Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටවල් 92 කට ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිවෙයි

අප්‍රේල් මස 27 වනදා ඉන්දියාවේ කොල්කටා නගරයේදී පවත්වන ලද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සමුළුවකදී අලුතින් රටවල් 92 කට ජාත්‍යන්තර විස්සයි20 හෙවත් Twenty20 (T20) ක්‍රිකට් වරම් ලබා දීමට තීරණය කෙරුණි. මෙම පුදුමාකාර පුවතත් සමඟ T20 ක්‍රීඩාවේ වර්ධනය සහ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය වීමට එය බලපා ඇති අයුරු කෙටියෙන් විමසා බැලීමට අපි අදහස් කළෙමු.

“Twenty20” ආරම්භය

2001 වසරේ දී එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනයට ඕවර 20 තරග ආකෘතියක් හඳුන්වා දුන් ස්ටුවර්ට් රොබර්ට්සන් එය වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රචාරණ කර්තව්‍යයට කෙතරම් දායකත්වයක් ලබා දෙන්නේ ද යන්න නොදැන සිටියා විය හැකියි. එකළ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනයේ අලෙවි කළමනාකරු ලෙස කටයුතු කළ ස්ටුවර්ට් රොබර්ට්සන් හට 2001 වසරේ දී ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ අඩු ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඇති වීමට හේතු සහ එයට පිළියම් සෙවීමට සිදුවිය. ඒ අනුව ප්‍රේක්ෂකයින් පැමිණෙන්නේ කුමන තරග සඳහා ද, ඔවුන්ගේ වැඩි කැමැත්ත ඇත්තේ කුමක් සඳහා ද යන කරුණු සියුම් ලෙස විමර්ශන කරමින් පවුම් 200,000 ක් පමණ වියදමක් දරා ඒ සඳහා වාර්තාවක් සැපයීමට රොබර්ට්සන්ට හැකි විය.

ස්ටුවර්ට් රොබර්ට්සන් (Wisden India)

ඒ අනුව එවකට පැවති පැරණි බෙන්සන් සහ හෙජස් තරගාවලිය වෙනුවට ඕවර 20 තරග ආකෘතිය හඳුන්වා දෙන රොබර්ට්සන් ට ක්‍රිකට් ආයතන කමිටුවේ ඡන්ද 11 – 7 ක ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇත. තරගාවලියේ සියලුම අවධානම් භාරගත් රොබර්ට්සන් 2002 වසරේ දී මාධ්‍යය ආයතන සඳහා ආරාධනා කළේ මේ නව ආකෘතිය සඳහා නමක් යෝජනා කරන ලෙසට යි. Sportsmail ආයතනය “ක්‍රිකට් ලයිට් (cricket lite)” ලෙස යෝජනා කළත් වැඩි ප්‍රතිචාරයක් හිමිවූයේ “Twenty20” යන නාමයට යි. ඒ අනුව 2003 වසරේ දී එංගලන්තයේ සියළුම ප්‍රාන්ත එක්ව “Twenty20” තරගාවලියක කුසලානයක් උදෙසා තරග වැදින. ප්‍රථම තරගය පැවැත්වුයේ හැම්ප්ෂයර් සහ සසෙක්ස් ප්‍රාන්ත අතර යි.

ප්‍රථම Twenty20 කුසලානය ජයගත් සරේ ප්‍රාන්තය, 2003 වසරේ දී (ESPNcricinfo)

අන්තර්ජාතික පිළිගැනීම

එතැන් සිට ක්‍රමක්‍රමයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මේ තරග ආකෘතිය වැළඳ ගත අතර 2005 වසරේ දී ප්‍රථම වරට අන්තර්ජාතික තරඟයක් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්විය. එම තරඟයේ ජයග්‍රහණය ඔස්ට්‍රේලියාවට හිමිවූවත් දෙපිලේම දක්ෂතා කැපී පෙනිණ. 2007 වසරේ දී ප්‍රථම වරට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (ICC) Twenty20 ලෝක කුසලානයක් සංවිධානය කළ අතර ප්‍රථම තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ ඉන්දියාව සමත් වූහ.

මේ වනවිට එවැනි ලෝක කුසලාන තරගාවලි 6ක් පවත්වා ඇති අතර එහි වැඩි ගෞරව බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිමිකරගෙන ඇත (ලෝක කුසලාන 2ක්). 20යි 20 තරග රටාව ජනප්‍රිය වන අතරතුර එහි මුල්‍යමය වාසින් හඳුනාගත් ව්‍යාපාරිකයෙක් මෙන්ම ආයෝජකයෙක් වූ ඇලන් ස්ටෑන්ෆර්ඩ් කොදෙව් දූපත් එක්කරගනිමින් ස්ටෑන්ෆ්ර්ඩ් 20/20 තරගාවලිය හඳුන්වා දුන් අතර එය විශාල වශයෙන් මුදල් ඉපැයූ සාර්ථක තරගාවලියක් විය (ඇලන් ස්ටෑන්ෆර්ඩ් 2008 වසරේ දී ඩොලර් බිලියන 8ක මූල්‍යය වංචාවක් හේතුවෙන් වසර 110 ක සිර දඬුවමකට ලක් විය). ඒ අනුව එයට පිළිතුරු වශයෙන් විවිධ රටවල් ඔවුන්ගේ ක්‍රමවේදයකට 20/20 තරගාවලි පවත්වන්නට පටන් ගත් අතර එයින් ඉන්දියානු ප්‍රිමියර් ලීගය සහ බිග් බෑෂ් තරගාවලිය ප්‍රධාන වේ.

