Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වනිඳු සහ දුෂ්මන්ත සමඟ යළි උණුසුම් වුණු කෙළිබිම

පසුගිය මාසයේ පැවති ඉන්දු-ලංකා 20/20 තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වුණු නිසා අප රටේ ක්‍රිකට් රසිකයන් මේ දිනවල දැඩි උද්යෝගයකින් පසුවනවා. එම උද්යෝගය දෙගුණ තෙගුණ වන ආකාරයේ පුවතක් පසුගිය සෙනසුරාදා අසන්නට ලැබුණා. ඒ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයන් යුගළකට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගි වීමට වරම් හිමි වීම යි. එලෙස දේශීය ක්‍රිකට් පිටියට IPL උණුසුම පැමිණෙද්දී ගෙවුණු සතියේ විදෙස් ක්‍රීඩා පිටියෙනුත් අපූරු තොරතුරු රැසක් වාර්තා වුණා. ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමේ සිදුවුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ ව තොරතුරු මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.

වනිඳු සහ චමීර බැංගලෝර් කණ්ඩායමට 

පසුගිය ජූලි මාසයේ දී නිමාවට පත්වුණු ඉන්දු-ලංකා 20/20 තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගැනීම සඳහා පන්දුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර යන පන්දු යවන්නන් යුගළය යි. ඔවුන් දෙදෙනා ගෙවුණු මාස කිහිපය තුළ 20/20 ක්‍රිකට් පිටියේ දී අඛණ්ඩව දස්කම් දැක්වූ නිසා  මේ වන විට 20/20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මුල් ක්‍රීඩකයන් 20 දෙනා අතරට ඇතුළත් ව සිටිනවා.  ඒ අනුව ප්‍රසාද ලකුණු 764ක් ලබා ගෙන සිටින වනිඳු  ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටිද්දී ප්‍රසාද ලකුණු 555ක් ලබා ගෙන සිටින චමීර ශ්‍රේණිගතකිරීම්වල 20 වන ස්ථානයේ රැඳී සිටිනවා. 

වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර (Trends Map) 

 එලෙස අඛණ්ඩ ව 20/20 පිටියේ සුපිරි දස්කම් දැක් වූ මෙම පන්දු යවන්නන් යුගළයට පසුගිය සෙනසුරාදා අපූරු අවස්ථාවක් උදා වුණා. ඒ IPL තරගාවලියේ ඉතිරි තරගවල දී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව හිමි වීම යි. එහි දී වනිඳු සහ චමීර ආදේශ කළේ ඇඩම් සැම්පා සහ ඩැනියල් සෑම්ස් යන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් යුගළය වෙනුවට යි. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 19 වැනිදා සිට යළි ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී වනිඳුගේ සහ චමීරගේ දස්කම් දැක බලා ගැනීමට මෙරට ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව ලැබෙනු ඇති.

ටෙස්ට් තරග 2කින් උණුසුම් වුණු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය 

මේ දිනවල ටෙස්ට් ක්‍රිකට් පිටිය තරමක් කාර්ය බහුල වී තිබෙන්නේ ඉන්දු-එංගලන්ත ටෙස්ට් තරගාවලිය සහ පාකිස්තාන-කොදෙව් ටෙස්ට් තරගාවලිය ක්‍රියාත්මක වන නිසා යි. එම තරගාවලි යටතේ පැවැත්වුණු ටෙස්ට් තරග දෙකක් ගෙවුණු සතියේ දී නිමාවට පත්වුණා. එම ටෙස්ට් තරග ද්විත්වය ම තියුණු මුහුණුවරක් ගත් නිසා වැඩි දෙනකුගේ අවධානය ඒ වෙත යොමුවුණා.

කොදෙව්වන් තරගය ජයග්‍රහණය කළ මොහොත – getty images

පාකිස්තාන-කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කිංග්ස්ටන් නුවර සබීනා පාක් පිටියේ දී ක්‍රියාත්මක වුණා. ආරම්භයේ සිට දෙපසට දෝලනය වුණු තරගයෙන් අවසානයේ දී කොදෙව්වන්ට කඩුලු 1ක තියුණු ජයක් හිමිවුණා. එහි දී කිමා රෝච් සහ ජේඩ්න් සීල්ස් යන කොදෙව් පිතිකරු යුගළය අවසන් කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 17ක සබඳතාවක් ගොඩනඟමින් කොදෙව්වන් ජයග්‍රහණය වෙත රැගෙන යාම අමතක නොවන සිදුවීමක් වුණා. පහත දැක්වෙන්නේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

පාකිස්තාන පළමු ඉනිම- 217/10 ( ෆාවඩ් අලාම්- 56, ජේසන් හෝල්ඩර්- 26/3, ජේඩ්න් සීල්ස්- 70/3)

කොදෙව් පළමු ඉනිම- 253/10 ( ක්‍රේග් බ්‍රැත්වේට්- 97, ජේසන් හෝල්ඩර්- 58, ෂහින් අෆ්රිඩි- 59/4)

