Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පේලේගේ 50 වසරක් පැරණි වාර්තාවක් මෙසී බිඳ දමයි

2021 T20 ලෝක කුසලානය සඳහා සහභාගි වන රටවල් ඔවුන්ගේ සංචිත පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළා. ඒ සමඟ ම ක්‍රිකට් උණුසුම තවත් වැඩි වුණා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ 20/20 තරගාවලිය පරාජය වීමෙන් පසු ව එම උණුසුම තරමක් දුරට පහ ව ගියා. එසේ ක්‍රිකට් පිටිය කාර්යබහුල වෙද්දී පාපන්දු පිටියෙනුත් සුවිශේෂී සිදුවීම් වාර්තා වුණා.

ඒ අතුරින් විශේෂ ම සිදුවීම වුණේ මෙසී වසර 50ක් පැරණි දකුණු අමෙරිකානු පාපන්දු වාර්තාවක් බිඳ දැමීම යි. ඊට අමතර ව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 12 වසරකට පසුව මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් පෑ හපන්කම් පිළිබඳ ව ද බොහෝ දෙනකුගේ අවධානය යොමු වුණා. ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ ව තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

අසලංකගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

වසර 8කට පසුව ලැබුණු එක්දින තරගාවලි ජයග්‍රහණය

2021 ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ තෙවන තරගයකොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දී  පසුගිය අඟහරුවාදා පැවැත්වුණා. එම තරගය ආරම්භ වන විට කණ්ඩායම් දෙක ම තරගය බැගින් ජයග්‍රහණය කර තිබුණා. එනිසා තෙවන තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමිවීමට නියමිත ව තිබුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා නායකයා මුලින් ම පන්දුවට පහරදීමට තීරණය කළා.

දඟපන්දු යවන්නට උචිත අයුරින් සකසා තිබුණු තණතීරුවක දැඩි ලෙස අසාර්ථක වුණු ශ්‍රී ලංකා පිතිකරුවන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 203ක් පමණයි. එහි දී චරිත් අසලංක ලකුණු 47ක් ලබාගෙන වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩා කළත් සෙසු පිතිකරුවන්ට දස්කම් අතරට පැමිණීමට හැකිවුණේ නැහැ. ඒ අයුරින් ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වෙද්දී දක්ෂ පන්දු යැවීමක් නිරත වුණු කේශව් මහරාජ් ලකුණු 38කට කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 204ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිතිකරුවන් මුල සිටම චමීරගේ සහ ප්‍රවීන්ගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ අන්ත අසරණ වුණා. එනිසා දකුණු අප්‍රිකානුවන්ගේ මුල් කඩුලු 3ම ලකුණු 19ක් ඇතුළත බිඳ වැටුණා. ඉන් පසුව ක්‍රියාත්මක වුණු වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ප්‍රබල දඟපන්දු යැවීමක නිරතවෙමින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 54/6 බවට පත්කළා. එහි දී මංගල එක්දින තරගය සඳහා සහභාගි වුණු මහීෂ් තීක්ෂණ සිය ජාත්‍යන්තර එක්දින දිවියේ යැවූ පළමු පන්දුවෙන් ම යනමන් මලාන්ගේ කඩුල්ල දවා ගත්තා.

මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ මලාන් දැවීගිය අවස්ථාව – getty images

 

ඒ අයුරින් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සිදු කළ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට යළිත් වරක් තරගයට අවතීර්ණ වීමට හැකියාව ලැබුණේ නැහැ. එනිසා පන්දුවාර 30ක් ඇතුළත දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 125කට සීමා වුණා. එහි දී දකුණු අප්‍රිකානු ඉනිම සුණුවිසුණු කළ මහීෂ් තීක්ෂණ ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිද්දී චමීර සහ හසරංග අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. ඒ අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් එක්දින තරගාවලි ජයග්‍රහණය දකුණු අප්‍රිකාව හමුවේ වසර 8කට පසුව ලබාගත් එක්දින තරගාවලි ජයග්‍රහණයක් වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 203/9(50)- (අසලංක- 47, ධනංජය- 31, චමීර- 29, මහරාජ්- 38/3, ෂම්සි- 31/2, ලින්ඩේ- 32/2)

දකුණු අප්‍රිකාව- 125/10(30)- (ක්ලාසන්- 22, තීක්ෂණ- 37/4, චමීර- 16/2, හසරංග- 32/2, අසලංක- 3/1)

