ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ධනාත්මක හැරවුමක ඇරැඹුම

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුග ගැන සිහිපත් කරන විට 2007-2014 යුගය අමතක කරන්නට බැහැ. ඒ එම කාල වකවානුව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන අවසන් තරග 5කට සුදුසුකම් ලබා ගත් නිසා යි.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම 2014 T20 ලෝක කුසලානය දිනා ගනිමින් සමස්ත ක්‍රිකට් ලෝකයේ ම අවධානය ලබා ගත්තා.  ස්ථාවර තත්ත්වයකට පත්ව තිබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පසුබෑමකට ලක්වන්නට පටන් ගත්තේ 2015 වසරෙන් පසුව යි. 

2014 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

ඒ  වන විට කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන ක්‍රිකට් තරු යුගළය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන තිබුණා. ඊට මාස කිහිපයකට පසුව තවත් අත්දැකීම් සපිරි ක්‍රීඩකයෙක් වුණු තිලකරත්න දිල්ෂාන් එක්දින සහ 20/20 තරග රටාවලින් සමු ගත්තා. එවැනි තත්ත්වයක් යටතේ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් සමඟින් තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගට ම තරග පරාජයට පත් වුණා. 

 2015-2019 සීමිත පන්දුවාර පරාජ රැල්ල 

2015 ලෝක කුසලානයෙන් පසුව 2019 වසර අවසානය දක්වා  කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවල දී දිගින් දිගට ම තරග පරාජ ලැබුවා. එම කාලයේ දී එක්දින තරග 96කට සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම එයින් ජයග්‍රහණය කළේ තරග 30ක් පමණ යි.

දිගින් දිගටම එක්දින තරගවල දී පරාජය වුණු ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

20/20 තරග 55කට සහභාගි වී එයින් ජයග්‍රහණය කළේ තරග 17ක් පමණ යි. සීමිත පන්දුවාර තරගවල දී දැඩි ලෙස අසාර්ථක වුණු ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගවල දී නම් යම් කිසි සාර්ථකත්වයක් පෙන්නුම් කළා. 

 

එම යුගය තුළ ටෙස්ට් තරග  51කට සහභාගි වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්  ජයග්‍රහණ 20ක් සහ පරාජයන් 25ක් හිමි කර ගත්තා. එහි දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි ව මව්බිමේ දී තරග 3-0ක්, පාකිස්තාන කණ්ඩායමට එරෙහි ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තරග 2-0ක්, දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ බිමේ දී තරග 2-0ක් ලෙස සුවිශේෂී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණ ලබා ගත්තා.

දකුණු අප්‍රිකාවේ දී මංගල ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලබාගත් මොහොත- gettyimages.com

 

විශේෂයෙන්ම එක්දින තරගවල දී දැඩි ලෙස අසාර්ථක වුණු ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල කණ්ඩායම් හමුවේත් එක්දින තරගවල දී පරාජය වුණා. 2017 දී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවේ දී පැවති එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙසින් පරාජය වීම ඊට හොඳ ම උදාහරණයක්.

2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේ දී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ ලද අන්ත පරාජ නිසා තරගාවලියෙන් ඉවත් වීම ඒ සඳහා තවත් උදාහරණයක්.

2017 දී ශ්‍රී ලංකාව පරාජය කළ සිම්බාබ්වේ කණ්ඩායම – gettyimages.com

 

 දිගින් දිගට ම අසාර්ථක වුණු ශ්‍රී ලංකා කණ්ඩායම 2016-2018 කාල සීමාව තුළ සිය මව්බිමේ පැවති කිසිදු එක්දින තරගාවලියක් ජයග්‍රහණය කිරීමට නොහැකි වීම කනගාටුදායක සිදුවීමක් වුණා. 2017 ජූලි සිට ඔක්තෝබර් දක්වා අඛණ්ඩ ව පැවති එක්දින තරග 12කදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය හිමි කර ගැනීම එකල සමාජයේ  දැඩි කතාබහකට ලක් වුණු සිදුවීමක්.

එහි දී ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ තරග 5-0 ලෙස තරගාවලි පරාජයන් ලැබීම අමතක කරන්නට බැහැ. එම මාරක පරාජ වැල දෙවැනි වුණේ 1987/1988 කාලයේ ශ්‍රී ලංකාව පිට පිට ම පරාජය වුණු එක්දින තරග 14ට පමණ යි. එසේ දිගින් දිගට ම පරාජයන් ලබද්දී බොහෝ ප්‍රේක්ෂකයන් අප ක්‍රිකට් කණ්ඩායම විවේචනය කරන්නට පටන් ගත්තා.

