Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලානයේ බ්‍රසීලය ලබාගත් විශාලතම ජයග්‍රහණ

1930 වසරේ දී ආරම්භ කළ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තුළ වඩාත්ම සාර්ථක වුණු කණ්ඩායම ලෙස හඳුන්වනු ලබන්නේ බ්‍රසීලය යි. 1958, 1962, 1970, 1994, සහ 2002 වසරවල දී පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණය කළ බ්‍රසීලය, වැඩිම වතාවක් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායම ලෙස ඉතිහාසගත වී සිටිනවා. එසේම, මෙතෙක් පාපන්දු ලෝක කුසලාන තරග 109කට සහභාගි වුණු බ්‍රසීලය, ඉන් තරග 73ක් ජයග්‍රහණය කරමින් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කළ රට බවටත් පත් වුණා. බ්‍රසීලය එලෙස ජයග්‍රහණය කළ තරග 73 අතුරින් අවස්ථාවන් 3ක දී ඔවුන් ගෝල 5ක් හෝ ඊට වැඩි පරතරයක් තබාගෙන තරග ජයග්‍රහණය කර තිබෙනවා. බ්‍රසීල පාපන්දුවේ ස්වර්ණමය යුගය බවට පත්ව තිබුණේ 1958-1970 කාල සමය යි. පේලේ, ගරින්චා, ඩිඩී, වාවා වැනි දැවැන්තයන් බ්‍රසීලය නියෝජනය කළ එම කාල සමයේ ඔවුන් පාපන්දු ලෝක කුසලාන 3ක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. නමුත්, එම යුගයේ දී බ්‍රසීලයට අවම වශයෙන් ගෝල 4ක පරතරයක් තබාගෙනවත් කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වීම තරමක් පුදුම සහගත සිදුවීමක් වුණා. එසේ නම් මෙම ලිපිය තුළින් ඔබ වෙත තොරතුරු ඉදිරිපත් කරන්නේ, බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ දී ලබාගත් විශාලතම ජයග්‍රහණයන් පිළිබඳව යි. 

ස්වීඩනය හමුවේ 7-1ක ජයක් (1950 තරගාවලියේ දී) 

1950 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක රට ලෙසින් කටයුතු කළේ බ්‍රසීලය යි. එය බ්‍රසීලය මුල්මවරට පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සත්කාරකත්වය ලබාදුන් අවස්ථාව වුණා. එවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ තරමක් වෙනස් ආකාරයකට යි. එහි දී මූලික වටයේ තරග අවසන් වීමෙන් පසුව අවසන් වටය සඳහා කණ්ඩායම් 4ක් තෝරාගනු ලැබුවා. ඉන්පසුව, ලීග් ක්‍රමය යටතේ එම කණ්ඩායම් තරග කිරීමෙන් පසුව ශූරතාවය හිමි වුණේ වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායමට යි. ඒ අනුව එවර තරගාවලියේ දී අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගත්තේ උරුගුවේ, බ්‍රසීලය, ස්පාඤ්ඤය, සහ ස්වීඩනය යන කණ්ඩායම් 4 යි. එලෙස පැවැත්වුණු අවසන් වටයේ දී බ්‍රසීලය මුල්මවරට තරග වැදුණේ ස්වීඩනය සමග යි. 1950 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ගෝල මැෂිම වුණු බ්‍රසීලයේ ඇඩෙමීර්, පළමු භාගයේ දී වඩාත්ම සාර්ථක ක්‍රීඩකයා බවට පත් වුණා. ඒ අනුව පළමු භාගය අවසන් වන විට බ්‍රසීලය ගෝල 3-0 ලෙසින් පෙරමුණේ සිටියා. ඉන්පසුව, දෙවන භාගය ආරම්භ වී මිනිත්තු 15ක් පමණ ගත වන විට නැවතත් ක්‍රියාත්මක වුණු ඇඩෙමීර්, තවත් ගෝල 2ක් ලබාගත්තේ බ්‍රසීලය ගෝල 5-0ක් ලෙස ප්‍රබල ස්ථානයකට ගෙන යමින්. එලෙස බ්‍රසීල ක්‍රීඩකයන් තරගයේ අණසක පතුරවමින් සිටි අවස්ථාවක ස්වීඩනය දඬුවම් පහරක් මඟින් ගෝලයක් ලබාගත්ත ද, බ්‍රසීලය තරගය නිමාවට පත් කළේ ගෝල 7-1ක් ලෙසින්. එදා ඇඩෙමීර්, බ්‍රසීලය වෙනුවෙන් ගෝල 4ක් ලබාගන්නා විට ඉදිරිපෙළ ප්‍රහාරක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ චිකෝ, ගෝල 2ක් වාර්තා කළා. බ්‍රසීලය එලෙස ලබාගත් ජයග්‍රහණය ඔවුන් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ ලබාගත් ඉහළම ජයග්‍රහණය ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.

