Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2021 LPL ක්‍රිකට් තරගාවලිය පිළිබඳ පසු විපරමක්

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පසුගිය බ්‍රහස්පතින්දා නිමාවට පත්වුණා. දින 18ක් පුරා පැවති තරගාවලිය සඳහා තරග 24ක් ඇතුළත් වුණා. මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීම සඳහා ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් අතර තියුණු සටනක් පැවතුණා. එම සටනේ දී ග්ලැඩියේටර්ස් කණ්ඩායම අභිබවා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පිට පිට ම දෙවන වරටත් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා. 

ජයග්‍රාහී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම -gettyimages.com

 

පසුගිය වර තරගාවලියට වඩා වැඩි ගුණාත්මක බවකින් යුක්ත වුණු මෙවර තරගාවලියේ දී දෙස් විදෙස් ක්‍රිකට් තරු රැසක් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ වාගේම දක්ෂ යොවුන් ක්‍රිකට් තරු කිහිපයක් මෙවර LPL තරගාවලියේ දී කරළියට පිවිසියා. එය මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලබා ගත් විශාල ජයග්‍රහණයක් බවට පත්වුණා. 

තරගාවලියේ මූලික වටය 

මෙවර LPL තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, දඹුල්ල ජයන්ට්ස්, කළම්බු ස්ටාර්ස්, සහ කැන්ඩි වොරියර්ස් යන කණ්ඩායම් පහ සහභාගි වුණා. මූලික තරග වටයේ දී සෑම කණ්ඩායමක් ම අනිත් කණ්ඩායම් සමඟ තරග 2 බැගින් ක්‍රීඩා කළා. ඒ අනුව මූලික තරග  වටයේ දී සියලු ම කණ්ඩායම් තරග 8 බැගින් ක්‍රීඩා කළා. එම තරගවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග 6ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගත්තා. එහි දී ඔවුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හමුවේ තරග 2ම පරාජයට පත්වීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර තරගයක අවස්ථාවක් – gettyimages.com

 

ඒ අයුරින් ජැෆ්නා කණ්ඩායම පහසුවෙන් ම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිද්දී දෙවන ස්ථානය දිනා ගැනීම සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් සහ කළම්බු ස්ටාර්ස් කණ්ඩායම් අතර ප්‍රබල සටනක් පැවතුණා. එම සටනින් ජයග්‍රහණය කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දිනා ගනිද්දී කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට තෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවුණා. දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම තරගාවලියේ අවසන් තරග වටය සඳහා සුදුසුකම් ලබාගත් සිව්වන කණ්ඩායම බවට පත්වෙද්දී කැන්ඩි කණ්ඩායමට මූලික වටයෙන් ම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා. පහතින් දක්වා තිබෙන්නේ මූලික තරග වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහන් දැක්වුණු ආකාරය යි. 

ප්‍රසාද ලකුණු සටහන 

1) ජැෆ්නා කිංග්ස්- ලකුණු 12   (තරග 8)

2) ගෝල් ග්ලැඩියේටර්ස්- ලකුණු 9   (තරග 8)

3) කළම්බු ස්ටාර්ස්- ලකුණු 8   (තරග 8)

4) දඹුල්ල ජයන්ට්ස්- ලකුණු 7   (තරග 8)

5) කැන්ඩි වොරියර්ස්-ලකුණු 4   (තරග 8)

අවසන් තරග වටයේ තොරතුරු

තරගාවලියේ අවසන් වටය සඳහා තරග 4ක් අඩංගු වුණා. ඒ Eliminator, Qualifier 1, Qualifier 2 සහ අවසන් තරගය යි. පහතින් දක්වා තිබෙන්නේ එම තරගවල තොරතුරු යි.

Eliminator තරගය

එම තරගය සඳහා ප්‍රසාද ලකුණු සටහනේ 3 සහ 4 ස්ථාන දිනාගත් දඹුල්ල ජයන්ට්ස් සහ කළම්බු ස්ටාර්ස් යන කණ්ඩායම් සහභාගි වුණා. එම තරගයේ දී කළම්බු ස්ටාර්ස් කණ්ඩායම අභිබවා ගියා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම තරගාවලියේ ඉදිරියට යාමට වරම් ලබා ගත්තා. පහතින් දැක්වෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කළම්බු ස්ටාර්ස්- 145/6 (20), (මැතිව්ස්- 50*, නිස්සංක- 42, ප්‍රදීප්- 23/2, තාහීර්- 25/2)

දඹුල්ල ජයන්ට්ස්- 146/4 (18.5), (ලියනගේ- 56*, නජිබුල්ලා- 34, සෝල්ට්- 32, චමීර- 24/1)

