Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැටි වැටි නැගිට්ට ඉන්දීය ක්‍රිකට්

2007 වසරේ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවතුණේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී යි. ඒ, රාහුල් ඩ්‍රාවිඩ්ගේ නායකත්වය යටතේ යි. එම කණ්ඩායමට සචින් ටෙන්ඩුල්කාර්, අනිල් කුම්බ්ලේ, සව්රව් ගංගුලී, විරේන්ද්‍ර ෂෙවාග්, යුවරාජ් සිං, සහීර් ඛාන්, මහේන්ද්‍ර සිං දෝනි වැනි සුපිරි ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වුණා. එනිසා ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානයේ දී විශිෂ්ට දස්කම් දක්වනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. එවැනි වටපිටාවක ලෝක කුසලාන තරග බිමට පිවිසි ඉන්දීය කණ්ඩායම පළමු තරගයේ දී ම මුහුණදුන්නේ බලාපොරොත්තු නොවුණු අකරතැබ්බයකට යි.

2007 ලෝක කුසලාන තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණු ඉන්දීය කණ්ඩායම, මාර්තු 17 වැනිදා මූලික වටයේ පළමු තරගයට සහභාගී වුණා. ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව යි. ට්‍රිනිඩෑඩ් හි ක්වීන්ස් පාර්ක් ඕවල් පිටියේ පැවති එම තරගයේ දී කාසියේ වාසිය දිනාගෙන මුලින් ම පන්දුවට පහර දුන්නේ ඉන්දීය කණ්ඩායම යි. එදා බංග්ලාදේශ පන්දු යවන්නන් තරග ආරම්භයේ සිට ම ඉන්දීය පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 4 ම ලකුණු 72ක දී බිඳ වැටුණා.

බංග්ලාදේශය හමුවේ ලද නොසිතූ පරාජය 

ඒ මොහොතේ දී පිටියේ එක් වුණු ගංගුලී සහ යුවරාජ්, ලකුණු 85ක සබඳතාවක් ගොඩනඟමින් ඉන්දීය ඉනිම ස්ථාවර තත්ත්වයකට ගෙන ආවා. එනිසා ලකුණු පුවරුව 157/4ක් බවට පත් වුණා. ඉන්දීය කණ්ඩායම යළි හිස ඔසවමින් සිටි අවස්ථාවක ක්‍රියාත්මක වුණු බංග්ලාදේශ පන්දු යවන්නන් ඉන්දීය ඉනිමේ කඩුලු 5ක් ලකුණු 2ක් ඇතුළත දවා ගත්තා. ඒ මොහොතේ දී 159/9 ලෙසින් දිස්වුණු ඉන්දීය ඉනිම අවසානයේ දී ලකුණු 191කට සීමා වුණා.

2007 ලෝක කුසලාන පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩා විවේකාගාරය-gettyimages

ලකුණු 192ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට, ටමීම් ඉක්බාල් වේගවත් ආරම්භයක් ලබා දුන්නා. එවකට 17 හැවිරිදි වියේ පසු වුණු ටමීම්, පන්දු 53කින් ලබාගත් ලකුණු 51ට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ඇතුළත්. වේගවත් ඉනිමක් අරඹමින් ඉන්දීය පන්දු යවන්නන් මට්ටු කළ ටමීම දැවීයාමෙන් පසු, ඉන්දීය කණ්ඩායම තරගයට අවතීර්ණ වුණා. බංග්ලාදේශ ලකුණු පුවරුව 79/3 ලෙසින් පැවති අවස්ථාවේ පිටියේ එකතු වුණු ශකීබ් අල් හසන් සහ මුෂ්ෆිකර් රහීම් ඉන්දියාවෙන් තරගය නැවත උදුරා ගත්තා. ඔවුන් දෙදෙනා අතර ගොඩනැඟුණු ලකුණු 84ක වටිනා සබඳතාව නිසා පන්දුවාර 48.3ක් අවසානයේ දී කඩුලු 5ක් පමණක් දැවී තිබිය දී බංග්ලාදේශයට ජය හිමි වුණා.

