Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ දී හමුවන සුපිරිම ක්‍රීඩකයන් පස් දෙනෙක්

1987 වසරේ ආරම්භ වුණු රග්බි ලෝක කුසලාන තරගාවලිය ලොව පුරා සිටින රග්බි ලෝලීන්ගේ අවධානය දිනාගත් තරගාවලියක්. රග්බි ලෝක කුසලාන ඉතිහාසය ගැන කතා කරන විට සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයන් රැසක් හමුවනවා. ඒ අතුරින් රග්බි ලෝක කුසලාන ඉතිහාසය තුළ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. එම නිසාම මෙම ලිපිය තුළින් රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් පස් දෙනා පිළිබඳව කතා කරනවා. 

ජොනී විල්කින්සන් (එංගලන්තය) – ලකුණු 277

ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකු ලෙසින් 1999-2011 කාල සීමාව තුළ රග්බි  ලෝක කුසලාන තරගාවලි 4කට සහභාගි වුණු විල්කින්සන් තරග 19ක දී ලබාගත් ලකුණු ප්‍රමාණය 277ක්. එම ලකුණු ලබාගැනීමේ දී උත්සාහක දිනුමක්, ප්‍රවර්තන 28ක්, දඬුවම් පහර 58ක් සහ ඩ්‍රොප් ගෝල් 14ක් සාර්ථක කරගැනීමට විල්කින්සන්ට හැකියාව ලැබුණා. එහිදී විල්කින්සන් සාර්ථක කරගත් දඬුවම් පහර 58 සහ ඩ්‍රොප් ගෝල 14 රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙකු සාර්ථක කරගත් වැඩිම දඬුවම් පහර ප්‍රමාණය සහ ඩ්‍රොප් ගෝල ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක්වනවා. 

1999 රග්බි ලෝක කුසලාන තරගාවලිය 

ජොනී විල්කින්සන් මුල්ම වරට රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණේ 1999 වසරේ දී යි. එවර තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත්වීමට සිදුවුණත් විල්කින්සන් දස්කම් අතරට පැමිණියා. එහිදී උත්සාහක දිනුමක්, දඬුවම් පහර 16ක්, සහ ප්‍රවර්තන 8ක් සමගින් ලකුණු 69ක් ලබාගත් විල්කින්සන් රග්බි ලෝක කුසලාන දිවියේ ලබාගත් එකම උත්සාහක දිනුම වාර්තා කළේ මෙම තරගාවලියේ දී යි.

2003 රග්බි ලෝක කුසලාන තරගාවලිය

2003 රග්බි ලෝක කුසලානය එංගලන්තයට ලබාදීමට විශාලම දායකත්වය ලබාදුන්නේ ජොනී විල්කින්සන් නම් සුපිරි ක්‍රීඩකයා යි. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුණු ඔහු අවසන් තරගයේ ජයග්‍රාහී ලකුණ ඩ්‍රොප් ගෝලයක් මඟින් ලබාගත්තේ ප්‍රතිවාදීන්ව මවිත කරමින්. සමස්ත තරගාවලිය පුරාවටම සුපිරි දස්කම් දැක්වූ  මෙම ක්‍රීඩකයා එහිදී දඬුවම් පහර 23ක්, ප්‍රවර්තන 10ක්, සහ ඩ්‍රොප් ගෝල 8ක් සමගින් ලබාගත් ලකුණු ප්‍රමාණය 113ක්. එහිදී විල්කින්සන් ලබාගත් ඩ්‍රොප් ගෝල 8 රග්බි ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම ඩ්‍රොප් ගෝල ප්‍රමාණය යි.