පල්ලෙකැලේ පිටියේ දී ප්‍රේක්ෂකයන් කලහකාරී ලෙස හැසිරීම (gettyimages.com)

ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වුණු නින්දා අපහාස 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගට ම අසාර්ථක වෙද්දී බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සමාජ ජාල මාධ්‍ය මඟින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට නින්දා අපහාස කරන්නට පටන් ගත්තා. එහි දී සමහර ක්‍රීඩකයන්ට අපහාසාත්මක නම් පවා පටබැඳීමට ඔවුන් පසුබට වුණේ නැහැ. ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තරග නැරඹීම සඳහා ක්‍රීඩා පිටියට යාම පවා අඩු වෙන්නට පටන් ගනිද්දී ඇතැම් උදවිය අනාවැකි පළ කළේ මෙය ශ්‍රී ලංකා ක්‍රිකට්වල අවසානය බව යි. එවැනි තත්ත්වයක් යටතේ සමහර ක්‍රීඩකයන් සිදු කළ විනය විරෝධී ක්‍රියා නිසා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් තව තවත් දුරස් වුණා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගට ම ලබන පරාජයන් දරාගන්නට නොහැකි වුණු නිසා 2017 දී ඉන්දියාවට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති තරගයක දී ප්‍රේක්ෂකයන් කලහකාරී ලෙසින් හැසිරුණා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී එවැනි තත්ත්වයක් අවසන් වරට වාර්තා වුණේ 1984 දී යි. ඒ අස්ගිරිය ක්‍රිකට් පිටියේ දී නවසීලන්තයට එරෙහි ව ලැබූ අනපේක්ෂිත පරාජයත් සමඟින් ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල කළ ගල්මුල් ප්‍රහාරය යි. 

තේරීම් කමිටුවේ දුර්වල තීරණ 

2015 එක්දින ලෝක කුසලානයෙන් පසු ව 2019 වසර අවසානය දක්වා ගෙවුණු කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සීමිත පන්දුවාර තරගවල දී විශාල ක්‍රීඩකයන් ප්‍රමාණයක් අත්හදා බැලුවා. එම කාලය තුළ දී ක්‍රීඩකයන් 28 දෙනකුට එක්දින වරම් හිමි වෙද්දී, ක්‍රීඩකයන් 32කට 20/20 තරග වරම් හිමි වුණා. එහි දී සමහර ක්‍රීඩකයන්ට දස්කම් අතරට පිවිසීමට ප්‍රමාණවත් තරම් අවස්ථා හිමි වුණේ නැහැ.

දිල්ෂාන් මුණවීර, චමින්ද බණ්ඩාර, සඳුන් වීරක්කොඩි, චතුරංග ද සිල්වා ඒ සඳහා උදාහරණ යි. ඇතැම්  ක්‍රීඩකයන් දිගින් දිගට ම අසාර්ථක වෙද්දී ඔවුන් අඛණ්ඩ ව කණ්ඩායම තුළ රඳවා ගැනීම පිළිබඳ ව සමාජජාල මාධ්‍යවල එකල දැඩි කතාබහට ලක් වුණා. 

දිල්ෂාන් මුණවීර – gettyimages.com

එම යුගයේ දී සමහර සීමිත පන්දුවාර තරග සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳ ව පවා ප්‍රේක්ෂකයන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තා. ඇතැම් අවස්ථාවල දී කඩුලු රකින්නන් 4ක් පවා කණ්ඩායමට ඇතුළත් වුණා. ඒ හරහා කණ්ඩායමේ සමබරතාව බිඳ වැටුණා. එකල තේරීම් කමිටුව යොවුන් ක්‍රීඩකයන්ට සීමිත අවස්ථා ලබා දීම ද පිළිබඳව ද ප්‍රේක්ෂකයන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තා.

දේශීය ක්‍රිකට් තරගවල දී  උපරිම දස්කම් දක්වමින් සිටි සමහර ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානයක් අහිමි වීම ද එකල සමාජයේ දැඩි කතාබහට ලක් වුණු සිදුවීමක්. පැතුම් නිස්සංක ඒ සඳහා හොඳ ම උදාහරණයක්.