එහි දී බංග්ලාදේශ ඉනිමේ නැංගුරම බවට පත් වූ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 56ක් ද, ශකීබ් අල් හසන් අගනා ලකුණු 53ක් ද වාර්තා කළා. එදා බංග්ලාදේශ ජයග්‍රහණය වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් පිතිකරුවන් තිදෙනාගේ ම වයස අවුරුදු 20ට වඩා අඩු වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. එලෙස පළමු තරගයෙන් ම ලද අනපේක්ෂිත පරාජයත් සමඟ ම ඉන්දියානුවන්ට තරගාවලියේ රැඳී සිටීම සඳහා පළමු වටයේ ඉතිරි තරග දෙකේ ජයග්‍රහණය අනිවාර්යය වුණා.

බංග්ලාදේශය තරගය ජයග්‍රහණය කළ මොහොත
බංග්ලාදේශය තරගය ජයග්‍රහණය කළ මොහොත-gettyimages

ඉන්දියානුවන්ගේ ලෝක කුසලාන ගමනට තිත

බංග්ලාදේශයෙන් ලද පරාජයෙන් පසු බර්මියුඩා කණ්ඩායමට එරෙහිව තරග වැදුණු ඉන්දියානුවන් ලෝක වාර්තා 2ක් පිහිටුවමින් එය ජයගත්තා. එහි දී මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව, නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 413ක් රැස් කළා. එම අවධියේ දී යම් කණ්ඩායමක් එක්දින ලෝක කුසලාන තරගයක දී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය එය යි. ඉන්පසු, ලකුණු 414ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බර්මියුඩාවට සියලුදෙනා ම දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 156ක් පමණ යි. එහි දී ඉන්දියාව ලකුණු 257කින් ලබාගත් ජයග්‍රහණය එකල එක්දින තරගයක දී වැඩි ම ලකුණු පරතරයකින් ලබාගත් ජයග්‍රහණය බවට ද පත් වුණා.

ඒ අයුරින් බර්මියුඩාවට එරෙහි ව විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ඉන්දියානුවන් මූලික වටයේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව තරග වැදුණා. තරගාවලියේ ඊළඟ වටයට පිවිසීමට ඔවුන්ට එම තරගයේ ජය අත්‍යවශ්‍ය වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 254ක් ලබාගත්තා. එදා දැඩි පීඩනයක් මධ්‍යයේ ලකුණු 255ක ඉලක්කයක් හඹාගිය ඉන්දීයාවට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් කිසිදු බුරුලක් ලැබුණේ නැහැ. එනිසා ඉන්දීය ලකුණු පුවරුව 112/6ක් දක්වා පල්ලම් බැස්සා. ඒ මොහොතේ දී නායක ඩ්‍රාවිඩ් ලකුණු 60ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයාමට උත්සාහ කළත්, එය ද අසාර්ථක වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 43.3ක් ඇතුළත ඉන්දීය ඉනිම ලකුණු 185කට සීමා වුණා. ඒ සමඟ ම ඉන්දියාවට 2007 ලෝක කුසලානයේ පළමු වටයෙන් ම ඉවත යන්නට සිදුවුණා. එය 1979 වසරෙන් පසුව ඉන්දියානුවන් ලෝක කුසලාන තරගාවලියක දී පෙන්වූ දුර්වල ම ක්‍රීඩා විලාසය බව විචාරක මතය යි. ඉන්දියාව ලද එම පරාජයත් සමඟ ම කෝඩුකාර බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් සුපිරි අට වටය සඳහා සුදුසුකම් ලැබුවා.

