Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022/23 චැම්පියන්ස් ලීග් අවසන් 16 වටය විසඳුණු අයුරු

2022/23 යුරෝපීය පාපන්දු තරගවාරය මේ වන විට ක්‍රම ක්‍රමයෙන් අවසානය දක්වා ළඟා වෙමින් පවතිනවා. යුරෝපීය පාපන්දුවේ ක්‍රීඩා සමාජයකට ජයග්‍රහණය කළ හැකි ඉහළත ම කිරුළ වන්නේ චැම්පියන්ස් ලීග් ශූරතාව යි. එහි අවසන් 16 දෙනාගේ වටයේ තරග පසුගියදා නිමාව දුටුවා.

එම තරග ජයග්‍රහණය කළ කණ්ඩායම් 8 ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. යුරෝපය තුළ තිබෙන දහස් ගණනක් වූ පාපන්දු ක්‍රීඩා සමාජ අතරින් චැම්පියන්ස් ලීග් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නේ කණ්ඩායම් 32 ක් පමණ යි.

පසුගිය තරගවාරයේ චැම්පියන්ස් ලීග් කිරුළ ජයග්‍රහණය කළ රියාල් මැඩ්රීඩ් කණ්ඩායම – www.marca.com

ඒ කණ්ඩායම් කාණ්ඩ 8 කට බෙදී තරග වදින අතර එක් කාණ්ඩයකින් 2 බැගින් කණ්ඩායම් 16 ක් පිළිමළුන් පිටු දැකීමේ වටයට සුදුසුකම් ලබා ගන්නවා. තමන්ගේ ක්‍රීඩාංගණයේ (Home) එක් තරගයක් සහ ප්‍රතිවාදී ක්‍රීඩාංගණයේ (Away) එක් තරගයක් වශයෙන් තරග දෙකක් එක වටයකට අයත්. එම තරග ද්විත්වයෙන් ම ගෝල අතරින් වැඩි ම ගෝල ලබා ගන්නා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා. එලෙස සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 16 අතරේ පහත පරිදි තරග ක්‍රියාත්මක වුණා.

ලිවර්පූල් සහ රියාල් මැඩ්රීඩ්

2021/22 චැම්පියන්ස් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසුණු ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රීඩ් සහ එංගලන්තයේ ලිවර්පූල් මෙවර අවසන් 16 දෙනාගේ වටයේ දී හමුවුණා. පසුගිය වතාවේ ගෝල 1-0 කින් ලිවර්පූල් පරාජය කර ශූරතාව දිනා ගත්තේ ද රියාල් මැඩ්රීඩ් කණ්ඩායම යි. ලිවර්පූල් හි පැවති පළමු අදියරේ තරගයේ විනාඩි 14 ක් ඉක්ම යන විට ගෝල 2-0 ක් ලෙසින් ඉදිරියට පැමිණීමට ලිවර්පූල් සමත් වුණා.

රියාල් මැඩ්රීඩ් ප්‍රහාරය හමුවේ ලිවර්පූල් පසු බැස්සා – www.bbc.com

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ රියාල් මැඩ්රීඩ් ක්‍රීඩකයන් වන විනිසියස් ජූනියර් සහ කරීම් බෙන්සෙමා ගෝල ද්විත්වය බැගින් වාර්තා කළා. එඩර් මිලිටාවෝ ලබාගත් ගෝලයත් සමග රියාල් මැඩ්රීඩ් පළමු අදියර ගෝල 5-2 ක සාර්ථක ජයග්‍රහණයක් සමග අවසන් කළා. එහි දෙවන අදියරේ තරගයේ දී කරීම් බෙන්සෙමා ලබාගත් එකම ගෝලය හේතුවෙන් පහසු ජයග්‍රහණයක් ලබා මෙවර ද අවසන් 8 දෙනා දක්වා රියාල් මැඩ්රීඩ් සුදුසුකම් ලබා ගත්තා.

