ශ්‍රී ලාංකීය ඔලිම්පික් ඉතිහාසයේ අමතක නොවන සිදුවීම් 6ක්

1948 වසරේ දී  ලංකා කණ්ඩායමක් මුල්ම වරට ඔලිම්පික් තරගාවලියට සහභාගි වුණා. එදා ඩන්කන් වයිට්ගේ නායකත්වය යටතේ ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වුණු ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් හත් දෙනකු ඇතුළත්ව සිටියා. එම ක්‍රීඩකයන් අතුරින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණු ඩන්කන් වයිට් ලංකාවට රිදී පදක්කමක් දිනා දුන්නා. එනිසා ලංකා කණ්ඩායම රටවල් 59ක් අතුරින් 28 වැනි ස්ථානය දිනාගැනීමට සමත් වුණා. ඉන් පසුව ගෙවුණු වසර 73 ඇතුළත ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවුණේ එකම එක රිදී පදක්කමක් පමණ යි. ඒ අයුරින් අපේ ක්‍රීඩකයන්ට සැලකිය යුතු තරම් ඔලිම්පික් පදක්කම් ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකිවුණත් ශ්‍රී ලාංකීය ඔලිම්පික් ඉතිහාසයේ රසබර සිදුවීම් රැසක් හමුවනවා. මේ කියන්නට යන්නේ ශ්‍රී ලාංකීය ඔලිම්පික් ඉතිහාසයේ දී හමුවන අමතක නොවන එවන් සිදුවීම් 6ක් පිළිබඳ යි.

1) ලංකාවට පළවෙනි ඔලිම්පික් පදක්කම ලැබුණු හැටි 

1948 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ පිරිමි මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ මූලික වටයේ තරග ක්‍රියාත්මක වුණේ ජූලි 30 වැනිදා යි. එහි දී මූලික වටයේ හයවන තරගයට සහභාගි වුණු ඩන්කන් වයිට් තත්පර 53.6ක කාලයකින් තරගය නිමකර පළමු ස්ථානයට පත්වුණා. ඒ අයුරින් වයිට් පළමු ස්ථානය දිනාගද්දී අමෙරිකා ක්‍රීඩක ජෙෆ් කර්ක් දෙවන ස්ථානය හිමි කර ගත්තා. එදිනම සවස 5ට පැවැත්වුණු අවසන් පූර්ව වටය සඳහා සහභාගි වුණු වයිට් එහි දී තියුණු තරගයකින් පසුව තෙවන ස්ථානය හිමි කර ගත්තා. අවසන් තරගය සඳහා ක්‍රීඩකයන් හය දෙනකු සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් හය දෙනා අවසන් පූර්ව වටයේ දී වාර්තා කළ කාලය පහත ආකාරයට දක්වන්නට පුළුවන්. 

1) රෝයි කොච්රන් (අමෙරිකාව)- තත්පර 51.9 (නව ඔලිම්පික් වාර්තාවක්)

2) රූන් ලාසන් (ස්වීඩනය)- තත්පර 51.9 (නව ඔලිම්පික් වාර්තාවක්)

3) ඩික් ඕල්ට් (අමෙරිකාව)- තත්පර 52.1

4) ඩන්කන් වයිට් (ලංකාව)- තත්පර 52.1

5) යේව්ස් ක්‍රොස් (ප්‍රංශය)- තත්පර 52.5

6) ඔටාවියෝ මිසෝනි (ඉතාලිය)- තත්පර 53.4 

ඩන්කන් වයිට් 1948 ඔලිම්පික් තරගාවලියේ දී
ඩන්කන් වයිට් 1948 ඔලිම්පික් තරගාවලියේ දී – Sunday Observer