පාකිස්තාන දෙවන ඉනිම- 203/10 (බාබර් අසාම්- 55, ජේඩ්න් සීල්ස්- 55/5, කිමා රෝච්- 30/3) 

කොදෙව් දෙවන ඉනිම- 168/9 (ජර්මේන් බ්ලැක්වුඩ්- 55, ෂහින් අෆ්රිඩි- 50/4, හසන් අලී- 37/3) 

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 1ක ජයක්  

තරගයේ වීරයා- ජේඩ්න් සීල්ස් 

ඉන්දු-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය

පතාවුදි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ඉන්දු-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ පස්වන දිනය ආරම්භ වෙද්දී එංගලන්තය තරගය ජය ගනු ඇති බව බොහෝ දෙනකුගේ විශ්වාසය වුණා. ඒ වන විට ඉන්දියානුවන් කඩුලු 4ක් අතැති ව එංගලන්තයට වඩා ලකුණු 154ක් පමණක් ඉදිරියෙන් සිටීම එයට හේතු වුණා.

අවසන් දිනයේ දී කිසිවකු අපේක්ෂා නොකළ අයුරින් සටන්කාමී පිති හරඹයක නිරත වුණු මොහොමඩ් ෂමී සහ ජස්ප්‍රිට් බූම්රා 9 වන කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 89ක සබඳතාවක් ගොඩනැගුවා. ඉන් පසුව ලකුණු 272ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට ලකුණු 151ක අනපේක්ෂිත පරාජයක් උරුම වුණා. 

ඉන්දියාව තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages

පහත දැක්වෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

ඉන්දීය පළමු ඉනිම- 364/10 ( ලෝකේෂ් රාහුල්- 129, රෝහිත් ෂර්මා- 83, ජේම්ස් ඇන්ඩර්සන්- 62/5)

එංගලන්ත පළමු ඉනිම- 391/10 ( ජෝ රූට්- 180*, ජොනී බෙයාස්ට්‍රෝ- 57, මොහොමඩ් සිරාජ්- 94/4)

ඉන්දීය දෙවන ඉනිම- 298/8 (අජින්කය රහනේ- 61, මොහොමඩ් ෂමී- 56*, මාක් වුඩ්- 51/3) 

එංගලන්ත දෙවන ඉනිම- 120/10 (ජෝ රූට්- 33, මොහොමඩ් සිරාජ්- 32/4, ජස්ප්‍රිට් බූම්රා- 33/3) 

ඉන්දියාවට ලකුණු 151ක ජයක්  

තරගයේ වීරයා- ලෝකේෂ් රාහුල්  

යුරෝපයට පාපන්දු වසන්තය උදා වෙයි 

යුරෝපා රටවල් කිහිපයක ම පළමු පෙළ පාපන්දු තරගාවලි අගෝස්තු මාසයේ දී ආරම්භ වුණා. ඒ අනුව ප්‍රංශ පළමු පෙළ පාපන්දු තරගාවලියේ තෙවන වටයේ තරග මේ සති අන්තයේ දී පැවැත්වෙනවා. එසේම ජර්මානු, එංගලන්ත සහ ස්පාඤ්ඤ පළමු පෙළ පාපන්දු තරගාවලිවල දෙවන වටයේ තරග ද මේ සති අන්තයේ ක්‍රියාත්මක වනවා.

ලිවර්පූල් කණ්ඩායම – getty images

ඊට අමතර ව ගෙවුණු සෙනසුරාදා දිනයේ ඉතාලි පළමු පෙළ පාපන්දු තරගාවලියත් ආරම්භ වුණා. ඒ අනුව අගෝස්තු 21 වැනිදා වන විට එක් එක් පාපන්දු තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි කණ්ඩායම් පහත අයුරින් දක්වන්නට පුළුවන්.

  • ප්‍රංශ පළමු පෙළ පාපන්දු තරගාවලිය (Ligue 1)- PSG කණ්ඩායම 
  • එංගලන්ත පළමු පෙළ පාපන්දු තරගාවලිය (EPL)- ලිවර්පූල් 
  • ස්පාඤ්ඤ පළමු පෙළ පාපන්දු  තරගාවලිය  (la liga)- බාර්සිලෝනා 
  • ජර්මානු පළමු පෙළ පාපන්දු  තරගාවලිය (Bundesliga)- වුල්ෆ්ස්බර්ග් 
  • ඉතාලි පළමු පෙළ පාපන්දු  තරගාවලිය (serie a)- ඉන්ටර් මිලාන් 

මහේලට තවත් කුසලානයක් 

එංගලන්ත ක්‍රිකට් ආයතනය සංවිධානය කළ “The Hundred”  ක්‍රිකට් තරගාවලිය පසුගිය 21 වැනිදා නිමාව දුටුවා. අමුතු ම ආරක ක්‍රිකට් තරගාවලියක් වුණු එය “The Hundred” යන නමින් හැඳින්වූයේ එක් ඉනිමකට පන්දු 100ක් අන්තර්ගත වුණු නිසා යි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සහභාගි වුණු තරග 34කින් සමන්විත වුණු එම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ සදර්න් බ්‍රේව් සහ බර්මින්හැම් ෆීනික්ස් යන කණ්ඩායම් ද්විත්වය යි.