ඉන්දු-ලංකා තරගය අතරතුර
ඉන්දු-ශ්‍රී ලංකා තරගය අතරතුර-gettyimages

ඉන්දීය කණ්ඩායමට එල්ල වුණු විරෝධතා

ඉන්දීය කණ්ඩායම 2007 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ දී ලද අන්ත පරාජයත් සමඟ ම එරට ප්‍රේක්ෂකයන්ගෙන් දැඩි විරෝධයක් ඔවුනට එල්ල වුණා. ක්‍රීඩකයන්ගේ නිවාසවලට ප්‍රහාර එල්ල කිරීම, ක්‍රීඩකයන්ගේ රූප ඇලවූ බූරුවන් පාර දිගේ ප්‍රදර්ශනය කරමින් රැගෙන යාම, ක්‍රීඩකයන්ගේ රුවට සමාන පඹයන් නිර්මාණය කර සපත්තු මාල දමා ගිනි තැබීම වැනි ක්‍රියාකාරකම් රටේ සෑම ප්‍රදේශයකින් ම පාහේ වාර්තා වුණා. ඉන්දීය මාධ්‍ය මඟින් ද ඉන්දීය පිලේ ලෝක කුසලාන පරාජය දැඩි ව විවේචනය කෙරුණා. එනිසා ‘ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව තරුණ ක්‍රීඩකයන් පිරිසක් සමඟ ඉදිරියට ගෙන යා යුතු ය’ යන මතය සමාජය තුළ පැතිර ගියා. අවසානයේ දී ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට ද ප්‍රේක්ෂක මතයට ඇහුන්කම් දීමට සිදුවුණා.

ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වුණු විරෝධතා
ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වුණු විරෝධතා-gettyimages

ඉන්දීය බලධාරීන්ගේ පෙරළිකාර තීරණය

2007 ලෝක කුසලාන පරාජයෙන් මාස 6කට පසු ව 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුණා. එම තරගාවලියට සහභාගී වූ කණ්ඩායමට සචින් ටෙන්ඩුල්කාර්, සව්රව් ගංගුලී, රාහුල් ඩ්‍රාවිඩ්, සහීර් ඛාන් වැනි ප්‍රවීණයන් ඇතුළත් වුණේ නැහැ. ඒ වෙනුවට රොබින් උතප්පා, දිනේෂ් කාර්තික්, යූසුෆ් පතාන්, රෝහිත් ෂර්මා, ආර්.පී සිං, ශ්‍රීසාන්ත්, ජොගින්දර් ෂර්මා වැනි නවක පිරිසක් කණ්ඩායමට ඇතුළත් කර තිබුණා. ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ද මහේන්ද්‍ර සිං දෝනිට භාර දුන්නා.

20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ඉන්දීය කණ්ඩායම නවකයන් රැසක් පිරිවරාගෙන සටන් බිමට පිවිසි නිසා අනෙකුත් කණ්ඩායම් ඔවුන් ගැන විශේෂ අවධානයක් යොමු කළේ නැහැ. එදා පළමු වටයේ දී පාකිස්තානය පරාජය කරමින් සුපිරි අටදෙනාගේ වටයට පිවිසි ඉන්දීය කණ්ඩායම එහි පළමු තරගයේ දී නවසීලන්තය හමුවේ පරාජය වුණා. ලද පරාජයත් සමඟ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ඉතිරි තරග 2ම ජයග්‍රහණය කිරීම ඉන්දියාවට අනිවාර්යය වුණා. එම තීරණාත්මක අවස්ථාවේ දී සිය කණ්ඩායමට නිවැරදි නායකත්වයක් ලබාදුන් දෝනි, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව හමුවේ පැවති තරගවල දී ඉන්දියානුවන්ට ජය ගෙන දුන්නා.

ක්‍රිකට් ලොව කැලඹූ විස්මිත ජයග්‍රහණය

පිට පිට ම ලබාගත් ජයග්‍රහණ ද්විත්වය සමඟින් අවසන් පූර්ව වටයට පිවිසි ඉන්දීය කණ්ඩායමට එහි දී උරෙනුර ගැටීමට සිදුවුණේ ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන් සමඟ යි. එදා ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඕස්ට්‍රේලියානුවන් එක් අවස්ථාවක කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ජයග්‍රාහී මාවතට පිවිස සිටියා. එහි දී ලෙහෙසියෙන් පරාජය භාරගැනීමට අකමැති වුණු දෝනි, නිවැරැදි ලෙස පන්දු රකින්නන් ස්ථානගත කර, පන්දු යවන්නන් මනා ව හසුරවමින් සිය කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන ගියා.