ඇලන් ස්ටෑන්ෆර්ඩ් (Getty Images)

ICC සාමාජික රටවල් සඳහා ද 20යි 20 වරම්

මේ 20යි 20 තරගාවලි නිසාම වෙනත් සාමාජික රටවල් සඳහා ද 20යි 20 වරම් හිමිවෙන්නට පටන් ගත් අතර ඒ වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම පිණිස පහත කණ්ඩායම් එක් එක් ලෝක කුසලානයන් සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලි සඳහා සහභාගී වී ඇත.

බර්මියුඩාව – 2008, 2012, 2013

කැනඩාව – 2008, 2010, 2012, 2013, 2015

ස්කොට්ලන්තය – 2008, 2010, 2012, 2013, 2015

අයර්ලන්තය – 2008, 2010, 2012, 2013, 2015

නෙදර්ලන්තය – 2008, 2010, 2012, 2013, 2015

කෙන්යාව – 2008, 2010, 2012, 2013, 2015

ඇෆ්ගනිස්තානය – 2010, 2012, 2013, 2015

ඩෙන්මාර්ක් – 2012, 2013

හොංකොන් – 2012, 2013, 2015

ඉතාලිය – 2012, 2013

ජර්සි – 2015

නැමීබියාව – 2012, 2013, 2015

නේපාලය – 2012, 2013, 2015

ඕමානය – 2012, 2015

පැපුවා නිව් ගිනි – 2015

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – 2010, 2013, 2015

උගන්ඩාව – 2012, 2013

ඇමෙරිකා එක්සත් ජනපදය – 2010, 2012, 2013, 2015

වර්තමානයේ අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය පූර්ණ​ සාමාජිකත්වය හිමිකරගෙන ඇති අතර හොංකොං, නෙදර්ලන්තය, ඕමානය, ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය ජාත්‍යන්තර 20යි 20 වරම් හිමිකරගෙන ඇත.

නේපාල ක්‍රිකට් කණ්ඩායම (AFP)

මෙම තරඟ​ ආකෘතියේ වටිනාකම හඳුනාගත් ICC ය, මෙය ලොවේ අනෙකුත් රටවල් සඳහා ක්‍රිකට් ජනප්‍රිය කරවීම උදෙසා යොදාගන්නට තීරණය කළේ මින් වසර කිහිපයකට පෙර යි. වරක් ඔලිම්පික් තරගයක් ලෙසට ද සම්මත කරගැනීමට උත්සහ දැරූ අතර නොයෙකුත් හේතුන් මත එය සිදු නොවීය. නමුත් අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය, අප්‍රේල් 27 වනදා ගන්නා ලද විස්මයජනක තීරණය අනුව​, ක්‍රිකට් ක්‍රීඩා කරන පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 12 ට අමතරව ICC යේ පිළිගැනීමට ලක්ව ඇති අනෙකුත් සාමාජික රටවල් 92 කට 20 යි 20 ජාත්‍යන්තර වරම් ලබා දීම සිදු වනු ඇත​. ඒ අනුව ලබන වසරේ (2019) ජනවාරි මස පළමුවැනිදා සිට ජාත්‍යන්තර 20යි 20 තරග ක්‍රීඩා කිරීමේ පුර්ණ අනුමැතිය රටවල් 104 ක පිරිමි කණ්ඩායම් සියල්ලන්ටම හිමි යි. කාන්තා කණ්ඩායම් සඳහා මෙය මේ වසරේ ජුලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මකයි.

ඉහත තීරණයට අමතරව 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබු ශුරයින්ගේ කුසලාන තරගාවලිය අහෝසි කර ඒ වෙනුවට 20යි 20 ලෝක කුසලාන තරගාවලිය පවත්වන්නට තීරණය කර ඇති බව ICC ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් රිචර්ඩ්සන් පවසා ඇත. ඒ අනුව 2021 සහ 2022 වසර දෙකේ දී ම 20යි 20 ලෝක කුසලාන පැවැත් වීමට නියමිතයි.

අනාගතයේ දී ශ්‍රී ලංකාව, ආර්ජන්ටිනාව සමඟ තරගයක් වෙනුවෙන් එකිනෙක ගැටෙන කාලය වැඩි ඈතක නොවේ….

COVER – ආර්ජන්ටිනාව සහ බර්මියුඩාව (ICC)

Related Articles