Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපි නොදන්න ජෝන් සීනා නම් ප්‍රාසාංගික කලාකරුවා

ජෝන් සීනා යන නම ඇසූ සැනින් බාල මහලු ඕනෑම අයෙක් දන්නා තරමට ඔහු ලොව පුරා ජනප්‍රිය වී තිබෙනවා. බොහෝ දෙනෙක් ජෝන් සීනා යන නාමය දැන ගෙන තිබෙන්නේ WWE සමඟ ඔහු මල්ලවපොර ක්‍රීඩාවේ නිරත වීම හේතුවෙන්.

WWE ආයතනයට නැතිව ම බැරි තරුවක් වන ඔහු කලක් මල්ලවපොර ක්‍රීඩාවේ මුදල් ඉපැයීමේ ප්‍රධාන චරිතයක් වී සිටියා. ඔහු ගේ කැපී පෙනෙන හැකියාව නිසා ම බොහෝ කුඩා ළමයින් අතර ජෝන් සීනාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.

ජෝන් සීනා – www.mundodeportivo.com

මල්ලවපොර ක්‍රීඩාවෙන් ඔබ්බට ජෝන් සීනා යනු වෙන ම දිවියක් ගත කරන අයෙක් බව සමහරවිට ඔබ නොදන්නවා විය හැකි යි. ඔහු චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. එපමණක් නොව සමාජ සුබසාධන කටයුතු සඳහා ජෝන් සීනා දක්වන නොමසුරු ආධාර සම්බන්ධයෙන් ද ලොව පුරා ප්‍රසංශා මුඛයෙන් කතාබහට ලක් වනවා. මෙම ලිපියෙන් ඔහු ක්‍රීඩා දිවියෙන් පිට සිදු කරන වැඩ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.

ජෝන් සීනා

ජෝන් ෆීලික්ස් ඇන්තනි සීනා උපත ලබන්නේ අමරිකා එක්සත් ජනපදයේ වෙස්ට් නිව්බෙරි මැසාචුටෙස්ට් හීදි 1977 අප්‍රේල් මස 23 වනදා යි. අඩි 6 අඟල් 1 ක උසකින් යුක්ත ඔහු 1998 වර්ෂයේ දී කායවර්ධන ශූරයෙක් වීමේ අරමුණින් කටයුතු කළා. ජෝන් සීනා 1999 වන විට මල්ලවපොර ක්‍රීඩාවට පිවිසියා. Ultimate Pro Wrestling (UPO) හරහා මල්ලවපොර ක්‍රීඩාවට අවතීර්ණ වන ඔහු කෙටි කලකින් ම ක්‍රීඩාවේ ජනප්‍රිය චරිතයක් බවට පරිවර්තනය වුණා.

2001 දී Ohio Valley Wrestling (OVW) සම≥ ඔහු දක්වන සාර්ථකත්වය දුටු World Wrestling Federation (WWF) ජෝන් සීනා තමන්ගේ මල්ලවපොර ආයතනය සමඟ සම්බන්ධ කර ගැනීමට කටයුතු කළා. අනතුරු ව 2002 වර්ෂයේ WWF ආයතනය World Wrestling Entertainment (WWE) ලෙසින් තම නම වෙනස් කිරීමෙන් අනතුරුවත් සීනා ඔවුන් සමඟ ම රැඳී සිටියා. වසර 20 කට අධික කාලයක් WWE සමඟ ඔහු රැඳී සිටි අතර ම ජෝන් සීනා යන නාමය ලෝක ප්‍රසිද්ධ වීමට ප්‍රධාන ම හේතුව වූයේ ද WWE හි ඔහු දැක්වූ දක්ෂතා යි.