සමස්ත ප්‍රතිඵලය

ලිවර්පූල් 2-5 රියාල් මැඩ්රීඩ් (පළමු අදියර)
රියාල් මැඩ්රීඩ් 1-0 ලිවර්පූල් (දෙවන අදියර)
රියාල් මැඩ්රීඩ්ට ගෝල 6-2 ක ජයක්

බොරුසියා ඩොර්ට්මුන්ඩ් සහ චෙල්සි

ජර්මනියේ බොරුසියා ඩොර්ට්මුන්ඩ් කණ්ඩායම 2023 නව වසර තුළ විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන සිටින කණ්ඩායමක්. එමෙන් ම එංගලන්තයේ චෙල්සි මෙවර ලීගයේ 10 වන තැන දක්වා පසුබැස තිබෙනවා. ඩොර්ට්මුන්ඩ් හී දි දෙපිල හමුවූ පළමු තරගයෙන් ගෝල 1-0 ක ජයක් ලබා ගැනීමට බොරුසියා ඩොර්ට්මුන්ඩ් සමත් වුණා. 65 වන විනාඩියේ දී කරීම් අඩෙයාමි එම ගෝලය වාර්තා කළා.

ගෝලයක් සමරන චෙල්සි ක්‍රීඩකයෝ – www.espn.com

දෙවන අදියර ලන්ඩන් නුවර පැවැත්වුණ අතර චෙල්සි ක්‍රීඩකයන් සටන්කාමී ව එම තරගය ට ප්‍රවිෂ්ට වුණා. 43 වන විනාඩියේදී රහීම් ස්ටර්ලින් සහ 53 වන විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් කායි හැවෙර්ට්ස් ලබා ගත් ගෝල හේතුවෙන් චෙල්සි දෙවන අදියර ගෝල 2-0 ජයග්‍රහණය කළේ ඔවුන් අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබමින්. අසාර්ථක තරග සමයක ලබාගත් මෙම ජයග්‍රහණය චෙල්සි හට විශාල අස්වැසිල්ලක් වුණා.

සමස්ත ප්‍රතිඵලය

බොරුසියා ඩොර්ට්මුන්ඩ් 1-0 චෙල්සි (පළමු අදියර)
චෙල්සි 2-0 බොරුසියා ඩොර්ට්මුන්ඩ් (දෙවන අදියර)
චෙල්සි ට ගෝල 2-1 ක ජයක්

රෙඩ්බුල් ලිප්සිග් සහ මැන්චෙස්ටර් සිටි

තවත් ජර්මානු ක්‍රීඩා සමාජයක් වන රෙඩ්බුල් ලිප්සිග් සහ එංගලන්ත ක්‍රීඩා සමාජයක් වන මැන්චෙස්ටර් සිටි අවසන් 16 වටයේ දී එකිනෙක මුණ ගැසුණා. එහිදී ලිප්සිග් හි පැවති තරගයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලබා ගැනීමට ප්‍රබල මැන්චෙස්ටර් සිටි ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණේ නෑ. තරගය නිමාව දුටුවේ ගෝල 1-1 වශයෙන් ජය පරාජයෙන් තොරව යි. මේ හේතුවෙන් මැන්චෙස්ටර් වෙත සියලු ඇස් යොමු ව තිබුණා.

එර්ලින් හාලන්ඩ් ගෝල 5ක් ලබා ගත්තා – www.sportingnews.com

මැන්චෙස්ටර් සිටි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී ලිප්සිග් ක්‍රීඩකයන් දැඩි ප්‍රහාරයකට ලක් වුණා. එහිදී චැම්පියන්ස් ලීග් ඉතිහාසයේ පිළිමළුන් පිටු දැකීමේ වටයේ තරගයක දී ගෝල 5 ක් ලබා ගත් දෙවන ක්‍රීඩකයා බවට පත් වීමට එර්ලින් හාලන්ඩ් සමත් වුණා. පෙර ලියොනල් මෙසී තබා තිබූ එම වාර්තාව ඔහු සම කළේ විනාඩි 63 පමණක් ක්‍රීඩා කරමින් වීම ද විශේෂත්වයක්. ඔහු ලබාගත් වාර්තාගත ගෝල 5 ත් සමඟින් මැන්චෙස්ටර් සිටි ගෝල 7-0 දැවැන්ත ජයග්‍රහණයක් සටහන් කළා.

සමස්ත ප්‍රතිඵලය

රෙඩ්බුල් ලිප්සිග් 1-1 මැන්චෙස්ටර් සිටි (පළමු අදියර)
මැන්චෙස්ටර් සිටි 7-0 රෙඩ්බුල් ලිප්සිග් (දෙවන අදියර)
මැන්චෙස්ටර් සිටිට ගෝල 8-1 ක ජයක්

පැරිස් සෙන්ට් ජර්මෙයින් සහ බයන් මියුනිච්

අවසන් 16 දෙනාගේ වටයේ දී වැඩි ම අවධානයක් හිමිව තිබුණේ ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් සහ ජර්මනියේ බයන් මියුනිච් අතර තරගයට බව ප්‍රකාශ කිරීම වරදක් නොවෙයි. ලියොනල් මෙසී, කිලියන් ම්බප්පේ සහ නෙයිමාර් ප්‍රමුඛ පැරිස් ක්‍රීඩකයන් පළමු අදියරේ දී සාර්ථක වූයේ නෑ. පැරිස් නුවර පැවති මෙම තරගයේ දී වාර්තා වූ එකම ගෝලය 53 වන විනාඩියේදී කින්ග්ස්ලි කෝමන් වාර්තා කළා.