2007 රග්බි ලෝක කුසලාන තරගාවලිය

2007 රග්බි ලෝක කුසලාන තරගාවලිය තුළදී විල්කින්සන් ලකුණු 67ක් ලබාගත්තේ ප්‍රවර්තන 5ක්, දඬුවම් පහර 14ක් සහ ඩ්‍රොප් ගෝල 5ක් මඟින්. එදා එංගලන්තය රග්බි ලෝක කුසලාන අවසන් තරගය සඳහා රැගෙන යාමට විශාල මෙහෙයක් ඉටුකළ විල්කින්සන් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ දී කණ්ඩායම ලබාගත් ලකුණු 12හි ම හිමිකරුවා වුණා. ඉන් අනතුරුව ප්‍රංශයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ 74 වැනි විනාඩිය අවසන් වන විට එංගලන්තය 9-8ක් ලෙස පිටුපසින් සිටියා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු විල්කින්සන් ඩ්‍රොප් ගෝලයක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගත්තේ එංගලන්ත ජය තහවුරු කරමින් 

2011 රග්බි ලෝක කුසලාන තරගාවලිය 

2011 රග්බි ලෝක කුසලාන තරගාවලිය තුළ විල්කින්සන්ට සුපුරුදු දස්කම් දැක්වීමට හැකිවුණේ නැහැ. එම නිසාම ප්‍රවර්තන 5ක්, දඩුවම් පහර 5ක් සහ ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කරගනිමින් ඔහු ලබාගත්තේ ලකුණු 28ක් පමණ යි.

2003 රග්බි ලෝක කුසලාන අවසන් තරගයේ විල්කින්සන් දස්කම් දැක්වූ ආකාරය (gettyimages)

ගැවින් හේස්ටින්ස් (ස්කොට්ලන්තය) – ලකුණු 227

පුල්බැක් ක්‍රීඩකයෙකු ලෙසින් 1987-1995 කාල සීමාව තුළ රග්බි ලෝක කුසලාන තරගාවලි 3කට සහභාගි වුණු හේස්ටින්ස් තරග 13ක දී ලබාගත් ලකුණු ප්‍රමාණය 227ක්. එහිදී උත්සාහක දිනුම් 9ක්, ප්‍රවර්තන 39ක් සහ දඬුවම් පහර 36ක් මඟින් ඔහු එම ලකුණු 227 ලබාගත්තා.

1987 රග්බි ලෝක කුසලාන තරගාවලිය

1987 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ස්කොට්ලන්තයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. එහිදී ස්කොට්ලන්තය වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ හේස්ටින්ස් උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්තන 16ක් සහ දඬුවම් පහර 6ක් සාර්ථක කරගනිමින් ලබාගත් ලකුණු ප්‍රමාණය 62ක්.

1991 රග්බි ලෝක කුසලාන තරගාවලිය

1991 රග්බි ලෝක කුසලාන තරගාවලිය තුළ කැපීපෙණෙන දස්කම් දැක්වූ ස්කොට්ලන්තය අවසන් පූර්ව වටය දක්වා පැමිණියා. එලෙස ස්කොට්ලන්තය අවසන් පූර්ව වටය දක්වා රැගෙන යාමට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ හේස්ටින්ස් උත්සාහක දිනුමක්, ප්‍රවර්තන 9ක් සහ දඬුවම් පහර 13ක් සමගින් ලකුණු 61ක් ලබාගත්තා. 

1995 රග්බි ලෝක කුසලාන තරගාවලිය

මෙම තරගාවලිය හේස්ටින්ස්ගේ රග්බි ලෝක කුසලාන දිවියේ අමතක නොවන තරගාවලියක් වුණා. එහිදී උත්සාහක දිනුම් 5ක්, ප්‍රවර්තන 14ක් සහ දඬුවම් පහර 17ක් සමගින් ඔහු ලබාගත් ලකුණු ප්‍රමාණය 104ක්. එම ලකුණු ලබාගැනීමේ දී අයිවරි කෝස්ට් කණ්ඩායමට එරෙහිව උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්තන 9ක් සහ දඬුවම් පහර 2ක් මඟින් ලකුණු 44ක් ලබාගැනීමට හේස්ටින්ස් සමත් වුණා.

