Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සත්කාරක රුසියාව මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කරයිද?

දේශපාලන, ආර්ථික සහ යුධමය යන කරුණු වලින් රුසියාව ලෝකයේ ඉතා ප්‍රබල ස්ථාවරයක පසුවෙයි. ක්‍රීඩා වලින්ද ඒ ලෙසින්ම ලෝකයේ ඉතා ප්‍රබල ස්ථාවරයක පසුවීමට රුසියාවට හැකිවී තිබේ. බාස්කට්බෝල්, වොලිබෝල්, අත්පන්දු (HandBall), ටෙනිස්, මලල ක්‍රීඩා, අයිස් හොකී වැනි ක්‍රීඩා වලින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රුසියාව ඉතා හොඳ පාපන්දු කණ්ඩායමකින්ද සමන්විත වේ. ලබන ජූනි මස 14 වැනිදා ආරම්භ වන 2018 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන රුසියාව මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ඇතැයි රුසියානු ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වේ.  එසේනම් මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී රුසියාවට ජයග්‍රහණය තිබෙන අවස්ථා පිළිබඳව අද අපි “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් සාකච්චා කරමු.

සත්කාරක වාසිය

“ඕනෑම ක්‍රීඩාවක සත්කාරක කණ්ඩායමට නිතැතින්ම වාසියක් හිමිවේ.” (brisbaneroar.com.au)

ඕනෑම ක්‍රීඩාවක සත්කාරක වාසිය තරඟයේ (හෝ තරඟාවලියේ) ප්‍රතිඵලයට බලපාන ප්‍රධානම කරුනු වලින් එකක් වන අතර පාපන්දු ක්‍රීඩාවේ දී ද සත්කාරක වාසිය එයාකාරයෙන්ම තරඟයේ ප්‍රතිඵලයට බලපායි. තමන්ට හුරුපුරුදු ක්‍රීඩාංගන, කාලගුණික හා දේශගුණික තත්වයන්, ක්‍රීඩා ලෝලීන්ගේ සහය වැනි කාරණා නිසා එලෙස සත්කාරකත්වයේ වාසිය සත්කාරක කණ්ඩායමට නිතැතින්ම හිමිවේ. මේ දක්වා පාපන්දු ලෝක කුසලාන තරඟාවලි 20 ක් පැවත්වී තිබෙන අතර එම ලෝක කුසලාන වලදී සත්කාරක රටවල් දැක්වූ දක්ෂතා පහත දැක්වේ.

මේ අනුව පෙනී යන්නේ සත්කාරකත්වය දැරූ රටවල් 8 ක්ම පාපන්දු ලෝක කුසලානය හිමිකරගැනීමට සමත්වී ඇති බවයි. තවත් රටවල් දෙකක් අවසාන මහා තරඟය දක්වා ද තවත් රටවල් 5 ක් අවසන් පූර්ව වටය දක්වාද තවත් රටවල් 4 ක් අර්ධ අවසන් පූර්ව වටය දක්වාද පැමිණීමට සමත්වී තිබේ. ඒ අනුව බැලූ කළ සත්කාරකත්වයේ වාසිය පාපන්දු ලෝක කුසලාන වලදී ඉතා ප්‍රබල ලෙසින් තරඟාවලියේ ප්‍රතිඵලයට බලපාන සාධකයක් වී තිබේ. එසේනම් මෙවර රුසියාවට ද සත්කාරකත්වයේ උපරිම වාසිය හිමිකරගැනීමට හැකිවේද?

පාපන්දු ලෝක කුසලාන වලදී රුසියාව දක්වා තිබෙන දස්කම්

සෝවියට් දේශය ලෙසින් හා රුසියාව ලෙසින් මේ දක්වා පාපන්දු ලෝක කුසලාන 10 කට රුසියාව ක්‍රීඩා කර තිබේ. 1966 වසරේ දී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට එවකට සෝවියට් දේශයට හැකිවිය​. ඊට අමතරව 1958, 1962 සහ 1970 යන වසර වලදී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමටද රුසියාවට (සෝවියට් දේශය) හැකිවී තිබේ.

සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු තෙවරක් ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලද රුසියාව ඒ තුන් වතාවේම පළමු වටයෙන් තරඟාවලියෙන් ඉවත් විය​. ඒ 1994, 2002 සහ 2014 වසරවල ය​. 1994 දී කැමරූන් රාජ්‍යයට එරෙහි තරඟයේදී ඔලෙග් සලෙන්කෝ ගෝල පහක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් තැබීය​. ලෝක කුසලාන තරඟාවලියක එක් තරඟයකදී ගෝල පහක් ලබාගත් එකම ක්‍රීඩකයා සලෙන්කෝ ය​.

රුසියාවේ තිබෙන ප්‍රබල පාපන්දු ක්‍රීඩා සමාජ හා රුසියානු පාපන්දු ලීගය

ඕනෑම රටක ප්‍රබල මට්ටමේ පාපන්දු ක්‍රීඩා සමාජ සහ එම රටෙහි හොඳ පාපන්දු ලීගයක් තිබෙනවානම් එම රටෙහි පාපන්දු ක්‍රීඩාවේ දියුණුවට එය මහත් රුකුලකි. මක්නිසාදයත් එලෙස ප්‍රබල පාපන්දු ක්‍රීඩා සමාජ හා හොඳ පාපන්දු ලීගයක් තිබීම නිසා එම රටෙහි පාපන්දු පිලිබඳ උනන්දුව වැඩි වන අතර එවිට ක්‍රීඩකයින්ට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභ, පිළිගැනීම සහ අනෙකුත් පහසුකම් බොහෝ ඉහළ යන බැවිනි.

රුසියාවේ පාපන්දු ලීගය හැඳින්වෙන්නේ “රුසියානු ප්‍රිමියර් ලීගය” ලෙසයි. රුසියානු ප්‍රිමියර් ලීගය, යුරෝපානු පාපන්දු ලීග වර්ගීකරණයේ පසුවන්නේ 6 වැනි ස්ථානයේ ය. (ස්පාන් ලා ලීගා ලීගය මෙහි පළමුවැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර දෙවැනි ස්ථානයේ ලබා තිබෙන්නේ එංගලන්තයේ “ප්‍රිමියර් ලීගය” වේ.) මෙය රුසියානු පාපන්දු ක්‍රීඩාවේ මෑත කාලීන වර්ධනය පිළිබිඹු කෙරෙන ඉතා හොඳ සාධකයකි. වර්තමානයේ රුසියාවේ තිබෙන ප්‍රබල පාපන්දු ක්‍රීඩා සමාජ මොනවාදැයි විමසා බලමු.

CSKA Moscow

“සී.එස්.කේ.ඒ. මොස්කව් කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්” (futbolgrad.com)

1911 වසරේ දී පිහිටුවා තිබෙන සී.එස්.කේ.ඒ. මොස්කව් පාපන්දු ක්‍රීඩා සමාජය මේ වනවිට රුසියානු පාපන්දු ලීගය (සොවියට් දේශය පැවති සමයෙහි ද ඇතුළුව) 13 වතාවක් ජයග්‍රහණය කර තිබේ. 2004-05 UEFA යුරෝපා ලීගය ජයග්‍රහණ කිරීමටද සී.එ.ස්කේ.ඒ. මොස්කව් පාපන්දු ක්‍රීඩා සමාජයට හැකි විය​. මෙවර යුරෝපානු චැම්පියන්ස් ලීගයට සහ යුරෝපා ලීගයට ද සී.එස්.කේ..ඒ. මොස්කව් පාපන්දු ක්‍රීඩා සමාජය සහභාගී විය.

FC Zenit Saint Petersburg

“2008 වසරේ UEFA සුපර් කප් ශූරතාවය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව” (UEFA.com)

සෙනිට් සේන්ට් පීටර්ස්බර්ග් පාපන්දු ක්‍රීඩා සමාජය මේ වනවිට 5 වතාවක් රුසියානු පාපන්දු ලීගය ජයග්‍රහණය කිරීමට සමත් වී තිබේ. 2007-08 UEFA යුරෝපා ලීගය ජයගැනීම සහ 2008 වසරේ දී එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය පරදා UEFA සුපර් කප් ශූරතාවය ජයග්‍රහණය කිරීම සෙනිට් සේන්ට් පීටර්ස්බර්ග් ක්‍රීඩා සමාජය දැක්වූ ඉහලම දක්ෂතා ලෙසින් නම් කළ හැක. 1925 වසරේ දී මෙම පාපන්දු ක්‍රීඩා සමාජය ආරම්භ කර තිබේ. මෙවර UEFA යුරෝපා ලීගයට ඇතුලත් වීමට සෙනිට් සේන්ට් පීටර්ස්බර්ග් පාපන්දු ක්‍රීඩා සමාජයට හැකිවිය.

