Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20/20 ක්‍රිකට් ජයග්‍රහණයයි: ටෝකියෝ ඔලිම්පික් පිටියයි

නිමාවුණු සතියේ ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට ජයග්‍රාහී අත්දැකීමක් විඳ ගන්නට ලැබුණා. ඒ ඉන්දියාව හමුවේ 20/20 තරගාවලි ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාව ලැබුණු නිසා යි. එලෙස දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් වෙද්දී බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබුණේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල දෙසට යි. ඒ අයුරින් මෙතෙර පමණක් නොව එතෙර කෙළිබිම ද උණුසුම් වුණු නිසා මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ගෙවුණු සතියේ කෙළිබිමෙන් වාර්තා වූ සුවිශේෂී සිදුවීම් පිළිබඳව යි. 

ඉන්දියාවට එරෙහිව ලබාගත් මංගල 20/20 තරගාවලි ජයග්‍රහණය

2021 ඉන්දු-ලංකා 20/20 තරගාවලියේ පළමු තරගය  කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී පසුගිය ජූලි 25 වැනිදා පැවැත්වුණා. එම තරගයේ දී මුලින් ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමාව දකිද්දී කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා. එහි දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර් යාදව් පන්දු 34කින් අගනා ලකුණු 50ක් ලබා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබාදුන් නායක ෂිකර් ධවාන් ලකුණු 46ක් වාර්තා කළා. එලෙස ඉන්දියානුවන් පිත්තෙන් දස්කම් දක්වද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවාගත්තා. 

ඉන් අනතුරුව  පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ. එනිසා පන්දුවාර 18.3ක් අවසානයේ දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 126කට සීමා වුණා. එහි දී තරමක් දුරට සාර්ථකත්වයට පත්වුණු චරිත් අසලංක හයේ පහර 3ක් සමඟින් වටිනා ලකුණු 44ක් ලබා ගත්තා. අවසානයේ දී ඉන්දියානුවන්ට ලකුණු 38ක ජයක් උරුම වුණු එම තරගයේ වීරයා ලෙසින් ලකුණු 22කට කඩුලු 4ක් දවාගත් බුවනේෂ්වර් කුමාර් සම්මාන ලැබුවා. 

බුවනේෂ්වර් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින්
බුවනේෂ්වර් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – Sports adda

පළමු ටී20 තරගය අවසන් වීමෙන් පසුව ඉන්දීය ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. එනිසා ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනකුට දෙවන සහ තෙවන 20/20 තරග අහිමි වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු දෙවන 20/20 තරගයේ දී මුලින් ම පන්දුවට පහරදුන් ඉන්දියානුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 132ක් පමණ යි. ඉන්දියාව වෙනුවෙන් ධවාන්ගේ පිත්තෙන් ලකුණු 40ක් වාර්තා වුණත් සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවකාශයක් ලැබුණේ නැහැ. එහි දී පන්දුවෙන් දස්කම් දැක්වූ අකිල ධනංජය කඩුලු 2ක් ලබාගන්නා විට  වනිඳු, දසුන් සහ චමීර කඩුල්ල බැගින් දවාගත්තා.

පන්දුවට පහරදීමට තරමක් අසීරු වුණු තණතීරුවක ලකුණු 133ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් ඉන්දීය දඟ පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට හසුවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 17.2ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 105/6 ලෙසින් දිස්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරා යමින් සිටි ඒ මොහොතේ පන්දු 14කින් වේගවත් ලකුණු 28ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගූ ධනංජය ද සිල්වා සහ චාමික කරුණාරත්න සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එහි දී ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය පන්දු 34කින් නොදැවී ලකුණු 40ක් ලබා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් චාමික දැවැන්ත හයේ පහරක් ද සමඟින් නොදැවී ලකුණු 12ක් ලබා ගත්තා. එදා අවශ්‍ය ම අවස්ථාවක වටිනා ලකුණු 40ක් ලබා ගත් ධනංජයට තරගයේ වීරයා සම්මානය හිමි වුණා.