අවසන් පූර්ව තරගයට පසු දිනයේ එනම් 1948 ජූලි 31 වැනි දා (සෙනසුරාදා) සවස 3.30ට මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ අවසන් තරගය පැවැත්වුණා. එම තරගයේ දී අමෙරිකා ක්‍රීඩකයන් යුගළය සහ ස්වීඩන් ක්‍රිඩකයා පදක්කම් දිනාගනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. කිසිවකු නොසිතූ අයුරින් සුපිරි ධාවනයක නිරත වුණු වයිට් හය වන කඩුල්ල දක්වා ම තරගයේ පෙරමුණේ පසු වුණා. එදා හත්වන කඩුල්ල පැනීමේ දී වයිට් අතින් සිදුවුණු අත්වැරැදීමකින් ප්‍රයෝජන ගත් කොච්රන් නම් අමෙරිකානුවා වයිට් අභිබවා ගොස් තත්පර 51.1ක කාලයකින් තරගය නිමා කළේ නව ඔලිම්පික් වාර්තාවක් ද පිහිටුවමින්. එහි දී තත්පර 51.8කදී දෙවනියා ලෙසින් තරගය නිමා කළ වයිට් ද එම ඉසව්වේ පැරණි ඔලිම්පික් වාර්තාව අභිබවා යාම සුවිශේෂී සිදුවීමක් වුණා. මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ අවසන් ප්‍රතිඵලය පහත ආකාරයට සටහන් වුණා.

රන් පදක්කම- රෝයි කොච්රන් (අමෙරිකාව)- තත්පර 51.1- නව ඔලිම්පික් වාර්තාවක් 

රිදී පදක්කම- ඩන්කන් වයිට් (ලංකාව)- තත්පර 51.8

ලෝකඩ පදක්කම- රූන් ලාසන (ස්වීඩනය)- තත්පර 52.2

ඩන්කන් වයිට්ට රිදී පදක්කම එදා පිරිනැමුවේ එංගලන්තයේ ක්‍රීඩා කටයුතු පිළිබඳ සභාපති පෝර්ටල් සාමිවරයායි. ඒ අයුරින් වයිට් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත ලෙසින් සටහන් වුණා. එහි දක්වා තිබුණේ “ලංකාව පනිමින් දිවීමේ ඔලිම්පික් තරගයේ දෙවැන්නා වෙයි” යන්නයි. මෙරට ප්‍රධාන පෙළේ පුවත්පතක ප්‍රධාන පුවතක් ලෙස ක්‍රීඩා පුවතක් පළ වුණු මුල්ම අවස්ථාව ලෙසින් එය ඉතිහාසගත වුණා. 

වයිට් දිනාගත් රිදී පදක්කම
වයිට් දිනාගත් රිදී පදක්කම – Trinity College

2) අධිෂ්ඨානය පිළිබඳ පාඩමක් ලොවට කියා දුන් ලාංකිකයා 

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වුණු ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනකු ඇතුළත් වුණා. එම කණ්ඩායමේ සිටි එකම මලල ක්‍රීඩකයා වුණු රණතුංග කරුණානන්ද තරග වැදීමට  බලාපොරොත්තුවෙන් සිටියේ මීටර් 5000, 10000 සහ මැරතන් යන ඉසව් සඳහා යි. ඒ අතුරින් මීටර් 10000 ඉසව්ව මුලින්ම පැවැත්වුණා. තරගය පැවැත්වීමට පෙර දිනයේ දී කරුණානන්ද උණ රෝගයෙන් පෙළුණා. සිය රෝගී තත්ත්වය පිළිබඳව ද නොතැකූ මෙම ක්‍රීඩකයා මීටර් 10000 තරග ඉසව්ව සඳහා සහභාගි වීමට තීරණය කළා. 

එදා රටවල් 23ක් නියෝජනය කරමින් තරගකරුවන් 38 දෙනකු මෙම ඉසව්ව සඳහා තරග වැදුණා. තරගය ආරම්භ වී වට කිහිපයක් යන තුරු කරුණානන්ද අනිත් තරගකරුවන් සමග කරට කර තරග වැදුණා. නමුත් ඔහු අයහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවුණු නිසා ක්‍රම ක්‍රමයෙන් අනිත් තරගකරුවන් ඔහු අභිබවා වට කිහිපයක් ඉදිරියට ගියා. ඉන් නොසැලුණු කරුණානන්ද අඛණ්ඩව ධාවනයේ යෙදුණා. එදා ඇමරිකාවේ බිලී මිල්ස් මෙම ඉසව්ව සඳහා නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනාගනිද්දී ටියුනීසියාවේ මොහොමඩ් ගමෝඩි සහ ඕස්ට්‍රේලියාවේ රොන් ක්ලාක් පිළිවෙළින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත්තා.

