Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චෙන්නායි සුපර් කිංග්ස් IPL සටනේ පෙරමුණට

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් මාස කිහිපයකට නවතා තිබුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය සැප්තැම්බර් 19 වැනිදා යළි ආරම්භ වුණා. එම තරගාවලියේ දෙවන අදියර සඳහා සහභාගි වීමේ අවස්ථාව වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර යන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් දෙදෙනාට හිමි වුණා. මේ වන විට අප රට තුළත් IPL තරග උණුසුම පැතිර තිබෙනවා. IPL තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ දෙස් විදෙස් කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳ ව තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අප කල්පනා කළා.  

IPL තරගාවලියේ තොරතුරු

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් 9 වැනිදා චෙන්නායි නුවර චිදම්බරම් පිටියේ දී ආරම්භ වුණා. එදා සිට මැයි 2 වැනිදා වන තුරු තරගාවලියේ තරග 29ක් කිසිදු ගැටලුවකින් තොර ව පැවැත්වුණා.ඉන් පසුව කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයන් කොරෝනා ආසාදිතයන් බවට පත්වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තරගාවලිය දින නියමයක් නොමැති ව කල් ගියා. ඒ වන විට එක් එක් කණ්ඩායම ලබාගෙන සිටි ප්‍රසාද ලකුණු ප්‍රමාණයි මේ.

1) දිල්ලි කැපිටල්ස්- 12

2) චෙන්නායි සුපර් කිංග්ස්- 10

3) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- 10

4) මුම්බායි ඉන්දියන්ස්- 8

5) රාජස්තාන් රෝයල්ස්- 6

6) පංජාබ් කිංග්ස්- 6

7) කොල්කටා නයිට් රයිඩර්ස්- 4

8) සන්රයිසස් හයිද්‍රාබාද්- 2

දිල්ලි කණ්ඩායම තරග වදිමින්  – Cricket Addictor 

 

සැප්තැම්බර් 19 වැනිදා යළි තරගාවලිය ආරම්භ වීමෙන් පසුවත් දිල්ලි සහ චෙන්නායි යන කණ්ඩායම් සිය රිද්මය පවත්වා ගැනීමට සමත් වුණා. ඒ අනුව චෙන්නායි සහ දිල්ලි යන කණ්ඩායම් යුගළ මේ වන විට ප්‍රසාද ලකුණු 16 බැගින් ලබාගෙන ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක හිමි කර ගෙන සිටිනවා. එලෙස දිල්ලි සහ චෙන්නායි කණ්ඩායම් තරගාවලියේ ඉදිරියට යද්දී වනිඳු සහ චමීර ක්‍රීඩා කරන රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම යම් පසුබෑමකට ලක් වුණා. ඒ දෙවන අදියරේ දී ඔවුන් සහභාගි වුණු මුල් තරග 2 ම පරාජයට පත්වීම නිසා යි. එම තරග දෙකට ම සහභාගි වුණු වනිඳුට කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට නොහැකි වීම කනගාටුදායක සිදුවීමක්. සැප්තැම්බර් 19 වැනි දා සිට පැවති තරගවල ප්‍රතිඵල පහත දැක්වෙන ආකාරයට සටහන් වුණා. 

30 වන තරගය- චෙන්නායි සහ මුම්බායි- චෙන්නායි කණ්ඩායමට ලකුණු 20ක ජයක්

31 වන තරගය- කොල්කටා සහ බැංගලෝර්- කොල්කටා කණ්ඩායමට කඩුලු 9ක ජයක් 

32 වන තරගය- පංජාබ් සහ රාජස්තාන්- රාජස්තාන් කණ්ඩාමට ලකුණු 2ක ජයක් 

33 වන තරගය- දිල්ලි සහ හයිද්‍රාබාද්- දිල්ලි කණ්ඩායමට කඩුලු 8ක ජයක් 

34 වන තරගය- මුම්බායි සහ කොල්කටා- කොල්කටා කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

35 වන තරගය- චෙන්නායි සහ බැංගලෝර්- චෙන්නායි කණ්ඩායමට කඩුලු 6ක ජයක් 

36 වන තරගය- දිල්ලි සහ රාජස්තාන්- දිල්ලි කණ්ඩායමට ලකුණු 33ක ජයක්  

37 වන තරගය- පංජාබ් සහ හයිද්‍රාබාද්- පංජාබ් කණ්ඩායමට කඩුලු 5ක ජයක් 

38 වන තරගය- චෙන්නායි සහ කොල්කටා- චෙන්නායි කණ්ඩායමට කඩුලු 2ක ජයක් 

39 වන තරගය- මුම්බායි සහ බැංගලෝර්- බැංගලෝර් කණ්ඩායමට ලකුණු 54ක ජයක් 

චෙන්නායි සහ බැංගලෝර් තරගයේ අවස්ථාවක් – Times of India

 

තරගාවලියේ 39 වන තරගය නිමාව දකිද්දී ප්‍රසාද ලකුණු සටහන පහත දැක්වෙන ආකාරයට සටහන් වුණා. 