බයන් මියුනිච් පැරිස් ට කිසිඳු අවස්ථාවක් ලබා දුන්නේ නෑ – www.khelnow.com

බලාපොරොත්තු අත නොහැරි පැරිස් ක්‍රීඩකයන් දෙවන අදියර ක්‍රීඩා කිරීමට මියුනිච් බලා පියාසර කළා. නැවත වතාවක් පැරිස් ක්‍රීඩකයන්ට බලාපොරොත්තු වූ දස්කම් දැක්වීම ට බයන් මියුනිච් අවස්ථාව ලබා දුන්නේ නෑ. එරික් මැක්සිම් චුපෝ මෝටින් සහ සර්ජ් ග්නැබ්රි ලබාගත් ගෝල නිසා පැරිස් බලාපොරොත්තු නැවතත් සුන් වුණා. බයන් මියුනිච් දෙවන අදියරෙන් ගෝල 2-0 ජයක් ලබා ගත්තා.

සමස්ත ප්‍රතිඵලය

පැරිස් 0-1 බයන් මියුනිච් (පළමු අදියර)
බයන් මියුනිච් 2-0 පැරිස් (දෙවන අදියර)
බයන් මියුනිච්ට ගෝල 3-0 ක ජයක්

ක්ලබ් බර්ජ් සමඟ බෙන්ෆිකා

මෙවර චැම්පියන්ස් ලීග් තරගාවලියේ පළමු වටයේ පෙරළිකාරයන් බවට පත් වූ ජර්මනියේ ක්ලබ් බර්ජ් අවසන් 16 දෙනාගේ වටයේ දී පෘතුගාලයේ බෙන්ෆිකා සමඟින් තරග වැදුණා. එහි පළමු අදියර බෙල්ජියමේ දී පැවති අතර තම චැම්පියන්ස් ලීග් අත්දැකීම් බහුලත්වය මනාවට පෙන්නුම් කළ බෙන්ෆිකා ක්‍රීඩකයන්එම තරගයෙන් ගෝල 2-0 ජයග්‍රහණයක් ලබා ගත්තා.

බෙන්ෆිකා ගෝලයක් සමරමින් – www.goal.com

ඉන් අනතුරුව දෙවන අදියරේදී ද ක්ලබ් බර්ජ්ට සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණේ නෑ. රෆා සිල්වා, ගොන්සාලෝ රාමෝස් වැනි ක්‍රීඩකයන් දැක්වූ සුපිරි දස්කම් හමුවේ ගෝල 5-1 ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට බෙන්ෆිකා සමත් වුණා. එම ජයග්‍රහණයත් සමඟ ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. 1960 දශකයේ චැම්පියන්ස් ලීග් ශූරතා ද්විත්වයක් ජයග්‍රහණය කළ බෙන්ෆිකා කලකට පසු මෙවර අවසන් 8 දෙනා දක්වා සුදුසුකම් ලබා තිබෙනවා.

සමස්ත ප්‍රතිඵලය

ක්ලබ් බර්ජ් 0-2 බෙන්ෆිකා
බෙන්ෆිකා 5-1 ක්ලබ් බර්ජ්
බෙන්ෆිකාට ගෝල 7-1 ක ජයක්

ඉන්ටර් මිලාන් සමග පෝර්ටෝ

ඉතාලියේ ඉන්ටර් මිලාන් සහ පෘතුගාලයේ පෝර්ටො අතර තරගය ආරම්භ වීමටත් පෙර සිට ම ආරක්ෂකාරී තරගයක් වනු ඇති බවට අනාවැකි පළ වුණා. එයට හේතුව වන්නේ මෙම කණ්ඩායම් ද්විත්වය ම ආරක්ෂාකාරී බවින් ශක්තිමත් වීම යි. බලාපොරොත්තු වූ පරිදි ම පළමු තරගය වැඩි ගෝල වාර්තා නොවූ එකක් බවට පත් වූයේ ඉන්ටර් මිලාන් වෙත ගෝල 1-0 ක ජයක් ලබා දෙමින්. වාර්තා වූ එකම ගෝලය තරගයේ 86 වන විනාඩියේදී රොමේලු ලුකාකු සටහන් කළා.

