Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් ඉතිහාසයේ සත්කාරක රටවල දස්කම් විස්කම්

ඔලිම්පික් උළෙලක සත්කාරකත්වය හිමිවීම ඕනෑ ම රටක් ලබන විශාල ජයග්‍රහණයක්. ඒ අයුරින් ඔලිම්පික් සත්කාරකත්වය හිමි වන රටවල්වලට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් ඔලිම්පික් උළෙලට සහභාගි කරවීමට අවස්ථාව ලැබෙනවා. එලෙස තරගවලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හුරු පුරුදු පරිසරයක ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වීම අමතර වාසියක්. එනිසා බොහෝ අවස්ථාවල දී සත්කාරක රට ඔලිම්පික් පදක්කම් සටහනේ සැලකිය යුතු පදක්කම් ප්‍රමාණයක් හිමි කර ගන්නවා. නමුත් ඔලිම්පික් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී වැඩි දස්කම් පෙන්වීමට නොහැකි වුණු සත්කාරක රටවල් ද හමුවනවා. මේ ඔබ වෙත ගෙන එන්නේ ඔලිම්පික් තරග ඉතිහාසයේ සත්කාරක රටවල් පෑ හපන්කම් පිළිබඳව යි. 

ඔලිම්පික් සත්කාරකත්වය හිමිවුණු රටවල් සහ නගර 

මෙවර ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වෙන්නේ 32 වන ගිම්හාන ඔලිම්පික් ඔලිම්පික් උළෙල යි. පසුගිය වසර 125 ඇතුළත ඔලිම්පික් උළෙල අවලංගු වුණේ අවස්ථා තුනක දී පමණ යි. එලෙස ඔලිම්පික් උළෙල පැවැත්වීමට නොහැකි වුණේ ලෝක යුද්ධවලින් ඇතිවුණු බලපෑම නිසා යි. පහත දක්වා තිබෙන්නේ මේ දක්වා ගිම්හාන ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය ලබා දුන් රටවල් සහ නගර පිළිබඳව යි. 

1896- ග්‍රීසියේ ඇතන්ස්                              1900- ප්‍රංශයේ පැරිස් 

1904- අමෙරිකාවේ ශාන්ත ලුයිස්                 1908- බ්‍රිතාන්‍යයේ ලන්ඩන් 

1912- ස්වීඩනයේ ස්ටොක්හෝම්                 1916- පැවැත්වුණේ නැහැ 

1920- බෙල්ජියමේ ඇන්ට්වර්ප්                   1924- ප්‍රංශයේ පැරිස් 

1928- නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්           1932- අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් 

1936-ජර්මනියේ බර්ලින්                            1940- පැවැත්වුණේ නැහැ 

1944- පැවැත්වුණේ නැහැ                          1948- මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන්                         

1952- පින්ලන්තයේ හෙල්සින්කි                 1956- ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්                 

1960- ඉතාලියේ රෝමය                            1964- ජපානයේ ටෝකියෝ                        

1968- මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි         1972- බටහිර ජර්මනියේ මියුනිච්                  

1976- කැනඩාවේ මොන්ට්‍රියල්                     1980- සෝවියට් රුසියාවේ මොස්කව්            

1984-  අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්             1988- දකුණු කොරියාවේ සෝල්                  

1992- ස්පාඤ්ඤයේ බාසිලෝනා                   1996- අමෙරිකාවේ ඇට්ලන්ටා                      

2000- ඕස්ට්‍රේලියාවේ සිඩ්නි                         2004- ග්‍රීසියේ ඇතන්ස්                                

2008- චීනයේ බීජිං                                     2012- මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන්                         

2016- බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ               2020- ජපානයේ ටෝකියෝ 

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ අවස්ථාවක්
1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ අවස්ථාවක් – gettyimages

පදක්කම් සටහනේ පෙරමුණ ගත් සත්කාරක රටවල් 

එදාමෙදාතුර පැවති ඔලිම්පික් තරගාවලිවල දී සත්කාරක රටට පදක්කම් සටහනේ පෙරමුණ ලබාගැනීමට හැකි ව තිබෙන්නේ අවස්ථා 9ක දී පමණ යි. ඉන් අවස්ථා 4ක දී එම දස්කම දක්වා තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදය යි. ඒ අයුරින් සත්කාරක රට ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු ස්ථානය ලබාගත් අවස්ථා 9 පහත ආකාරයට දක්වන්නට පුළුවන්. 