                                              Video from: youtube/Team Sri Lanka

“කරූ සිලෝන්, කරූ සිලෝන්”

ඒ සමඟ ම තරගකරුවන් රැසක් තරගය නිමාකරද්දී තවත් පිරිසක් අතරමැද දී තරගයෙන් ඉවත් වුණා. ඒ අයුරින් සියලු තරගකරුවන් තරගය නිමා කරද්දී කරුණානන්දට තවත් වට 3ක් ඉතිරිව තිබුණා. එම අවස්ථාවේ දී තරගයෙන් ඉවත් නොවුණු කරුණානන්ද දිගටම ධාවනයේ යෙදුණා. ඒ සමඟ ම මුළු ක්‍රීඩාංගණය පුරාම විශාල හූ හඬක් පැතිර ගියා. එය පිළිබඳ තැකීමක් නොකර කරුණානන්ද අඛණ්ඩව ධාවනයේ නිරත වුණා. එක් වරම ක්‍රීඩාගාරයේ සිටි නරඹන්නන් සියල්ලම වාගේ නිශ්ශබ්ද වුණා. ඉන් පසුව වේගවත් අත්පොළසන් හඬක් පිටිය සිසාරා පැතිර ගියා. ඔවුන් “කරූ සිලෝන්, කරූ සිලෝන්” යැයි හඬ නගා කෑගසන්නට වුණා. එම ඔල්වරසන් හඬින් දිරිමත් වුණු කරුණානන්ද කඟවේනකු සේ ධාවනයේ යෙදෙමින් අවසන් වටය නිමා කළා.

ඔහු තරගය අවසන් කිරීමත් සමඟ ම සියලු ම ඡායාරූප ශිල්පීන් එහි දිව ආවා. එදා පදක්කම් දිනාගත් ක්‍රීඩකයන් ගැන අමතක කළ ඡායාරූප ශිල්පීන් එකිනෙකා පරයා කරුණානන්දගේ ඡායාරූප ගැනීමට උත්සාහ කළා. විදෙස් මාධ්‍යවේදීන් රැසක් කරුණානන්ද සමඟ කෙටි සාකච්ඡා පැවැත්වූවා. ඒ අයුරින් විශාල ජනප්‍රියත්වයක් ලබාගත් කරුණානන්ද ඔලිම්පික් ගම්මානයේ සංවිධානය කර තිබුණු ඇතැම් උත්සවවල ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ද සහභාගි වුණා. කරුණානන්දගේ කතාව ජපන් පාසල් පෙළපොත්වලට පවා පසුව ඇතුළත් කිරීම ලංකාවේ අපට විශාල ගෞරවයක් වුණු බව මෙහි දී සඳහන් කළ යුතුයි.

කරුණානන්ද ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී
කරුණානන්ද ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී – The Olympians

3) රෝසාගේ ඔලිම්පික් සිහිනය බොඳව ගිය හැටි 

1948-2020 කාල සමය තුළ පැවති ඔලිම්පික් තරගාවලි අතුරින් ශ්‍රී ලංකාව සහභාගි නොවුණු එකම ඔලිම්පික් උළෙල බවට පත්වුණේ 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙල යි. එදා නිලධාරින් අතර ඇතිව තිබුණු සීතල යුද්ධයත් පරිපාලනයේ දුර්වලතාත් හේතුවෙන් ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමට නොහැකි වීමෙන් එක්තරා ක්‍රීඩකයෙකු අපේක්ෂා භංගත්වයට පත්වුණා. ඒ ඔලිම්පික් මැරතන් පදක්කමක් තම මවුබිමට දිනාදීම සඳහා ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ පාක්හීඩ් සරසවියේ පුහුණුව ලබමින් සිටි ලූෂන් රෝසා නම් දිගු දුර ධාවකයා යි.