ශ්‍රී ලංකාවට ලකුණු 78ක ජයක් 

තරගයේ වීරයා- දුෂ්මන්ත චමීර 

තරගාවලියේ වීරයා- චරිත් අසලංක 

ශ්‍රී ලංකා නායක දසුන් ශානක ජයග්‍රාහී කුසලානය අතැතිව – getty images

 

මහීෂ් තීක්ෂණ මංගල එක්දින තරගයේ දී වාර්තා අතරට 

පසුගිය අඟහරුවාදා පැවති ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තෙවන එක්දින තරගයේ දී මහීෂ් තීක්ෂණ එක්දින වරම් දිනා ගත්තා. එහි දී ඔහු සිය ජාත්‍යන්තර තරග දිවියේ දී යොමු කළ පළමු නීත්‍යානුකූල පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගත්තා. ඒ අනුව එවැනි දස්කමක් කළ සිව්වන ලාංකීය ක්‍රීඩකයා ලෙසින් මහීෂ් වාර්තා අතරට එක් වුණා. පහතින් දක්වා තිබෙන්නේ සිය එක්දින ජාත්‍යන්තර තරග දිවියේ යැවූ පළමු නීත්‍යානුකූල පන්දුවෙන් ම කඩුලු දවාගත් ලාංකීය පන්දු යවන්නන් පිළිබඳ ව යි. 

1) චරිත බුද්ධික- සිම්බාබ්වේට එරෙහිව 2001 වසරේ දී

2) කෞෂාල් ලොකුආරච්චි- කෙන්යාවට එරෙහිව 2003 වසරේ දී

3) තිලාන් තුෂාර- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2008 වසරේ දී

4) මහීෂ් තීක්ෂණ- දකුණු අප්‍රිකාවට එරෙහිව 2021 වසරේ දී

මහීෂ් තීක්ෂණ සිය මංගල එක්දින තරගයේ දී කඩුල්ලක් දවාගනිමින් – getty images

 

තීක්ෂණ සිය මංගල එක්දින තරගයේ දී ලකුණු 37කට කඩුලු 4ක් දවා ගත්තා. එය ශ්‍රී ලාංකීය පන්දු යවන්නකු සිය මංගල එක්දින තරගයේ දී වාර්තා කළ පස්වන හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. එසේ ම ලාංකීය දඟපන්දු යවන්නකු සිය මංගල එක්දින තරගයේ දී සිදුකළ හොඳ ම පන්දු යැවීම ලෙසින් වාර්තා අතරට එක් වුණා. පහතින් දක්වා තිබෙන්නේ සිය මංගල එක්දින තරගයේ දී හොඳ ම පන්දු යැවීම් සිදුකළ ශ්‍රී ලාංකීය පන්දු යවන්නන් පිළිබඳව යි. 

1) උවයිස් කර්නයින්- 26/5- නවසීලන්තයට එරෙහිව 1984

2) දසුන් ශානක- 43/5- අයර්ලන්තයට එරෙහිව 2016

3) චරිත බුද්ධික- 67/5- සිම්බාබ්වේට එරෙහිව 2001

4) අසන්තා ද මෙල්- 34/4 එංගලන්තයට එරෙහිව 1982

5) මහීෂ් තීක්ෂණ- 37/4 දකුණු අප්‍රිකාවට එරෙහිව 2021

උවයිස් කර්නයින් මංගල එක්දින තරගයේ දී තරගයේ වීරයා සම්මානය ලබා ගනිමින්  – Cricfinity

 

පේලේගේ 50 වසරක් පැරණි පාපන්දු වාර්තාවක් මෙසීගේ නමට 

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ තරග පසුගිය සතියේ දී ක්‍රියාත්මක වුණා. ඒ යටතේ පැවති දකුණු අමෙරිකානු කලාපීය තරගවල දී ආජන්ටිනාවේ ලියොනල් මෙසී බොලිවියාවට එරෙහි ව ත්‍රිත්ව ගෝලයක් වාර්තා කළා. එම ගෝල ත්‍රිත්වයත් සමඟින් ජාත්‍යන්තර පාපන්දු තරගවල දී වැඩි ම ගෝල ප්‍රමාණයක් ලබා ගත් දකුණු අමෙරිකානු ක්‍රීඩකයා ලෙසින් මෙසී ඉතිහාසගත වුණා. එහි දී මෙසී අතින් බිඳ වැටුණේ බ්‍රසීලයෙන් බිහිවුණු සුපිරි ම පාපන්දු තරුව වුණු පේලේ මීට වසර 50කට පෙර තබා තිබුණු වාර්තාව යි. පහතින් දැක්වෙන්නේ ජාත්‍යන්තර පාපන්දු තරගවල දී වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් දකුණු අමෙරිකානු පාපන්දු ක්‍රීඩකයන් පිළිබඳ ව යි.

