Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෙබ්‍රෝන් ජේම්ස් ලොස් ඇන්ජලීස් නුවරට වාසනාව ගෙනෙයිද?

ඕනෑම ක්ෂේත්‍රයක එම ක්ෂේත්‍රයට අදාළ විවිධ සිදුවීම් දිනපතාම සිදුවේ. නමුත් ඕනෑම ක්ෂේත්‍රයක කලාතුරකින් සිදුවන යම් යම් සිදුවීම් නිසා එම අදාළ ක්ෂේත්‍රයම කැළඹීමට පත්වේ. සමස්ථ පැසිපන්දු ක්ෂේත්‍රයම කැළඹීමට පත් වූ සිදුවීමක් මෑත කාලයේ දී වාර්තා වූයේ නම් ඒ සුපිරි පැසිපන්දු ක්‍රීඩක ලෙබ්‍රෝන් ජේම්ස්, ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම හා එක්වීමයි. පසුගිය වසර 4 ක කාලය තුලදී ක්ලීව්ලන්ඩ් කැවලියර්ස් කණ්ඩායම නියෝජනය කල ලෙබ්‍රෝන් ජේම්ස්, ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම හා එක්වූයේ ජූලි 1 වැනිදා ය. ඒ වසර 4 ක කාලයකටයි.

Getty images

ඒ අනුව මේ වනවිට 33 හැවිරිදි ජේම්ස් හට එම වසර 4 තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 154 ට ආසන්න මුදලක් (153.3) හිමිවනු ඇත. 6′ 8” උසැති ජේම්ස් මේ වනවිට ලොව සිටින හොඳම පැසිපන්දු ක්‍රීඩකයා ලෙසින් බොහෝ ක්‍රීඩා විචාරකයින් හා ක්‍රීඩා ලෝලීන් විසින් හඳුන්වනු ලබයි. ඇමරිකාවේ පැසිපන්දු ලීගය NBA (National Basketball Association) ලෙසින් හඳුන්වනු ලබන අතර එය ලෝකයේ වඩාත්ම ජනප්‍රිය පැසිපන්දු ලීගය ලෙසින්ද හැඳින්විය හැක.

ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමේ ඉතිහාසය

“ෂකීල් ඕ’නීල් (වමේ) සහ කෝබි බ්‍රයන්ට් (දකුණේ) (slamonline.com)

1947 වසරේ දී ආරම්භ කරන ලද ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම 1960 වසර වන තෙක් හඳුන්වා ඇත්තේ මිනෙආපොලිස් ලේකර්ස් යන නමිනි. ඉන්පසු 1960 වසරේ සිට ලොස් ඇන්ජලීස් ලේකර්ස් යන නම ලේකර්ස් කණ්ඩායම භාවිතා කරයි. NBA ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙසින් අවිවාදයෙන් යුතුව හැඳින්විය හැකි ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම මේ වනවිට NBA ශූරතා 16 ක් පමණ ජයග්‍රහණය කර ඇත. NBA හි බටහිර අර්ධයේ ශූරතාවය 31 වතාවක් හිමිකරගැනීමට ද ලේකර්ස් කණ්ඩායමට හැකිවී තිබේ. NBA ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් අපරාජිතව සිටි කණ්ඩායම ලෙසින්ද ලේකර්ස් කණ්ඩායම නම් කල හැකියි. ඒ තරග 33 කි. කරීම් අබ්දුල් ජබාර්, මැජික් ජොන්සන්, ෂකීල් ඕ’නීල් සහ කෝබි බ්‍රයන්ට් එතෙක් මෙතෙක් ලොස් ඇන්ජලීස් කණ්ඩායම නියෝජනය කල විශිෂ්ටම ක්‍රීඩකයින්ගෙන් කිහිප දෙනෙකු ලෙසින් හැඳින්විය හැක.

ඉතිහාසයේ එතරම් සාර්ථක කණ්ඩායමක් වූවත් 2013 වසරේ සිට මේ දක්වාම ලේකර්ස් කණ්ඩායම පිලිමළුන් පිටුදැකීමේ වටයට (Play Offs) පිවිස නැත. NBA හි කණ්ඩායම් 30 ක් පමණ තරග වදින අතර පසුගිය වසර 5 තුළදීම ලේකර්ස් කණ්ඩායම තරග සමය අවසන් කරන ලද්දේ 10 වැනි ස්ථානයට පහලින්ය.