1995 තරගාවලියේ දී හේස්ටින්ස් දස්කම් දක්වමින් (gettyimages)

මයිකල් ලිනාග් (ඕස්ට්‍රේලියාව) – ලකුණු 195

ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකු ලෙසින් 1987-1995 කාල සීමාව තුළ රග්බි  ලෝක කුසලාන තරගාවලි 3කට සහභාගි වුණු ලිනාග් තරග 15කදී ලබාගත් ලකුණු ප්‍රමාණය 195ක්. එම ලකුණු ලබාගැනීමේ දී උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්තන 36ක්, දඬුවම් පහර 33ක් සහ ඩ්‍රොප් ගෝල් 2ක් සාර්ථක කරගැනීමට ලිනාග්ට හැකිවුණා.

1987 රග්බි ලෝක කුසලාන තරගාවලිය

1987 රග්බි ලෝක කුසලාන තරගාවලිය තුළ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ඕස්ට්‍රේලියාවට හැකිවුණා. එහිදී ලිනාග් උත්සාහක දිනුමක්, ප්‍රවර්තන 20ක්, දඬුවම් පහර 12ක්  සහ ඩ්‍රොප් ගෝල 2ක් සමගින් ලකුණු 82ක් ලබාගත්තා. 

1991 රග්බි ලෝක කුසලාන තරගාවලිය

1991 වසරේ දී රග්බි ලෝක කුසලානය සිය රටට දිනාදීමට විශාල මෙහෙවරක් කළ ලිනාග් එහිදී සිය කණ්ඩායම ලබාගත් ලකුණු 126න් 66ක ම උරුමකරුවා වුණේ දඬුවම් පහර 12ක්, ප්‍රවර්තන 11ක් සහ උත්සාහක දිනුම් 2ක් සාර්ථක කරගනිමින්. එදා 19-18ක් ලෙස අයර්ලන්තය හමුවේ ජයග්‍රහණය කළ අර්ධ අවසන් පූර්ව තරගයේ දී ලකුණු 11ක් ලබාගත් ලිනාග් අවසන් සහ අවසන් පූර්ව තරගවල දී ලකුණු 8 බැගින් ලබාගත්තේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින්.

1995 රග්බි ලෝක කුසලාන තරගාවලිය

1995 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී  ඕස්ට්‍රේලියාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. එහිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දස්කම් දැක්වූ ලිනාග් උත්සාහක දිනුම් 2ක්, ප්‍රවර්තන 5ක් සහ දඬුවම් පහර 9ක් සාර්ථක කරගනිමින් ලබාගත් ලකුණු ප්‍රමාණය 47ක්.

1991 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී ලිනාග් දස්කම් දක්වමින් (gettyimages)

ඩෑන් කාටර්  (නවසීලන්තය) – ලකුණු 191

ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකු ලෙසින් 2003-2015 කාල සීමාව තුළ රග්බි ලෝක කුසලාන තරගාවලි 4කට සහභාගි වුණු කාටර් තරග 15ක දී ලබාගත් ලකුණු ප්‍රමාණය 195ක්. එම ලකුණු ලබාගැනීමේ දී උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්තන 58ක්, දඬුවම් පහර 17ක් සහ ඩ්‍රොප් ගෝල් 3ක් සාර්ථක කරගැනීමට කාටර්ට හැකියාව ලැබුණා. එහිදී කාටර් සාර්ථක කරගත් ප්‍රවර්තන 58 රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙකු සාර්ථක කරගත් වැඩිම ප්‍රවර්තන ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක්වනවා. 

2003 රග්බි ලෝක කුසලාන තරගාවලිය 

2003 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට නවසීලන්තයට හැකිවුණා. එහිදී නවසීලන්තය වෙනුවෙන් කාටර් උත්සාහක දිනුම් 2ක් සහ ප්‍රවර්තන 19ක් සාර්ථක කරගනිමින් ලබාගත් ලකුණු ප්‍රමාණය 48ක්.

2007 රග්බි ලෝක කුසලාන තරගාවලිය 

2007 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී නවසීලන්තයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. එහිදී නවසීලන්තය වෙනුවෙන් දස්කම් දැක්වූ කාටර් උත්සාහක දිනුම් 1ක්, ප්‍රවර්තන 10ක් සහ දඬුවම් පහර 5ක් සාර්ථක කරගනිමින් ලබාගත් ලකුණු ප්‍රමාණය 40ක්.

