Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාලිංග 20/20 පිටියේ වාර්තා අලුත් කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති තෙවැනි  20/20 ක්‍රිකට් තරගය නිමාවුණේ ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක් උරුමකර දෙමින්. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ලකුණු 6කට කඩුලු 5ක් දවාගනිමින් පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූයේ ඔහුගේ නම ඉදිරියේ 20/20 ක්‍රිකට් වාර්තා කිහිපයක් ම සටහන් කරගනිමින්. 

20/20 පිටියේ කඩුලු ත්‍රිත්ව 2ක් දවාගත් එකම පන්දු යවන්නා මාලිංග යි 

20/20 ක්‍රිකට් පිටියේ දී මේ දක්වා වාර්තා වී ඇත්තේ කඩුලු ත්‍රිත්ව 8ක් පමණ යි. ඒ අතුරින් 20/20 කඩුලු ත්‍රිත්ව 2ක් ලබාගත් එකම පන්දු යවන්නා බවට පත්වීමේ වාසනාව මාලිංගට හිමිවුණේ නවසීලන්තයට එරෙහිව පිට පිටම පන්දු 4කින් කඩුලු 4ක් ලබාගනිමින්. එහිදී මුන්රෝ සහ ග්‍රෑන්ඩ්හොම් කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදී දැවී යන විට රදර්ෆඩ් සහ ටේලර් දැවීගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්. මාලිංග 20/20 තරගවල දී මුල්ම කඩුලු ත්‍රිත්වය වාර්තා කළේ 2017 වසරේ බංග්ලාදේශයට එරෙහිව යි. කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති එම තරගයේ දී රහීම්, මොර්ටාසා, සහ මෙහෙදි හසන් යන පිතිකරුවන් මාලිංගගේ කඩුලු ත්‍රිත්වයට ගොදුරු වුණා. එහිදී රහීම් සහ මොර්ටාසා කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදී දැවීයන විට මෙහෙදි දැවීගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්. ඒ අනුව මාලිංග ලබාගත් මෙම කඩුලු ත්‍රිත්ව 2හි දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණය වන්නේ ඔහු කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුගේ සහයෝගය නොමැතිව එම කඩුලු ත්‍රිත්ව ලබාගෙන තිබීම යි. 

මාලිංග මුල්ම 20/20 කඩුලු ත්‍රිත්වය ලබාගත් අවස්ථාව (gettyimages)

20/20 තරග ඉතිහාසයේ කඩුලු 100ක් දවාගත් මුල්ම පන්දු යවන්නා ඔහු යි 

2005 වසරේ දී 20/20 තරග රටාව ආරම්භ වුණා. එලෙස ආරම්භ වුණු 20/20 තරග රටාව තුළ දී කඩුලු 100ක් ලබාගත් මුල්ම පන්දු යවන්නා බවට ඉතිහාසගත වුණේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග යි. මාලිංග එම දස්කම් දැක්වූයේ නවසීලන්ත තරගයේ දී කොලින් මුන්රෝගේ කඩුල්ල දවාගනිමින්. සිය 20/20 තරග දිවියේ  76 වැනි තරගයේ දී මෙම කඩයිම වෙත ළගාවුණු මාලිංග විශිෂ්ඨතම පන්දු යවන්නෙකු බව පෙනීයන්නේ ඔහුගේ 20/20 පන්දු යැවීමේ දත්ත නිරීක්ෂණය කිරීමෙන්.

සහභාගි වී ඇති තරග ප්‍රමාණය – 76

යවා ඇති පන්දු ප්‍රමාණය – 1643

ලබා දී ඇති ලකුණු ප්‍රමාණය – 1929

ලබාගෙන ඇති කඩුලු ප්‍රමාණය -104 

හොඳම පන්දු යැවීම – 6/5 නවසීලන්තයට එරෙහිව 2019 වසරේ දී 

කඩුලු 5 බැගින් ලබාගත් අවස්ථා ගණන – 2

පන්දු යැවීමේ සාමාන්‍යය – 19.03

පන්දුවාරයකට ලකුණු – 7.23

ප්‍රහාරක වේගය – 15.80

ලබාගෙන ඇති කඩුලු ත්‍රිත්ව ප්‍රමාණය – 2

මාලිංග 20/20 තරග දිවියේ 100 වැනි කඩුල්ල දවාගත් අවස්ථාව (gettyimages)

20/20 තරගයක දී පන්දු වාරයක වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත්තේ මාලිංග යි 

20/20 තරගයක දී පිට පිටම පන්දු 4ක දී කඩුලු 4ක් දවාගත් මුල්ම පන්දු යවන්නා වුණේ ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්. ඔහු 2019 වසරේ දී අයර්ලන්තයට එරෙහිව එම දස්කම කළා. නමුත් ඔහු පන්දුවාර 2ක් ඇතුළත එම දස්කම කරන විට මාලිංග එම කඩුලු 4ම ලබාගත්තේ එකම පන්දුවාරයක් තුළ යි. එම නිසා මාලිංග 20/20 වාර්තා පොත් අතරට එක්වන්නේ එක් පන්දුවාරයක් තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා ලෙසින්. ඊට අමතරව 2010 වසරේ දී පැවැත්වුණු  20/20 ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්ථානු පන්දු යවන්නෙකු වුණු මොහොමඩ් අමීර් ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රියාත්මක කළ පන්දුවාරයක දී කඩුලු 5ක් දැවීගියා. නමුත් එහිදී දුවද්දී දැවීයාම් 2ක් වාර්තා වුණු නිසා අමීර් විසින් දවාගත්තේ කඩුලු 3ක් පමණ යි.