 ධනංජයගේ අගනා ඉනිමේ අවස්ථාවක්
ධනංජයගේ අගනා ඉනිමේ අවස්ථාවක් – getty images

තරගාවලියේ ජයග්‍රාහකයා තේරීම සඳහා පැවති තීරණාත්මක තෙවන 20/20 තරගයේ දී යළිත් වරක් මුලින් ම පන්දුවට පහරදුන්නේ ඉන්දීය කණ්ඩායම යි. එවර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම ඉදිරියේ ඉන්දීය පිතිකරුවන් අසරණ වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 5 ම ලකුණු 36ක් තුළ බිඳ වැටුණා. ඉන් පසු කිසිදු පිතිකරුවකුට ඉන්දීය ඉනිම ගොඩ නැගීමට හැකියාවක් ලැබුණේ නැහැ. එනිසා නියමිත පන්දුවාර 20 අවසානයේ දී ඉන්දීය පිතිකරුවන්ට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 81ක් පමණ යි. එහි දී ඉන්දීය පිතිකරුවන් අන්ත අසරණ කළ වනිඳු හසරංග සිය 24 වන උපන් දිනය දා ලකුණු 9කට කඩුලු 4ක් බිඳ දැමුවා. නායක දසුන් ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්තා. 

සුපිරි පන්දු යැවීමක නිරත වුණු වනිඳු
සුපිරි පන්දු යැවීමක නිරත වුණු වනිඳු – getty images

 

තියුණු ලෙස දඟ කැවුණු තණතීරුවක ලකුණු 82ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එනිසා පන්දුවාර 10ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට කඩුලු 2ක් දැවී ලබා ගැනීමට හැකිව තිබුණේ ලකුණු 42ක් පමණ යි. එම අවස්ථාවේ දී යළිත් වරක් වටිනා ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23ක් ලබා ගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. ඒ අයුරින් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් උරුම වුණු තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවේ වනිඳු හසරංග යි. තරගාවලිය පුරාවට කඩුලු 7ක් දවාගත් වනිඳුට තරගාවලියේ වීරයා සම්මානය ද උරුම වුණා. ඒ අනුව 20/20 තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. එය ඔවුන් ඉන්දියාවට එරෙහිව වාර්තා කළ මුල් ම 20/20 තරගාවලි ජයග්‍රහණය ලෙසින් ඉතිහාසගත වුණා.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – getty images     

 

වනිඳුගෙන් අපූරු ක්‍රිකට් වාර්තාවක් 

ඉන්දියාව සමඟ පැවැත්වුණු තෙවන 20/20 තරගයේ දී වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 4ක් දවා ගත්තා. ඔහු එම දස්කම දැක්වීමට සමත් වුණේ ඔහුගේ 24 වන උපන්දිනය යෙදී තිබුණු දිනයේ යි. ඒ අනුව සිය උපන් දිනය දා 20/20 තරගයක හොඳ ම පන්දු යැවීම සිදු කළ පන්දු යවන්නා ලෙසින් වනිඳු වාර්තා අතරට එක් වුණා. පහත දක්වා තිබෙන්නේ සිය උපන්දිනය දා 20/20 තරගයක දී හොඳම පන්දු යැවීම් සිදුකළ පන්දු යවන්නන් පිළිබඳව යි.

1) වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)– 09/4- ඉන්දියාවට එරෙහිව 2021 වසරේ දී

2) ඉම්රාන් තාහීර් (දකුණු අප්‍රිකාව)– 21/4- නෙදර්ලන්තයට එරෙහිව 2014 වසරේ දී 

3) ඩේමියෝ කොවුනා (මොසැම්බික්)– 10/3- මලාවිට එරෙහිව 2019 වසරේ දී 

4) යුවරාජ් සිං (ඉන්දියාව)– 23/3- ශ්‍රී ලංකාවට එරෙහිව 2009 වසරේ දී 

වනිඳු ඉන්දියාවට එරෙහිව දස්කම් දක්වමින්
වනිඳු ඉන්දියාවට එරෙහිව දස්කම් දක්වමින් – getty images

චීනය තවදුරටත් ඔලිම්පික් සටනේ ඉදිරියෙන්  

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 8 වන දිනයේ තරග ආරම්භ වෙද්දී රන් පදක්කම් 19ක් ලබාගෙන සිටි චීනය පදක්කම් සටහනේ පෙරමුණේ පසුවුණා. ජපානය සහ අමෙරිකාව පිළිවෙළින් රන් පදක්කම් 17ක් සහ 14ක් දිනා ගෙන පදක්කම් සටහනේ දෙවන සහ තෙවන ස්ථානවල පසු වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු 8 වන දිනයේ දී කිසිදු රටකට වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එහි දී චීනයට සහ අමෙරිකාවට ලැබෙන්නට තිබුණු රන් පදක්කම් කිහිපයක් අහිමි වීම කැපී පෙනන සිදුවීමක් වුණා. එසේම සත්කාරක ජපානයට ජූඩෝ මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම අහිමි වීම විශේෂ සිදුවීමක් වුණා. දිනය අවසානයේ දී චීනය, අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ස්විට්සර්ලන්තය රන් පදක්කම් දෙක බැගින් ලබා ගනිද්දී තවත් රටවල් 13කට රන් පදක්කම බැගින් හිමි වුණා. ඒ අනුව 8 වන දිනය නිමාවට පත්වෙද්දී චීනය තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණේ රැඳී සිටියා. පහතින් දක්වා තිබෙන්නේ 8 වන දිනයේ දී රටවල් අතර රන් පදක්කම් බෙදී ගිය ආකාරය යි. 

චීනය- 2    (රුවල් ඔරු, බර ඉසිලීම)

අමෙරිකාව– 2    (පිහිනුම්- 2)

මහා බ්‍රිතාන්‍යය– 2     (පිහිනුම්, තුන් ප්‍රයාම)

ස්විට්සර්ලන්තය- 2     (ඉලක්කයට වෙඩි තැබීම, ටෙනිස්)

ජැමයිකාව- 1     (මලල ක්‍රීඩා)

ස්වීඩනය- 1     (මලල ක්‍රීඩා)

පෝලන්තය- 1     (මලල ක්‍රීඩා)

ඕස්ට්‍රේලියාව– 1     (පිහිනුම්)

බෙලරුස්- 1     (ජිම්නාස්ටික්)

ස්පාඤ්ඤය- 1     (ඉලක්කයට වෙඩි තැබීම)

තුර්කිය- 1     (දුනු විදීම)

නෙදර්ලන්තය- 1     (රුවල් ඔරු)

කටාර්- 1     (බර ඉසිලීම)

චීන තායිපේ- 1     (බැඩ්මින්ටන්)

ප්‍රංශය- 1     (ජූඩෝ) 

නවසීලන්තය- 1     (සත් සාමාජික රග්බි)

රුසියාව– 1    (කඩු හරඹ)

ජූලි 31 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන
ජූලි 31 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන – olympics.com

 

විශේෂ සිදුවීම් 

ජැමෙයිකාවේ එලයින් තොම්සන් තත්පර 10.61ක කාලයකින් කාන්තා මීටර් 100 ඉසව්ව නිමකරමින් නව ඔලිම්පික් වාර්තාවක් බිහි කළා. එහි දී ඇය අතින් බිඳ වැටුණේ වසර 32ක් තිස්සේ ආරක්ෂා වී තිබුණු ඇමරිකාවේ ෆ්ලෝරන්ස් ග්‍රිෆිත්-ජොයිනර්ගේ ඔලිම්පික් වාර්තාව යි.