FC Spartak Moscow

ස්පාර්ටක් මොස්කව් ක්‍රීඩා සමාජය පිහිටුවා තිබෙන්නේ 1922 වසරේ දීය. ස්පාර්ටක් මොස්කව් ක්‍රීඩා සමාජය මේ දක්වා රුසියානු ප්‍රිමියර් ලීගය 22 වතාවක් ජයග්‍රහණය කර තිබේ. ස්පාර්ටක් මොස්කව් ක්‍රීඩා සමාජය රුසියානු ප්‍රිමියර් ලීගය වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කර තිබෙන කණ්ඩායම ද වේ. 1990-91 තරඟ සමයේ දී යුරෝපානු චැම්පියන්ස් ලීගයේ අවසන් පූර්ව වටයට පැමිණීම ස්පාර්ටක් මොස්කව් ක්‍රීඩා සමාජය ලබා තිබෙන ඉහලම ජයග්‍රහණය ලෙසින් හැඳින්විය හැක. මෙවර යුරෝපානු චැම්පියන්ස් ලීගය සහ යුරෝපා ලීගය යන තරඟාවලි දෙකටම ස්පාර්ටක් මොස්කව් ක්‍රීඩා සමාජය ද සහභාගී විය.

මේ දක්වා රුසියාවෙන් බිහි වූ සුපිරිම පාපන්දු ක්‍රීඩකයින්

ලෙව් යාෂින්

”ලෙව් යාෂින් බැලෝන් ඩෝ’ර් සම්මානය අතැතිව” (russianfootballnews.com)

එතෙක් මෙතෙක් රුසියාවෙන් බිහිවූ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙසත්, ලෝකයේ බිහිවූ හොඳම දැල් රකින්නා ලෙසත් ලෙව් යාෂින් හැඳින්විය හැක. 1929 වසරේ දී උපත ලද යාෂින් 1963 වසරේ දී යුරෝපයේ හොඳම ක්‍රීඩකයාට පිරිනමන බැලෝන් ඩෝ’ර් සම්මානය හිමිකරගැනීමට සමත් වූයේය. මේ දක්වා බැලෝන් ඩෝ’ර් සම්මානය හිමිකරගෙන ඇති එකම දැල් රකින්නා වශයෙන් යාශින්ගේ නම ඉතිහාස ගත වේ. පෙර සඳහන් කළ පරිදි පාපන්දු ලෝක කුසලාන වලදී රුසියාව හොඳින්ම දක්ෂතා දක්වා ඇති කාල වකවානුවේ දී රුසියාවේ දැල් රකින්නා ලෙසින් කටයුතු කළේද “කළු මකුළුවා” යන අන්වර්ථ නමින් හැඳින්වූ යාෂින් ය.

අන්ද්‍රේයි අර්ශාවින්

“අන්ද්‍රේයි අර්ශාවින් (දකුණේ) ආර්සනල් කණ්ඩායම නියෝජනය කරමින්. ඩෙන්මාර්කයේ නිකලස් බෙන්ඩ්ට්නර් (වමේ) ද මෙහි සිටී (provenquality.com)

ජාතික පාපන්දු කණ්ඩායමෙන් විශ්‍රාම ගත්තද තවමත් වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නියැලෙන අන්ද්‍රේයි අර්ශාවින් 1981 වසරේ දී උපත ලබා තිබේ. සෙනිට් සේන්ට් පීටර්ස්බර්ග් සහ එංගලන්තයේ ආර්සනල් වැනි ක්‍රීඩා සමාජ නියෝජනය කළ අර්ශාවින් රුසියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් තරඟ 75 ක් නියෝජනය කර තිබේ. 2008 වසරේ දී පාපන්දු යුරෝපානු කුසලානයේ දී රුසියාවට අවසන් පූර්ව වටය තෙක් පැමිණීමට මහඟු දායකත්වයක් සැපයූ අර්ශාවින් 2012 වසරේ පැවති පාපන්දු යුරෝපානු කුසලානයේ දී තරඟාවලියේ “හොඳම මැදපෙළ ක්‍රීඩකයා” බවට පත්විය.

