Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වුණු විශාලතම ජයග්‍රහණ

1987 වසරේ රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වුණේ ලොවපුරා සිටි රග්බි ප්‍රේක්ෂකයන්ගේ සිහින සැබෑ කරමින්. එදා සිට අද දක්වා අඛණ්ඩව පැවැත්වුණු රග්බි ලෝක කුසලාන තරගාවලිය වර්තමානය වන විට ඉතාමත් ජනප්‍රිය එකක් වී තිබෙනවා. එදා මෙදා තුර පැවැත්වුණු රග්බි ලෝක කුසලාන තරගාවලි 8 තුළ දී අමතක නොවන තරග රැසක් හමුවනවා. එලෙස හමුවන තරග අතුරින් කණ්ඩායමක් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා තරග පිළිබඳව ප්‍රේක්ෂකයන් වැඩි උනන්දුවක් දක්වනවා. මෙම ලිපිය වෙන්වන්නේ රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වුණු විශාලම ජයග්‍රහණ පිළිබඳව තොරතුරු ඔබ වෙතට ඉදිරිපත් කිරීමට යි.

2003 තරගාවලියේ දී  නැම්බියාව හමුවේ ඕස්ට්‍රේලියාව 142-00ක ජයක් ලැබුවා

2003 රග්බි ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවැත්වුණු තරගයක දී ඕස්ට්‍රේලියාව සහ නැම්බියාව තරග වැදුණා. එම අවධිය වන විට රග්බි ලෝක ශූරයන් ලෙසින් වැජඹුණු ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුල සිටම වේගවත් තරග රටාවක නිරත වුණා. එලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම දක්ෂ ලෙසින් තරග වැදීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට පළමු භාගය අවසානයේ දී  69-00ක් ලෙසින් පෙරමුණේ සිටීමට හැකිවුණා. අනතුරුව ආරම්භ වුණු දෙවන භාගයේ දී නැම්බියානු කණ්ඩායමට කිසිම අවස්ථාවක් ලබානොදුන් ඕස්ට්‍රේලියානුවන් තරගය ජයග්‍රහණය කළේ 142-00ක් ලෙසින්. එහිදී රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් වැඩිම පරතරයක් සහිතව ලබාගත් ජයග්‍රහණය ලෙසින් එය වාර්තා පොත් අතරට එක්වුණා. 

ඕස්ට්‍රේලියා-නැම්බියා තරගයේ අවස්ථාවක් (gettyimages)

ඊට අමතරව උත්සාහක දිනුම් 22ක් වාර්තා වුණු මෙම තරගය වාර්තා පොත් අතරට එක්වුණේ රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා වුණු තරගය ලෙසින්.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් උත්සාහක දිනුමක් වාර්තා කරමින් (gettyimages)

1995 තරගාවලියේ දී ජපානය හමුවේ නවසීලන්තය 145-17ක ජයක් ලැබුවා 

1995 රග්බි ලෝක කුසලාන තරගාවලියේ C කාණ්ඩය යටතේ පැවැත්වුණු තරගයක දී නවසීලන්තය සහ ජපානය තරග වැදුණා. එවකට ලෝක රග්බි පිටියේ සිටි දැවැන්තම කණ්ඩායම වුණු නවසීලන්ත කණ්ඩායම තරග ආරම්භයේ සිටම තරගයේ පාලනය ඔවුන්ගේ අතට ගත්තා. එලෙස ආරම්භයේ සිටම නවසීලන්ත කණ්ඩායම අනුගමනය කළ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව නිසා තරගයේ පළමු භාගය අවසන් වන විට ඔවුන් 84-3ක් ලෙසින් පෙරමුණේ පසුවුණා. ඉන් පසුව දෙවන භාගයේ දී ත් සුපුරුදු ක්‍රීඩා විලාශය වෙනස් නොකළ නවසීලන්තය අවසානයේ දී 145-17ක් ලෙසින් තරගය ජයග්‍රහණය කළා. එහිදී උත්සාහක දිනුම් 21ක් සමගින්  නවසීලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 145 රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක දී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය යි. එසේම එම තරගයේ දී ප්‍රවර්තන 20ක් සහ උත්සාහක දිනුමක් සමගින් ලකුණු 45ක් ලබාගත් සයිමන් කල්හේන් රග්බි ලෝක කුසලාන තරගයක දී ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කළා. ඊට අමතරව එම තරගයේ දී නවසීලන්තය වෙනුවෙන් උත්සාහක දිනුම් 6ක් ලබාගත් මාක් එලිස් රග්බි ලෝක කුසලාන තරගයක දී වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා ලෙසත් වාර්තා අතරට එක්වුණා. 