කාන්තා මීටර් 100 ඉසව්ව ජයගත් එලයින් තොම්සන්
කාන්තා මීටර් 100 ඉසව්ව ජයගත් එලයින් තොම්සන් – getty images

මෙවර ඔලිම්පික් උළෙලේ ජූඩෝ රන් පදක්කම් 15න් 9ක් ම ජයග්‍රහණය කළේ ජපානය යි. එය ඔලිම්පික් ඉතිහාසයේ තනි තරගාවලියක දී යම් රටක් දිනා ගත් වැඩි ම ජූඩෝ රන් පදක්කම් ප්‍රමාණය යි. ඊට පෙරත් එම වාර්තාව හිමි කර ගෙන සිටියේ ජපානය යි. ඒ 2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ දී ජූඩෝ රන් පදක්කම් 8ක් ලබාගනිමින්.

ජූඩෝ රන් පදක්කමක් ලබාගත් ජපන් ක්‍රීඩිකාවක්
ජූඩෝ රන් පදක්කමක් ලබාගත් ජපන් ක්‍රීඩිකාවක් – getty images

 

අමෙරිකාව සටනට යළි පිවිසෙයි 

9 වන දිනය ආරම්භයේ දී ම පැවති පිහිනුම් අවසන් තරග පහ කාගේත් අවධානය දිනා ගත්තා. එම තරගවලින් අමෙරිකාවට රන් පදක්කම් 3ක් හිමි වෙද්දී ඕස්ට්‍රේලියාවට රන් පදක්කම් 2ක් හිමි වුණා. ඉන් අනතුරුව වැඩි දෙනකුගේ අවධානය යොමු වුණේ මලල ක්‍රීඩා තරග ඉසව් වෙතට යි. එහි දී පිරිමි උස පැනීමේ ඉසව්වෙන් කටාර් සහ ඉතාලි ක්‍රීඩකයන් දෙදෙනාට ම රන් පදක්කම් හිමි වීම සුවිශේෂී සිදුවීමක් වුණා.  ඉතාලියේ ලේමන්ට් ජාකොබ්ස් පිරිමි මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනිමින් ලොව වේගවත් ම මිනිසා ලෙසින් අභිෂේක ලැබුවා. එදින වැඩිම රන් පදක්කම් ප්‍රමාණය අමෙරිකාවට හිමි වුණත් දිනය නිමාවන විට පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේ චීනය යි. අගෝස්තු 1 වැනිදා පැවති තරග ඉසව්වල දී රටවල් අතර රන් පදක්ක්කම් බෙදීගියේ පහත දැක්වෙන ආකාරයට යි.

අමෙරිකාව– 4   (පිහිනුම්- 3, ගොල්ෆ්)

ඕස්ට්‍රේලියාව– 4    (පිහිනුම්- 2, රුවල් ඔරු, සයිකල්)

චීනය- 3   (මලල ක්‍රීඩා, කිමිදුම්, බැඩ්මින්ටන්)

ඉතාලිය– 2     (මලල ක්‍රීඩා- 2)

මහා බ්‍රිතාන්‍යය– 2     (සයිකල්, ජිම්නාස්ටික්)

කටාර්– 1     (මලල ක්‍රීඩා)

චෙක් ජනරජය- 1    (ටෙනිස්)

රුසියාව– 1    (ටෙනිස්)

වෙනිසියුලාව– 1     (මලල ක්‍රීඩා)

ජර්මනිය– 1    (ටෙනිස්)

බ්‍රසීලය– 1     (ජිම්නාස්ටික්)

ඊශ්‍රායලය– 1     (ජිම්නාස්ටික්)

බෙල්ජියම– 1     (ජිම්නාස්ටික්)

ප්‍රංශය– 1    (කඩු හරඹ)

ඩෙන්මාර්කය- 1     (රුවල් ඔරු)