1) චෙන්නායි සුපර් කිංග්ස්- 16  (තරග- 10)

2) දිල්ලි කැපිටල්ස්- 16  (තරග- 10)

3) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- 12  (තරග- 10)

4) පංජාබ් කිංග්ස්- 8  (තරග- 10)

5) කොල්කටා නයිට් රයිඩර්ස්- 8  (තරග- 9) 

6) රාජස්තාන් රෝයල්ස්- 8  (තරග- 9)

7) මුම්බායි ඉන්දියන්ස්- 8  (තරග- 10)

8) සන්රයිසස් හයිද්‍රාබාද්- 2  (තරග- 9) 

මිල්කා ගෙහානිට තවත් රන් පදක්කමක් 

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ජිම්නාස්ටික් තරග සඳහා සහභාගි වුණු මිල්කා ගෙහානි පසුගිය කාලයේ දී ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් අප රටට විශාල කීර්තියක් අත්කරදුන් ක්‍රීඩිකාවක්. ශ්‍රී ලංකා නාමය බැබළවීමට සමත් වුණු මිල්කා පසුගිය දිනයක අප රටට තවත් ජයග්‍රහණයක් උරුම කර දුන්නා. ඒ ජපානයේ යමගාටා නුවර දී පැවති ජපාන ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණයන්ගේ ජිම්නාස්ටික් තරගාවලියේ කණ්ඩායම් ඉසව්වෙන් රන් පදක්කමක් ලබා ගැනීම යි.

මිල්කා දිනාගත් රන් පදක්කම සමඟින් – Twitter

තවමත් 18 වැනි වියේ පසුවන මිල්කා 2019 වසරේ ජර්මනියේ පැවැත්වුණු ලෝක ජිම්නාස්ටික් තරගාවලියට පවා සහභාගි වුණා. ඇය තවත් ජාත්‍යන්තර මට්ටමේ ජිම්නාස්ටික් තරගාවලි රැසකටත් සහභාගි වී තිබෙනවා. ඒ අයුරින් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉහළ දස්කම් දක්වමින් සිටින මිල්කා වැනි දක්ෂ ක්‍රීඩිකාවන්ට අතහිත දීම අදාළ බලධාරීන් සතු වගකීමක් බවත් මෙහි දී සිහිපත් කළ යුතු යි. 

චෙස් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ කිහිපයක් 

2021 බටහිර ආසියානු තුරුණු චෙස් ශූරතාවලිය පසුගිය දිනවල දී පැවැත්වුණා. එම තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වීමට සමත් වුණු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාව රන් පදක්කම් 2ක්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් දිනා ගත්තා. එහි දී 18න් පහළ බාලක අංශයේ රන් පදක්කම දිනාගැනීමට කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න සමත් වුණා.

හර්ෂණ තිලකරත්න – Daily News

2019 වසරේ දී ජාතික චෙස් ශූරයා බවට පත්වුණු හර්ෂණ ලෝක සහ ආසියානු තුරුණු චෙස් ශූරතාවලිවල දී පමණක් නොව ලෝක සහ ආසියානු පාසල් චෙස් ශූරතාවලිවලදීත් පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා. ඉන්ටර්නැෂනල් මාස්ටර්වරයෙකු වන හර්ෂන වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ අංක එකේ චෙස් ක්‍රීඩකයා ලෙසින් වැජඹෙනවා. 