ප්‍රශ්නයට පිළියම්

“ලුක් වෝල්ටන් (වමේ) සහ මැජික් ජොන්සන් (දකුණේ)” (NBC Sports)

ඒ අනුව 2016 වසරේ දී හිටපු පැසිපන්දු ක්‍රීඩකයෙකු වන ලුක් වෝල්ටන් ලේකර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් පත් කිරීමට ලේකර්ස් කණ්ඩායම කටයුතු කරන ලදී. එයට අමතරව හිටපු සුපිරි පැසිපන්දු ක්‍රීඩක මැජික් ජොන්සන්, ලේකර්ස් කණ්ඩායමේ පැසිපන්දු මෙහෙයුම් කළමනාකරු බවට ද පත් කෙරුණි. ඒ පසුගිය වසරේදී ය. ඉන්පසු කණ්ඩායමේ වෙනස්කම් රැසක් කිරීමට වෝල්ටන්ට සහ ජොන්සන්ට හැකිවූ අතර ඉතා හොඳින් දස්කම් දක්වන තරුණ ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමට එකතුකර ගැනීමටද ඔවුන් දෙදෙනා ඇතුළු ලේකර්ස් කණ්ඩායමට හැකිවිය.

වර්තමාන තත්ත්වය

“බ්‍රැන්ඩන් ඉන්ග්රම් (වමේ), ලොන්සෝ බෝල් (වමේ සිට දෙවැනියා) බ්රූක් ලෝපස් (මැද), කයිල් කූස්මා (දකුණේ සිට දෙවැනියා), කෝඩ්වෙල් පෝප් (දකුණේ) (Getty images)

පසුගිය 2017/18 තරග සමයේ දී බටහිර අර්ධයේ 11 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමට සිදු වූවද තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතා එම තරග සමය පුරාවටම කැපී පෙනුණි. කයිල් කූස්මා, බ්‍රැන්ඩන් ඉන්ග්‍රම්, ලොන්සෝ බෝල් සහ ජූලියස් රැන්ඩල් වැනි තරුණ ක්‍රීඩකයින් ලීගයේ අනෙකුත් ක්‍රීඩකයින් හා කරට කර තරග වැදුණි. නමුත් සුපිරි මට්ටමේ, අත්දැකීම් තිබෙන තරු ක්‍රීඩකයෙකුගේ හෝ දෙදෙනෙකුගේ අවශ්‍යතාව ලේකර්ස් කණ්ඩායමට තදින්ම දැනුණි.

ඒ අනුව සුපිරි ක්‍රීඩකයින් වන ක්ලීව්ලන්ඩ් කැවලියර්ස් කණ්ඩායමේ ලෙබ්‍රෝන් ජේම්ස්, සැන් ඇන්ටෝනියෝ ස්පර්ස් කණ්ඩායමේ ක්වාහි ලෙනාර්ඩ් සහ ඔක්ලහෝමා සිටි තන්ඩර් කණ්ඩායමේ පෝල් ජෝර්ජ්, ලේකර්ස් කණ්ඩායමේ ප්‍රධාන ඉලක්ක බවට පත්වුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෙබ්‍රෝන් ජේම්ස්, ලේකර්ස් කණ්ඩායම හා එක්විය. ක්වාහි ලෙනාර්ඩ් ද තමන්ගේ කණ්ඩායමට එකතුකරගැනීමේ සටන මේ වනවිටත් ලේකර්ස් කණ්ඩායම අතහැර දමා නැත.