1900- ප්‍රංශය  (සමස්ත පදක්කම්- 112)

1904- අමෙරිකාව (සමස්ත පදක්කම්- 234)

1908- මහා බ්‍රිතාන්‍යය (සමස්ත පදක්කම්- 146)

1932- අමෙරිකාව (සමස්ත පදක්කම්- 103)

1936- ජර්මනිය (සමස්ත පදක්කම්- 89)

1980- සෝවියට් රුසියාව (සමස්ත පදක්කම්- 195)

1984- අමෙරිකාව (සමස්ත පදක්කම්- 174)

1996- අමෙරිකාව (සමස්ත පදක්කම්- 101)

2008- චීනය (සමස්ත පදක්කම්- 100)

මොස්කව් ඔලිම්පික් උළෙලේ දී දස්කම් දැක්වූ සෝවියට් රුසියානුවන්
මොස්කව් ඔලිම්පික් උළෙලේ දී දස්කම් දැක්වූ සෝවියට් රුසියානුවන් – gettyimages

සත්කාරක රට මුල් ස්ථාන තුන අතරට පත්වුණු අවස්ථා 

ඔලිම්පික් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී සත්කාරක රට මුල් ස්ථාන තුන අතරට පත්වුණු අවස්ථා 7ක් හමු වනවා. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වුණු ඔලිම්පික් තරගාවලි 28න් 16ක දී සත්කාරක රට පදක්කම් සටහනේ මුල් ස්ථාන තුන අතරට පැමිණ තිබෙනවා. පහත දක්වා ඇත්තේ සත්කාරක රට පදක්කම් සටහනේ දෙවන සහ තුන්වන ස්ථාන දිනාගත් අවස්ථා පිළිබඳව යි.

1896- ග්‍රීසිය (රන්- 10, රිදී- 17, ලෝකඩ- 19)- දෙවන ස්ථානය 

1912- ස්වීඩනය (රන්- 24, රිදී- 24, ලෝකඩ- 17)- දෙවන ස්ථානය 

1924- ප්‍රංශය (රන්- 13, රිදී- 15, ලෝකඩ- 10)- තෙවන ස්ථානය 

1956- ඕස්ට්‍රේලියාව (රන්- 13, රිදී- 8, ලෝකඩ- 14)- තෙවන ස්ථානය 

1960- ඉතාලිය (රන්- 13, රිදී- 10, ලෝකඩ- 13)- තෙවන ස්ථානය 

1964- ජපානය (රන්- 16, රිදී- 5, ලෝකඩ- 8)- තෙවන ස්ථානය 

2012- මහා බ්‍රිතාන්‍ය (රන්- 29, රිදී- 17, ලෝකඩ- 19)- තෙවන ස්ථානය 

ඉහත අවස්ථා හතේ දී දෙවන ස්ථානය දිනා ගෙන සිටින ග්‍රීසිය සහ ස්වීඩනය, පළමු ස්ථානය ලබා ගත් රටට වඩා එක් රන් පදක්කමක් පමණක් පිටුපසින් සිටි බව මෙහි දී විශේෂයෙන් ම සිහිපත් කළ යුතුයි. 

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් මෙල්බර්න් ඔලිම්පික් උළෙලේ දී දස්කම් දක්වමින්
ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් මෙල්බර්න් ඔලිම්පික් උළෙලේ දී දස්කම් දක්වමින් – gettyimages

 

සත්කාරක රට පදක්කම් සටහනේ පසුපසට ගිය අවස්ථා 

ඔලිම්පික් තරග ඉතිහාසයේ බොහෝ අවස්ථාවල දී සත්කාරක රට පදක්කම් සටහනේ ඉදිරියට පැමිණියා. එසේ නොවුණු අවස්ථා කිහිපයක් ද තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ සත්කාරක රට ඔලිම්පික් පදක්කම් සටහනේ මුල් ස්ථාන 10ට ඇතුළත් නොවුණු අවස්ථා පිළිබඳව යි.

