Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අතීතයට අභියෝග කල ධාවකයා – ජස්ටින් ගැට්ලින්

මෙවර අන්තර්ජාතික මළල ක්‍රීඩා සංගමය විසින් පවත්වනු ලැබූ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලිය ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම  කෙටිදුර ධාවන ශුර යුසෙන් බෝල්ට් ගේ අවසාන අන්තර්ජාතික තරඟාවලිය වූ අතර තමන්ගේ අවසාන තරඟයේ දී තෙවන ස්ථානයට පත්වීමට බෝල්ට්ට සිදු වුණා. ඒ දෙවතාවක් තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවලට ලක් වූ, හා 2006 වසරේ සිට අවුරුදු 4ක් එම චෝදනාව නිසා ධාවන පථය අහිමි වූ ජස්ටින් ගැට්ලින්ට රන් පදක්කම ලබා දෙමිනුයි. ප්‍රථම ස්ථානය තත්පර 9.92 කින් තරඟය නිමා කල ජස්ටින් ඉදිරියේ ලියවෙන විට තුන්වන තැන ලබා ගත් බෝල්ට් ට ඒ වෙනුවෙන් තත්පර 9.95 ක් වැය කරන්නට  සිදුවී තිබුණා.

තරඟය ආරම්භයට පෙර බෝල්ට් යන නමින් ගිගුරුම් දුන් ක්‍රීඩා පිටිය තරඟයේ අවසානය සමඟ හූ හඩකින් දෙදරුම් දුන්නා. නමුත් මහත්මා ගතිය පෙරටු කරගත් බෝල්ට් නම් තම සගයාට සුභ පතන්න අමතක කළේ නෑ.

ගැට්ලින් හා බෝල්ට් තරඟයෙන් පසු (BBC)

මේ, ඒ අතීතයට අභියෝග කල කෙටි දුර ධාවන ශූර ජස්ටින් ගැට්ලින් ගේ කතාවයි.

කුඩා කල සිට දිගු අනාගතයක ලකුණු පෙන්වූ ජස්ටින්

ජස්ටින් උපත ලබන්නේ 1982 පෙබරවාරි 10 වෙනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වන අතර ඔහුගේ මව ජෙනට් ගැට්ලින් වූ අතර පියා වුයේ විලියම් ගැට්ලින්ය. ෆ්ලොරිඩා ජනපදයේ පෙන්සකෝලා නුවර වුඩ්හැම් උසස් පාසලේ ඉගෙනුම  ලබන සමයේ ඔහුගේ ක්‍රීඩාශීලිත්වය දිස්වීමට පටන් ගෙන ඇත. පාසලේ මළල ක්‍රීඩා කණ්ඩායමේ වේගවත් ම ධාවකයා වූ ජස්ටින් එකල ජනපද ශුරතාව තම පාසල වෙත ගෙන එම සඳහා මහත් වූ කැපවීමක් කර ඇති අතර මේ හේතුන් නිසාම පුහුණුකරුවන්ගේ ඇස ඔහු වෙත නිරායාසයෙන්ම යොමු වී තිබුණි.

ටෙනසී විශ්ව විද්‍යාලයේ (University of Tennessee) වින්ස් ඇන්ඩර්සන් හා බිල් වෙබ් යන පුහුණුකරුවන්ගේ  ගේ සහයෙන් කෙටිදුර ධාවකයෙකු ලෙස ශිෂ්‍යත්වයක් ලබන ජස්ටින් 2000 වසර අග වන විට මීටර් 110 කඩුලු මතින් දිවීමේ දක්ෂයෙකු විය. 2000 වසරේදී ඔහුගේ ජිවිතයේ පෙරළියක් වන්නේ NIKE සමාගමෙන් වෘත්තීය ජවන හා පිටිය ක්‍රීඩකයෙකු ලෙස කොන්ත්‍රාත්තුවක් ලැබීමත් සමඟය.

අධිවේගී කැමරාවක් මගින් ජස්ටින්ගේ තරඟ ආරම්භයක් අධ්‍යනය කරමින් (Peter Bohler)

වින්ස් ඇන්ඩර්සන් යටතේ ඉන්පසු වසර දෙකක් පුහුණු වෙමින් හා කෙටිදුර ධාවකයෙකු ලෙස ලද ශිෂ්‍යත්වය නිමා කරන ඔහු එරට ජාතික පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ දී එකපිට කෙටි දුර ධාවන ඉසව් 6ක් ජය ලබා ගෙන තිබෙනවා.