ජය සමරන ඉන්ටර් ක්‍රීඩකයෝ – www.actionnetwork.com

ඉන් අනතුරු ව පෘතුගාලය බලා ගමන් කළ ඉන්ටර් ක්‍රීඩකයෝ දෙවන අදියර වඩාත් ආරක්ෂිත ව ක්‍රීඩා කළා.මේ හේතුවෙන් කණ්ඩායම් ද්විත්වයට ම ගෝල ලබා ගැනීමට හැකියාව ලැබුණේ නෑ. පෝර්ටෝ ක්‍රීඩක පෙපේ රතු කාඩ්පතක් ලබා ගැනීම මෙම තරගයේ වාර්තා වූ සුවිශේෂී සිදුවීමක් වුණා. කෙසේ වෙතත් මෙවර අවසන් 16 දෙනාගේ වටයේ තරගවල අඩුම ගෝල වාර්තා වූ තරගයක් බවට මෙය පත් වූයේ පෙර පළ කළ අනාවැකි නිවැරැදි කරමින්.

සමස්ත ප්‍රතිඵලය

ඉන්ටර් මිලාන් 1-0 පෝර්ටෝ (පළමු අදියර)
පෝර්ටෝ 0-0 ඉන්ටර් මිලාන් (දෙවන අදියර)
ඉන්ටර් මිලාන්ට ගෝල 1-0 ජ ජයක්

ඒසී මිලාන් සහ ටොටන්හැම්

7 වතාවක් චැම්පියන්ස් ලීග් ශූරතාව ජයග්‍රහණය කළ ඉතාලියේ ඒසී මිලාන් පසුගිය සමයේ චැම්පියන්ස් ලීග් තරගාවලියකට සුදුසුකම් ලැබීමට පවා නොහැකි ව සිටියා. එංගලන්තයේ ටොටන්හැම් සහ ඔවුන් මෙවර අවසන් 16 වටයේ මුණ ගැසුණා. ඉතාලියේ පැවති පළමු අදියර ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඒසී මිලාන් වාර්තා කළේ එක් ගෝලයක් පමණ යි. 7 වන විනාඩියේදී බ්‍රහිම් ඩියාස් ලබාගත් ගෝලය තීරණය ලබා දුන්නා.

බ්‍රහීම් ඩියාස් ගේ ගෝලයෙන් ඒසී මිලාන් ජයග්‍රහණය කළා – www.khelnow.com

දෙවන අදියර ලන්ඩන් නුවර දී ක්‍රියාත්මක වූ අතර සාම්ප්‍රදායික ඉතාලි ක්‍රීඩා සමාජ සතු ආරක්ෂක ක්‍රීඩා රටාව නැවත වතාවක් පසක් කිරීමට ඒසී මිලාන් ක්‍රීඩකයන් සමත් වුණා. ටොටන්හැම් ක්‍රීඩක ක්‍රිස්ටියන් රොමේරෝට රතු කාඩ්පතක් හිමිවූ ඒ තරගය ද ගෝල 0-0 ලෙසින් නිමාව දුටුවා. ඉතාලියේ මිලාන් නුවර පිහිටා තිබෙන ප්‍රභලතම ක්‍රීඩා සමාජ ද්විත්වය උණුසුම් තරග කිහිපයකින් අනතුරුව එලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

සමස්ත ප්‍රතිඵලය

ඒසී මිලාන් 1-0 ටොටන්හැම් (පළමු අදියර)
ටොටන්හැම් 0-0 ඒසී මිලාන් (දෙවන අදියර)
ඒසී මිලාන් ට ගෝල 1-0 ක ජයක්

අයින්ච්‍රැක්ට් ෆ්‍රෑන්ක්ෆර්ට් සහ නපොලි

2022/23 තරගවාරයේ සාර්ථකම ඉතාලි කණ්ඩායම බවට පත්ව සිටිනා නපොලි, වසර 30 කට පසු ඉතාලි පාපන්දු ලීගය ජයග්‍රහණය කිරීමට ආසන්න වී තිබෙනවා. ඔවුන් චැම්පියන්ස් ලීග් තරගාවලිය තුළ ද සුවිශේෂී දස්කම් සටහන් කළා. ජර්මනියේ අයින්ච්‍රැක්ට් ෆ්‍රෑන්ක්ෆර්ට් සහ නපොලි අතර ෆ්‍රෑන්ක්ෆර්ට් හි පැවති පළමු අදියර ද ගෝල 2-0 කින් ජයග්‍රහණය කිරීමට නපොලි සමත් වුණා. නේපල්ස් නුවර ක්‍රියාත්මක වූ දෙවන අදියර ජයග්‍රහණය කිරීමට ෆ්‍රෑන්ක්ෆර්ට්ට තිබුණේ අඩු අවස්ථාවක්.

