Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

espn ලෝක ක්‍රිකට් කණ්ඩායම්වලට අපේ සුපිරි තරු 3ක්

 සුප්‍රසිද්ධ espncricinfo වෙබ් අඩවිය 2021 වසරේ දී  ලෝක ක්‍රිකට් පිටියේ ඉහළ ම දස්කම් පෑ ක්‍රීඩකයන් ඇතුළත් කළ ටෙස්ට්, එක්දින සහ 20/20 කණ්ඩායම් ප්‍රකාශයට පත් කළා. එම කණ්ඩායම්වලට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත් වී තිබුණා. එහි දී වනිඳු හසරංග එක්දින සහ 20/20 යන කණ්ඩායම් දෙකට ම ඇතුළත් වී තිබීම විශේෂත්වයක් වුණා.

ඒ පිළිබඳ ව වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

වනිඳු, චමීර සහ දිමුත් 2021 වසරේ සුපිරි තරු අතරට 

2021 වසරේ ලෝක ක්‍රිකට් පිටියේ බැබළුණු ශ්‍රී ලංකා ක්‍රිකට් තරුව බවට පත්වුණේ වනිඳු හසරංග යි. මීට මාස කිහිපයකට පෙර පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු ත්‍රිත්වයක් ද සමඟින් කඩුලු 16ක් බිඳ දැමූ වනිඳු තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණා. ඒ අයුරින් ඔහු ලබාගත් කඩුලු 16 මේ දක්වා පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිවල දී පන්දු යවන්නකු බිඳ දැමූ වැඩි ම කඩුලු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා.

වනිඳු 20/20 ලෝක කුසලානයේ දී පන්දුවෙන් දස්කම් දක්වමින් (gettyimages.com

පසුගිය වසරේ දී 20/20 තරගවල දී දිගින් දිගට ම දස්කම් අතර සිටි වනිඳු ඉනිම් 20කදී කඩුලු 36ක් දවා ගත්තා. ඒ අනුව 2021 වසරේ 20/20 පිටියේ වැඩි ම කඩුලු ලාභියා ලෙසින් වැජඹීමට ඔහුට අවස්ථාව ලැබුණා. එපමණක් නොව 20/20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානය දක්වා ඉහළට පැමිණියා. එම දස්කම් නිසා වනිඳුට 2021 වසර සඳහා තෝරා ගත් 20/20 ලෝක කණ්ඩායමට ඇතුළත් වීමට වරම් ලැබුණා.

පසුගිය වසරේ දී එක්දින තරග 14කට සහභාගි වුණු වනිඳු තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ඔහු පිත්තෙන් අර්ධ ශතක 3ක්ද සමඟින් ලකුණු 356ක් ලබා ගෙන පන්දුවෙන් කඩුලු 12ක් බිඳ දැම්මා. එම දස්කම් පිළිබඳ ව සලකා බැලූ cricinfo වෙබ් අඩවිය වනිඳුගේ නම 2021 ලෝක එක්දින කණ්ඩායමට ඇතුළත් කර තිබුණා. 

වනිඳු එක්දින තරගවල දී පිත්තෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

වර්තමානය වන විට සීමිත පන්දුවාර තරගවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳින් ම දස්කම් දක්වන වේග පන්දු යවන්නා බවට පත් ව සිටින්නේ දුෂ්මන්ත චමීර යි. පසුගිය කාලයේ දී සිය හැකියාවන් මනාව ඔප් නංවා ගත් චමීර ප්‍රතිවාදී පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු 2021 වසරේ එක්දින පිටියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණා.

එහි දී ඉනිම් 13කදී කඩුලු 20ක් දවා ගත් මෙම පන්දු යවන්නා සිය හොඳ ම පන්දු යැවීම ලෙසින් බංග්ලාදේශය හමුවේ  ලකුණු 16කට කඩුලු 5ක් දවා ගත්තා. එය චමීරගේ එක්දින දිවියේ හොඳ ම පන්දු යැවීම ලෙසින් ද සටහන් වුණා. එම දස්කම් හේතුවෙන් චමීරගේ නමත් 2021 ලෝක එක්දින කණ්ඩායමට ඇතුළත් වුණා.

චමීර බංග්ලාදේශයට එරෙහිව දස්කම් දක්වමින් – gettyimages.com

 

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න 2021 වසරේ වැඩි ම ටෙස්ට් ලකුණු සාමාන්‍ය අගයක් හිමි කර ගත් පිතිකරුවා බවට පත්වුණා. එහි දී ටෙස්ට් තරග 7කට සහභාගි වුණු දිමුත් ඉනිම් 13ක් ක්‍රීඩා කරමින් ශතක 4ක් සමඟින් ලකුණු 902ක් ලබා ගත්තා. ඒ අතරට බංග්ලාදේශයට එරෙහි ව ලබා ගත් ලකුණු 244 ද ඇතුළත් වුණා.

