Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු ඉතිහාසයේ වාර්තා වුණු දැවැන්ත ජයග්‍රහණ 7ක්

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ 6 වැනි සතියේ තරග පසුගිය සති අන්තයේ පැවැත්වුණා. එලෙස පැවැත්වුණු තරග අතුරින් වැඩි පිරිසකගේ අවධානය යොමුවුණේ මැංචෙස්ටර් සිටි සහ වැට්ෆෝර්ඩ් අතර පැවති තරගය වෙත යි. එහිදී ප්‍රබල තරග රටාවක නිරතවුණු මැංචෙස්ටර් සිටි කණ්ඩායම ගෝල 8-0ක් ලෙසින් ලබාගත් දැවැන්ත ජයග්‍රහණය තරගාවලි ඉතිහාසයේ වාර්තා වුණු දැවැන්තම ජයග්‍රහණ හත අතරට එක්වුණා.

මැංචෙස්ටර් යුනයිටඩ් හමුවේ ඉප්ස්විච් ටවුන් ගෝල 9-0ක පරාජයක් ලැබුවා 

1994/95 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ අනු ශූරතාවය මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හිමිකරගන්නා විට ඉප්ස්විච් ටවුන් කණ්ඩායමට හිමිවුණේ අවසන් ස්ථානය යි. නමුත් මෙම කණ්ඩායම් 2ක ඉප්ස්විච් ටවුන් කණ්ඩායමට අයත් වුණු පෝට්මන් රෝඩ් ක්‍රීඩා පිටියේ දී තරගවැදුණු අවස්ථාවේ ගෝල 3-2ක ජයක් හිමිවුණේ ඉප්ස්විච් කණ්ඩායමට යි. මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට අයත්වුණු ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවති තරගයේ දී එහි වාඩුව ගත් යුනයිටඩ් ක්‍රීඩකයන් ඉප්ස්විච් කණ්ඩායම පරාජයට පත්කළේ ගෝල 9-0ක් ලෙසින්. එලෙස යුනයිටඩ් ක්‍රීඩකයන් එංගලන්ත ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය ලබාගත් අවස්ථාවේ ගෝල 5ක් ම වාර්තා කළේ ඇන්ඩෘ කෝල් නම් ක්‍රීඩකයා යි. ඔහුට අමතරව ලෙස්ලි හියුස් ද ගෝල 2ක් වාර්තා කිරීමට සමත් වුණා.

ඇන්ඩෘ කෝල් ගෝලයක් ලබාගැනීමේ සතුට සමරමින් (gettyimages)

නිව්කාසල් යුනයිටඩ් හමුවේ ෂෙෆීල්ඩ් වෙන්ස්ඩේ ගෝල 8-0ක පරාජයක් ලැබුවා 

1999/2000 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් ස්ථාන 3න් එකක් දිනාගත්තේ ෂෙෆීල්ඩ් වෙන්ස්ඩේ කණ්ඩායම යි. එලෙස දුර්වල තරග රටාවක නිරතවුණු ෂෙෆීල්ඩ් ක්‍රීඩකයන් නිව් කාසල් යුනයිටඩ් කණ්ඩායමට අයත්වුණු ශාන්ත ජේම්ස් පාක් ක්‍රීඩාංගණයේ දී ගෝල 8-0ක දරුණු පරාජයක් හිමිකරගත්තා. එහිදී ජයග්‍රාහී නිව් කාසල් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ තරග රටාවක නිරතවුණු ෂියරර් ගෝල 5ක් වාර්තා කළා. එහිදී ඔහු විනාඩි 12ක් තුළ ලබාගත් ත්‍රිත්ව ගෝලය සුවිශේෂී එකක් වුණා.

ෂියරර් දස්කම් දක්වමින් (gettyimages)

ටොටන්හැම් හොට්ස්පර් හමුවේ විගන් ඇත්ලටික් ගෝල 9-1ක පරාජයක් ලැබුවා 

2009/10 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ටොටන්හැම් හොට්ස්පර් සහ විගන් ඇත්ලටික් යන කණ්ඩායම් දෙක තරග වැදුණේ ටොටන්හැම් කණ්ඩායමට අයත්වුණු වයිට් හාට් ලේන් ක්‍රීඩාංගණයේ දී යි. එම තරගයේ දී සුපිරි දස්කම් දැක්වූ ටොටන්හැම් ක්‍රීඩකයන් ගෝල 9-1ක දැවැන්ත ජයක් ලැබුවා. එහිදී ජයග්‍රාහී ටොටන්හැම් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ කොලින් ඩෙෆෝ ගෝල 5ක් වාර්තා කළේ ත්‍රිත්ව ගෝලයක් ද සමගින්. එලෙස විනාඩි 7ක් තුළ ඩෙෆෝ ලබාගත් ත්‍රිත්ව ගෝලය තරගාවලි ඉතිහාසයේ වාර්තා වුණු තෙවන වේගවත්ම ත්‍රිත්ව ගෝලය ලෙසින් අදටත් වාර්තා අතර පවතිනවා.