අවසන් තරගයේ දී ඉන්දියාවට තරග වැදීමට සිදුවුණේ සිය සාම්ප්‍රදායික සතුරා වුණු පාකිස්තානය සමඟ යි. වරින් වර දෙපසට දෝලනය වෙමින් පැවති එම තරගය අවසානයේ දී ඉන්දියානුවන්ට වාසිදායක ලෙසින් නිමා කෙරුණා. එදා මිලියන ගණනක ඉන්දියානුවන්ගේ සිහින ඉටු කළ දෝනි, මුල් ම 20/20 ලෝක කුසලානය දිනාගත් ක්‍රිකට් කණ්ඩායම් නායකයා ලෙසින් ඉතිහාසයට එක් වුණා.

20/20 ලෝක කුසලාන ජයග්‍රහණය
20/20 ලෝක කුසලාන ජයග්‍රහණය-gettyimages

යොවුන් ක්‍රීඩකයන්ට ලබාදුන් තල්ලුව

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට අවධානය යොමු කළා. එනිසා 2007 දෙසැම්බර් මාසයේ දී ඩේව් වට්මෝර් ඉන්දීය යොවුන් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් පත් කෙරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2008 යොවුන් ලෝක කුසලානය සඳහා තෝරාගෙන තිබුණු ඉන්දීය කණ්ඩායමට මනා පුහුණුවක් ලැබුණා. එනිසා විරාත් කෝලිගේ නායකත්වයෙන් තරග වැදුණු ඉන්දීය යොවුන් කණ්ඩායම දකුණු අප්‍රිකාව පරාජය කරමින් යොවුන් ලෝක කුසලානය ජයග්‍රහණය කළා. ඊට පෙර ඉන්දීය කණ්ඩායමක් යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබුණේ 2000 වසරේ දී පමණ යි.

22008 යොවුන් ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායම
2008 යොවුන් ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායම (gettyimages)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා සිදුවුණු පෙරළිය

ඉන්දියාව පිට පිට ලබා ගත් ජයග්‍රහණවලින් ලැබුණු පන්නරය නිසා ඉන්දීය බලධාරීන් අමුතු ම ආකාරයේ තීරණයක් ගත්තා. ඒ, ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව තවත් ඉහළට ගෙන ඒම සඳහා විදෙස් ක්‍රීඩකයන් සහභාගී කරගෙන 20/20 ක්‍රිකට් ලීග් තරගාවලියක් පැවැත්වීම යි. එම කාල වකවානුව වන විට රටවල් කිහිපයක 20/20 ක්‍රිකට් ලීග් තරගාවලි පැවැත්වුණත්, ඒවා තරගකාරී මට්ටමක පැවතුණේ නැහැ. ඒ අයුරින් සංවිධානය කෙරුණු මංගල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් මිලදී ගැනීම සඳහා, මුකේෂ් අම්බානි, ෂාරුක් ඛාන් වැනි ධන කුවේරයන් ඉදිරිපත් වුණා. එනිසා එම කාල සමය වන විට ලෝක ක්‍රිකට් පිටියේ සිටි සුපිරි ම ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එකතු කරගැනීමට හැකියාව ලැබුණා. 2008 අප්‍රේල් 18 වැනිදා ආරම්භ වුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නිසා පසු කලෙක ඉන්දියාවට අත්වුණු ප්‍රතිලාභ පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

1) තරගයක් සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනාගෙන් අවම වශයෙන් 7 දෙනෙකු ඉන්දියානු ක්‍රීඩකයන් විය යුතු නිසා වැඩි ඉන්දියානු ක්‍රීඩකයන් ප්‍රමාණයකට තරග සඳහා සහභාගී වීමට වරම් ලැබුණා.

