Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දේදුණු දේශයේ දී දුර්ලභ ජයක් අත්කර දුන්, කුසල් ගේ අනභිබවණීය ඉනිම

පසුගිය 16 වැනි දා ඩර්බන්හි දී නිමාවූ ශ්‍රී ලංකා- දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට කඩුළු 1ක තියුණු ජයක් ලැබුණා. මෙය දකුණු අප්‍රිකාව තුළ ශ්‍රී ලංකාව ලබාගත් දෙවන ටෙස්ට් ජය යි. පරාජය පෙනි පෙනී තිබිය දී නොතිබූ ජයක් වෙත ළඟාවීම සඳහා මෙහිදී ශ්‍රී ලංකාවට මහෝපකාරී වූයේ කුසල් පෙරේරා වාර්තා කළ විශිෂ්ට ශතකය යි. ශ්‍රී ලාංකිකයින්ට නුහුරු නුපුරුදු තණතිල්ලක දී රැස් කළ මේ නොදැවුණු ලකුණු 153 වාර්තා කිරීමේ දී කුසල් පෙරේරා පිතිකරණ වාර්තා රැසක් අළුත් කිරීමට සමත් වුණා.

තරග විස්තර සැකෙවින්

ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ 2347 වෙනි තරගය ලෙස ඇරඹි මේ තරගයේ දී ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම භාර වී තිබුණේ දිමුත් කරුණාරත්නට යි. මේ ඔහු නායකයා වශයෙන් කටයුතු කළ පළමු අවස්ථාව යි. දකුණු අප්‍රිකා කණ්ඩායම ෆැෆ් ඩුප්ලෙසී විසින් මෙහෙයවූ අතර කාසියේ වාසිය දිනූ දිමුත් පළමුවෙන් පන්දුවට පහරදීමේ වාරය දකුණු අප්‍රිකාවට ලබා දෙනවා.

කුසල් පෙරේරා හාවිශ්ව ප්‍රනාන්දු- espncricinfo.com

මේ තරගයේ දී ඕෂධ ප්‍රනාන්දු හා ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත් අතර එතරම් අත්දැකීම් නැති විශ්ව ප්‍රනාන්දු හා කසුන් රාජිත ද වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටියා. කෙසේ නමුත් හොඳින් පන්දු යැවූ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 235කට සීමා කරනවා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකය ක්වින්ටන් ඩි කොක් වාර්තා කළ අතර විශ්ව ප්‍රනාන්දු කඩුළු 4ක් දවාගත්තා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළට සාර්ථක වන්නට ප්‍රබල දකුණු අප්‍රිකා බලඇණිය ඉඩ නුදුන් අතර ශ්‍රී ලංකා ප්‍රථම ඉණිම ලකුණු 191කට සීමා කරන්නට ඔවුන් සමත් වෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු ප්‍රමාණය වන 51 කුසල් පෙරේරා විසින් රැස් කළ අතර ඩේල් ස්ටේන් කඩුළු 4ක් දවාගන්නවා.

ලකුණු 44ක වාසියක් සහිතව සිය දෙවනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානුවන්ට සිතූ තරම් සාර්ථක වන්නට අත්දැකීම් මඳ ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉඩ නොතබන ලද අතර, ඔවුන්ගේ දෙවනි ඉනිම ලකුණු 259කට සීමාවන්නේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 304ක ඉතා අසීරු ඉලක්කයක් තබමින්. මෙහිදී නායක ඩුප්ලෙසී ලකුණු 90ක් ලද අතර සිය මංගල තරගය ක්‍රීඩා කළ ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 5ක් දවාගන්නවා.

ලසිත් ඇඹුල්දෙණිය- AFP

ලොව ප්‍රබලම වේගපන්දු බලඇණියට එරෙහිව, දකුණු අප්‍රිකා තණතීරුවක සිවුවන ඉණිමේ ලකුණු 300 අභිබවා රැස්කිරීම සිහිනයක් බැව් භෝ දෙනා පැවසුවා. මෙය ශපථ කරමින් ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුළු 5ම ලකුණු 110ක් තුළ බිඳ වැටෙනවා. පරාජයේ සෙවනැලි ශ්‍රී ලංකාව ඔස්සේ වැටී තිබිය දී ඒ වන විට කඩුල්ලේ රැඳී සිටි කුසල් පෙරේරාට එක් වූ ධනංජය ද සිල්වා ලකුණු 96ක අගනා සම්බන්ධතාවක් පවත්වනවා. ඔහු ලකුණු 48කට දැවී ගිය පසු තවත් කඩුළු 4ක් ළඟ ළඟ ඇදවැටෙන්නේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 226/9 ලෙස දක්වමින්.

