳ කණගාටු වන බවට පවසන ලදී. ඉන් අනතුරුව එදිනම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ක්‍රොන්යේ නායකත්ව තනතුරින් පහ කරන ලදී. එදිනම පස්වරුවේ පැවති මාධ්‍යය සාකච්ඡාවේ දී බැකර් පැවසුවේ ක්‍රොන්යේ මුදල් ලබාගෙන ඇති බවට පිළිගන්නා නමුත් තරග පාවා නොදුන් බවය. එමෙන්ම 2000 වසරේ මුල් භාගයේ දී පැවති තුන්කොන් එක්දින තරගාවලියේ දී ක්‍රොන්යේ ඇමෙරිකානු ඩොලර් 10,000 – 15,000 අතර ප්‍රමාණයක් ලබාගත් නමුත් එය තරග පාවා දීමකට නොවන බවත් බැකර් වැඩිදුරටත් පැවසුවේ ය. එමෙන්ම දකුණු අප්‍රිකාවේ නව නායකයා ලෙස ෂෝන් පොලොක් එදින පත්විය.

මෙම සිදුවීම් මාලාවත් සමඟම තරග පාවා දීම් පිලිබඳ දැවැන්ත කතාබහක් ඉන්දියානු මාධ්‍යය අතරත් ක්‍රීඩකයින් හා ප්‍රේක්ෂකයින් අතරත් හට ගැනින. එවකට හිටපු ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයෙක් වූ ඉන්ද්‍රජිත් සිං බින්ද්‍රා පැවසුවේ තරග පාවා දුන් හා ඔට්ටු ඇල්ලු ඉන්දීය ක්‍රීඩකයින් ද ඇති අතර ඉන්දීය ක්‍රිකට් ආයතනය ඔවුන් පිළිබඳව දැන සිටියත් ආරක්ෂා කරමින් සිටින බවයි. ක්‍රොන්යේගේ මුදල් ගණුදෙනුව පසුපස එවකට බොලිවුඩ් නළුවෙකුගේ (ක්‍රිෂාන් කුමාර්) සම්බන්ධයක් ද තිබීම මෙම ඔට්ටු අල්ලන්නන්ගේ සංවිධානාත්මකභාවය පිලිබඳ දළ අදහසක් ගත හැක.

මේ අතරතුර තවත් හඬ පටයක් නිකුත් වූ අතර එහිදී ක්‍රොන්යේ, අවසන් එක්දින තරගයේ ප්‍රථම ඕවර් කිහිපය ඔහු සහ දඟ පන්දු යවන්නා වූ ඩෙරෙක් කෘක්ස් යවන්නට නියමිත බවත්, නිත්‍ය පන්දුයවන්නන් නොවන ක්‍රීඩකයින් අතරින් කිහිපදෙනෙකුට පන්දුයවන්න අවස්ථා ලබා දෙන බවත් පැහැදිලිව පවසයි. ඒ අනුව අවසන් තරගයේ දී කෘක්ස් මුල් පන්දුවාර යැවූ බවත් කණ්ඩායමේ නිත්‍ය පන්දුයවන්නෙක් නොවන පීටර් ස්ට්‍රයිඩොම් ඕවර 10ම යැවූ බව ද අවසන් තරගයේ දත්ත නිරීක්ෂණයෙන් තහවුරු විය.

පීටර් ස්ට්‍රයිඩොම් – Credit – Getty Images

මෙම සිදුවීම් අතරතුර දකුණු අප්‍රිකාවේ ක්‍රොන්යේගේ අනුග්‍රාහකයින් ඔහුත් සමඟ ඇතිකළ ගිවිසුම් අවලංගු කර අත්හැර දමන ලද අතර 1996 වසරේ දී ක්‍රොන්යේ ප්‍රමුඛ ක්‍රීඩකයින් රැස්වූ ත්‍රිත්ව හමුව පිළිබඳව තොරතුරු ද කරළියට පැමිණෙන්නට විය. ඩෙරෙක් කෘක්ස් මාධ්‍යය වෙත අදහස් දක්වමින් පැවසුවේ තරගාවලියට පෙර ඔහු මුල් පන්දුවාර යවන බවට ඔහුට කිසිදු අදහසක් හෝ කැමැත්තක් නොතිබූ නමුත් අවසන් තරගයට පෙර ඔහුට මුල් පන්දුවාර යවන ලෙස කළ ඉල්ලීම විස්මජනක බවයි.

ඩෙරෙක් කෘක්ස් – Credit – Getty Images

අප්‍රේල් 16 වන දින තවත් බරපතළ ප්‍රකාශයක් බුකිකරු රාජේශ් කල්රා විසින් නිකුත් කරයි. එනම් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් අසරුදීන් ද තරග පාවාදී ඇති බවයි. එවකට ආදායම් බදු කොමසාරිස්වරයෙක් වූ V. ගුප්තා පැවසුවේ එක් ඉන්දීය ක්‍රීඩකයෙක් ඉන් මාස දෙකකට පෙර පවුම් මිලියන 2ක අධික මුදලක් හිමිකරගත් බවට තොරතුරු ඇති බවයි.