2011 රග්බි ලෝක කුසලාන තරගාවලිය 

2011 වසරේ දී දෙවන වරටත් රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට නවසීලන්තයට හැකිවුණා. නමුත් කාටර්ට තරගාවලිය අතරතුර ඇතිවුණු ආබාධයක් නිසා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. එම නිසාම සුපුරුදු දස්කම් පෙන්වීමට අසමත් වුණු කාටර් ප්‍රවර්තන 6ක්, දඬුවම් පහර 2ක් සහ ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කරගනිමින් ලබාගත්තේ ලකුණු 21ක් පමණ යි.

2015 රග්බි ලෝක කුසලාන තරගාවලිය 

2015 වසරේ දී පිට පිටම දෙවන වරටත් රග්බි ලෝක කුසලානය නවසීලන්තයට ලබාදීම සඳහා ඉහළම දායකත්වයක් ලබාදුන්නේ ඩෑන් කාටර් නම් ඒ සුපිරි ක්‍රීඩකයා යි. එහිදී ප්‍රවර්තන 23ක්, දඬුවම් පහර 10ක් සහ ඩ්‍රොප් ගෝල 2ක් සාර්ථක කරගනිමින් ලකුණු 82ක් ලබාගත් කාටර් අවසන් සහ අවසන් පූර්ව තරගවල දී සුපිරි දස්කම් දැක්වුවා. 

2015 තරගාවලියේ දී කාටර්  දස්කම් දක්වමින් (gettyimages)

ග්‍රාන්ට් ෆොක්ස්  (නවසීලන්තය) – ලකුණු 170

ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකු ලෙසින් 1987-1991 කාල සීමාව තුළ රග්බි ලෝක කුසලාන තරගාවලි 2කට සහභාගි වුණු ෆොක්ස් තරග 05ක දී ලබාගත් ලකුණු ප්‍රමාණය 170ක්. එම ලකුණු ලබාගැනීමේ දී ප්‍රවර්තන 37ක්, දඬුවම් පහර 31ක් සහ ඩ්‍රොප් ගෝල් 1ක් සාර්ථක කරගැනීමට ෆොක්ස් සමත්වුණා.

1987 රග්බි ලෝක කුසලාන තරගාවලිය

1987 රග්බි ලෝක කුසලාන තරගාවලියේ කැපීපෙණෙන ක්‍රීඩකයා බවට පත්වුණු ෆොක්ස් එහිදී ලකුණු 126ක් ලබාගත්තේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින්. එහිදී ප්‍රවර්තන 30ක්, දඬුවම් පහර 21ක් සහ ඩ්‍රොප් ගෝලයක් මඟින් ෆොක්ස් එම ලකුණු 126 ලබාගත්තා. එදා ෆොක්ස් ලබාගත් ලකුණු 126 තනි රග්බි ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් තවමත් වාර්තා අතර රැඳී තිබෙනවා. එසේම තනි රග්බි ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩකයෙකු වාර්තා කරගත් වැඩිම ප්‍රවර්තන ප්‍රමාණය වන්නේ ෆොක්ස් සාර්ථක කරගත් ප්‍රවර්තන 30යි. තරගාවලිය පුරාවට ෆොක්ස් දැක්වූ සුපිරි දස්කම් නිසා එදා නවසීලන්තයට මංගල රග්බි ලෝක කුසලානය දිනාගැනීමට හැකිවුණා.

1991 රග්බි ලෝක කුසලාන තරගාවලිය 

1991 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට නවසීලන්තයට හැකිවුණා. එහිදී නවසීලන්තය වෙනුවෙන් ෆොක්ස් ලකුණු 44ක් ලබාගත්තේ ප්‍රවර්තන 7ක් සහ දඬුවම් පහර 10ක් සාර්ථක කරගනිමින්.

ෆොක්ස් 1987 ලෝක කුසලාන අවසන් තරගයේ දී දස්කම් දක්වමින් (gettyimages)

කවරයේ ඡායාරූපය - විල්කින්සන් 2003 ලෝක කුසලාන තරගාවලිය අතරතුර (gettyimages)

Related Articles