මෑත කාලයේ දී රුසියාව දක්වා තිබෙන දස්කම්

පසුගිය මාස කිහිපයේ දී රුසියාව පාපන්දු තරඟ 13 කට සහභාගී වී ඇති අතර ඉන් 3 ක් ජයග්‍රහණ කිරීමටද 4 ක් ජය පරාජයෙන් තොරව නිමාකිරීමටද රුසියාවට හැකිවී තිබේ. පරාජය වී තිබෙන ඉතිරි තරඟ 6 ඔවුන් පරාජය වී තිබෙන්නේ බ්‍රසීලය, ප්‍රංශය, ආර්ජෙන්ටිනාව, පෘතුගාලය වැනි ප්‍රබල රටවලට එරෙහිවයි. ස්පාඤ්ඤය සහ බෙල්ජියම වැනි ප්‍රබල රටවලට එරෙහිව පැවති තරඟ ජය පරාජයෙන් තොරව නිමා කිරීමට ද රුසියාවට හැකි වී තිබේ. මෙය ඉතා හොඳ තත්වයක් වන අතර මේ ආකාරයට ලෝක කුසලාන තරඟාවලියේ දී රුසියාවට ක්‍රීඩා කිරීමට හැකිනම් ලෝක කුසලානයේ දී ඔවුන්ට යම් දෙයක් සිදු කළ හැක.

වර්තමානයේ රුසියානු පාපන්දු කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩකයින්

ඊගර් අකින්ෆීෆ් (Igor Akinfeev)

“ඊගර් අකින්ෆීෆ්” (mirror.co.uk)

වර්තමානයේ රුසියානු ජාතික කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන 32 හැවිරිදි දැල් රකින ක්‍රීඩක ඊගර් අකින්ෆීෆ් මේ දක්වා තරඟ 104 කදී රුසියානු ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ. 2003 වසරේ සිට සී.එස්.කේ.ඒ. මොස්කව් කණ්ඩායම නියෝජනය කරන අකින්ෆීෆ් වර්තමානයේ එම කණ්ඩායමේ ද නායකත්වය දරයි. මෙවර ලෝක කුසලානයේ දී රුසියාවට අකින්ෆීෆ්ගේ දක්ෂතා ඉතා වැදගත් වනු ඇත.

ෆියෝඩර් ස්මොලොෆ් (Fyodor Smolov)

“පසුගිය වසරේ නොවැම්බර් මස ස්පාඤ්ඤයට එරෙහිව පැවති තරඟයේ දී ස්මොලොෆ් (මැද) ගෝල දෙකක් වාර්තා කරන ලදී. ස්පාඤ්ඤයේ සර්හියෝ රාමෝස් (දකුණේ) සහ සර්හියෝ බුස්කට්ස් (වමේ) ද මෙහි සිටී” (sport-express.ru)

28 හැවිරිදි ෆියෝඩර් ස්මොලොෆ් නියෝජනය කරන්නේ රුසියාවේ ක්‍රැස්නඩාර් කණ්ඩායමයි. 28 හැවිරිදි ස්මොලොෆ් මේ වන විට රුසියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් තරඟ 30 කදී ගෝල 12 ක් වාර්තා කර තිබේ. ප්‍රහාරක ක්‍රීඩකයෙකු වන ස්මොලොෆ්ගේ හැකියාවන් මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී රුසියාවට ඉතා වැදගත් සාධකයක් වනු ඇත.

ඇලෙක්සැන්ඩර් කොකරින් (Aleksandr Kokorin)

සෙනිට් සේන්ට් පීටර්ස්බර්ග් ක්‍රීඩා සමාජය නියෝජනය කරන 28 හැවිරිදි ඇලෙක්සැන්ඩර් කොකරින් ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වේ. රුසියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් තරඟ 48 කදී ගෝල 12 ක් රැස් කිරීමට සමත් වී තිබේ. මෙවර රුසියාවේ ප්‍රධානම බලාපොරොත්තුවක් වී සිටින කොකරින් දක්ෂතා දක්වනු ඇති බවට රුසියානු ක්‍රීඩා ලෝලීයෝ විශ්වාස කරති.

