Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරවින්දට අහිමි වුණු එක්දින ශතක

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු විශිෂ්ඨතම පිතිකරුවෙකු වන අරවින්ද ද සිල්වා 90 දශකය තුළ ලෝක ක්‍රිකට් පිටිය වර්ණවත් කළ ක්‍රීඩකයෙකු වුණා. විශේෂයෙන්ම එම අවදියේ එක්දින පිටියේ සිටි භයානකම පිතිකරුවෙකු වුණු අරවින්ද ප්‍රතිවාදීන් මවිතයට පත් කළ ඉනිම් ක්‍රීඩා කළා. එලෙස එක්දින පිටිය තුළ සුපිරි දස්කම් දැක්වූ අරවින්ද ඇතැම් අවස්ථාවල අවාසනාවන්ත පිතිකරුවෙකු වුණේ ශතකය පෙනි පෙනී දැවීයාමට සිදුවුණු නිසා යි. එසේ නම් මෙම ලිපියෙහි අරමුණ අරවින්දට අහිමි වුණු ශතක පිළිබඳ තොරතුරු ඔබෙ වෙත ඉදිරිපත් කිරීමට යි.

96 (107) ඕස්ට්‍රේලියාවට එරෙහිව – 1989 වසරේ දී 

1989 වසරේ පැවැත්වුණු නේරු කුසලාන එක්දින තරගාවලියේ 11 වැනි තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රියාත්මක වුණේ මර්ගාවෝ නුවර නේරු පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 222ක් ලබාගත්තේ ඩීන් ජෝන්ස්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 85 නිසා යි. ඉන් පසුව ලකුණු 223ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 103ක් තුළ බිඳ වැටුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගයේ වාසිය හිමිකරදෙමින්. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු අරවින්ද ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට කිසිදු ගරුසරුවකින් තොරව පහරදෙමින් ශතකය කරා ළගා වුණා. නමුත් එම අවස්ථාවේ දී ලකුණු 96ක් ලබා සිටි අරවින්ද සයිමන් ඕ ඩොනල් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීගිය නිසා ශ්‍රී ලංකාව තරගය පරාජය වුණා. එහි දී සිය කණ්ඩායම පරාජය වුණත් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 107ක දී අරවින්ද ලබාගත් ලකුණු 96ට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුණා.

අරවින්ද ද සිල්වා (gettyimages)

97 (89)* සිම්බාබ්වේට එරෙහිව – 1994 වසරේ දී 

1994 වසරේ දී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණු එක්දින තරගාවලියේ දෙවන තරගය හරාරේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 290ක් ලබාගත්තා. එහි දී සිම්බාබ්වේ ඉනිමේ නැංගුරම වුණු ඇලිස්ටෙයාර් කැම්බල් පන්දු 115කින් නොදැවී ලකුණු 131ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් ඇන්ඩි ෆ්ලවර් ලකුණු 76ක් ලබාගත්තා. ඉන් අනතුරුව ලකුණු 291ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක 233/2 ලෙසින් ප්‍රබල ස්ථානයක පසුවුණා. නමුත් එම අවස්ථාවේ ලකුණු 108ක් ලබා සිටි මහානාම දැවීයාමත් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුණා. එම අවස්ථාවේ එක් අන්තයකින් කඩුලු වැටෙන විට අනිත් අන්තය ආරක්ෂා කරගත් අරවින්ද හුදෙකලා සටනක නිරත වුණා. අවසානයේ දී අරවින්දගේ එම සටන ඵල රහිත එකක් කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 2ක තියුණු ජයක් ලබාගැනීමට සමත් වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණත් අවසන් මොහොත දක්වා සටන් කළ අරවින්ද පන්දු 89ක දී නොදැවී ලකුණු 97ක් ලබාගත්තේ තවත් එක්දින ශතකයක් අහිමි කරගනිමින්.

95(105) පාකිස්ථානයට එරෙහිව – 1994 වසරේ දී 

1994 වසරේ පැවති මැන්ඩෙලා කුසලාන සිව්කොන් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ක්‍රියාත්මක වුණේ සෙන්චූරින් හි සුපර්ස්පෝට් පාක් පිටියේ දී යි. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 246ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබුණා. එදා එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 233ක් පමණ යි. එහි දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රබල උත්සාහයක් දැරූ අරවින්ද පන්දු 105කින් ලකුණු 95ක් ලබාගත්තේ හයේ පහර 3ක් ද එල්ල කරමින්.