මිකී ආතර්ගේ ආගමනය 

2015-2019 යුගයේ දී මාවන් අතපත්තු, ග්‍රැහැම් ෆෝඩ් සහ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුරේ කටයුතු කළා. ඒ වාගේම නික් පොතාස් අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු තනතුරේ කටයුතු කළා. එම පුහුණුකරුවන් යටතේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වුණේ නැහැ.

බංග්ලාදේශයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුවා ලෙස විශිෂ්ට මෙහෙයක් ඉටු කළ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුර භාරගැනීමත් සමඟින් මෙරට ක්‍රිකට් යළි ගොඩනැගෙනු ඇති බව බොහෝ දෙනෙකුගේ අනුමානය වුණා. නමුත් හතුරුසිංහට කඩා වැටී තිබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ගොඩනැඟීමට හැකි වුණේ නැහැ. 

චන්දික හතුරුසිංහ – gettyimages.com

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුරට මිකී ආතර් 2020 පෙබරවාරි මාසයේ දී පත් වුණා. ඊට පෙර ඔහු පාකිස්තාන ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුවා ලෙසින් කටයුතු කළා. ඔහුගේ ගුරු හරුකම් යටතේ පාකිස්තානය  2017 ICC ශූරයන්ගේ කුසලානය දිනා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම මිකී යටතේ ක්‍රීඩා කළ මුල් ම එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙසින් ජයග්‍රහණය කළා. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව යි. 

මිකී ආතර් – gettyimages.com

 

2020 මාර්තු මාසයේ දී පැවති එම තරගාවලියෙන් පසුව ලොව පුරා කොරෝනා වසංගතය පැතිර යාම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වුණේ හරිම අඩුවෙන්. එනිසා එතැන් සිට 2021 මාර්තු දක්වා ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට  ලැබුණේ ටෙස්ට් තරග 7කට, එක්දින තරග 3කට සහ 20/20 තරග 3කට පමණ යි. එයින් ශ්‍රී ලංකාවට හිමි වුණේ එක් 20/20 තරගයක ජයග්‍රහණය පමණ යි. එවැනි තත්ත්වයක් යටතේ මිකී ආතර්ට ද අපවාද එල්ල වුණා.

නව තේරීම් කමිටුවක් යටතේ ඉදිරි ගමනක් 

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා තේරිම් කමිටු ප්‍රධානියා බවට2021 අප්‍රේල් 9 වැනිදා  පත්වුණා. ඔහු එම තනතුර භාරගැනීමෙන් පසුව පවසා සිටියේ ඉදිරියේ දී සීමිත පන්දුවාර තරග සඳහා නවක ක්‍රීඩකයන් වැඩිපුර එකතු කර ගැනීමට අදහස් කරන බව යි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් කුසල් පෙරේරා එක්දින සහ 20/20 කණ්ඩායම්වල නායකත්වය සඳහා පත් කෙරුණා. 

කුසල් පෙරේරා – gettyimages.com

 

ඉන් පසුව බංග්ලාදේශයේ පැවති තරග 3කින් සමන්විත වුණු එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුණු ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉදිරිපත් කළා. එම තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ බංග්ලාදේශ කණ්ඩායම යි.

එය ශ්‍රී ලංකාව, බංග්ලාදේශයේ දී ලැබූ මුල් ම එක්දින තරගාවලි පරාජය ලෙසින් ඉතිහාසගත වුණා. එසේ ලැබූ ඓතිහාසික පරාජයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට ප්‍රේක්ෂකයන්ගෙන් චෝදනා එල්ල වුණා. එහි දී ප්‍රමෝද්‍ය සමාජජාල මාධ්‍යවල දැඩි විවේචනයට ලක් වුණා. 

ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගාවලියේ අවස්ථාවක් – gettyimages.com

 

ඉන් අනතුරුව එංගලන්තයේ පැවති එක්දින සහ 20/20 තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි ලෙස අසාර්ථක වුණා. එහි දී චරිත් අසලංක, ධනංජය ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම වැනි නවකයන්ට එක්දින තරග වරම් ලැබුණා.

එම සංචාරය අතරතුර කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක විනය විරෝධී ලෙස හැසිරීම දැඩි ආන්දෝලනයකට තුඩුදුන් හේතුවක් නිසා. එහි දී ඔවුන් තිදෙනාට දඬුවම් ලබා දීමට ද  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. 

ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බැලීම සඳහා සිදු කළ පරීක්ෂණය දැඩි ව ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට ද ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් චෝදනා එල්ල වුණා. එපමණක් නොව ශරීරයේ මේද ප්‍රතිශතය මැන බැලීම සඳහා සිදු කළ ස්කින්ෆෝල්ඩ් පරීක්ෂණය ද දැඩි ව ක්‍රියාත්මක කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයන්ට කණ්ඩායමට පිවිසීමට තිබුණු අවස්ථාව තාවකාලිකව අහිමි ව ගියා. එනිසා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තේරීම් කමිටුවට චෝදනා කළේ මලල ක්‍රීඩා කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයන් තෝරන බවට යි. 

ක්‍රිකට් සුක්කානම නව නායකයෙක් අතට 

2021 ජූලි මාසයේ දී දෙවන පෙළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියා. එය දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායමක් වුණත් ඉන්දියාව නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙක් සහ IPL තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් එම කණ්ඩායමට ඇතුළත් වුණා. එහි දී කණ්ඩායම් ද්විත්වය අතර තරග 3කින් සමන්විත වුණු එක්දින සහ 20/20 තරගාවලි පැවැත්වුණා.

එම තරගාවලිවල දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානකට පැවරුණා. 2019 දී පාකිස්තානයට ගොස් තරග 3-0ක් ලෙස ජයග්‍රහණය කළ 20/20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ දසුන් ශානක යි. එනිසා තරුණ ක්‍රීඩකයන් රැසක් සමඟින් ශ්‍රී ලංකා එක්දින සහ 20/20 කණ්ඩායම් ඉදිරියට ගෙනයාමේ වගකීම දසුන්ට පැවරුණා.

දසුන් ශානක – gettyimages.com

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රාහී මාවතට පිවිසීම 

එහි දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති 20/20 තරගාවලිය තරග 2-1 ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව එදා මෙදාතුර ඉන්දියාව හමුවේ මුල් ම වරට 20/20 තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළා.

ඉන් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ලක්බිමේ දී 2-1ක් ලෙසින් එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී සැලකිය යුතු තරම් දස්කම් දැක්වීමට සමත් වුණා. 

දකුණු අප්‍රිකාව හමුවේ ලබාගත් එක්දින තරගාවලි ජයග්‍රහණය – gettyimages.com

 

එහි දී මූලික වටයේ තරගවල දී නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය හමුවේ පහසු ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ දී බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ ජයග්‍රහණ වාර්තා කළා. එම තරගාවලිය පුරාවට පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ වනිඳු හසරංග කඩුලු 16ක් බිඳ දමමින් තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණා. 

තරග දිනන කණ්ඩායමක් 

ගෙවුණු මාස 7 ඇතුළත සිය මව්බිමේ දී පැවති එක්දින තරගාවලිවල දී ශ්‍රී ලංකා කණ්ඩායම කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහි ව වසර 8කට පසුව මව්බිමේ දී තරග 2-1ක් ලෙසින් එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව ශ්‍රී ලංකාවේ දී 24 වසරකට පසු ව තරග 2-1ක් ලෙසින් එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළා.

ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ 30 වසරකට පසුව සිය මව්බිමේ දී එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළා. ඒ වාගේම බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ බංග්ලාදේශයට එරෙහි ව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

ඕස්ට්‍රේලියාව හමුවේ එක්දින තරගාවලි ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඉදිරි අනාගතය

පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දසුන් ශානක වැනි දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත සමබර කණ්ඩායමක් මේ වන විට සීමිත පන්දුවාර තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා. අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් මෙන්ම යොවුන් ක්‍රීඩකයන් ද එම කණ්ඩායම සඳහා ඇතුළත්.

විශේෂයෙන් ම එක්දින තරග රටාව තුළ දී තරගයක් වෙනස් කළ හැකි දඟපන්දු බළ ඇණියක් ශ්‍රී ලංකාව සතු ව සිටිනවා. එනිසා 2023 දී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විශාල පෙරළියක් සිදු කිරීමට ඉඩ තිබෙනවා. 

කවරයේ ඡායාරූපය- වර්තමාන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම (gettyimages.com)

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

t20worldcup.com

srilankacricket.lk

Related Articles

Exit mobile version