ජෝන් සීනා WWE සමඟ ක්‍රීඩා කරමින් – www.bleacherreport.com

WWE ඉතිහාසයේ වැඩි ම ලෝක ශූරයා වීමේ සම වාර්තාවට ද ජෝන් සීනා උරුමකම් කියනවා. ඔහු WWE ශූරයා 13 වතාවක් සහ World Heavyweight ශූරයා 3 වතාවක් වශයෙන් 16 වරක් ලෝක ශූරයා වීමට සමත් වුණා. එපමණකික් නොනවතින සීනා තුන් වතාවක් WWE United States ශූරතාව, දෙවතාවක් Royal Rumble තරග ජයග්‍රහණය, දෙවතාවක් World Tag Team ශූරතාව ද ජයග්‍රහණය කළා. මේ හේතුවෙන් ජෝන් සීනා යන නාමය WWE පිටියේ අමරණීය වී තිබෙනවා.

ජෝන් සීනා ගේ සිනමා දිවිය

ජෝන් සීනා රංගන දිවියට සම්බන්ධ වන්නේ 2002 දී යි. ඒ ඔහු WWF සමඟ එක් වීමට පෙර වීම විශේෂත්වයක්. ඔහු 2000 වර්ෂයේ දී තිරගත වූ Ready to Rumble සිනමා පටයේ ජිම් පැට්රොන් ගේ චරිතය නිරූපණය කළා. කෙසේ වෙතත් මෙම චිත්‍රපටය බලාපොරොත්තු වූ තරම් ජනප්‍රිය එකක් වූයේ නෑ.

නැවතත් ජෝන් සීනාට චිත්‍රපටයක් වෙනුවෙන් 2006 වර්ෂය වන තෙක් රැඳී සිටීමට සිදු වුණා. ජෝන් සීනා WWE පිටියේ දැක්වූ ජනප්‍රියත්වය හේතුවෙන් 2006 වසරේ WWE ආයතනයේ අනුග්‍රහයෙන් ම නිර්මාණය වූ The Marine චිත්‍රපටයේ රඟ පෑමට ඔහුට අවස්ථාව හිමි වුණා.

The Marine චිත්‍රපටයේ රංගනයේ දායක වෙමින් – www.thesportsrush.com

අමෙරිකානු මැරීන් භටයන් සම්බන්ධයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 22.2 ක පමණ ආදායමක් උපයා ගත්තා. පසු කලෙක ජෝන් සීනා සහ අමරිකානු හමුදාව අතර සුවිශේෂී සම්බන්ධයක් නිර්මාණය වීමට මෙම සිනමාපටය ප්‍රධාන හේතුවක් වුණා. WWE Studios හරහා ඉන් පසුව දිගින් දිගට ම සිනමාව ට සම්බන්ධ වීමේ අවස්ථාව ඔහුට හිමි වුණා. විශේෂයෙන් ම 2009 වර්ෂයේ දී තිරගත වූ Legendary සිනමාපටය ඩොලර් මිලියන 200 ක් උපයා ගත්තා. එය නිෂ්පාදනයට වැය වූයේ ඩොලර් මිලියන 5 ක් පමණක් වීම ද විශේෂත්වයක්.

WWE Studios සමඟ මෙන් ම වෙනත් සමාගම් සමඟ කටයුතු කිරීමේ අවස්ථාව ද ජෝන් සීනාට හිමි වුණා. 2015 තිරගත වූ යුනිවර්සල් පික්චර්ස් ආයතනය නිෂ්පාදනය කළ Sisters චිත්‍රපටය, යුනිවර්සල් පික්චර්ස් ආයතනය නිෂ්පාදනය කළ Trainwreck චිත්‍රපටය, පැරමවුන්ට් ආයතනය නිෂ්පාදනය කළ Daddy’s Home චිත්‍රපටය, Amazon Studios හරහා නිර්මාණය වූ The Wall චිත්‍රපටය මෙයට උදාහරණ වනවා. ඔහු ඒ කාලයේ දී රංගන දිවියට දැඩි ව පිවිස සිටියා.