ඩෙෆෝ සුපිරි දස්කම් දක්වමින් (gettyimages)

චෙල්සි හමුවේ විගන් ඇත්ලටික් ගෝල 8-0ක පරාජයක් ලැබුවා 

2009/10 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ චෙල්සි සහ විගන් ඇත්ලටික් යන කණ්ඩායම් දෙක තරග වැදුණේ චෙල්සි කණ්ඩායමට අයත්වුණු ස්ටැම්ෆර්ඩ් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ දී යි. එම තරගයේ පළමු භාගය අවසන් වන විට චෙල්සි කණ්ඩායම ගෝල 2-0ක් ලෙස ඉදිරියෙන් සිටියා. ඉන් පසුව ආරම්භ වුණු දෙවන භාගයේ දී දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ චෙල්සි ක්‍රීඩකයන් අවසානයේ දී තරගය ජයග්‍රහණය කළේ ගෝල 8-0ක් ලෙසින්. ජයග්‍රාහී චෙල්සි කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ ඩිඩියර් ඩ්‍රෝග්බා ත්‍රිත්ව ගෝලයක් වාර්තා කළේ විනාඩි 17ක් තුළ යි. ඒ අනුව එකම තරගවාරයක දී විගන් ඇත්ලටික් කණ්ඩායම දරුණු පරාජයන් 2ක් උරුමකර ගත්තා.

ඩ්‍රෝග්බා ගෝලයක් වාර්තා කරමින් (gettyimages)

චෙල්සි හමුවේ ඇස්ටන් විලා ගෝල 8-0ක පරාජයක් ලැබුවා 

එංගලන්ත ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ හමුවන සාර්ථකම කණ්ඩායම් අතුරින් එකක් වන චෙල්සි කණ්ඩායම 2012/13 තරගවාරයේ දී ඇස්ටන් විලා කණ්ඩායම සමග තරගවැදුණේ ස්ටැම්ෆර්ඩ් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ දී යි. එම තරගය ආරම්භයේ සිටම දක්ෂ තරග රටාවක නිරත වුණු චෙල්සි ක්‍රීඩකයන් ගෝල 8-0ක ජයක් ලැබුවේ ඇස්ටන් විලා කණ්ඩායමට දරුණු පරාජයක් උරුමකර දෙමින්. එහිදී චෙල්සි කණ්ඩායම වෙනුවෙන් රැමියරේස් ගෝල 2ක් ලබාගත්තා.

රැමියරේස් ගෝලයක් ලබාගත් අවස්ථාව (gettyimages)

සදම්ප්ටන් හමුවේ සන්ඩර්ලෑන්ඩ් ගෝල 8-0ක පරාජයක් ලැබුවා 

2013/14 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ සදම්ප්ටන් සහ සන්ඩර්ලෑන්ඩ් යන කණ්ඩායම් දෙක තරග වැදුණේ සදම්ප්ටන් කණ්ඩායමට අයත්වුණු ශාන්ත මරියා ක්‍රීඩාංගණයේ දී යි. එම තරගයේ පළමු භාගය අවසන් වන විට  සදම්ප්ටන් කණ්ඩායම ගෝල 2-0 ලෙස ඉදිරියෙන් සිටියා. දෙවන භාගයේ දී වඩාත් වේගවත් 

තරග රටාවක නිරත වුණු සදම්ප්ටන් ක්‍රීඩකයන් තරගය ජයග්‍රහණය කළේ ගෝල 8-0ක් ලෙසින්. එහිදී ඔවුන් ලබාගත් ගෝල 2ක්ම ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට සිදුවුණු අත්වැරදීම් හේතුවෙන් වාර්තා වී තිබුණා.

සදම්ප්ටන් ක්‍රීඩකයන් ගෝලයක් වාර්තා කිරීමේ සතුට සමරමින් (gettyimages)

මැංචෙස්ටර් සිටි හමුවේ වැට්ෆෝර්ඩ් ගෝල 8-0ක පරාජයක් ලැබුවා 

2019/20 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ මැංචෙස්ටර් සිටි සහ වැට්ෆෝර්ඩ් යන කණ්ඩායම් දෙක තරග වැදුණේ මැංචෙස්ටර් සිටි කණ්ඩායමට අයත්වුණු සිටි ඔෆ් මැංචෙස්ටර් ක්‍රීඩාංගණයේ දී යි. තරගයේ මුල සිටම දක්ෂ තරග රටාවක නිරත වුණු මැංචෙස්ටර් සිටි ක්‍රීඩකයන් තරගයේ 18 වැනි විනාඩිය අවසන් වන විට ගෝල 5-0 ලෙසින් තරගයේ පෙරමුණ ගැනීමට සමත්වුණා. එලෙස සාර්ථක ආරම්භයක් ලබාගත් මැංචෙස්ටර් සිටි කණ්ඩායම අවසානයේ දී ගෝල 8-0ක දැවැන්ත ජයක් වාර්තා කළා. ජයග්‍රාහී මැංචෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් බර්නාඩෝ සිල්වා ත්‍රිත්ව ගෝලයක් වාර්තා කරනු ලැබුවා.

බර්නාඩෝ ගෝලයක් වාර්තා කරමින් (gettyimages)

කවරයේ ඡායාරූපය - මැංචෙස්ටර් යුනයිටඩ් සහ ඉප්ස්විච් ටවුන් අතර තරගයේ අවස්ථාවක් (gettyimages)

Related Articles