ඉක්වදෝරය- 1     (බර ඉසිලීම)

අගෝස්තු 1 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන
අගෝස්තු 1 වැනිදා අවසන් වන විට පදක්කම් සටහන (olympics.com)

 

විශේෂ සිදුවීම් 

වෙනිසියුලාවේ යුලිමාර් රෝජාස් කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවූවා. එහි දී ඇය පැන්න දුර ප්‍රමාණය මීටර් 15.67ක් ලෙසින් සටහන් වුණා. ඇය බිඳ දැමුවේ 1995දී යුක්‍රේන ක්‍රීඩිකා ඉනෙසා මීටර් 15.50ක දුරක් පැන තබා තිබුණු ලෝක වාර්තාව යි.

යුලිමාර් රෝජාස්
යුලිමාර් රෝජාස් – getty images

1992 බාර්සිලෝනා ඔලිම්පික් උලෙළේ දී මහා බ්‍රිතාන්‍යයේ ලින්ෆෝර්ඩ් ක්‍රිස්ටි ඔලිම්පික් පිරිමි මීටර් 100 ඉසව්වේ රන් පදක්කම ලබාගැනීමෙන් පසුව එම ඉසව්ව ජයගත් යුරෝපීය ධාවන ශූරයා ලෙසින් ඉතාලියේ ලේමන්ට් ජාකොබ්ස් අභිෂේක ලැබුවා. 

පිරිමි මීටර් 100 ඉසව්ව ජයගත් ජාකොබ්ස්
පිරිමි මීටර් 100 ඉසව්ව ජයගත් ජාකොබ්ස් – getty images

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිහිනුම් තරග අගෝස්තු 1 වැනිදා අවසන් වුණා. එහි දී පිහිනුම් රන් පදක්කම් වැඩි ප්‍රමාණයක් දිනාගත්තේ අමෙරිකාව යි. ඕස්ට්‍රේලියාව ද ඔවුන්ට හොඳ සටනක් ලබාදුන්නා. පහත දැක්වෙන්නේ එම රටවල් යුගලය ලබාගත් පිහිනුම් රන් පදක්කම් ප්‍රමාණ යි.

අමෙරිකාව- 11

ඕස්ට්‍රේලියාව- 9

ඕස්ට්‍රේලියාව ඔලිම්පික් ඉතිහාසයේ වැඩි ම පිහිනුම් රන් පදක්කම් ප්‍රමාණයක් ලබා ගත්තේ මෙවර ඔලිම්පික් උළෙලේ දීයි. ඊට පෙර ඔවුන් 1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලේ දී පිහිනුම් රන් පදක්කම් 8ක් ලබාගෙන තිබුණා.

අමෙරිකානුවන් 1992 බර්සිලෝනා ඔලිම්පික් උළෙලට පසු ව අඩුම පිහිනුම් රන් පදක්කම් ප්‍රමාණයක් මෙවර ලබා ගත්තා. පහත දැක්වෙන්නේ ගෙවුණු ඔලිම්පික් උළෙල 7දී අමෙරිකානුවන් ලබා ගත් පිහිනුම් රන් පදක්කම් ප්‍රමාණ යි.

1992 බාර්සිලෝනා- 11

1996 ඇට්ලන්ටා- 13

2000 සිඩ්නි- 14

2004 ඇතන්ස්- 12

2008 බීජිං- 12

2012 ලන්ඩන්- 16

2016 රියෝ- 16

ඕස්ට්‍රේලියානු පිහිනුම් ක්‍රීඩිකාවන් දස්කම් දක්වමින්
ඕස්ට්‍රේලියානු පිහිනුම් ක්‍රීඩිකාවන් දස්කම් දක්වමින් – getty images

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 2021 ඉන්දු-ලංකා 20/20 තරගාවලි ජයග්‍රහණයෙන් පසු- getty images

මූලාශ්‍ර-

olympic.com

cricinfo

Related Articles