The Wall චිත්‍රපටයෙන් – www.imdb.com

එතනින් නොනවතින සීනා ඇනිමේෂන් චිත්‍රපට සඳහා හඬකැවීමෙන් ද දායක වුණා. ඔහු හඬකැවීමෙන් දායක වූ Scooby-Doo! Wrestlemania Mystery, Ferdinand, Dolitte වැනි සිනමාපට ලොව පුරා ජනප්‍රිය වුණා. මේ වන විට ජෝන් සීනා රංගනයෙන් සහ හඬකැවීමෙන් දායක වී තිරගත වූ චිත්‍රපටි ගණනින් 24 ක්. තව ම තිරගත නොවූ සහ රූපගත කරන චිත්‍රපට ගණන 5 ක් වනවා. මේ වසරේ දී තිරගත වීමට නියමිත සුප්‍රකට Fast and Furious චිත්‍රපට මාලාවේ මීළඟ නැවතුම වන Fast X හී ද ජෝන් සීනා තම රංගන හැකියාව ප්‍රදර්ශනය කිරීමට නියමිත යි.

රූපවාහිනී කතාමාලාවලටත්

ජෝන් සීනා රූපවාහිනී කතා මාලාවල රංගනයට එක් වන්නේත් 2001 වර්ෂයේ දී යි. Manhunt රූපවාහිනී කතා මාලාවේ බිග් ටිම් නම් චරිතය රඟ දක්වමින් ඔහු පුංචි තිරයට ප්‍රවිෂ්ට වුණා. ඉන් අනතුරුව ඇතැම් රූපවාහිනී කතාමාලාවල යම් යම් කොටස් සඳහා ඔහු රංගන දායකත්වය ලබා දුන්නා.

ජෝන් සීනා ඇතැම් රූපවාහිනී කතාමාලාවලට ඔහුගේ චරිතයෙන් ම සම්බන්ධ වී සිටියා. Deal Or No Deal, Punk’d, Saturday Night Live, Hannah Montana වැනි රූපවාහිනී කතාමාලා ඔහු එලෙස සම්බන්ධ වූ ඒවාට උදාහරණ වශයෙන් නම් කළ හැකි යි.

ඔහු මෙහෙයවූ Saturday Night Live වැඩසටහන අතිශය ජනප්‍රිය වුණා – www.youtube.com

2016-17 අතර කාලයේ විකාශය වූ American Grit නම් රියැලිටි වැඩසටහනේ නිවේදන කටයුතු සඳහා ද ජෝන් සීනා එකතු වුණා. Saturday Night Live යනු කොටස් 942 කින් සමන්විත ප්‍රහසන සජීවී අත්දැකීමක් වූ අතර එහි ද ජෝන් සීනා සැලකියයුතු කාර්යභාරයක් ඉටු කළා. Tour De Pharmacy, Psych: The Movie වැනි රූපවාහිනී සිනමාපට වලට ද දායකත්වය ලබා දුන් ඔහු Rise Of The Teenage Mutant Ninja Turtles වැනි කතාමාලාවලට හඬ කැවීමෙන් ද දායක වුණා.

සමස්යතක් වශයෙන් ජෝන් සීනා සම්බන්ධ වූ මුළු රූපවාහිනී වැඩසටන් සංඛ්‍යාව 31 ක් ලෙසින් සටහන් වනවා. 2021 සිට රූපවාහිනියේ විකාශය වන Peacemaker නම් ජනප්‍රිය කතාමාලාවේ සහය අධ්‍යක්ෂණය මෙන් ම රංගනයෙන් ද දායක වීමට ඔහු කටයුතු කර තිබෙනවා.

රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ ද තමන්ගේ හැකියාව සහ ජනප්‍රියත්වය පෙන්වීම ජෝන් සීනා ගේ ක්‍රීඩා දිවියෙන් ඔබ්බට ගිය සුවිශේෂී කාරණයක් වනවා. ඔහු සම්මාන 7කට නිර්දේශ වීම් මෙන්ම 2017 දී පැවති CinemaCon සම්මාන උළලේ හොඳ ම ක්‍රියාදාම තරුව සම්මානය ජයග්‍රහණය කිරීමට ද සමත් වුණා.

