Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හොඳම එක්දින තරගය

කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 2009 නොවැම්බර් මස මුල දී පූර්ණ තරගාවලියක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යන්නේ මනා ස්ථාවරත්වයකින් යුතුව ය. ඒ වන විට අවිවාදාත්මකවම ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායම් දෙකක් වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි බොහෝ විචාරකයින් මත පළ කළා.

ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අහමදාබාද්හි පැවති අතර, එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක ඉන්දීය පිළට ප්‍රබල තරගයක් ලබා දෙමින් එම තරගය ජය පරාජයෙන් තොරව නිමා කළ ද, ඉතිරි තරග දෙකම ඉන්දීය පිළ ඉනිමකින් ජය ගත්තා. කුමාර් සංගක්කරගේ විශිෂ්ඨ පිති හරඹය නිසා විස්ස යි-විස්ස තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. ඉන් පසු ඇරඹි තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලිය ඉතා තියුණු මුහුණුවරක් ගනු ලැබුවා. 

කාසිය වාසිය දිනා ගත් කුමාර් සංගක්කාර ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කරයි.

ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට්හි මධවුරෝ සින්ඩියා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දිවා තරගයක් ලෙස පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයේ කාසිය වාසිය හිමි වුණේ ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාරට යි. එහිදී ඔහු පන්දු යැවීමට තීරණය කළේ දහවල් හිරු රශ්මිය හේතුවෙන් තණ නිල්ලේ තෙතමනය ඉවත් වී ගිය පසු සවස් වරුවේ පිතිකරණය පහසු වේයැ යි උපකල්පනය කරමින්. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සහ විරේන්ද්‍ර සේවාග් යුගලය පන්දුවාර 8.3ක් තුළ ලකුණු 50 සීමාව කරා ගෙන ගියේ ඉන්දීය පිලට සාර්ථක ආරම්භයක් ලබා දෙමින්.

ටෙන්ඩුල්කාර් සහ සේවාග් යුගලයෙන් ලකුණු 153ක සබදතාවක්

එසේ ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් සචින් සහ සේවාග් යුගලය ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළේ ශ්‍රී ලංකා නායක විසින් ‘පන්දු යවන්නන්ගේ පවර්ප්ලේ පන්දු වාර පහ’ ලබා ගැනීමෙන් අනතුරුව යි. ඒ අනුව 19 වැනි පන්දුවාරය අවසන් වන විට ඉන්දීය කණ්ඩායම ලකුණු 150 කඩයිමට ළඟා වූ අතර ඒ වන විට සචින් ලකුණු 69ක් සහ සෙවාග් ලකුණු 81ක් ලබා සිටියා. ඒ වන විට දැඩි ප්‍රහාරයකට ලක්ව සිටි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සැනසිල්ලක් ලබා දෙමින් වේග පන්දු යවන ක්‍රීඩක දිල්හාර ප්‍රනාන්දු විසින් විසි වන පන්දුවාරයේ දී, සචින් ටෙන්ඩුල්කාර්ගේ කඩුල්ල ලකුණු 69කට දවා ගත්තා.

සෙවාග් සහ ටෙන්ඩුල්කාර් ලකුණු 153 ක සබදතාවක
සෙවාග් සහ ටෙන්ඩුල්කාර් ලකුණු 153 ක සබඳතාවක (espncricinfo.com)

නායක දෝනි සහ සේවාග්ගේ ප්‍රහාරය

පළමු කඩුල්ල බිඳ වැටුණු පසු පිටියට පිවිසියේ, උසස්වීමක් ලැබුණු මහේන්ද්‍ර සිං දෝනි, ඉන්දීය නායකයා යි. අනෙකුත් තරගවල අංක 5, 6 ස්ථානවල ක්‍රීඩා කරන දෝණි මෙම තරගයේ අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරමින් විරේන්ද්‍ර සේවාග් සමග එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කළා. මේ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 250 සීමාව පසු කළේ 25 වන පන්දුවාරයේ දී වන අතර, සෙවාග් ඔහුගේ 12 වන එක්දින ජාත්‍යන්තර ශතකය ලබා ගත්තේ පන්දු 66ක් තුළ පමණක් වීම විශේෂත්වයක්. ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 309ක්ව තිබිය දී විරේන්ද්‍ර සේවාග් දැවී යන විට ඔහු හතරේ පහර 17ක්, හයේ පහර 6ක් සමගින් පන්දු 102ක් තුළ ලකුණු 146ක් ලබා සිටියා. මේ අතර දෝණි විසින් ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් දියත් කළේ ලකුණු 31 දී කුමාර් සංගක්කාර විසින් මඟ හැරුණු ස්ටම්ප් කිරීමේ අවස්ථාවක ද උදව්වෙන්. දෝණි-සෙවාග් සබඳතාව ලකුණු 156ක් දක්වා වර්ධනය වුණා.