නවසීලන්ත-ජපන් තරගයේ අවස්ථාවක් (gettyimages)

2003 තරගාවලියේ දී උරුගුවේ හමුවේ එංගලන්තය 111-13ක ජයක් ලැබුවා

2003 රග්බි ලෝක කුසලාන තරගාවලියේ C කාණ්ඩය යටතේ පැවැත්වුණු තරගයක දී එංගලන්තය සහ උරුගුවේ තරග වැදුණා. එම කාණ්ඩය යටතේ තරග කළ ප්‍රබල ම කණ්ඩායම වුණු එංගලන්තය පළමු භාගය අවසන් වන විට 42-6 ලෙසින් පෙරමුණේ පසුවුණා. එලෙස ආරම්භයේ දී ම තරගයේ පාලනය සියතට ගත් එංගලන්ත ක්‍රීඩකයන් දෙවන භාගයේ දී තවත් ලකුණු 69ක් ලබාගත් නිසා අවසානයේ දී 111-13ක් ලෙසින් පහසු ජයක් ලැබුවා. එංගලන්තය එදා ලබාගත් ලකුණු 111 සඳහා උත්සාහක දිනුම් 17ක් ඇතුළත්  වුණු අතර ඉන් උත්සාහක දිනුම් 5ක් ම ඔවෙන් ලෙව්සි විසින් වාර්තාකර තිබුණා.

එංගලන්ත-උරුගුවේ තරගයේ අවස්ථාවක් (gettyimages)

1999 තරගාවලියේ දී  ඉතාලිය හමුවේ නවසීලන්තය 101-03ක ජයක් ලැබුවා 

1999 ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවති තරගයක දී නවසීලන්තය සහ ඉතාලිය තරග වැදුණා. එම තරගාවලියේ ශූරතාවය දිනාගනු ඇතැ යි බොහෝ දෙනෙකු අපේක්ෂා කළ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම පළමු අර්ධය නිමාවන විට 51-3ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තා. ඉන් පසුව ආරම්භ වුණු දෙවන භාගයේ දීත් වේගවත් තරග රටාවක නිරතවුණු නවසීලන්ත ක්‍රීඩකයන් අවසානයේ දී 101-3ක් ලෙස තරගය ජයග්‍රහණය කළා. 

නවසීලන්ත-ඉතාලි තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 තරගාවලියේ දී  පෘතුගාලය හමුවේ නවසීලන්තය 108-13ක ජයක් ලැබුවා 

2007 රග්බි ලෝක කුසලාන තරගාවලියේ C කාණ්ඩය යටතේ පැවැත්වුණු තරගයක දී නවසීලන්තය සහ පෘතුගාලය තරග වැදුණා. සිය මංගල රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු පෘතුගාල කණ්ඩායමට එරෙහිව මුල සිටම ආක්‍රමණශීලී තරග රටාවක නිරත වුණු නවසීලන්තය පළමු අර්ධය අවසනයේ දී 52-3ක් ලෙසින් පෙරමුණේ පසුවුණා. එලෙස ඉතාමත් පහසුවෙන් ආධුනික පෘතුගාල කණ්ඩායම හමුවේ සිය අණසක පැතිරවූ නවසීලන්ත කණ්ඩායම අවසානයේ දී 108-13ක් ලෙසින් පහසු ජයග්‍රහණයක් ලැබුවා.

1999 තරගාවලියේ දී ටොංගා හමුවේ එංගලන්තය 101-10ක ජයක් ලැබුවා

1999 ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවති තරගයක දී එංගලන්තය සහ ටොංගා තරග වැදුණා. තරගය ආරම්භයේ දී කරට කර සටනක් පැවතුණු මෙම තරගයේ ලකුණු තත්ත්වය එක් අවස්ථාවක 11-7ක් ලෙසින් සටහන් වුණා. නමුත් ඉන් පසුව එංගලන්තය දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් පළමු භාගය අවසන් වන විට 38-10ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තා. ඉන් අනතුරුව පැවැත්වුණු දෙවන භාගයේ දී ටොංගා ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට කිසිදු අවස්ථාවක් ලබානොදුන් එංගලන්ත ක්‍රීඩකයන් තරගය ජයග්‍රහණය කළේ 101-10ක් ලෙස ලකුණු ලබාගනිමින්.

එංගලන්ත-ටොංගා තරගයේ අවස්ථාවක් (gettyimages)

කවරයේ ඡායාරූපය - 1995 තරගාවලියේ නවසීලන්ත-ජපාන තරගයේ අවස්ථාවක් (gettyimages)

Related Articles