මාලිංග පිට පිටම සිව්වන කඩුල්ල දවාගත් අවස්ථාව (gettyimages)

මාලිංගගේ කඩුලු ත්‍රිත්වයත් සමගින් වැඩිම 20/20 කඩුලු ත්‍රිත්ව ප්‍රමාණයක් හිමි රට ශ්‍රී ලංකාව යි 

මාලිංග සිය දෙවන 20/20 කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට පෙර පෙර ශ්‍රී ලංකා සහ නවසීලන්ත පන්දු යවන්නන් 20/20 කඩුලු ත්‍රිත්ව 2ක බැගින් ලබාගෙන සිටියා. මාලිංග සිය දෙවන 20/20 කඩුලු ත්‍රිත්වය ලබාගැනීමත් සමගින් එම වාර්තාව ශ්‍රී ලංකාවට උරුම වුණා. 20/20 තරග ඉතිහාසයේ වාර්තා වී ඇති කඩුලු ත්‍රිත්ව 8 මෙසේ දැක්විය හැකියි.

1) බ්‍රෙට් ලී (ඕස්ට්‍රේලියාව ) – බංග්ලාදේශයට එරෙහිව 2007 වසරේ දී 

2) ජේකබ් ඕරාම් (නවසීලන්තය) – ශ්‍රී ලංකාවට එරෙහිව 2009 වසරේ දී 

3) ටිම් සවුති (නවසීලන්තය) – පාකිස්ථානයට එරෙහිව 2010 වසරේ දී 

4) තිසර පෙරේරා (ශ්‍රී ලංකාව) – ඉන්දියාවට එරෙහිව 2016 වසරේ දී 

5) ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) – බංග්ලාදේශයට එරෙහිව 2017 වසරේ දී 

6) ෆාහිම් අෂ්‍රෆ් (පාකිස්ථානය)- ශ්‍රී ලංකාවට එරෙහිව 2017 වසරේ දී 

7) රෂීඩ් ඛාන් (ඇෆ්ගනිස්තානය)- අයර්ලන්තයට එරෙහිව 2019 වසරේ දී 

8) ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) – නවසීලන්තයට එරෙහිව 2019 වසරේ දී 

මාලිංග සිය දෙවන 20/20 කඩුලු ත්‍රිත්වය දවාගත් අවස්ථාව (gettyimages)

20/20 තරගයක නායකයෙකු කළ හොඳම පන්දු යැවීමත් මාලිංගගේ නම ඉදිරියේ සටහන් වුණා 

20/20 තරග ඉතිහාසයේ යම් කණ්ඩායම නායකයෙකු තරගයක කඩුලු 5ක් ලබාගත් අවස්ථාවන් 3ක් වාර්තා වී තිබෙනවා. එම දස්කම මුලින්ම දැක්වීමට සමත්වුණේ බංග්ලාදේශ ශකීබ් අල් හසන්. නමුත් මේ වන විට 20/20 තරගයක නායකයෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකා 20/20 නායක ලසිත් මාලිංගගේ නම ඉදිරියෙන්. 20/20 තරගයක නායකයෙකු කඩුලු 5ක් දවාගත් අවස්ථාවන් තුන මෙසේ දැක්විය හැකියි.

1) ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) – 6/5 නවසීලන්තයට එරෙහිව 2019 වසරේ දී 

2) චාල්ස් පර්චාර්ඩ් (ජර්සි) – 17/5 ගර්න්සිට එරෙහිව 2019 වසරේ දී 

3) ශකිබ් අල් හසන් (බංග්ලාදේශය) – 20/5 බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව 2018 වසරේ දී 

ශකීබ් කොදෙව්වන්ට එරෙහිවපන්දු යවමින් (gettyimages)

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ත්‍රිත්ව ප්‍රමාණයක් ලබාගත් පන්දු යවන්නා ඔහුයි 

මාලිංග මෙම කඩුලු ත්‍රිත්වය ලබාගැනීමට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු ත්‍රිත්ව 4ක හිමිකරුවෙකු වුණා. ඒ අතරට එක්දින කඩුලු ත්‍රිත්ව 3ක් සහ 20/20 කඩුලු ත්‍රිත්වයක් අයත්ව තිබුණා. පාකිස්ථානයෙන් බිහිවුණු සුපිරිම වේග පන්දු යවන්නෙකු වුණු වසීම් අක්‍රම් ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු ත්‍රිත්ව 4ක හිමිකරුවෙක්. එහිදී අක්‍රම් ටෙස්ට් සහ එක්දින කඩුලු ත්‍රිත්ව දෙක බැගින් ලබාගෙන තිබෙනවා. නමුත් මාලිංග නවසීලන්තයට එරෙහිව ලබාගත් කඩුලු ත්‍රිත්වයත් සමගින් ඔහු වැඩිම ජාත්‍යන්තර කඩුලු ත්‍රිත්ව ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත් වුණේ කඩුලු ත්‍රිත්ව 5ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කරගනිමින්. එසේම එක්දින සහ 20/20 තරගවල දී වැඩිම කඩුලු ත්‍රිත්ව ලාභියා ලෙසින් වැජඹෙන්නේ ද මාලිංග යි.

අක්‍රම් විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබාගත් අවස්ථාව (gettyimages)

කවරයේ ඡායාරූපය - මාලිංග නවසීලන්තයට එරෙහිව සුපිරි දස්කම් දක්වමින් (gettyimages)

Related Articles