2001 වසරේදී පළමු වරට තහනම් උත්තේජක චෝදනාවට ඔහුට වසර දෙකක අන්තර්ජාතික තරඟ තහනමක් පනවා තිබුණා. ජස්ටින් පසුව ඉදිරිපත් කළ ඇපෑලකට අනුව ඔහු එම බෙහෙත කුඩා කල සිට භාවිතා කරන ලද්දක් බවට පවසා තිබු අතර, ඉන් පසුව ඔහුට අදාලව තිබූ එම චෝදනාව හා තරඟ තහනම 2002 වසරේ දී අන්තර්ජාතික මළල ක්‍රීඩා සංගමය විසින් ඉවත් කරනු ලැබුවා.

ජයග්‍රහනයන් සොයා යන ගමන ඇරඹු ජස්ටින්

පෘතුගාලයේ ෆ්‍රැන්සිස් ඔබික්වෙලු, හා එකල මීටර 100 ඉසව්වේ රන් පදක්කම ඉසුලු මොරිස් ග්‍රේන් ව පරාජය කරමින් තත්පර 9.85 කින් එම ඉසව්ව නිම කර රන් පදක්කම දිනා ගැනීමට  2004 වසරේ ග්‍රීෂ්ම සෘතු ඔලිම්පික් උළෙලේ දී  මොහුට හැකි වුනා. එය ඔලිම්පික් ඉතිහාසයේ අට වන වේගවත්ම කාලය ලෙස වාර්ථා වී තිබුණා. එමෙන්ම මීටර් 200 X 4 සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභී හා මීටර් 100 X 4 සහය දිවීමේ රිදී පදක්කම් ලාභී එක්සත් ජනපද කණ්ඩායම් වලද ඔහු සාමාජිකයෙක් වී සිටියා.

ගැට්ලින් බෝල්ට ආචාර කරමින් (Getty Images/Anthonin Thuillier)

2005 අගෝස්තු 7 වනදා, එකල 2003 ලෝක ශුරතා මළල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම ලාභියා වූ කිම් කොලින්ස්ව පරාජය කරමින් එම ලෝක ශුරතා තරඟාවලියේ රන් පදක්කම ජස්ටින් ඔහු සතු කර ගත්තේ තත්පර 9.88ක කාලයක් වාර්තා කරමිනුයි. එමෙන්ම එම තරඟාවලියේ දී මීටර් 100 හා 200 යන ඉසව් දෙකම ජයගත් ජස්ටින් ලෝක ශුරතා තරඟාවලියක මොරිස් ග්‍රේන්ට පසු එම දස්කම කල ක්‍රීඩකයා ලෙසද ඉතිහාසගත වුනා.

2006 අගෝස්තු 22 වනදා නැවත වරක් ජස්ටින්ව තරඟ තහනමකට ලක් කෙරුණා. ඒ වන විටත් පෙර තරඟ තහනමකට ලක්වී සිටි නිසා මොහුට ජිවිත කාලයටම බලපාන තරඟ තහනමක් ලැබීමේ අවදානමක් තිබුණත්, එම විනිසුරු මඩුල්ල සමග එකමුතු වී කටයුතු කිරීම මත එය වසර 8 කට සීමා කෙරුණා. මොහු ඉදිරිපත් කල ඇපෑල සලකා බැලූ එම කමිටුව එම තහනම වසර 4කට සිමා කළ නමුත් 2006 මැයි මස 12 වනදා එවක ජැමයිකානු ක්‍රීඩක අසාපා පවෙල් ගේ තත්පර 9.77 ලෝක වාර්තාව සමකර මොහු තබා තිබූ වාර්තාව නිෂ්ප්‍රභා කරනු ලැබුවා.

ඔහුගේ මෙම වසර හතරක කාලය තුල විටෙක ඔහු මළල ක්‍රීඩාවෙන් ඈත්ව Houstan Texans නම් පාපන්දු කණ්ඩායමක් හා එක්ව තරඟ කළ අතර, තම පැරණි පාසල වූ වුඩ්හැම් උසස් පාසලේ මළල ක්‍රීඩා උපදේශකයෙකු ලෙසද එම කාලයේ කටයුතු කර තිබුණා.