1974 වසරේ දී සුප්‍රසිද්ධ බොස්ටන් මැරතන් තරගයට සහභාගි වුණු රෝසා එය පැය 2 විනාඩි 15 තත්පර 53 ක කාලයකින් නිමකර සිව්වන ස්ථානය දිනාගත්තා. ඔහු 1975 වසරේ අග භාගයේ දී ජපානයේ පැවති ජාත්‍යන්තර මැරතන් තරගයක දී පැය 2 විනාඩි 14 තත්පර 31ක කාලයකින් තරගය නිමාකර 11 වන ස්ථානයත් දිනා ගත්තා. එනිසා ඔහු 1976 ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්වෙන් පදක්කමක් දිනාගැනීම සඳහා අඛණ්ඩව පුහුණුවීම්වල නිරත වුණා.

ලූෂන් රෝසා
ලූෂන් රෝසා – letsrun.com

එවැනි වටපිටාවක කළමනාකරු ලේබලය යටතේ ඔලිම්පික් උළෙලට යැවූ ලාංකික නිලධාරියෙක් රෝසාට ඔලිම්පික් උළෙලට සහභාගි වීමට තිබුණු අගනා අවස්ථාව අහිමි කළා. එදා ලූෂන් රෝසා ඔලිම්පික් තරගාවලියට සහභාගි වුණා නම් පදක්කමක් කෙසේ වෙතත් මුල් 10 දෙනා අතරටවත් ඇතුළුවීමේ පැහැදිලි අවස්ථාවක් ඔහුට තිබුණා. මෙරට බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා රෝසාගේ වසර ගණනක උත්සාහය සහ කැපකිරීම් අපතේ ගියා.

4) මයිකල් ජොන්සන් පරාජය කළ ශ්‍රී ලාංකිකයා 

1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේ පිරිමි මීටර් 400 ඉසව්ව සඳහා සුගත් තිලකරත්න සහභාගි වුණා. එම ඉසව්වේ මූලික වටයේ පස්වන තරගයට සහභාගි වුණු සුගත් 8 වන මංතීරුවේ ධාවනයේ යෙදීමට සූදානමින් සිටියා. ඒ වන විට ලෝක මලල ක්‍රීඩා පිටියේ සිටි ප්‍රබලයකු වුණු අමෙරිකාවේ මයිකල් ජොන්සන් තුන්වන මංතීරුව යටතේ තරග වැදුණා. එම තරගය ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ද මාධ්‍යවේදීන් පිරිසක් එහි ගොස් සිටියා. ප්‍රධාන විනිසුරුවරයාගේ ආරම්භක සංඥාව නිකුත්වීමත් සමඟ ම ක්‍රීඩකයන් වේගයෙන් ඉදිරියට ඇදුණා. එහි සිටි සියලුදෙනා ම බලාපොරොත්තුවෙන් සිටියේ මයිකල් ජොන්සන්ගේ ජයග්‍රහණය යි. ජොන්සන් සමඟ කරට කර ධාවනයක යෙදුණු සුගත් අවසානයේ දී ජොන්සන් අභිබවා ගියා. එහි දී සුගත්ගේ තරග නිමි කාලය තත්පර 45.79ක් ලෙසින් සටහන් වෙද්දී ජොන්සන්ගේ තරග නිමි කාලය තත්පර 45.80ක් ලෙසින් සටහන් වුණා. 