1948- මහා බ්‍රිතාන්‍ය (සමස්ත පදක්කම්- 23)- 12 වන ස්ථානය 

2016- බ්‍රසීලය (සමස්ත පදක්කම්- 19)- 13 වන ස්ථානය 

2004- ග්‍රීසිය (සමස්ත පදක්කම්- 16)- 15 වන ස්ථානය 

1968- මෙක්සිකෝව (සමස්ත පදක්කම්- 9)- 15 වන ස්ථානය 

1976- කැනඩාව (සමස්ත පදක්කම්- 11)- 27 වන ස්ථානය 

1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අවස්ථාවක්
1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අවස්ථාවක් – gettyimages

වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් සත්කාරක රටවල් 

වසර 125ක ඔලිම්පික් තරග ඉතිහාසයේ සත්කාරක රට රන් පදක්කම් 75කට වඩා ලබාගත් අවස්ථා 3ක් හමුවනවා. පහත දක්වා තිබෙන්නේ ඒ පිළිබඳව යි.

අමෙරිකාව (1984 ඔලිම්පික් තරගාවලිය)- රන් පදක්කම් 83යි 

1984 ඔලිම්පික් තරගාවලිය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී පැවැත්වුණා. එම කාලය වන විට ඔලිම්පික් බිමේ දී අමෙරිකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිටි සෝවියට් රුසියාව සහ නැගෙනහිර ජර්මනිය මෙම ඔලිම්පික් තරගාවලිය වර්ජනය කළා. එනිසා අමෙරිකාවට රන් පදක්කම් 83ක් දිනා ගැනීමට අවස්ථාව ලැබුණා. එහි දී අමෙරිකාවට පිහිනුම් ක්‍රීඩාවෙන් රන් පදක්කම් 21ක් ද, මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 16ක් ද හිමි වුණා. ඒ අයුරින් අමෙරිකාව පදක්කම් සටහනේ පළමු ස්ථානය දිනාගනිද් දී එහි දෙවන තැනට පත් වුණු රුමේනියාවට හිමිවුණේ රන් පදක්කම් 20ක් පමණ යි.

සෝවියට් රුසියාව (1980 ඔලිම්පික් තරගාවලිය)- රන් පදක්කම් 80යි

ඔලිම්පික් තරග ඉතිහාසයේ වැඩිම රටවල් පිරිසක් වර්ජනය කළේ 1980 මොස්කව් ඔලිම්පික් තරගාවලිය යි. එදා අමෙරිකාව ඇතුළු රටවල් 65ක් තරගාවලිය වර්ජනය කළ නිසා එවර ඔලිම්පික් උළෙලට සහභාගි වුණේ සෝවියට් රුසියාව සහ නැගෙනහිර ජර්මනිය යන ප්‍රබල රටවල් දෙක පමණ යි. එනිසා සත්කාරක රට ලෙසින් කටයුතු කළ සෝවියට් රුසියාවට රන් පදක්කම් 80ක් ලබාගැනීමට හැකියාව ලැබුණා. එදා සෝවියට් රුසියාව මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 15ක් දිනාගනිද්දී, මල්ලව පොර ඉසව්වලින් තවත් රන් පදක්කම් 12ක් හිමි වුණා. එලෙස සෝවියට් රුසියාව වැඩි පදක්කම් ප්‍රමාණයක් දිනාගනිද්දී පදක්කම් සටහනේ දෙවන ස්ථානය දිනාගත් නැගෙනහිර ජර්මනියට රන් පදක්කම් 47ක් හිමිවුණා.