ෆ්‍රෑන්ක්ෆර්ට් පරාජය කරමින් නපොලි පහසු ජයක් ලබා ගත්තා – www.timesnow.com

දෙවන අදියර ආරම්භ වීමට මත්තෙන් නේපල්ස් හි රැස්වුණ ෆ්‍රෑන්ක්ෆර්ට් ප්‍රේක්ෂකයන් කලහකාරී ව හැසිරීම ප්‍රශ්නයක් වුණා. ඔවුන් රථ වාහන ගිනි තබමින් වෙළෙඳසල්වලට හානි කිරීම හේතුවෙන් කැරලි මර්දන ඒකක පවා පැමිණ සිටියා. කෙසේ හෝ අවසානයේ දී වික්ටර් ඔෂිමෙන් ලබාගත් ගෝල ද්විත්වයත් සමඟ නපොලි 3-0 පහසු ජයක් ලබා ගත්තා. ඔවුන් ද මෙවර චැම්පියන්ස් ලීග් අවසන් 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.

සමස්ත ප්‍රතිඵලය

අයින්ච්‍රැක්ට් ෆ්‍රෑන්ක්ෆර්ට් 0-2 නපොලි (පළමු අදියර)
නපොලි 3-0 අයින්ච්‍රැක්ට් ෆ්‍රෑන්ක්ෆර්ට් (දෙවන අදියර)
නපොලි ට ගෝල 5-0 ක ජයක්

අර්ධ අවසන් පූර්ව වටයට ප්‍රථමයෙන්

2022/23 චැම්පියන්ස් ලීග් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අතර වැඩිම නියෝජනයක් සිටින්නේ ඉතාලියේ යි. ඉතාලි කණ්ඩායම් 3 ක් මෙවර අවසන් 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් ට අමතරව එංගලන්ත කණ්ඩායම් 2 ක්, ජර්මනිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය නියෝජනය කරමින් එක් කණ්ඩායම බැගින් ද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

මේ මස 12/13 දිනවල පළමු අදියරේ තරගත් අප්‍රේල් මස 19/20 දිනවල දෙවන අදියරේ තරගත් පැවැත්වීමට නියමිත යි. මැයි මස 10/11 සහ 17/18 යන දිනවල දී අවසන් පූර්ව වටය ද ජූනි මස 11 වනදා ඉස්තාන්බුල් නුවර අවසන් මහා තරගය ද පැවැත්වෙනු ඇති. අර්ධ අවසන් පූර්ව වටය පැවැත්වෙන ආකාරය සහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ආකාරය පසුගියදා නිවේදනය කළා.

මෙවර චැම්පියන්ස් ලීග් අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය – www.stadiumbase.com

අර්ධ අවසන් පූර්ව වටය

  1. රියාල් මැඩ්රීඩ් සහ චෙල්සි
  2. මැන්චෙස්ටර් සිටි සහ බයන් මියුනිච්
  3. බෙන්ෆිකා සහ ඉන්ටර් මිලාන්
  4. ඒසී මිලාන් සහ නපොලි

මේ අතරින් ඉහත අංක 1 සහ අංක 2 අර්ධ අවසන් පූර්ව වටය ජයග්‍රහණය කරන කණ්ඩායම් එක් අවසන් පූර්ව වටයේ තරගයක්, අංක 3 සහ අංක 4 තරග ජයග්‍රහණය කරන කණ්ඩායම් ද්විත්වය තවත් අවසන් පූර්ව වටයේ තරගයක් ක්‍රීඩා කිරීමට නියමිත වනවා. අවසන් පූර්ව වටයන් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙපළ මෙවර චැම්පියන්ස් ලීග් කිරුළ වෙනුවෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

කවරයේ ඡායාරූපය - චැම්පියන්ස් ලීග් තරගාවලියේ නිල ලාංඡනය - www.marca.com
මූලාශ්‍ර :
www.uefa.com
www.allfootball.com

Related Articles