එය දිමුත්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳ ම ඉනිම ලෙසින් සටහන් වුණා. කොදෙව්වන්ට එරෙහිව ලකුණු 147ක් වාර්තා කළ දිමුත් බංග්ලාදේශයට සහ දකුණු අප්‍රිකාවට එරෙහි ව පිළිවෙලින් ලකුණු 118ක් සහ 103ක් වාර්තා කළා. එලෙස වසර පුරාවට අඛණ්ඩ ව ලකුණු අතර සිටි දිමුත්ගේ ටෙස්ට් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 69.38ක් ලෙස සටහන් වුණා. එම දස්කම් ඔහුගේ නම 2021 ලෝක ටෙස්ට් කණ්ඩායම සඳහා ඇතුළත් කිරීමට  ප්‍රමාණවත් වුණා. 

දිමුත් ලකුණු 244ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

යොවුන් ආසියානු ක්‍රිකට් අනුශූරතාව ශ්‍රී ලංකාවට 

2021 ආසියානු යොවුන්ක්‍රිකට් තරගාවලියඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා නගර ආශ්‍රිත ව පසුගිය දිනවල පැවැත්වුණා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, ක්වේට් යන රටවල්වල යොවුන් ක්‍රිකට් කණ්ඩායම් එම තරගාවලිය සඳහා සහභාගි වුණා. 

එහි දී B කාණ්ඩය යටතේ තරග බිමට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ක්වේට්ය සහ නේපාලය හමුවේ පහසු ජයග්‍රහණය වාර්තා කළා. ඒ අතුරින් ක්වේට් තරගය ලකුණු 274ක් වැනි දැවැන්ත ලකුණු පරතරයකින් ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. නේපාලය සමඟ පැවති තරගයේ දී සදිෂ රාජපක්ෂ සහ චමිඳු වික්‍රමසිංහ යන පිතිකරු යුගළය පිළිවෙළින් ලකුණු 131ක් සහ 111ක් ලබා ගෙන තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 223ක සබඳතාවක් ගොඩනැඟීම අමතක නොවන සිදුවීමක් බවට පත්වුණා. 

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම – dailymirror.lk

පහතින් දක්වා තිබෙන්නේ මූලික වටයේ ප්‍රතිඵල යි. 

1). ශ්‍රී ලංකාව සහ ක්වේටය අතර 

ශ්‍රී ලංකාව- 323/5 (50), (පතිරාජ- 86, රනුද- 60, චමිඳු- 54, ඩැනියල්- 54, අසීම්- 49/2, හේබියර්- 50/2)

ක්වේට්- 49/10 (17.3), (බව්සාර්- 25, වෙල්ලාලගේ- 2/4, සදිෂ- 4/3, මතීෂ- 7/2) 

ශ්‍රී ලංකාවට ලකුණු 274ක ජයක් 

තරගයේ වීරයා- පවන් පතිරාජ 

2). ශ්‍රී ලංකාව සහ නේපාලය අතර 

ශ්‍රී ලංකාව- 322/4 (50), (සදිෂ- 131, චමිඳු- 111, වෙල්ලාලගේ- 34*, අලාම්- 46/2)

නේපාලය- 262/10 (47.5), (සවුඩ්- 64, බිබේක්- 46,බාසිර්- 43, වෙල්ලාලගේ- 35/3, මතීෂ- 49/3) 

ශ්‍රී ලංකාවට ලකුණු 60ක ජයක්

තරගයේ වීරයා- සදිෂ රාජපක්ෂ

3). ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය

බංග්ලාදේශය- 129/4 (32.4), (නබිල්- 45, ෆාහිම්- 28, වෙල්ලාලගේ- 16/2, මැතිව්- 17/2)

ශ්‍රී ලංකාව- 0/0

නිලධාරින් දෙදෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වුණු නිසා තරගය අතරමග නතර කළා. 

පළමු වටයේ තරගවල දී දස්කම් දැක්වූ සදිෂ රාජපක්ෂ – thenationalnews.com

 

පළමු තරග වටයේ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගත්තා. ඒ අනුව ඔවුන්ට අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන යොවුන් කණ්ඩායම සමඟින් තරග වැදීමට සිදු වුණා. ඔවුන් මූලික තරග වටයේ දී ප්‍රබල ඉන්දීය යොවුන් කණ්ඩායම පවා පරාජයට පත්කර තිබුණා. පන්දුවට පහරදීමට අසීරු තණතීරුවක පැවති මෙම තරගයේ පන්දුවට  මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් සියලු දෙනා ම දැවී ලබා ගත්තේ ලකුණු 147ක් පමණ යි.