අමෙරිකාව (1904 ඔලිම්පික් තරගාවලිය)- රන් පදක්කම් 78යි 

ඔලිම්පික් උළෙලක දී වැඩිම රන් පදක්කම් ප්‍රතිශතයක් දිනා ගත් රට ලෙසින් ඉතිහාසගත වුණේ අමෙරිකාව යි. 1904 ඔලිම්පික් උළෙලේ සත්කාරක රට ලෙස කටයුතු කරමින් ඔවුන් එම දස්කම දැක්වීමට සමත් වුණා. ඒ සමස්ත ඔලිම්පික් රන් පදක්කම් 96න් 78ක්ම ජයග්‍රහණය කරමින්. එහි දී අමෙරිකාවට වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් මලල ක්‍රීඩාවෙන් හිමි වුණා. ඒ රන් පදක්කම් 14ක්. එදා අමෙරිකාව පළමු ස්ථානයට පත්වෙද්දී දෙවන ස්ථානය දිනා ගත් ජර්මනියට හිමි වුණේ රන් පදක්කම් 4ක් පමණ යි.

1984 ඔලිම්පික් උළෙලේ දී හපන්කම් පෑ ඇමරිකානුවන්
1984 ඔලිම්පික් උළෙලේ දී හපන්කම් පෑ අමෙරිකාව –  gettyimages

 

අඩුම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් සත්කාරක රටවල් 

ඔලිම්පික් තරග ඉතිහාසයේ සත්කාරක රට රන් පදක්කම් 5කටත් වඩා අඩුවෙන් ලබාගත් අවස්ථා 3ක් හමු වනවා. පහත දක්වා තිබෙන්නේ එම ඔලිම්පික් තරගාවල දී සත්කාරක රට පසුබෑමට ලක්වුණු ආකාරය පිළිබඳව යි. 

කැනඩාව (1976 ඔලිම්පික් තරගාවලිය)- රන් පදක්කම් 0යි 

1976 මොන්ට්‍රියල් ඔලිම්පික් තරගාවලියේ දී සත්කාරක රට ලෙසින් කටයුතු කළ කැනඩාවට එක ම එක රන් පදක්කමක්වත් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. එදා ඔවුන්ට දිනාගැනීමට හැකිවුණේ රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 6ක් පමණ යි. එදා ඔවුන්ට පදක්කම් සටහනේ 27 වැනි ස්ථානය දක්වා පල්ලම් බැසීමට සිදුවුණා. 

මෙක්සිකෝව (1968 ඔලිම්පික් තරගාවලිය)- රන් පදක්කම් 3යි 

1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ සත්කාරක රට ලෙසින් කටයුතු කළ මෙක්සිකෝවට රන් පදක්කම් 3ක් හිමි වුණා. ඔවුන් එම රන් පදක්කම් දිනා ගත්තේ බොක්සිං සහ පිහිනුම් යන ක්‍රීඩා යටතේ යි. ඊට අමතර ව තවත් රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් 13ක් දිනා ගත් මෙක්සිකෝවට සමස්ත පදක්කම් සටහනේ හිමි ව තිබුණේ 15 වැනි ස්ථානය යි.

මහා බ්‍රිතාන්‍යය (1948 ඔලිම්පික් තරගාවලිය)- රන් පදක්කම් 3යි 

1948 ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය ලබාදුන් මහා බ්‍රිතාන්‍යය යි. එවර ඔලිම්පික් උළෙලේ දී ඔවුන්ට හිමි වුණේ රන් පදක්කම් 3ක් පමණ යි. ඒ ඔරු පැදීම සහ රුවල් ඔරු තරග යන ක්‍රීඩා ඉසව් යටතේ යි. ඔවුන් තවත් රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනාගත්ත ද පදක්කම් සටහනේ උරුම වුණේ 12 වන ස්ථානය යි. 

කවරයේ ඡායාරූපය: 1984 ඔලිම්පික් තරගාවලියේ දස්කම් දැක්වූ අමෙරිකානුවෝ - gettyimages 

මූලාශ්‍ර:

olympic.com 

Related Articles