අප්‍රේල් 20 වන දින මුම්බායි පොලිසිය පැවසුවේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ඔට්ටු අල්ලන්නන් අතර ඇතිවූ දුරකථන සංවාද සටහන් කරගත් හඬපට කිහිපයක් ඇති බවත් ඉහල බලධාරීන් විසින් ඔවුන්ට එය නිකුත් නොකරන ලෙස බලපෑම් කරන බවත් ය. එමෙන්ම අප්‍රේල් මස 28 වන දින ඉන්දියානු ක්‍රීඩකයින් ද තරග පාවා දුන්නේ ද යන්න සොයාබැලීමට අපරාධ විමර්ශන කාර්යාංශය (CBI) පත්කරන්නට ඉන්දීය රජය තීරණය කළේ ය.

මෙම සිදුවීම් මාලාවත් සමඟ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින්, විනිසුරුවරුන් මුදල් ලබාදී තරග පාවාදීමකට ඇරයුම් කළ බවට තොරතුරු ලබාදෙන්නට විය. ඒ අතරින් කිහිපදෙනෙක් පහත වේ.

ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රෙග් පැවසුවේ ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනෙක් තරග පාවා දී ඇති බව
1996 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත කළමනාකරු වූ රේ ඉලින්ග්වර්ත් හට තරග පාවා දෙන ලෙස පකිස්තානු බුකිකරුවෙක් ඉල්ලීම් කළ බව
පකිස්තාන අධිකරණ විනිශ්චකරුවෙකු වන මලික් මොහම්මඩ් කයියුම්, පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මුදල් ගෙන තරග පාවාදුන් බවට සාක්ෂි තිබෙන බව
එංගලන්ත වේග පන්දු යවන්නෙකු වූ ක්‍රිස් ලෙවිස්, අශීම් ඛෙතර්පල් නමැත්තෙක් තරග පාවාදීමකට ඇරයුම් කිරීමට උත්සහ කළ බව සහ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මින් පෙර තරග පාවා දී ඇති බව
දකුණු අප්‍රිකානු විනිසුරු දෙපලක් වන සිරිල් මිචෙලි සහ රුඩි කර්ට්සන් දෙදෙනාටම මුදල් දී තරගයක තීරණ වෙනස්කරන ලෙස ඇරයුම් ලැබූ බවට පැවසීම
Sunday Times පුවත්පත හෙළි කළේ 1992 ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර මහානාම, ගුරුසිංහ සහ ජයසූරිය තිදෙනාටම මුදල් දී තරග තොරතුරු ලබාගැනීමට උත්සහ කළ බවත් ඒ ක්‍රීඩකයින් තිදෙනාම එයට විරෝධය පළ කළ බවයි.
ඕස්ට්‍රේලියාවේ හිටපු පිතිකරුවෙක් වූ ඩීන් ජෝන්ස් හටද ඇමෙරිකානු ඩොලර් 55,000 ක මුදලක් බිස්කට් ටින් එකක් තුල තැන්පත් කර ඔහුට ලබාදෙන්නට උත්සහ කළ බව ජෝන්ස් පවසන ලදී.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක කෙප්ලර් වෙසල්ස් පවසන අන්දමට ක්‍රොන්යේ තරග පාවා දෙන ලද්දේ 1996 ට ත් පෙර සිටයි. නමුත් වාර්තා වන අන්දමට 1994/95 තරග සමයේ දී ක්‍රොන්යේ හට මුදලක් ලබාදී තරග තොරතුරු ලබාදෙන ලෙස අයෙක් ඉල්ලා සිටියත් ක්‍රොන්යේ එයට එකඟ වී නැත.

2000 වසරේ දී දකුණු අප්‍රිකාවේ භෞතචිකිත්සක ලෙස කටයුතු කළ ක්‍රෙග් ස්මිත් මාධ්‍යයට කරුණු දක්වමින් පැවසුවේ අවසන් එක්දින තරගයට පෙර ක්‍රොන්යේ ඔහු හමුවූ බවත් හෙන්රි විලියම්ස් පන්දුයවන්නාගේ ශාරීරික යෝග්‍යතාවය සඳහා ධනාත්මක සහතිකයක් ලබාදෙන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කළ බවත්ය. මෙය සැකසහිත වූයේ හෙන්රි විලියම්ස් එම අවසන් තරගයේ මුල් ඕවර කිහිපය යවන අතරතුර ආබාධයකට ලක්වීමෙන්.

මේ සියලු සිදුවීම් සැලකිල්ලට ගෙන 2000 වසරේ මැයි මාසයේ දකුණු අප්‍රිකාවේ විශේෂ කොමිසමක් පත්කළ අතර ඔවුන් ක්‍රියාකළ අයුරු සහ එයට ක්‍රොන්යේ සහ අනෙකුත් ක්‍රීඩකයින් මුහුණ දුන් අයුරු ඊළඟ ලිපියෙන් ගෙන එන්නට අප සුදානම්.

කවරය – Credit – Getty Images

මුලාශ්‍ර:

Wisden Cricket Monthly (June, 2000)

Related Articles