ඇලෙක්සෙයි මිරාන්චුක් (Aleksey Miranchuk)

“ඇලෙක්සෙයි මිරාන්චුක් (වමේ) ඔහුගේ සහෝදරයා වන ඇන්ටන් මිරාන්චුක් (දකුණේ) සමඟින්. දෙදෙනාම රුසියානු ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරති.”  (harnas.co)

තවමත් 22 හැවිරිදි ඇලෙක්සෙයි මිරාන්චුක් නියෝජනය කරන්නේ ලොකෝමෝටිව් මොස්කව් කණ්ඩායමයි. ඉදිරිපෙළ සහ මැදපෙළ ක්‍රීඩා කරන මිරාන්චුක් රුසියාව වෙනුවෙන් මේ දක්වා තරඟ 16 කදී ගෝල 4 ක් වාර්තා කර ඇත. ස්මොලොෆ්-කොකරින්-මිරාන්චුක් සුසංයෝගය හොඳින් ක්‍රියාත්මක වීම හෝ නොවීම හෝ මත මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී රුසියාවේ ගමන් මඟ තීරණය වනු ඇත.

මෙවර ලෝක කුසලානයේ දී රුසියාවට යා හැකි දුර

colombia.as.com

සත්කාරක රුසියාව මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී තරඟ කරන්නේ A කාණ්ඩයෙනි. (සෑම ලෝක කුසලානයක දීම සත්කාරක රට ක්‍රීඩා කරන්නේ A කාණ්ඩයෙනි.) A කාණ්ඩයේ සිටින අනෙකුත් රටවල් වන්නේ සවුදි අරාබිය, ඊජිප්තුව සහ උරුගුවේ රාජ්‍යයයි. එක් එක් කාණ්ඩයෙන් ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙක 16 දෙනාගේ වටය සඳහා සහභාගී වීමට වරම් හිමිකරගනී.

A කාණ්ඩයේ සිටින රටවල් අතුරින් උරුගුවේ රාජ්‍යය ඉතා ප්‍රබල කණ්ඩායමක් වන අතර ඔවුන් A කාණ්ඩයේ පෙරමුණ හිමිකරගතහොත් එය එතරම් පුදුමයට කරුණක් නොවනු ඇත. සවුදි අරාබිය දෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇතැයි අනුමාන කළ නොහැක. එසේනම් තරඟය තිබෙන්නේ සත්කාරක රුසියාව සහ පසුගිය වසරේ අප්‍රිකානු අනුශූරයින් වන ඊජිප්තුව අතරයි. සත්කාරකත්වයේ වාසිය තිබෙන නිසා මෙම කණ්ඩායම් දෙකෙන් 16 දෙනාගේ වටය සඳහා රුසියාව සුදුසුකම් ලබනු ඇතැයි බලාපොරොත්තු විය හැක. රුසියාව A කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබා 16 වටයට ගියහොත් එහිදී ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම රුසියාවට බොහෝ දුරට මුහුණ ගැසීමට ඉඩ තිබෙන අතර ඒ අනුව රුසියාවේ ගමන් මඟ එතනින් නතර වීමට බොහෝ ඉඩකඩ ඇත.

නමුත් සත්කාරක වාසියත් සමඟින් A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට රුසියාවට හැකි වූවහොත් 16 දෙනාගේ වටයේ දී රුසියාවට හමුවන්නට ඉඩ තිබෙන්නේ ප්‍රබල පෘතුගාල කණ්ඩායම වූවත් ස්පාඤ්ඤයට එරෙහි තරඟය තරම් පෘතුගාලයට එරෙහි තරඟය අපහසු නොවනු ඇත. එසේ වූවත් එම තරඟයේ වැඩි වාසි තිබෙන්නේ ප්‍රබල පෘතුගාලයට බව ඔබ සියලු දෙනා දනී. රුසියානු ක්‍රීඩා ලෝලීන් තමන්ගේ රටේ ජාතික පාපන්දු කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී ඉහළම දස්කම් දක්වනු ඇතැයි බලාපොරොත්තු වූවත් මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී සත්කාරක රුසියාවේ ගමන් මඟ 16 දෙනාගේ වටයෙන් අවසන් වීමට බොහෝ ඉඩක් ඇත.

Cover – (cover. mirror.co.uk)

මූලාශ්‍ර

Russiateam.com

Related Articles