නායක දෝනි සහ සේවාග්ගේ ප්‍රහාරය
නායක දෝනි සහ සේවාග් පිතිකරණය අතරතුර (espncricinfo.com)

තරගය සමබර වෙයි.

ඉන්පසු එළැඹි පන්දුවාර 8 තුළ ඉන්දීය කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 43කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. එහි දී සෙවාග්, දෝණි, ගම්භීර්, රයිනා, සහ හර්බජාන්ගේ කඩුළු දැවී යමින් ඉන්දියාව පන්දුවාර 43.1ක දී ලකුණු 352/6ක් ලබා සිටියා. නමුත් ඉන් පසු පිටියට පිවිසි තරුණ පිතිකරු යුගලයක් වූ විරාට් කෝලි හා රවීන්ද්‍ර ජඩේජා විසින් ලකුණු 27ක් හා 30 බැගින් ලබා ගනිමින් පන්දුවාර 50 අවසානයේ දී ඉන්දියාව ලකුණු 414/7 දක්වා රැගෙන යාමට සමත් වුණා. එහිදී කෝලි 48 වන පන්දුවාරයේ දී දැවී ගිය අතර ජඩේජා අවසානය වන තෙක් නොදැවී කඩුල්ලෙ රැඳී සිටියා. 

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භක සබඳතාවක් 

ලකුණු 415ක අති දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ තිලකරත්න ඩිල්ෂාන් සහ උපුල් තරංග විසින් ඉතා සාර්ථක ආරම්භයක් ලබා දෙනු ලැබුවා. එහි දී පළමු ලකුණු 50 ලබා ගැනීමට පන්දුවාර 8ක් ගත වූවත් ලකුණු 100ක සබඳතාව පන්දු වාර 12ක් පමණක් අවසානයේ සනිටුහන් කිරීමට මෙම යුගලයට හැකි වුණා. එහි දී ඩිල්ෂාන් සිය අර්ධ ශතකය පන්දු 38ක දී ලබාගත්තා. ඉන්දීය වේග පන්දු යවන්නන් වන ප්‍රවීන් කුමාර්, අශීෂ් නේරා, සහ සහීර් ඛාන් දැඩි ප්‍රහාරයට ලක් කළ මෙම පිතිකරුවන් දෙපළ පළමුවන කඩුල්ලට ලකුණු 188ක් රැස් කළේ පන්දුවාර 24කින්. මෙහි දී උපුල් තරංග පන්දු 60කින් ලකුණු 67ක් ලබා ගෙන සිටිය දී ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගිය අතර එම වසරේ සිය තෙවන ශතකය ඩිල්ෂාන් විසින් පන්දු 73ක් තුළ වාර්තා කරනු ලැබුවා.

 

ඩිල්ශාන්ගෙන් වේගවත් ආරම්භයක්
ඩිල්ශාන්ගෙන් වේගවත් ආරම්භයක් (espncricinfo.com)

තරගයේ හොඳම ඉනිම සංගක්කාරගෙන් 

උපුල් තරංගගේ දැවී යාමත් සමග පිටියට පිවිසි නායක කුමාර් සංගක්කාර තම දිවියේ හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළා. හර්බජාන් ඇතුළුව ඉන්දීය පන්දු යවන බල ඇණියේ සියල්ලන්ටම දිගට හරහට හයේ හතරේ පහරවල් එල්ල කළ කුමාර් සංගක්කාර සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 24 කින් වන අතර එවක එය ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ දෙවන වේගවත්ම එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය ද වුණා. මෙහි දී නායක සංගක්කාර එල්ල කළ ඇතැම් හයේ පාරවල් රාජ්කොට් ක්‍රීඩාංගනයේ වහලය මත පතිත වනු දක්නට ලැබුණා. අවසානයේ ඔහු ප්‍රවීන් කුමාරගේ පන්දුවක් හමුවේ හතරේ සීමාවේ පන්දු රකිමින් සිටි රවීන්ද්‍ර ජඩේජා අතට උඩපන්දුවක් ලබා දී දැවී යන විට, හතරේ පහර 10ක් හා හයේ පහර 5ක් සමගින් පන්දු 43ක දී ලකුණු 90 ලබා සිටියේ පන්දු 100කට ලකුණු 209.30ක ප්‍රහාරාත්මක වේගයක් ද සහිතව යි.