1) ලියොනල් මෙසී (ආජන්ටිනාව)- ගෝල 79 (තරග 153)

2) පේලේ (බ්‍රසීලය)- ගෝල 77 (තරග 92)

3) නේමාර් ද සිල්වා (බ්‍රසීලය)- ගෝල 69 (තරග 135) 

4) ලුයිස් සුආරේස් (උරුගුවේ)- ගෝල 64 (තරග 123)

5) රොනාල්ඩෝ (බ්‍රසීලය)- ගෝල 62 (තරග 124)

මෙසී බොලිවියාවට එරෙහිව  තරග වදිමින් (gettyimages)

 

20/20 ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි 

එළඹෙන ඔක්තෝබර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 20/20 ලෝක කුසලානය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා 20/20 සංචිතය පසුගිය ඉරිදා ප්‍රකාශයට පත් කළා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් ව සිටිනවා. ඊට අමතර ව අතිරේක ක්‍රීඩකයන් සිව්දෙනකු ද සංචිතයට ඇතුළත් කර තිබෙනවා. පහතින් දක්වා තිබෙන්නේ එම සංචිතය යි.

1) දසුන් ශානක (නායක)

2) ධනංජය ද සිල්වා (උප නායක)

3) කුසල් පෙරේරා

4) දිනේෂ් චන්දිමාල් 

5) භානුක රාජපක්ෂ

6) අවිශ්ක ප්‍රනාන්දු  

7) චරිත් අසලංක 

8) වනිඳු හසරංග 

9) කමිඳු මෙන්ඩිස් 

10) චාමික කරුණාරත්න 

11) ළහිරු මදුසංක

12) දුෂ්මන්ත චමීර 

13) නුවන් ප්‍රදීප් 

14) මහීෂ් තීක්ෂණ

15) ප්‍රවීන් ජයවික්‍රම 

අතිරේක 

1) අකිල ධනංජය 

2) පුලින තරංග 

3) බිනුර ප්‍රනාන්දු 

4) ළහිරු කුමාර 

20/20 ලෝක කුසලානය – getty images

මැංචෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් රොනාල්ඩෝ යළි වැඩ පෙන්වයි 

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2003-2009 කාල සමයේ මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කළා. ඉන් අනතුරුව ඔහු ස්පාඤ්ඤයේ රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමත්, ඉතාලියේ යුවෙන්ටස් කණ්ඩායමටත් ක්‍රීඩා කළා. වසර 12කට පසුව යළිත් වරක් මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට එකතු වුණු රොනාල්ඩෝ පසුගිය සෙනසුරාදා මෙවර තරගවාරයේ පළමු තරගයට සහභාගි වුණා. ඒ නිව්කාසල් යුනයිටඩ් කණ්ඩායමට එරෙහිව යි.

රොනාල්ඩෝ නිව්කාසල් කණ්ඩායමට එරෙහිව තරගවදිමින් – getty images

එහි දී මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ගෝල 4-1ක් ලෙසින් පහසු ජයග්‍රහණයක් හිමිකර ගනිද්දී රොනාල්ඩෝ සිය කණ්ඩායම වෙනුවෙන් මුල්ම ගෝල 2ක වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ අනුව ඉදිරියේ දී මැංචෙස්ටර් යුනයිටඩ් පාපන්දු ලෝලීන්ට රොනාල්ඩෝගේ දස්කම් දැකගැනීමට අවස්ථාවක් හිමිවනු ඇති. 

ශ්‍රී ලංකාව 20/20 තරගාවලිය පරාජය වෙයි 

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා 20/20 තරගාවලිය පසුගිය සිකුරාදා ආරම්භ වුණා. කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී පැවැත්වුණු පළමු 20/20 තරගයේ දී මුලින් ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා. එහි දී පිත්තෙන් දස්කම් දැක්වූ ඒඩන් මාක්‍රම් ලකුණු 48ක් ලබාගනිද්දී වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගත්තා.

මාක්‍රම්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉන් පසුව ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් මුල සිට ම විශ්වාසයකින් තොරව පන්දුවට පහර දුන්නා. එනිසා මුල් පන්දුවාර 10 නිමාව දකිද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 57/2 ලෙසින් දිස්වුණා. තණතීරුව ක්‍රමයෙන් මන්දගාමී වීම නිසා දැඩි අසීරුතාවකට පත්වුණු ශ්‍රී ලංකා පිතිකරුවන්ට වේගයෙන් ලකුණු ලබාගැනීමට හැකිවුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 28ක පරාජයක් උරුම වුණා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු දිනේෂ් චන්දිමාල් පන්දු 54කින් නොදැවී ලකුණු 66ක් ලබාගත්තා. 