ඇඩෙමීර් ස්වීඩනයට එරෙහිව ගෝලයක් ලබාගනිමින් (gettyimages)

ස්පාඤ්ඤය හමුවේ 6-1ක ජයක් (1950 තරගාවලියේ දී) 

1950 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් වටයේ තෙවන තරගයේ දී උරෙනුර ගැටුණේ බ්‍රසීලය සහ ස්පාඤ්ඤය යන කණ්ඩායම් දෙක යි. රියෝ ද ජැනයිරෝ, නුවර මරකානා පිටියේ පැවති මෙම තරගයේ 15 වැනි විනාඩියේ දී ස්පාඤ්ඤ ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකු අත්වැරැදීමකින් ලබාදුන් ගෝලය නිසා බ්‍රසීලය ගෝල 1-0ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තා. ඉන්පසුව, පළමු භාගය තුළ ජායිර් සහ චිකෝ යන ක්‍රීඩකයන් ලබාගත් ගෝල නිසා තරගය විවේකය සඳහා නතර කරන විට, බ්‍රසීලය 3-0ක් ලෙසින් ගෝල ලබාගෙන තරගයේ පාලනය ඔවුන්ගේ යටතට ගෙන තිබුණා. ඉන්පසුව, ආරම්භ වුණු දෙවන භාගයේ දී චිකෝ, ඇඩෙමීර් සහ සිසින්හෝ ලබාගත් ගෝල නිසා තරගයේ 67 වැනි විනාඩිය අවසන් වන විට ගෝල තත්ත්වය සටහන් වුණේ 6-0 ලෙස යි. එලෙස ස්පාඤ්ඤ ක්‍රීඩකයන් අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ඉගෝවා, ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝලයක් ලබාගත්ත ද තරගය නිමාවට පත් වුණේ බ්‍රසීලයට ගෝල 6-1ක් ලෙස පහසු ජයක් උරුමකර දෙමින්.

මරකානා පිටිය (gettyimages)

මෙක්සිකෝව හමුවේ 5-0ක ජයක් (1954 තරගාවලියේ දී) 

1954 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය බ්‍රසීලයට එතරම් සුභදායී තරගාවලියක් වුණේ නැහැ. එවර මූලික වටයේ තරගවල දී සුපුරුදු දස්කම් දැක්වූ බ්‍රසීලය සිය කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගනු ලැබුවා. නමුත්, ඉන් අනතුරුව පැවති අර්ධ අවසන් පූර්ව වටයේ දී බ්‍රසීල කණ්ඩායම ප්‍රබල හංගේරියානුවන් හමුවේ ගෝල 4-2ක පරාජයක් ලැබුවා. එලෙස 1954 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණු බ්‍රසීලයට මූලික වටයේ තරගවල දී මුලින්ම තරග කිරීමට සිදුවුණේ මෙක්සිකෝව සමග යි. එම තරගය ආරම්භයේ සිටම වේගවත් තරග රටාවක නිරත වුණු බ්‍රසීල ක්‍රීඩකයන් අවස්ථා රැසක දී මෙක්සිකෝ දැල ආක්‍රමණය කිරීමට සමත් වුණා. එලෙස බ්‍රසීල ක්‍රීඩකයන් දියත් කළ ආක්‍රමණශීලි තරග රටාව නිසාම තරගයේ පළමු භාගය අවසන් වන විට බ්‍රසීලය ගෝල 5-0 ලෙසින් පෙරමුණේ පසු වුණා. ඉන් අනතුරුව ආරම්භ වුණු තරගයේ දෙවන භාගයේ දී තවත් ගෝලයක් ලබාගත් බ්‍රසීල ක්‍රීඩකයන් තරගය ජයග්‍රහණය කළේ 5-0 ලෙස ගෝල ලබා ගනිමින්. 

බ්‍රසීල-මෙක්සිකෝ තරගයේ අවස්ථාවක් (gettyimages)

බ්‍රසීලය ලබාගත් තවත් විශාල ජයග්‍රහණ කිහිපයක් 

ඉහත ලබාගත් ජයග්‍රහණයන් තුනම බ්‍රසීලය ගෝල 5ක් හෝ ඊට වැඩි ගෝල පරතරයක් වාර්තා කරමින් ලබාගත් ජයග්‍රහණ යි. එම ජයග්‍රහණවලට අමතරව බ්‍රසීලය ගෝල 4ක පරතරයක් තබාගෙන තරගයක් ජයගත් අවස්ථාවන් 5ක් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ දී හමුවනවා. පහත දැක්වෙන්නේ එම අවස්ථාවන් පහ යි.

1) බ්‍රසීල කණ්ඩායම 1930 තරගාවලියේ දී බොලිවියාව හමුවේ ගෝල 4-0ක ජයක් ලබාගත්තා.

2) බ්‍රසීල කණ්ඩායම 1950 තරගාවලියේ දී මෙක්සිකෝව හමුවේ ගෝල 4-0ක ජයක් ලබාගත්තා.

3) බ්‍රසීල කණ්ඩායම 1982 තරගාවලියේ දී නවසීලන්තය හමුවේ ගෝල 4-0ක ජයක් ලබාගත්තා.

4) බ්‍රසීල කණ්ඩායම 1986 තරගාවලියේ දී පෝලන්තය හමුවේ ගෝල 4-0ක ජයක් ලබාගත්තා.

5) බ්‍රසීල කණ්ඩායම 2002 තරගාවලියේ දී චීනය හමුවේ ගෝල 4-0ක ජයක් ලබාගත්තා.

බ්‍රසීල-පෝලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

කවරයේ ඡායාරූපය- 2002 තරගාවලියේ බ්‍රසීල-චීන තරගයේ අවස්ථාවක් (gettyimages)

Related Articles