තරගයේ හොඳම ඉනිම සංගක්කාරගෙන්
සංගක්කාරගෙන් හයේ පහරක් (espncricinfo.com)

ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම ඇරඹේ

නායක සංගක්කාරගේ කඩුල්ලත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳවැටීම ඇරඹුනා. පන්දුවාර 37ක දී ලකුණු 316/1 ලෙස පැවැති ශ්‍රී ලංකා ලකුණු පුවරුව, 41 වන පන්දුවාරය වන විට ලකුණු 345/5ක් ලෙස දිස් වුණා. මෙහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හර්බජාන් සිං වැදගත්ම කඩුල්ල වන ඩිල්ෂාන් දවාගත්තා. ඒ වන විට ඔහු පන්දු 124කින් ලකුණු 160ක් ලබා තිබුණේ හතරේ පහර 20ක් හා හයේ පහර 3ක් සමගින්. හර්බජාන් තවදුරටත්, අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ සනත් ජයසූරිය ලකුණු 5කට ස්ටම්ප් කිරීමකට හසු කර ගත් අතර, ඉන් අනතුරුව මහේල ජයවර්ධන දුවද්දී දැවී යාමකට හසු වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම ඇරඹේ
ඩිල්ෂාන්ගේ දැවී යාම (espncricinfo.com)

මැතිව්ස්-කණ්ඩම්බි තරංගය අවසානය කරා ගෙන යයි 

ඉන් පසු පිටියට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ තිලිණ කණ්ඩම්බි යුගලය ලකුණු මට්ටම 400 දක්වා ගෙන ගියේ 48 වන පන්දුවාරයේ දී යි. ඒ අනුව ඉනිමේ අවසාන පන්දුවාර දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයට ලකුණු 15ක් අවැසිව තිබුණා. නමුත් 49 වන පන්දුවාරයේ දී තිළිණ කණ්ඩම්බි සහ තිලාන් සමරවීර යන දෙදෙනාම දුවද්දී දවා ගැනීමට ඉන්දීය පන්දු රකින්නන් සමත් වූ අතර ශ්‍රී ලංකා පිතිකරුවන්ට සහීර් ඛාන් විසින් යොමු කළ එම පන්දුවාරයේදී ලබා ගත හැකිවූයේ ලකුණු 4ක් පමණ යි.

උද්වේගකර අවසානය

ඒ අනුව හා අශීෂ් නේරාගේ අවසාන පන්දු වාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 11ක් ලබා ගත යුතුව තිබුණා. ඇන්ජලෝ මැතිව්ස් ඒ වන විට එක් අන්තයක සිටි නිසා ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට විශාල ඉඩකඩක් තිබුණා. කෙසේ හෝ නේරාගේ අවසාන පන්දුවාරය පහත පරිදි සනිටුහන් වුණා.

  • පළමු පන්දුව – නේරාගෙන් කුලසේකරට, එක ලකුණ යි 
  • දෙවන පන්දුව – නේරාගෙන් මැතිව්ස්ට, ලකුණු දෙක යි 
  • තෙවන පන්දුව – නේරාගෙන් මැතිව්ස්ට, ලකුණු දෙක යි
  • සිව්වන පන්දුව – නේරාගෙන් මැතිව්ස්ට, උඩ පන්දුවක් ලබා දී මැතිව්ස් දැවී යයි 
  • පස්වන පන්දුව – නේරාගෙන් වෙලගෙදරට, එක ලකුණ යි
  • හයවන පන්දුව – නේරාගෙන් කුලසේකරට, එක ලකුණ යි 

ඒ අනුව අශීෂ් නේරා තම කර්තව්‍යය සාර්ථකව නිම කළ අතර ඇන්ජලෝ මැතිව්ස් අවසාන පන්දුවාරයේ සිව්වන පන්දුවේදී ෆුල්ටොස් පන්දුවක් හමුවේ අවාසනාවන්ත ලෙස උඩපන්දුවක් ලබා දී දැවී ගියේ ලකුණු 38කට යි. ඒ අනුව මෙම තරගය ඉන්දීය කණ්ඩායම ලකුණු 3කින් තියුණු ලෙස ජය ගන්නවා.

එක්දින තරඟයකදී රැස්කළ දෙවන වැඩිම ලකුණු එකතුව (ලකුණු 825) සඳහා මෙම තරගය ඉතිහාසගත වනවා.

කුමාර් සංගක්කාර හා තිලකරත්න දිල්ෂාන් එම තරඟයේදී විශිෂ්ට ඉනිම් ක්‍රීඩා කළ ද තරගයේ වීරයා සම්මානය දිනා ගන්නේ ලකුණු 146 ක් ලැබූ විරේන්දර් ෂෙවාග්. ශ්‍රී ලාංකික පිතිකරුවන් ගෙන් ඉතා විශිෂ්ට ක්‍රීඩා විලාශයක් දැකගත හැකි වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට මෙම තරගය ඉතා අමිහිරි මතකයක් වනු ඇත.

උද්වේගකර අවසානය
ඉන්දීය කණ්ඩායම කඩුල්ලක් දවා ගැනීමෙන් පසු (espncricinfo.com)

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව – 414/7 (සේවාග් – 146, දෝනි – 72, ටෙන්ඩුල්කාර් – 69, වෙලගෙදර – 2/63)

ශ්‍රී ලංකාව – 411/8  (ඩිල්ෂාන් – 160, සංගක්කාර – 90, තරංග – 67, හර්බජාන් – 2/58)

කවරයේ පින්තූරය සහ තොරතුරු: espncricinfo.com

Related Articles