එය ඔහුගේ 20/20 තරග දිවියේ හොඳ ම ඉනිම ලෙසින් සටහන් වුණා. ඊට පෙර ඔහු 2016 වසරේ දී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහි ව ලකුණු 58ක් ලබා ගෙන තිබුණා. ඒ අයුරින් දකුණු අප්‍රිකානුවන්ට ජය හිමි වුණු තරගයේ වීරයා සම්මානය ඒඩන් මාක්‍රම්ට හිමිවුණා.

චන්දිමාල් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින් (gettyimages)

 

කෙටි ලකුණු පුවරුව 

දකුණු අප්‍රිකාව- 163/5 (20), (මාක්‍රම්- 48, හෙන්ඩ්‍රික්ස්- 38, කොක්- 36, හසරංග- 23/2, ශානක- 6/1)

ශ්‍රී ලංකාව- 135/6 (20), (චන්දිමාල්- 66*, චාමික- 22*, මහරාජ්- 19/1, ප්‍රිටෝරියස්- 21/1)

දකුණු අප්‍රිකාවට ලකුණු 28ක ජයක් 

තරගයේ වීරයා- ඒඩන් මාක්‍රම් 

දකුණු අප්‍රිකානුවන් තරගය ජයග්‍රහණය කළ මොහොත – getty images

 

තරගාවලියේ දෙවන තරගය පසුගිය ඉරිදා කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දීම ක්‍රියාත්මක වුණා. එහි දී කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7.3ක් අවසානයේ දී කඩුලු 2ක් දැවී ලකුණු 59ක් ලබාගෙන සිටියා. නමුත් ඉන් පසුව ශ්‍රී ලංකා පිතිකරුවන් දකුණු අප්‍රිකානු දඟපන්දු යවන්නන්ගේ ග්‍රහණයට නතු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 18.1කදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 103කට සීමා වුණා.

කුසල් පෙරේරා සහ භානුක රාජපක්ෂ පිළිවෙළින් ලකුණු 30ක් සහ 20ක් ලබා ගෙන තරමක් දුරට සාර්ථක පිතිහරඹයක් සිදු කළත් සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට අවකාශයක් ලැබුණේ නැහැ. ඒ අයුරින් ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ද මන්ද කරමින් සුපිරි පන්දු යැවීමක නිරත වුණු ෂම්සි සහ මාක්‍රම් කඩුලු 3 බැගින් බිඳ දැමුවා. ඊට අමතර ව ෆෝටුයින් කඩුලු 2ක් දවා ගත්තා. 

ෂම්සි කඩුල්ලක් දවාගනිමින් – getty images

 

ඉන් පසුව ලකුණු 104ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ පහසුවෙන්ම ලකුණු ලබා ගත්තා. එනිසා පන්දුවාර 14.1ක් අවසානයේ දී කඩුල්ලක් පමණක් දැවී තිබිය දී දකුණු අප්‍රිකානුවන් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එහි දී දක්ෂ ලෙස පන්දුවට පහරදුන් කුයින්ටන් ද කොක් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තා.

ඒ අනුව තරගයක් ඉතිරි ව තිබිය දී 20/20 තරගාවලිය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානුවන්ට හැකියාව ලැබුණා. එය දකුණු අප්‍රිකානුවන් ලක්බිමේ දී වසර 8කට පසුව ලබා ගත් එකම 20/20 තරගාවලි ජයග්‍රහණය වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

කොක්ගේ ඉනිමේ අවස්ථාවක් – getty images

 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 103/10 (18.1), (කුසල්- 30, භානුක- 20, ෂම්සි- 20/3, මාක්‍රම්- 21/3. ෆෝටුයින්- 12/2 )

දකුණු අප්‍රිකාව- 105/1 (14.1), (කොක්- 58*, මාක්‍රම්- 21*, හසරංග- 22/1) 

දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක් 

තරගයේ වීරයා- ටබ්‍රේස් ෂම්සි 

කවරයේ ඡායාරූපය- මෙසී බොලිවියාවට එරෙහිව දස්කම් දක්වමින් (gettyimages)

මූලාශ්‍ර-

Cricinfo

goal.com 

premierleague.com 

Sri lanka Cricket

Related Articles