ලෙබ්‍රෝන් ජේම්ස්

“2016 වසරේ NBA ශූරතාවය දිනූ ලෙබ්‍රෝන් ඇතුළු කැවලියර්ස් කණ්ඩායම” (blog.westmonroepartners.com)

1984 දෙසැම්බර් 30 වැනි දින ඇමරිකාවේ ඔහායෝ හි උපත ලබා තිබෙන ජේම්ස් NBA ලීගයට ක්‍රීඩා කරන්නේ 2003 වසරේ සිටයි. සෑම වසරකම එක් දිනයකදී නවක ක්‍රීඩකයින් (නවක ක්‍රීඩකයින් 60 දෙනෙක්)  NBA කණ්ඩායම් වලට සම්බන්ධ කරගන්නා අතර (NBA Draft) 2003 වසරේ දී එම සියලුම ක්‍රීඩකයින් අතරින් ප්‍රථමයෙන්ම කණ්ඩායමකට සම්බන්ධ කරගත් ක්‍රීඩකයා වූයේ ජේම්ස් ය. ක්ලීව්ලන්ඩ් කැවලියර්ස් කණ්ඩායම විසින් ජේම්ස් සිය කණ්ඩායමට එකතුකරගත් අතර එයට උපරිම සාධාරණත්වය ඉටු කල ජේම්ස් එම තරග සමයේ දී හොඳම නවක ක්‍රීඩකයා ලෙසින්ද අභිෂේක ලැබීය. නමුත් 2010 වසරේ දී ක්ලීව්ලන්ඩ් කණ්ඩායම හැරයන ජේම්ස් මියාමි හීට් කණ්ඩායම සමඟින් එකතුවිය. එය එවකට ඉතා ආන්දෝලනාත්මක සිදුවීමක්ද විය.

මියාමි කණ්ඩායම සමගින් දෙවරක් NBA ශූරතාවය දිනාගන්නා ජේම්ස්, මියාමි කණ්ඩායමේ ක්‍රීඩා කල වසර 4 තුලදීම මියාමි කණ්ඩායම NBA අවසාන මහා තරගය කරා රැගෙන යාමටද සමත් වේ. ඉන්පසු නැවතත් 2014 වසරේ දී ඔහුගේ පැරණි කණ්ඩායමට පැමිණෙන ජේම්ස් එහිදීද වසර 4 ක් රැදී සිටිමින් එම වසර 4 තුළදීම ක්ලීව්ලන්ඩ් කණ්ඩායම NBA හි අවසන් මහා තරගය කරා රැගෙන යාමට ලබාදෙන්නේ අමිල දායකත්වයකි. එහිදී 2016 වසරේ දී ඉතිහාසයේ පළමු වරට NBA ශූරතාවයක් හිමිකරගැනීමට ද ක්ලීව්ලන්ඩ් කණ්ඩායමට හැකිවන්නේ ලෙබ්‍රෝන් ජේම්ස්ගේ සුපිරි ක්‍රීඩා විලාශය නිසාය. නමුත් අනෙක් අවසාන මහා තරග 3 දීම ප්‍රබල ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් කණ්ඩායම හමුවේ පරාජය වීමට ජේම්ස් ප්‍රමුඛ ක්ලීව්ලන්ඩ් ක්‍රීඩකයන්ට සිදුවිය.

ඒ අනුව මේ වනවිට NBA ශූරතා ත්‍රිත්වයක් ජයග්‍රහණය කර තිබෙන ලෙබ්‍රෝන් ජේම්ස්, සිව් වතාවක් NBA හි වටිනාම ක්‍රීඩකයා (MVP-Most Valuable Player) ලෙසින් සහ තුන් වතාවක් NBA අවසාන මහා තරගවල හොඳම ක්‍රීඩකයා ලෙසින් අභිෂේක ලබා තිබේ. එපමණක් නොව 2008 සහ 2012 ඔලිම්පික් උළෙල වලදී පැසිපන්දු රන් පදක්කම හිමිකරගත් ඇමෙරිකානු කණ්ඩායම් වල සාමාජිකත්වය දැරූ ඔහු 14 වතාවක් NBA හි සුපිරි තරු කණ්ඩායම් ද නියෝජනය කර තිබේ. පිලිමළුන් පිටුදකීමේ වටයේ දී එතෙක් මෙතෙක් වැඩිම ලකුණු වාර්තා කර තිබෙන ක්‍රීඩකයා වන්නේ ද ලෙබ්‍රෝන් ජේම්ස් ය.