2) දක්ෂ විදෙස් ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කිරීමට ලැබීමත්, පුහුණුවීම් කටයුතු කිරීමට ලැබීමත් නිසා ඉන්දීය ක්‍රීඩකයන්ගේ හැකියා වර්ධනය වූවා.

3) වයස අවුරුදු 20 පමණ සීමාවේ පසුවුණු යොවුන් ක්‍රීඩකයන් පිරිසක් තරගාවලිය සඳහා සම්බන්ධ කරගැනීම නිසා දක්ෂ ක්‍රීඩකයන් ඉන්දියාවෙන් බිහිවීමට අවශ්‍ය වටපිටාවක් සකස් සකස් කෙරුණා.

4) දක්ෂ විදෙස් පුහුණුකරුවන් යටතේ ඉන්දියානු ක්‍රීඩකයන්ට පුහුණුවීමට අවස්ථාව ලැබීම නිසා සමහර ප්‍රසිද්ධ විදෙස් ක්‍රීඩකයන්ගෙන් ඉන්දියානු ක්‍රීඩකයන්ට ඔවුන්ගේ අඩුපාඩු සකසා ගැනීමට උපදෙස් ද ලබා ගත හැකි වූවා.

5) ප්‍රතිවාදී රටවල සිටින දක්ෂ ක්‍රීඩකයන්ගේ තාක්ෂණික දුර්වලතා පිළිබඳ ව අවබෝධයක් ලද හැකිවූවා.

6) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉන්දියානුවන්ට ලැබුණු ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් නිසා එරටින් දක්ෂ ක්‍රීඩකයන් බිහි වීමේ ප්‍රතිශතය වැඩි වුණු ආකාරයක් දිස්වුණා.

මංගල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනූ රාජස්තාන් කණ්ඩායම
මංගල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනූ රාජස්තාන් කණ්ඩායම-gettyimages

දෝනිගේ නායකත්වය යටතේ ජයටැඹ කරා

2008 වසරේ අග භාගය වන විට ඉන්දීය ටෙස්ට්, එක්දින සහ 20/20 යන අංශ තුනේ ම නිත්‍ය නායකත්වය දෝනිට හිමි ව තිබුණා. එහි දී ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායකත්වය හිමි වීමට තරමක් ප්‍රමාද වුණත්, එක්දින සහ 20/20 යන තරග රටාවල නායකත්වය 2007 වසරේ දී ඔහුට හිමි වුණා.


මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය ක්‍රිකට් නායකයා පිළිබඳ තවත් තොරතුරු මේ ලිපියෙන් කියවන්න.


දෝනිට ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරීමත් සමඟ ම, ඉන්දියාව ක්‍රිකට් ලෝකයේ ප්‍රබලතම කණ්ඩායමක් බවට පත් වුණා. ඔහුගේ නායකත්වය යටතේ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක් පහතින්.

1) 2007/08 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ ශූරතාවය, ඉන්දියානු කණ්ඩායමට. එය ඉන්දියානු කණ්ඩායමක් එම තරගාවලියේ ශූරතාවය දිනාගත් පළමු අවස්ථාව යි.

2) 2008 දී ශ්‍රී ලංකාවේ පැවති ඉන්දු-ලංකා එක්දින තරගාවලිය 3-2ක් ලෙස ගත්තේ ඉන්දීය කණ්ඩායම යි. එය, ඉන්දීය කණ්ඩායමක් ශ්‍රී ලංකා බිමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය යි.

3) ඉන්දීය කණ්ඩායම 1968 දී මුල්ම වරට නවසීලන්තයේ දී ටෙස්ට් තරගාවලියක් ජයගත්තා. ඉන් වසර 41ක් යන තුරු ම ඉන්දියානුවන් නවසීලන්ත බිමේ දී ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ නැහැ. එම ඉඩෝරය නිමා කළ මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම, 2009 ටෙස්ට් තරගාවලිය කිවි බිමේ දී 1-0ක් ලෙස ජයගත්තා.