2017 ලෝක ශුරතා මළල ක්‍රීඩා උළෙල – මීටර 100 පිරිමි ඉසව්ව (REUTERS/Matthew Childs – RTS1AJUP)

එම වසර හතර නිමා කළ පසු ඔහු 2010 අගෝස්තු 03 වනදා නැවත තරඟ බිමට පැමිණියා. වසර ගණනක පමාවෙන පසු තරඟ බිමට පැමිණීම නිසා පිටියට හුරු වීමට ඔහුට සෑහෙන වෙහෙසක් දැරීමට සිදුව තිබුණා. තරඟ ආරම්භයන් තරමක් පමා වුවත් සුපුරුදු පරිදි තරඟ අවසාන වල නියැලීමට ඔහුට හැකිවුණා. මන්දගාමී නමුත් සාර්ථක වර්ධනයක් ජස්ටින් විසින් ධාවන පථය තුල ළඟා කර ගනිමින් තිබුණා.

තමන්ට වයස අවුරුදු තිහක් වන තැන 2012 ජුනි 24 වනදා මොහු එක්සත් ජනපද ඔලිම්පික් තෝරා ගැනීමේ තරඟයකට සහභාගී වුනා. එහි අවසාන තරඟය තත්පර 9.88ක කාලයක් වාර්තා කරමින් මොහු ජයග්‍රහණය කළ අතර, එය වයස අවුරුදු 30 ක ක්‍රීඩකයෙක් එතෙක් වාර්තා කළ හොදම කාලය ලෙස සැලකෙනවා. 2012 අගෝස්තු මස පැවති ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී තත්පර 9.79 කින් මීටර් 100 ඉසව්ව නිමා කරමින් ඔහු ලෝකඩ පදක්කමට හිමිකම් කියනු ලැබුවා. 2015 කාටාර් නුවර පැවති මළල ක්‍රීඩා උළෙලේදී තත්පර 9.74 කින් මීටර් 100 ඉසව්ව නිමාකරමින් තම හොදම කාලය වාර්තා කරන්නට ජස්ටින්ට හැකි වුනා.

වයස යනු ඉලක්කමක් පමණි 

2017 දී ඔහු ජයග්‍රාහක රේඛාව පසු කරන්නේ ලොව වේගවත්ම මිනිසා යැයි කිරුළු දරා සිටින මිනිසා ද පසු කරමිනි. නැවත වරක් ලොව වේගවත්ම මිනිසා තමන් යැයි ජස්ටින් ගැට්ලින් තම නම ඉදිරියෙන් ලියා ගන්නේ තමන්ට වයස අවුරුදු 35ක් වන තැනයි. එයත් ඔහු සිදු කරන්නේ මෙතෙක් ලොව වේගවත්ම මිනිසාගේ අවසාන තරඟයේදීම වීම විශේෂත්වයකි. නමුත් එහිදී බෝල්ට් පිටියට ආයුබෝවන් කිම ජස්ටින්ගේ ජයග්‍රහනයට වඩා විශාල ලෙස ඉස්මතු වී තිබුණා. තමන් බෝල්ට් ට ඉතාමත් ගෞරව කරන බවද ඔහු තරගයෙන් පසු මාධ්‍ය හමුවේ පවසා සිටියා.

තරඟය නිමා වීමත් සමඟ තම ඇගිල්ල මුව මත තබා තාමාට උසුළු විසුළු කළ හා ‘බූ’ හඬ දුන් ප්‍රේක්ෂකයන්ට නිශ්ශබ්ද වන ලෙස ඔහු සංඥා කළා. තරඟයෙන් පසුව බෝල්ට් කියා සිටියේ ජස්ටින් යනු තමන්ට එතෙක් මෙතෙක් හමුවූ හොදම ප්‍රතිවාදියෙක් බවයි. කැපවීම හා උත්සාහය තිබේ නම් තමා යනු තමාට හොදින්ම විශ්වාස කල හැකි පුද්ගලයා බවට ගැට්ලින් හොදම උදාහරණයක් වනවා.

Cover image -Getty

Related Articles