සුගත් තිලකරත්න
සුගත් තිලකරත්න – Youtube

 ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් හමුවට එදා ගිය සුගත් දැඩි ලෙස උද්යෝගයට පත්වුණු හඬකින් “අයියෙ මම ෆස්ට්” යනුවෙන් පැවසූ විට අපේ මාධ්‍යවේදීන් පවා අන්දමන්ද වී තිබුණා. ඒ ජොන්සන් මූලික වටයේ තරගයකින් හෝ පරාජය කිරීම ඇදහිය නොහැකි වුණු සිදුවීමක් නිසා යි. එම අවස්ථාවේ සුගත් තිලකරත්න ලෝක ශූර මයිකල් ජොන්සන් ළඟට ගොස් ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළත් කෝපයට පත්ව සිටි ජොන්සන්ගෙන් ඒ සඳහා අවස්ථාවක් නොලැබීම කනගාටුදායක සිදුවීමක් වුණා. එම තරග වටයෙන් පසුව පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තෙවන තරගයේ දී සුගත් සහ ජොන්සන් යළි උරෙනුර ගැටුණා. එහි දී ජොන්සන් පහසුවෙන්ම පළමු ස්ථානය දිනාගත්ත ද සුගත්ට හිමිවුණේ හත්වන ස්ථානය යි. සුගත් අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වෙද්දී අවසන් තරගය දක්වා ම ගිය ජොන්සන් ඔලිම්පික් වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

 5) ඔලිම්පික් පදක්කම් ඉඩෝරය නිමා කළ සුසන්තිකාගේ රිදී පදක්කම 

2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලිය ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවන ඔලිම්පික් තරගාවලියක් බවට පත්වුණා. ඒ වසර 52කට පසුව ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් හිමිවීම නිසා යි. එම විශිෂ්ට ජයග්‍රහණය අප රටට උරුම කර දුන්නේ සුසන්තිකා ජයසිංහ නම් දක්ෂ ක්‍රීඩිකාව යි. ඒ කාන්තා මීටර් 200 තරග ඉසව්ව යටතේ යි. එදා පළමු තරග වට දෙකේ දී පිළිවෙළින් තත්පර 22.53 සහ 22.54 යන කාල වාර්තා කළ ඇය අභියෝගයකින් තොර ව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. අවසන් පූර්ව වටයේ දෙවන තරගයට සහභාගි වුණු සුසන්තිකාට බහාමාස් රාජ්‍යයේ පෝලින් තොම්සන්, ඕස්ට්‍රේලියාවේ කැතී ප්‍රීමන්, අමෙරිකාවේ ටෝරි එඩ්වඩ්ස්, ඕස්ට්‍රේලියාවේ මෙලින්ඩා ටේලර් වැනි ප්‍රබල ක්‍රීඩිකාවන් සමඟ තරග වැදීමට සිදුවුණා.

සුසන්තිකා ජයසිංහ මීටර් 200 ධාවන තරගයේ දී
සුසන්තිකා ජයසිංහ මීටර් 200 ධාවන තරගයේ දී – gettyimages

එහි දී දක්ෂ ලෙස තරග වැදුණු සුසන්තිකා තත්පර 22.45ක කාලයකින් තරගය නිමා කර දෙවන ස්ථානය හිමිකර ගත්තා. එදා මීටර් 200 කාන්තා අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවන් 8 දෙනා පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