4) 1995 දී මොහොමඩ් අසාරුඩීන්ගේ නායකත්වය යටතේ තරග වැදුණු ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය ජය ගත්තා. ඉන් අනතුරුව පැවති ආසියානු කුසලාන තරගාවලි හතරක දී ඉන්දියාවට ශූරතාව අහිමි වුණා. එලෙස වසර 15ක් පුරාවට පැවති ආසියානු කුසලාන ජයග්‍රහණ ඉඩෝරය නිමා කළ දෝනි, 2010 ආසියානු කුසලානය ඉන්දියාවට දිනා දුන්නා.

වාර්ෂික ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය ජයග්‍රහණය කළ ඉන්දියානුවන්
වාර්ෂික ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය ජයග්‍රහණය කළ ඉන්දියානුවන්-gettyimages

2011 එක්දින ලෝක කුසලාන ජය

2011 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව ප්‍රමුඛ දකුණු ආසියානු කලාපයේ පැවැත්වුණේ 1996න් පසු ව යි. එය ඉන්දියාවට තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා හොඳ අවස්ථාවක් වුණා. මූලික වටයේ තරගවල දී දකුණු අප්‍රිකාවට පමණක් පරාජය වුණු ඉන්දියානුවන්, අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබුවා. එහි දී පිට පිට ම තෙවරක් එක්දින ලෝක ශූරතාව හිමි කරගෙන සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කිරීමට ඉන්දියාව සමත් වුණා. පාකිස්තාන කණ්ඩායමට එරෙහි ව පැවති අවසන් පූර්ව තරගයත් අභියෝගයකින් තොර ව ජයග්‍රහණය කළ දෝනි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

 මුම්බායි නුවර වන්කඩේ පිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව එදා පැවති අවසන් තරගයේ දී ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 114ක් තුළ දැවී ගියා. ඉන් අනතුරු ව පිතිකරු ලැයිස්තුවේ උසස් වීමක් ලබමින් පිටියට පිවිසි දෝනි, පන්දු 79කින් නොදැවී ලකුණු 91ක් ලබාගෙන වසර 28කට පසු ව සිය රටට එක්දින ලෝක කුසලානය උරුම කර දුන්නා. එදා තරගයේ වීරයා සම්මානය හිමි කරගත් දෝනි, තරගය නිමා කිරීමට එල්ල කළ දැවැන්ත හයේ පහර අදටත් ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ ගෞරවණීය සිහිවටනයක්.

2011 ලෝක කුසලාන ජයග්‍රහණය
ඉන්දීය කණ්ඩායමේ 2011 ලෝක කුසලාන ජයග්‍රහණය-gettyimages

2011 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් වසර 10ක කාලය තුළ දී ඉන්දීය කණ්ඩායම තරග රටා තුනේ ම විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. දෝනිගෙන් පසුව නායකත්වය ගත් විරාත් කෝලි ද සිය කණ්ඩායමට ජයග්‍රහණ රැසක් උරුම කළා. සෑම වසරක ම පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා දක්ෂ තරුණ ක්‍රීඩකයන් බිහි වන නිසා ඔවුන්ට හැකියාවෙන් පරිපූර්ණ ක්‍රීඩකයන්ගේ හිඟයක් නැහැ. එනිසා ජාතික කණ්ඩායම් දෙකක් එක්වර ම ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගී කරවීමට තරම් එරට ක්‍රිකට් ක්‍රීඩාව මේ වනවිට දියුණු තත්ත්වයක යි පවතින්නේ.

කවරයේ ඡායාරූපය- ඉන්දීය කණ්ඩායමේ 2011 ලෝක කුසලාන ජයග්‍රහණය-gettyimages
මූලාශ්‍ර:

 www.espncricinfo.com 

www.howstat.com

Related Articles