මේ වන විට අර්ධශතකයක් ලබා කුසල් පෙරේරා පිටියේ ස්ථාවර වී සිටිය ද පිතිකරණයට එතරම් දක්ෂතාවක් නැති අංක 11 පිතිකරු විශ්ව ප්‍රනාන්දු දකුණු අප්‍රිකා පන්දු බලඇණියෙන් බේරාගෙන ජයග්‍රහණය කරා ගමන්කිරීමේ භාරදූර කාර්යයක් ඔහුට පැවරී තිබුණා. මේ අවස්ථාවේ නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙමින් කුසල් පෙරේරා විසින් ශ්‍රී ලංකාව ජයටැඹ කරා මෙහෙයවන්නේ සදානුස්මරණීය මතක රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට ඉතිරි කර දෙමින්. පන්දු 200කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් හා 6 පහර 5ක් අන්තර්ගතව තිබුණා. විශේෂයෙන් ජයග්‍රහණය ලබාගැනීම සඳහා ඔහු විසින් එල්ල කළ රමණීය ලේට් කට් පහර 1996 වසරේ දී ලෝක කුසලාන ජය ලබාගැනීමට අර්ජුන රණතුංග විසින් එල්ල කළ පහර සිහිගැන්වූවා.

Getty Images

ජයග්‍රහණය හා සබැඳි වාර්තා

ඉහත ජයග්‍රහණය ලබාගැනීමේ දී ශ්‍රී ලංකාව වාර්තා රැසකට උරුමකම් කීවා. මෙහිදී අවසාන කඩුල්ලට වාර්තා වූ නොදැවුණු ලකුණු 78 ටෙස්ට් තරගයක එතෙක් මෙතෙක් සාර්ථක හඹායාමක දී වාර්තා වූ හොඳම දසවන කඩුළු සම්බන්ධතාව යි. මීට පෙර ඊට උරුමකම් කීවේ 1994 වසරේ දී ලකුණු 57ක් වාර්තා කර තිබූ ඉන්සමාම් උල් හක් හා මුෂ්ටාක් අහමඩුයි. මෙහිදී පළමුපෙළ තරග සඳහා වූ ලකුණු 77 වාර්තාව අභිබවා යන්නට ද විශ්ව හා කුසල් සමත් වුණා.

කුසල් පෙරේරා රැස් කළ ලකුණු 153 සාර්ථක හඹායාමක් කළ සිවුවැනි ඉනිමක දී ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව යි. සිවුවැනි ඉණිමක ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කළ දෙවන හොඳම පෞද්ගලික ඉනිම වන මෙය දෙවැනි වන්නේ 2007 වසරේ හෝබාර්ට් නුවර දී කුමාර් සංගක්කාර වාර්තා කළ ලකුණු 192ට පමණ යි. එමෙන්ම ලොව එදාමෙදා තුර සාර්ථක හඹායාමක් කළ ටෙස්ට් සිව්වැනි ඉනිමක දී ලොව ඕනෑම පිතිකරුවෙකු වාර්තා කළ දසවන ඉහළම ලකුණු ප්‍රමාණය ද කුසල් පෙරේරාගේ මේ නොදැවුණු ලකුණු 153 වෙනවා.

මහේල ජයවර්ධන 2006 තරගයේ ජයග්‍රහණයේ නියමුවා වුණා- thepapare.com

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව හඹාගිය ලකුණු 304 මෙතෙක් ඔවුන් සාර්ථකව හඹාගිය සිවුවැනි විශාලතම හඹායාම වෙනවා සේම මේ ශ්‍රී ලංකාවෙන් පිටත ඔවුන් සිදුකළ හොඳම සාර්ථක හඹායාම යි. එමෙන්ම මෙය දකුණු අප්‍රිකාව එරෙහිව යම් කණ්ඩායමක් සාර්ථකව හඹාගිය පස් වන විශාලතම ලකුණු සංඛ්‍යාව වෙනවා. තව ද, මෙය ශ්‍රී ලංකාව එක් කඩුල්ලකින් ටෙස්ට් තරගයක් ජයගත් දෙවන අවස්ථාව වන අතර, විශේෂත්වය වන්නේ මීට පෙර අවස්ථාවේදීත් ඔවුන් එම දස්කම දක්වා ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිවම වීම යි. 2006 වසරේ කොළඹ දී ලකුණු 352 ක ඉලක්කයක් සාර්ථකව හඹායමින් මොවුන් මේ දස්කම ප්‍රදර්ශනය කළා.

Related Articles