පෞද්ගලික ජීවිතය

“ජේම්ස් සිය දියණිය සහ පුත්‍රයෙකු සමඟින්” (Eric Risberg-AP)

ලෙබ්‍රෝන් ජේම්ස් විවාහ වී සිටින්නේ සවන්නා බ්‍රින්සන් සමඟින්ය. ලෙබ්‍රෝන් සහ සවන්නා ඔවුන් උසස් අධ්‍යාපනය ලබන අවධියේ සිටම පෙම්වතුන් බවට පත්වී සිටි අතර මේ වනවිට ඔවුන් දෙදෙනාට 13 හැවිරිදි සහ 11 හැවිරිදි පුත්‍රයන් දෙදෙනෙක් ද 3 හැවිරිදි දියණියක් ද සිටිති. ලෝකයේම ජනප්‍රිය ක්‍රීඩකයෙකු වූවත් සැමියෙකු සහ පියෙකු වශයෙන් තමන්ගේ දරු පවුලට සියලුම යුතුකම් ඉටු කරන ලෙබ්‍රෝන් ජේම්ස්, සිය පුත්‍රයින් ඔවුන්ගේ පාසල් වලදී ක්‍රීඩා කරන පැසිපන්දු තරග නරඹන්නට යාමට පවා කෙලෙස හෝ තමන්ගේ කාලය කල​මනාකරණය කරගනී.

මයිකල් ජෝර්ඩන්? ලෙබ්‍රෝන් ජේම්ස්?

“මයිකල් ජෝර්ඩන් (වමේ) සහ ලෙබ්‍රෝන් ජේම්ස් (Chuck Burton/AP)

ඕනෑම ක්‍රීඩාවකදී මෙම තත්ත්වය ඇතිවිය හැක. එනම්, කුමන ක්‍රීඩකයා ද වඩාත් හොඳ බවට ඇති විවාදය යි. ඒ අනුව පැසිපන්දු ඉතිහාසයේ ද වඩාත්ම හොඳ ක්‍රීඩකයා හිටපු සුපිරි ක්‍රීඩක මයිකල් ජෝර්ඩන් ද එසේත් නැතිනම් වර්තමානයේ සිටින සුපිරි ක්‍රීඩකයා ලෙබ්‍රෝන් ජේම්ස් ද යන්න විශාල කතාබහක් තිබේ. දෙපාර්ශවයම විවිධාකාරයේ තර්ක මතු කරති. 1984-2003 දක්වා කාලයේ දී ක්‍රීඩා කරමින් ඇමෙරිකානු පැසිපන්දු ක්‍රීඩාවේ සිය ආධිපත්‍ය පැතිරවීමට මේ වනවිට 55 හැවිරිදි මයිකල් ජෝර්ඩන්ට හැකිවිය. ලෙබ්‍රෝන්ගේ කතාව ආරම්භ වන්නේ ද 2003 සිටයි. එබැවින් යුග දෙකක ක්‍රීඩකයින් දෙදෙනෙක් එකිනෙකා සමඟ සන්සන්දනය​ කිරීම කෙතරම් අසාධාරණයක් දැයි පසක් වන කරුණකි.

නීති රීති වරින් වර වෙනස් වීම, යම් ක්‍රීඩකයෙකුට වඩාත් හොඳ කණ්ඩායම් සාමාජිකයින් ලැබීම, ප්‍රතිවාදී කණ්ඩායම් වල ශක්තිය වැනි විවිධ හේතු නිසා මේ ආකාරයට යුග දෙකක ක්‍රීඩකයින් දෙදෙනෙකු සන්සන්දනය​ කිරීම ඉතා අපහසු කරුණකි. නමුත් ජෝර්ඩන් ක්‍රීඩා කල අවධියේ දී ලොව සිටි හොඳම ක්‍රීඩකයා ජෝර්ඩන් බවත්, ජේම්ස් ක්‍රීඩා කරමින් සිටින මෙම අවධියේ දී ලෝකයේ සිටින හොඳම ක්‍රීඩකයා ජේම්ස් බවත් යන්න සියල්ලන්ටම පොදුවේ එකඟ වියහැකි කරුණකි.

ලෙබ්‍රෝන් ලොස් ඇන්ජලීස් නුවරට වාසනාව ගෙනෙයිද?