ඉන් අනතුරුව දක්ෂ අයුරින් පන්දු යැවූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දඟපන්දු යවන්නන් පාකිස්තාන ඉනිම ලකුණු 125ක් වැනි අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කළා. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 22ක ජයක් හිමි වුණා. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ශ්‍රී ලංකාව- 147/10 (44.5), (රොද්‍රිගෝ- 31*, මතීෂ- 31, සමීර්- 32/4, අහමඩ්- 26/2, අවෙයිස්- 27/2)

පාකිස්තානය- 125/10 (49.3), (අහාමඩ්- 36, ෂේශාඩ්- 30, මැතිව්- 14/4, වෙල්ලාලගේ- 31/3)

ශ්‍රී ලංකාවට ලකුණු 22ක ජයක් 

තරගයේ වීරයා- ට්‍රැවීන් මැතිව් 

 මැතිව් තරගයේ වීරයා සම්මානය දිනාගත් අවස්ථාව (dailymirror.lk)

 

1989 වසරේ ආරම්භ වුණු ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත් පස්වන අවස්ථාව ලෙසින් මෙය සටහන් වුණා. ඊට පෙර සහභාගි වුණු අවසන් තරගවල දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම් ඉන්දියාව හමුවේ පරාජයට පත් ව තිබුණා. මෙවරත් එම අතීතය යළි සිහිගන්වමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ කඩුලු 9ක පරාජයක් උරුම කර ගත්තා. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

ශ්‍රී ලංකාව- 106/9 (38), (රොද්‍රිගෝ- 19*, රවීන්- 15,  ඔස්ට්වාල්- 11/3, තම්බේ- 23/2, රවී- 17/1)

ඉන්දියාව- 104/1 (21.3), (රගුවන්ෂි- 56*, රෂීඩ්- 31*, රොද්‍රිගෝ- 12/1)

ඉන්දියාවට කඩුලු 9ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව)

තරගයේ වීරයා- විකී ඔට්ස්වාල්

තරගාවලියේ වීරයා- හර්නූර් සිං 

ජයග්‍රාහී ඉන්දීය යොවුන් කණ්ඩායම – espncricinfo.com

ශ්‍රී ලංකාව පිරිමි වොලිබෝල් කණ්ඩායමට සුපිරි ජයග්‍රහණයක් 

2021 මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය බංග්ලාදේශ දී පසුගිය දිනවල පැවැත්වුණා. එම තරගාවලිය යටතේ පැවති පිරිමි අංශයේ තරග සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය සහ උස්බෙකිස්තානය යන රටවල් සහභාගි වුණා. එහි දී මූලික තරග වටය යටතේ පැවති තරගවල දී බංග්ලාදේශය තරග වට 3-1, නේපාලය තරග වට 3-1 සහ උස්බෙකිස්තානය තරග වට 3-1, මාලදිවයින තරග වට 3-1 ලෙස පරාජයට පත්කරමින් අපරාජිතව අවසන් තරගයට පිවිසුණා.

අවසන් තරගයේ දී සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වට 3-0ක ජයග්‍රහණයක් හිමි කර ගත්තා. තරගයේ ලකුණු තත්ත්වය 28/26, 25/20 සහ 25/20 ලෙසින් සටහන් වුණා. ඒ අනුව මෙවර මුල් ම වරට ශ්‍රී ලංකාව මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාව දිනා ගත්තා.

ජයග්‍රාහී ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම – newsfirst.lk

 

අළු බඳුනේ අයිතිය යළිත් ඕස්ට්‍රේලියාවට 

2021/22 අළු බඳුන ටෙස්ට් තරගාවලිය මේ දිනවල ඕස්ට්‍රේලියානු බිමේ දී පැවැත්වෙනවා. ඒ යටතේ මෙල්බර්න් පිටියේ පැවති තෙවන ටෙස්ට් තරගය පසුගිය අඟහරුවාදා නිමාවට පත්වුණා. එම තරගය ඉනිමකින් සහ ලකුණු 14කින් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග 2ක් ඉතිරි ව තිබිය දී මෙවර අළු බඳුන කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

එහි දී සිය මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගි වුණු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් එංගලන්ත දෙවන ඉනිමේ දී ලකුණු 7කට කඩුලු 6ක් දවා ගනිමින් අමතක නොවන දස්කම් දැක්වීමට සමත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

එංගලන්ත පළමු ඉනිම- 185/10, (රූට්- 50, බෙයාස්ට්‍රෝ- 35, කමින්ස්- 36/3, ලයන්- 36/3)

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 267/10, (හැරිස්- 76, වෝනර්- 38, ඇන්ඩර්සන්- 33/4, රොබින්සන්- 64/2)

එංගලන්ත දෙවන ඉනිම- 68/10, (රූට්- 28, ස්ටෝක්ස්- 11, බෝලන්ඩ්- 7/6, ස්ටාක්- 29/3) 

ඕස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 14ක ජයක් 

තරගයේ වීරයා- ස්කොට් බෝලන්ඩ් 

ස්කොට් බෝලන්ඩ් පන්දුවෙන් දස්කම් දක්වමින් – twitter.com

කතු හිමිකම: ©roar.media/sinhala. සියලු හිමිකම් ඇවිරිණි. නිසි අවසරයක් නැතිව උපුටා ගැනීම සපුරා තහනම්.

කවරයේ ඡායාරූපය- වනිඳු හසරංග - gettyimages.com 

මූලාශ්‍ර: 

espncricinfo.com

howstat.com

dinamina.lk

 espncricinfo 

Related Articles