හර්ෂණ ඒ අයුරින් රන් පදක්කමක් දිනාගන්නා විට රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයේ ඔෂිනි ගුණවර්ධන 10න් පහළ බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. පසුගිය දිනවල පැවති ඔන්ලයින් ලෝක අධිවේගී චෙස් තරගාවලියක ශූරතාව පවා දිනාගත් ඔෂිනි සිය රිද්මය හොඳින් පවත්වා ගනිමින් තවත් රන් පදක්කමක් දිනාගැනීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

කොළඹ නාලන්ද විදුහලේ සුසල් ද සිල්වා පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් ලබාදුන් තවත් දක්ෂ ක්‍රීඩකයෙක්. ගෙවුණු වසරවල දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පවා නියෝජනය කළ සුසල් 18න් පහළ බාලක අංශයේ රිදී පදක්කම දිනා ගත්තා. ඊට අමතර ව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එසඳි නෙවන්සා 12න් පහළ බාලිකා කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනාගනිමින් සිය රටට ගෞරවයක් හිමිකර දුන්නා. 

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳ ගනියි 

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂත ම ක්‍රීකට් ක්‍රීඩකයකු මෙන් ම වර්තමානයේ දී ලෝකයේ සිටින දක්ෂත ම ක්‍රිකට් පුහුණුකරුවකු ද වන මහේල ජයවර්ධන උපදේශකවරයකු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එකතු වීමට කැමැත්ත පළ කර තිබෙනවා. එසේම ඉදිරි කාලයේ දී ඔහු  ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ද උපදේශකවරයකු ලෙසින් කටයුතු කිරීමට ද නියමිත යි.

මහේල ජයවර්ධන – getty images

පසුගිය කාලයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ  පුහුණුකරුවා ලෙසින් කටයුතු කර මහේල එම කණ්ඩායමට තෙවරක් IPL ශූරතාව දිනා දුන්නා. එනිසා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳ ගැනීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට විශාල රුකුලක් වනු ඇති බවට ක්‍රීඩා විචාරකයන් දැනටමත් අනාවැකි පළ කර තිබෙනවා. 

ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාව ඉරානයට 

21 වන ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලිය පසුගිය දිනවල ජපානයේ දී පැවැත්වුණා. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තත් ඔවුන්ට ඒ සඳහා සහභාගි වීමට නොහැකි වුණා. ඒ ක්‍රීඩකයන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතයන් බවට පත්වීම නිසා යි. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ජපානය සහ ඉරානය යන කණ්ඩායම් ද්විත්වය යි.

ජයග්‍රාහී ඉරාන කණ්ඩායම – Tehran Times

තියුණු මුහුණුවරක් ගත් අවසන් තරගයේ දී ප්‍රබල තරග රටාවක නිරත වුණු ඉරානය තරග වට 3-0ක ජයක් ලබා ගත්තා. එහි දී ලකුණු තත්ත්වය 27-25, 25-22,සහ  31-29 ලෙසින් සටහන් වුණා. එය ඉරානය ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාව දිනාගත් සිව්වන අවස්ථාව ලෙසින් සටහන් වුණා. ඊට පෙර ඔවුන් 2011, 2013 සහ 2019 යන වසරවල දී ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාව දිනාගැනීමට සමත් වුණා.

මොයින් අලී ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දෙයි 

2014 වසරේ සිට පුරා වසර 7ක් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මොයින් අලී ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. වමත් පිතිකරුවකු ලෙසින් ක්‍රීඩා කළ අලී ටෙස්ට් තරග 64ක දී ලකුණු 2914ක් ලබාගැනීමට සමත් වුණා. ඒ සඳහා අර්ධ ශතක 14ක් සහ ශතක 5ක් අන්තර්ගත වුණා. 2016 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 155 අලීගේ ටෙස්ට් දිවියේ හොඳ ම ඉනිම ලෙසින් සටහන් වුණා.

Moeen Ali retires from Test Cricket
මොයින් අලී  – getty images

පිත්තට අමතර ව දකුණත් පිට දඟපන්දු යවමින් ප්‍රතිවාදී පිතිකරුවන් අසරණ කළ අලී සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය පුරාවට පන්දුවාර 1975ක් යවමින් කඩුලු 195ක් දවා ගැනීමට සමත් වුණා. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණේ 2017 වසරේ දී දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව ලකුණු 53කට දවා ගත් කඩුලු 6යි. අළු බඳුන තරගාවලිය ආරම්භ වීමට මාස කිහිපයක් තිබිය දී අලී ගත් හදිසි තීරණය පිළිබඳව බොහෝ දෙනකු විමතිය පළ කළා. අලී පවසා සිටින්නේ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය නිසා එවැනි තීරණයක් ගත් බව යි. 

කවරයේ ඡායාරූපය- චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම - Cricket Addictor  

මූලාශ්‍ර-

Cricinfo

chessresults.com

Sri Lanka Cricket

Related Articles