“කෙවින් ඩියුරන්ට් (වමේ) සහ ස්ටෙෆන් කරී (දකුණේ)” (Ben Margot/AP)

වටිනාම ප්‍රශ්නය මෙයයි. පසුගිය වසර කිහිපය පුරාවටම NBA හි ආධිපත්‍ය පතුරවා සිටින්නේ ප්‍රබල ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් කණ්ඩායමයි. එතෙක් මෙතෙක් පැසිපන්දු ලෝකයෙහි බිහිවූ විශිෂ්ටතම පන්දු විදින්නා (Shooter) නොහොත් හොඳම 3 හි ලකුණු රැස් කරන්නා යැයි අවිවාදයෙන් යුතුව සැලකිය හැකි ස්ටෙෆන් කරී, සහ තවත් එවැනිම හොඳ මට්ටමේ දක්ෂ පන්දු විදින්නෙකු වන ක්ලේ තොම්සන් සහ ලෙබ්‍රෝන් ජේම්ස් හට මඳක් පිටුපසින් සිටින, වර්තමානයේ ලොව දෙවැනි හෝ තෙවැනි හොඳම පැසිපන්දු ක්‍රීඩකයා ලෙසින් හැඳින්විය හැකි කෙවින් ඩියුරන්ට් ඇතුළු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් කණ්ඩායම තවමත් NBA හි ඉහලින්ම වැජඹෙන කණ්ඩායමයි.

ඊට අමතරව කෙවින් ඩියුරන්ට් සමඟින් කරට කර සිටින අනෙක් ක්‍රීඩකයා වන ජේම්ස් හාර්ඩන් ඇතුළු හූස්ටන් රොකට්ස් කණ්ඩායම, රසල් වෙස්ට්බ්රූක් ඇතුළු ඔක්ලහෝම සිටි තන්ඩර් කණ්ඩායම සහ කයිරී අර්වින් ඇතුළු බෝස්ටන් සෙල්ටික්ස් කණ්ඩායම ද වර්තමානයේ ඉහලින්ම සිටින පැසිපන්දු කණ්ඩායම් වේ.

ලෙබ්‍රෝන් ඇතුළු ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමට NBA ශූරතාවය ජයග්‍රහණය කිරීමට නම් ඉහත සඳහන් කණ්ඩායම් ඇතුළු අනෙකුත් සියලුම NBA හි ක්‍රීඩා කරන කණ්ඩායම් සමඟින් හොඳ තරගයක් දීමට සිදුවේ. ඒ අනුව තමන්ගේ සියලුම අත්දැකීම් සහ දක්ෂතා සමඟින් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයින් ඉදිරියට මෙහෙයවීම ලෙබ්‍රෝන් ජේම්ස්ගේ ප්‍රධාන භූමිකාව වනු ඇත.

“ලේකර්ස් කණ්ඩායමේ තවත් එක් ප්‍රධාන ඉලක්කයක් වන ක්වාහි ලෙනාර්ඩ් (වමේ) සහ ලෙබ්‍රෝන් ජේම්ස් (දකුණේ)” (Jason Miller/Getty images)

තවද මේ වනවිට ලාන්ස් ස්ටෙෆන්සන්, ජෙවේල් මැගී, කෙන්ටවියස් කෝඩ්වෙල් පෝප් (ගිවිසුම අලුත් කර ඇත) සහ රාජොන් රොන්ඩෝ ද ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම් හා එක්වී සිටින අතර ඉදිරි දින කිහිපය තුළදී හෝ ඉදිරි වසරක කාලය තුළදී තවත් සුපිරි මට්ටමේ තරුවක් ලොස් ඇන්ජලීස් කණ්ඩායම සමග​ නිසැක වශයෙන්ම එකතු වනු ඇත. එසේනම් ලෙබ්‍රෝන් ජේම්ස් ඇතුළු මෙම ශක්තිමත් කණ්ඩායම නැවතත් ලොස් ඇන්ජලීස් නුවරට වාසනාව ගෙන එනු ඇතිදැයි සියලු දෙනාම විමසිල්ලෙන් පසුවේ.

Cover – abc7.com

Related Articles