1) පෝලින් තොම්සන් (බහාමාස්)- තත්පර 22.38

2) මේරියන් ජෝන්ස් (අමෙරිකාව)- තත්පර 22.40

3) සුසන්තිකා ජයසිංහ (ශ්‍රී ලංකාව)- තත්පර 22.45

4) මෙලින්ඩා ටේලර් (ඕස්ට්‍රේලියාව)- තත්පර 22.62

5) ඩෙබී ෆර්ගසන් (බහාමාස්)- තත්පර 22.62

6) බෙවර්ලි මැක්ඩොනල්ඩ් (ජැමයිකාව)- තත්පර 22.70

7) කැතී ප්‍රීමන් (ඕස්ට්‍රේලියාව)- තත්පර 22.71

8) සානා පින්තුසේවිච් (යුක්රේනය)- තත්පර 22.74

2000 සැප්තැම්බර් 28 වැනිදා පැවති අවසන් තරගයේ දී අමෙරිකාවේ මේරියන් ජෝන්ස් තත්පර 21.84කින් තරගය නිමා කර පහසුවෙන්ම රන් පදක්කම දිනා ගත්තා. තත්පර 22.27ක කාලයකින් තරගය අවසන් කළ බහාමාස් රාජ්‍යයේ පෝලින් තොම්සන්ට රිදී පදක්කම හිමිවෙද්දී තත්පර 22.28ක කාලයකින් තරගය නිම කළ ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහට ලෝකඩ පදක්කම හිමිවුණා. පසු කලෙක මේරියන් ජෝන්ස්ට එල්ල වුණු තහනම් උත්තේජක චෝදනාව යටතේ ඇය වරදකාරිය වුණා. එනිසා ඇයට හිමි ව තිබුණු සියලුම ඔලිම්පික් පදක්කම් අහිමිව ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුසන්තිකා ජයසිංහට රිදී පදක්කම හිමිවුණා. 

6) නිලූක කරුණාරත්නගේ පෙරළිකාර ජයග්‍රහණය

බැඩ්මින්ටන් ක්‍රීඩාව මුල්ම වරට ඔලිම්පික් උළෙලට ඇතුළත් වුණේ 1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියේ දීයි. එදා ශ්‍රී ලංකාව වෙනුවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඔලිම්පික් වරම් ලබාගත් නිරෝෂන් විජේකෝන් පළමු වටයෙන් ම ඉවත් වුණේ හැනාස් ෆුච්ස් නම් ඔස්ට්‍රියානු ක්‍රීඩකයා හමුවේ තරග වට 2-0ක පරාජයක් ලැබූ නිසා යි. ඉන් වසර 20කට පසුව පැවති 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලට නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඔලිම්පික් වරම් ලබා ගත්තා. ඒ අනුව ඔහු බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඔලිම්පික් වරම් ලබා ගත් දෙවන ක්‍රීඩකයා බවට පත්වුණා. 

නිලූක ජපන් ක්‍රීඩකයාට එරෙහිව තරගය ජයගැනීමෙන් පසුව
නිලූක ජපන් ක්‍රීඩකයාට එරෙහිව තරගය ජයගැනීමෙන් පසුව – gettyimages

එදා බැඩ්මින්ටන් පිරිමි ඒකල ඉසව්වට සහභාගි වුණු නිලූක පළමු වටයේ දී විශාල පෙරළියක් සිදු කළා. ඒ ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල අංක 8 ක්‍රීඩකයා බවට පත්ව සිටි ජපානයේ කෙනිචි ටාගෝ තරග වට 2-0ක් ලෙසින් පරාජයට පත්කිරීම යි. එහි දී ලකුණු තත්ත්වය 21-18 සහ 21-16 ලෙසින් සටහන් වුණා. ඉන් පසු පැවති 16 දෙනාගේ තරග වටයේ දී ඉන්දියාවේ කාශ්‍යප පරුපල්ලී, නිලූකගේ ප්‍රතිවාදියා බවට පත්වුණා. එදා තියුණු තරගයකින් පසුව තරග වට 2-1ක් ලෙසින් තරගය ජයගැනීමට කාශ්‍යප සමත් වුණා. එහි දී ලකුණු තත්ත්වය 21-14, 15-21, සහ 21-9 ලෙසින් සටහන් වුණා. එම තරගයෙන් ලද පරාජයත් සමඟින් ඔහු තරගාවලියෙන් ඉවත් වුණත් ලෝක ශ්‍රේණිගතකිරීම්වල ඉහළින් ම සිටි ජපන් ක්‍රීඩකයා පරාජය කිරීම පෙරළිකාර ජයග්‍රහණයක් බවට පත්වුණා.

කවරයේ ඡායාරූපය- සුසන්තිකා සිඩ්නි ඔලිම්පික් පදක්කම් දිනාගත් මොහොත - gettyimages

මූලාශ්‍ර-

ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසය ඔල්වරසන්

Related Articles