91(86) සිම්බාබ්වේට එරෙහිව – 1996 වසරේ දී

1996 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා- සිම්බාබ්වේ තරගය ක්‍රියාත්මක වුණේ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 228ක් ලබාගත්තේ ඇලිස්ටෙයාර් කැම්බල් ලබාගත් ලකුණු 75 නිසා යි. සිම්බාබ්වේ කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමෙන් පසුව ලකුණු 229ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 23ක් තුළ දැවීගියා. එලෙස සිය කණ්ඩායමේ අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු අරවින්ද ලකුණු 172ක අගනා සබඳතාවයක් ගොඩනැගුවේ ගුරුසිංහ සමග එකතු වෙමින්. එහි දී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 86ක දී ලකුණු 91ක් ලබා සිටි අරවින්ද දැවී ගියේ සිය මංගල ලෝක කුසලාන ශතකය අහිමි කරගනිමින්. එලෙස අරවින්ද දැවීගියත් අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමිවුණු එම තරගයේ වීරයා සම්මානය අරවින්ද දිනාගත් බව මෙහි දී සිහිපත් කළ යුතු යි. 

අරවින්දගේ ඉනිමේ අවස්ථාවක් (espn cricinfo)

97 (137) පාකිස්ථානයට එරෙහිව – 1997 වසරේ දී 

1997 වසරේ දී පැවැත්වුණු සිංගර් අකායි තුන්කොන් තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර යි. එම තරගයේ මුලින්ම් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 4ක් තුළ දැවීගියා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියේ එක්වුණු අතපත්තු සහ අරවින්ද තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 184ක සබඳතාවයක් ගොඩනැගුවා. එහි දී ලකුණු 94ක් ලබා සිටි අතපත්තු සිය මංගල එක්දින ශතකය අභියස සිටිය දී දැවීගියත් අරවින්ද සිය ඉනිම ඉදිරියට ගෙන ගියා. එලෙස සීරුවෙන් පන්දුවට පහරදුන් අරවින්ද සිය පෞද්ගලික ලකුණු ප්‍රමාණය දක්වා රැගෙන ගියේ ශතකයට ආසන්න වෙමින්. නමුත් එම අවස්ථාවේ දී සක්ලේන් මුෂ්ටාක් එවූ පන්දුවකට ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට ගිය අරවින්ද ස්ටම්ප් කිරීමකට හසුව දැවීගිය නිසා තවත් එක්දින ශතකයක් අවාසනාවන්ත ලෙස අහිමි කරගත්තා.

90 (90) පාකිස්ථානයට එරෙහිව – 1997 වසරේ දී

1997 වසරේ පැවති පෙප්සි ඉන්දීය නිදහස් කුසලාන තරගාවලියේ පළමු අවසන් තරගය මොහාලි හි දී පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර යි. එම තරගයේ දී ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් හොඳින් පන්දුවට පහරදුන් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 338/3 ලෙසින් දිස් වුණා. නමුත් එම අවස්ථාවේ දී සක්ලේන් මුෂ්ටාක් එවූ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුවීමෙන් අරවින්ද දැවීගියේ ලකුණු 90ක් ලබාසිටිය දී යි. ඒ අනුව අරවින්ද මාස 2කට ආසන්න කාලයක් තුළ සක්ලේන්ගේ පන්දු හමුවේ එක්දින ශතක 2ක් අහිමි කරගත්තේ අවාසනාවන්ත අයුරින් ස්ටම්ප් කිරීම්වලට හසුවීමෙන්. 

97 (119) පාකිස්ථානයට එරෙහිව – 1997 වසරේ දී

1998 වසරේ පැවැත්වුණු සිංගර් අකායි නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක වුණේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව 236/3 ලෙසින් සටහන් වුණු අවස්ථාවේ අරවින්ද ලකුණු 97ක් ලබා සිටියේ සිය ශතකයට ආසන්න වෙමින්. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු අජිත් අගාකර් අරවින්දව ලකුණු 97කට දවාගත්තේ ඉන්දීය කණ්ඩායම යළි තරගයට අවතීර්ණ කරමින්.

96 (93)* බංග්ලාදේශයට එරෙහිව – 2000 වසරේ දී 

2000 වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 175ක් ලබාගත්තා. ඉන් පසුව ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 30.4ක් අවසානයේ දී කඩුල්ලක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එහි දී මනරම් ඉනිමක් ක්‍රීඩා කළ අරවින්ද පන්දු 93කින් නොදැවී ලකුණු 96ක් ලබාගත්තත් ඔහුට ශතකය සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ජයසූරිය සහ අරවින්ද පන්දුවට පහරදෙමින් (gettyimages)

92 (94) ඕස්ට්‍රේලියාවට එරෙහිව – 2003 වසරේ දී 

2003 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 වටය යටතේ පැවති තරගයක දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව මුණ ගැසුණා. එම තරගයේ දී ලකුණු 320ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 7ම ලකුණු 149ක් තුළ දැවීගියා. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු අරවින්ද පන්දු හයේ පහර 4ක් සමගින් පන්දු 94කින් ලකුණු 92ක් ලබා සිටිය දී දැවීගියේ තවත් එක්දින ශතකයක් අහිමි කරගනිමින්.

අරවින්දගේ ඕස්ට්‍රේලියාව සමග පැවති එක්දින තරගයක දී (gettyimages)

කවරයේ ඡායාරූපය - අරවින්ද පන්දුවට පහරදෙමින්  (gettyimages)

Related Articles