මහේල ජයවර්ධන සහ ක්‍රිස් ජෝඩන් ජයග්‍රාහී කුසලානය සමඟ – getty images

එහි දී බර්මින්හැම් කණ්ඩායම පරදවා ලකුණු 32ක ජයක් ලබා ගත්තේ සදර්න් බ්‍රේව් කණ්ඩායම යි. ඒ අයුරින් පළමු “The Hundred” තරගාවලියේ ශූරතාව දිනාගත් සදර්න් බ්‍රේව් කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේ ශ්‍රී ලංකාවෙන් බිහි වුණු සුපිරි ක්‍රිකට් තරුවක් වුණු මහේල ජයවර්ධන යි. පහත දැක්වෙන්නේ අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව යි.   

සදර්න් බ්‍රේව්- 168/5 (පන්දු 100)

පෝල් ස්ටර්ලිං- 61 (36)  

රොස් වයිට්ලි- 44* (19) 

ඇඩම් මිල්න්- 8/2 (පන්දු 20)

ලියාම් ලිවින්ග්ස්ටෝන්- 18/1 (පන්දු 10)

බර්මින්හැම් ෆීනික්ස්- 136/5 (පන්දු 100)

ලියාම් ලිවින්ග්ස්ටෝන්- 46 (19)

මොයින් අලී- 36 (30) 

තයිමාල් මිල්ස්- 13/1 (පන්දු 20) 

ක්‍රේග් ඕවර්ටන්- 26/1 (පන්දු 20)

සදර්න් බ්‍රේව් කණ්ඩායමට ලකුණු 32ක ජයක්

තරගයේ වීරයා- පෝල් ස්ටර්ලින් (සදර්න් බ්‍රේව්)

තරගාවලියේ වීරයා- ලියාම් ලිවින්ග්ස්ටෝන් (බර්මින්හැම් ෆීනික්ස්) 

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නියෝජනය

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකු සහභාගී වනවා. ජාතික පැරාලිම්පික් කමිටුව ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු 17 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙවර පැරාලිම්පික් උළෙලට සහභාගී වීමට නියමිත බවයි.

2016 පැරාලිම්පික් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත සහ මලල ක්‍රීඩා, දුනු විදීම් සහ ටෙනිස් වැනි ක්‍රීඩා අංශ කිහිපයක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම සංචිතයට ඇතුළත්. මෙරට ඉතිහාසයේ පළමු වරට Roving ඉසව්ව නියෝජනය කරමින් පැරාලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට මහේෂ් ජයකොඩි ද සමත් ව සිටිනවා.

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනා –  Roar Media/Jamie Alphonsus

මෙවර පැරාලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට රන්ජන් ධර්මසේන – රෝද පුටු ටෙනිස්, දිනේෂ් හේරත්- හෙල්ල විසි කිරීම (F46), කුමුදු ප්‍රියංකා- මීටර් 100 සහ දුර පැනීම (T45/46), සම්පත් හෙට්ටිආරච්චි- හෙල්ල විසි කිරීම (F44), සම්පත් බණ්ඩාර- දුනු විදීම, මදුරංග සුබසිංහ- මීටර් 400 (T47), සමිත දුලාන්- හෙල්ල විසි කිරීම (F44), පාලිත බණ්ඩාර- යගුලිය විසි කිරීම (F42)සහ  මහේෂ් ජයකොඩි- ඔරු පැදීම යන ඉසව්වලින් තරග වදිනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 2012 සහ 2016 පැරාලිම්පික් උළෙලවල දී දැක්වූ දස්කම් නිසා මෙවර පැරාලිම්පික් උළෙලේ දී අවම වශයෙන් පදක්කම් දෙකක් හෝ දිනා ගැනීමට හැකියාවක් පවතිනවා. මෙරට ඉතිහාසයේ පළමු පැරාලිම්පික් පදක්කම දිනා ගැනීමට 2012 පැරාලිම්පික් උළෙල නියෝජනය කළ ප්‍රදීප් සංජය (ලෝකඩ) සමත් වූවා.  දිනේෂ් ප්‍රියන්තට 2016 වසරේ පැවති අවසාන පැරාලිම්පික් උළෙලේ දී හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකි වුණා.

ටෝකියෝ  පැරාලිම්පික් උළෙල අගෝස්තු 24 වැනිදා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

කවරයේ ඡායාරූපය: වනිඳු හසරංග 20/20 පිටියේ දස්කම් දක්වමින් - Yahoo Cricket 

මූලාශ්‍ර:

epl.com

espncricinfo

Related Articles