Peacemaker රූපවාහිනී කතා මාලාවේ රංගනයේ නිරත වෙමින් – www.thehollywoodreporter.com

සමාජ සේවය

ජෝන් සීනා යනු සමාජ සේවය කිරීමට අතිශය ළැදි පුද්ගලයෙක්. ඔහු විශේෂයෙන් ම කුඩා ළමයින් සඳහා සුවිශේෂී ආදරයක් සහ සැලකිල්ලක් දක්වනවා. Make a Wish Foundation නම් සංවිධානයක් පිහිටුවා ගත් ජෝන් සීනා ඒ මඟින් විශාල පිරිසකට පිහිට වුණා.

ජීවිත අවදානමට ලක් ව රෝගී ව සිටින ළමයින් වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කොට ඔවුන්ට ප්‍රතිකාර කිරීමට දායක වීම මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණ යි. ඒ මඟින් ළමයින් 650 කට අධික ප්‍රමාණයක් මේ වන විට ප්‍රාර්ථනා ලබා අවසන්. එය ගිනස් ලෝක වාර්තාවක් ලෙසින් ද සටහන් වනවා. එහි දෙවන ස්ථානයේ අගය 200 කටත් වඩා අඩු වීම ම ඔහුගේ කැප වීමේ අපූර්වත්වය කියා පානවා.

2011 වර්ෂයේ දී පැවති Wrestlemania තරගාවලිය අතරතුර සීනා “Rise Above Hate” යනුවෙන් දැක්වෙන ටී ෂර්ටයක් පැළඳ සිටියා. එයින් ඔහු ලබා දුන් පණිවිඩය වූයේ සමාජය තුළ මිනිසුන් හිරිහැරයට ලක් කිරීම වලක්වා තරුවක් වෙන්න යන්න යි. 2012 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී පියයුරු පිළිකා වැලැක්වීම උදෙසා පණිවිඩ ලබා දීම වෙනුවෙන් ජෝන් සීනා රෝස පැහැයෙන් සැරසීමට ද කටයුතු කළා.

කුඩා ළමයින් වෙනුවෙන් ඔහු දක්වන්නේ විශේෂ ආදරයක් – www.elitedaily.com

“Love has no Labels” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කළ ජෝන් සීනා එහිදී සෑම දෙනාට ම, සෑම වර්ගයේ මිනිසකුට ම ආදරය කළ යුතු බවට වන පණිවිඩය ජනතාව අතරට රැගෙන ගියා. 2021 වර්ෂයේ දී Black Lives Matter වෙනුවෙන් ඔහු ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කළ බව ද සඳහන්. මේ ආකාරයෙන් ඔහු කරන සමාජ සේවා නිසා Chris Greicius Celebrity සම්මානයෙන් ද සීනා පිදුම් ලැබුවා.

සාමාන්‍යයෙන් විශාල ඇඟ පතක් හිමි, මස්ගොබ පිරුණ මල්ලවපොර ක්‍රීඩකයෙක් පිටිය තුළ දකින්නට ලැබුණ ද පිටියෙන් පිටත දී ජෝන් සීනා යනු අතිශය සංවේදී චරිතයක්. ඔහු කුඩා ළමයින් වෙනුවෙන් සිදු කරන කැපවීම නිසා බොහෝ දෙනාගේ ආදරය ඔහුට හිමි ව තිබෙනවා. ජෝන් සීනා යන නාමයට මිනිසුන් වෙනත් මල්ලව පොර ක්‍රීඩකයකුට වඩා ආදරය සහ ගෞරවය කිරීමට හේතු වී තිබෙන්නෙ ද මේ සටන් වළල්ලෙන් පිටත ඇති හැසිරීම් රටාව බව ප්‍රකාශ කළ හැකි යි.

කවරයේ ඡායාරූපය - ජෝන් සීනා - www.usanetwork.com
මූලාශ්‍ර :
www.cbssports.com
www.imdb.com
www.tvguide.com
www.buzzfeed.com

Related Articles