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා- ජනිත් ලියනගේ 

ජනිත්ගේ ඉවලිවන්ත ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

Qualifier 1 තරගය 

Qualifier 1 තරගය සඳහා ප්‍රසාද ලකුණු සටහනේ 1 සහ 2 ස්ථාන දිනා ගත් ජැෆ්නා කිංග්ස් සහ ගෝල් කණ්ඩායම් සහභාගි වුණා. පළමු වටයේ තරගවල දී මෙන් මෙම තරගයේ දීත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අභිබවා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 64ක පහසු ජයක් හිමිකර ගත්තා. එහි දී කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 85 සහ නුවන් තුෂාර ලකුණු 13කට ලබා ගත් කඩුලු 5 කැපී පෙනුණා.

ගෝල් ග්ලැඩියේටර්ස්- 188/5 (20), (මෙන්ඩිස්- 85, ගුණතිලක- 55, තිසර- 36/2, වහාබ්- 39/2)

ජැෆ්නා කිංග්ස්- 124/10 (16.5), (ගුර්බාස්- 59, හසරංග- 29, තුෂාර- 13/5, අන්වර්- 3/1, පුලින- 13/1) 

ගෝල් ග්ලැඩියේටර්ස්  කණ්ඩායමට ලකුණු 64ක ජයක් 

තරගයේ වීරයා- කුසල් මෙන්ඩිස්  

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු නුවන් තුෂාර – gettyimages.com

 

Qualifier 2 තරගය 

Qualifier 2 තරගය ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම් අතර පැවැත්වුණා. එම තරගයේ දී මුලින් ම පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 210ක් ලබා  ගත්තා. එය මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කණ්ඩායමක් ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා කළා. එහි දී සුපිරි  ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 64ක් පමණක් වැය කරමින් අගනා ලකුණු 100ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ දී වාර්තා වුණු පළමු සහ එකම ශතකය බවට පත්වුණා. ඒ අයුරින් ජැෆ්නා කිංග්ස් පිතිකරුවන් දැක්වූ සුපිරි දස්කම් නිසා අවසානයේ දී ඔවුන්ට ලකුණු 23ක ජයක් හිමි වුණා.

ජැෆ්නා කිංග්ස්- 210/4 (20), (අවිශ්ක- 100, ගුර්බාස්- 70, සමරකෝන්- 30/2, ලැන්ග්- 47/1)

දඹුල්ල ජයන්ට්ස්- 187/9 (20), (චාමික- 75*, සීල්ස්- 24/3, තීක්ෂණ- 23/2, තිසර- 50/2)

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ලකුණු 23ක ජයක් 

තරගයේ වීරයා- අවිශ්ක ප්‍රනාන්දු

අවිශ්ක ශතකය සම්පූර්ණ කළ අවස්ථාව – gettyimages.com

 

අවසන් තරගය 

අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා සිටි ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අවසන් තරගය ආරම්භ වීමට පෙර මෙවර තරගාවලියේ දී තෙවරක් උරෙනුර ගැටී තිබුණා. එම තරග ත්‍රිත්වය ම ගෝල් කණ්ඩායම ජයග්‍රහණය කර තිබුණා. එනිසා අවසන් තරගයත් ගෝල් කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇති බවට බොහෝ දෙනෙක් අනාවැකි පළ කළා. එයට අභියෝග කළ ජැෆ්නා කිංග්ස් පිතිකරුවන් අවසන් තරගයේ දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 201ක් ලබා ගත්තා.

එහි දී ලකුණු අතරට යළිත් පිවිසි අවිශ්ක අගනා ලකුණු 63ක් ලබා ගනිද්දී ටොම් කැඩ්මෝර් ලකුණු 53ක් වාර්තා කළා. ඉන් අනතුරු ව ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඉනිමේ මුල් භාගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළත් වනිඳුගේ දක්ෂ පන්දු යැවීමේ හමුවේ ඔවුන් පසුබෑමකට ලක් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ දී ඔවුන්ට ලකුණු 23ක පරාජයක් උරුම වුණා.

ජැෆ්නා කිංග්ස්- 201/3 (20), (අවිශ්ක- 63, කැඩ්මෝර්- 53, ගුර්බාස්- 35, පටෙල්- 32/1) 

ගෝල් ග්ලැඩියේටර්ස්- 178/9 (20), (ගුණතිලක- 54, මෙන්ඩිස්- 39, චතුරංග- 15/2, වනිඳු- 15/2)

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ලකුණු 23ක ජයක් 

තරගයේ වීරයා- අවිශ්ක ප්‍රනාන්දු

තරගාවලියේ වීරයා- අවිශ්ක ප්‍රනාන්දු 

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ජයග්‍රාහී කුසලානය සමඟින් – lplt20sl.com

තරගාවලියේ වැඩි ම ලකුණු ලාභීහු 

මෙවර LPL තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත්වීම සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු අතර තියුණු සටනක් පැවතුණා. එම සටනින් ජය ගත් කුසල්  තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත්වුණා. පහතින් දක්වා තිබෙන්නේ වැඩි ම ලකුණු ලබාගත් පිතිකරුවන් සිව් දෙනා පිළිබඳව යි.  

1) කුසල් මෙන්ඩිස් (ගෝල් ග්ලැඩියේටර්ස්)- ලකුණු 327 (ඉනිම්- 10)

2) අවිශ්ක ප්‍රනාන්දු (ජැෆ්නා කිංග්ස්)- ලකුණු 312 (ඉනිම්-10)

3) ෆිල් සෝල්ට් (දඹුල්ල ජයන්ට්ස්)- ලකුණු 301 (ඉනිම්-10)

4) කෝලර්-කැඩ්මෝර් (ජැෆ්නා කිංග්ස්)- ලකුණු 296 (ඉනිම්- 11)

කුසල් මෙන්ඩිස් පිත්තෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

තරගාවලියේ වැඩි ම කඩුලු ලාභීහු 

මෙවර LPL තරගාවලියේ වැඩිම ලකුණු කඩුලු බවට පත්වීම සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සමිට් පටෙල්,  දඹුල්ල කණ්ඩායමේ තාහීර්, සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ අතර තුන්කොන් සටනක් පැවතුණා. එහි දී සමිට් පටෙල් සහ මහීෂ් තීක්ෂණ තරගාවලියේ අවසානය දක්වා ම කරට කර සටනක නිරත වෙමින් කඩුලු 16 බැගින් දවා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. තරගාවලියේ වැඩි ම කඩුලු ලාභීන් සිව්දෙනා යි මේ. 

1) මහීෂ් තීක්ෂණ (ජැෆ්නා කිංග්ස්)-  කඩුලු 16 (ඉනිම්- 10)

2) සමිට් පටෙල් (ගෝල් ග්ලැඩියේටර්ස්)- කඩුලු 16 (ඉනිම්- 10)

3) ජේඩ්න් සීල්ස් (ජැෆ්නා කිංග්ස්)- කඩුලු 15 (ඉනිම්- 6)

4) ඉම්රාන් තාහීර් (දඹුල්ල ජයන්ට්ස්)- කඩුලු 15 (ඉනිම්- 15)

මහීෂ් තීක්ෂණ පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

දස්කම් දැක්වූ නවක ක්‍රීඩකයෝ

මෙවර LPL තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙක් හමු වුණා. ඒ අතුරින් එක් ක්‍රීඩකයකු වුණු ජනිත් ලියනගේ දඹුල්ල කණ්ඩායම නියෝජනය කරමින් තරග 4කට සහභාගි වුණා. එහි දී ඔහු අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 108ක් ලබා ගැනීමට සමත් වුණා. ජනිත් සිය හොඳ ම ඉනිම වුණු නොදැවී ලකුණු 56 Eliminator තරගයේ දී ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඉතාමත් දක්ෂ අයුරින් පන්දුවට පහරදුන් මෙම නවක  පිතිකරුවාට තවත් තරග කිහිපයක් ලබා දුන්නා නම් ඔහුගේ දස්කම් මීට වඩා දැක බලා ගැනීමට අවස්ථාව තිබුණා. 

ජනිත් ලියනගේ – gettyimages.com

කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියෝජනය කළ නවක ක්‍රීඩකයකු වුණු නිමේෂ් විමුක්ති ද මෙවර තරගාවලියේ දී පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුණා. වමත් දඟ පන්දු යවන්නකු වන නිමේෂ් මෙවර තරගාවලිය යටතේ තරග 6කට සහභාගි වෙමින් කඩුලු 10ක් දවා ගැනීමට සමත් වුණා. එහි දී කළම්බු කණ්ඩායමට එරෙහි ව ලකුණු 24කට ලබා ගත් කඩුලු 3 ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. 

නිමේෂ් විමුක්ති – lplt20sl.com

කවරයේ ඡායාරූපය- ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයන් ජයග්‍රහණයේ සතුට සමරමින්- gettyimages.com 

මූලාශ්‍ර:

espncricinfo.com

lplt20sl.com 

Related Articles