Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ට් තරගවල දී අඩුම ලකුණු ගණනකට දැවීගිය කණ්ඩායම්

පසුගිය දිනවල එංගලන්තය සහ අයර්ලන්තය අතර ටෙස්ට් තරගයක් පැවැත්වුණා. එම තරගයේ දී ලකුණු 182ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම ලකුණු 38කට දැවීගියා. එහිදී අයර්ලන්තය ලබාගත් ලකුණු 38 ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් 7 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව බවට පත්වුණා. එසේම අයර්ලන්තය ලබාගත් මෙම ලකුණු 38 පසුගිය වසර 45 ඇතුළත ටෙස්ට් පිටියේ දී වාර්තා වුණු අඩුම කණ්ඩායම් ලකුණු ප්‍රමාණය යි. එසේ නම් මෙම ලිපිය මඟින් ටෙස්ට් තරගවල දී කණ්ඩායමක් අඩුම ලකුණු ගණනකට දැවීගිය අවස්ථාවන් 10 පිළිබඳව තොරතුරු ඔබ වෙතට ගෙන එනවා. 

නවසීලන්තය 1955 වසරේ දී ලකුණු 26කට දැවීගියේ එංගලන්තය හමුවේ යි. 

1955 වසරේ පැවති එංගලන්ත-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාක් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 200ක් ලබාගන්නා විට එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 246ක් ලබාගත්තා. ඉන් පසුව සිය දෙවන ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායම ලකුණු 26කට දැවීගියේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්. එහිදී එංගලන්තය වෙනුවෙන් මනරම් පන්දු යැවීමක නිරත වුණු බොබ් ඇපල්යාඩ් ලකුණු 7කට දවාගත් කඩුලු ප්‍රමාණය 4ක්.

බොබ් ඇපල්යාඩ් ප්‍රාන්ත තරගයක පන්දු යවමින් (gettyimages)

දකුණු අප්‍රිකාව 1896 වසරේ දී ලකුණු 30කට දැවීගියේ එංගලන්තය හමුවේ යි.

1896 වසරේ දී පැවති එංගලන්ත-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වුණේ පෝර්ට් එලිසබෙත් නුවර ශාන්ත ජෝර්ජ් පාක් ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ සිව්වන ඉනිමේ දී ලකුණු 319ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 30කට දැවීගියා. එහිදී එංගලන්තය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවුණු ජෝර්ජ් ලෝමන් ලකුණු 7කට කඩුලු 8ක් ලබාගත්තේ එම අවදියේ ටෙස්ට් ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් ජොනී බ්‍රිග්ස් තබා තිබුණු 11/8 වාර්තාව අලුත් කරමින්. 

ජෝර්ජ් ලෝමන් (gettyimages)

දකුණු අප්‍රිකාව 1924 වසරේ දී ලකුණු 30කට දැවීගියේ එංගලන්තය හමුවේ යි.

1924 වසරේ දී පැවති එංගලන්ත-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වුණේ බර්මිංහැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 438ක් ලබාගත්තා. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම ගිලිගන් සහ ටේට් විසින් සිදුකළ සුපිරි පන්දු යැවීම ඉදිරියේ ලකුණු 30කට දැවීගියා. එහිදී ආතර් ගිලිගන් ලකුණු 7කට කඩුලු 6ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් මොරිස් ටේට් ලකුණු 12කට කඩුලු 4ක් ලබාගත්තා.

මොරිස් ටේට්  (gettyimages)

දකුණු අප්‍රිකාව 1899 වසරේ දී ලකුණු 35කට දැවීගියේ එංගලන්තය හමුවේ යි.

1899 වසරේ දී පැවති එංගලන්ත-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය පැවැත්වුණේ කේප්ටවුන් නුවර නිව්ලන්ඩ්ස් ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ සිව්වන ඉනිමේ දී ලකුණු 246ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 35කට දැවීගියා. එහිදී එංගලන්තය වෙනුවෙන් ෂොෆීල්ඩ් හේග්  ලකුණු 11කට කඩුලු 6ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් ඇල්බට් ට්‍රොට් ලකුණු 19කට කඩුලු 4ක් ලබාගත්තා.

ෂොෆීල්ඩ් හේග්  (gettyimages)

ඕස්ට්‍රේලියාව 1902 වසරේ දී ලකුණු 36කට දැවීගියේ එංගලන්තය හමුවේ යි.

1902 වසරේ පැවති අළුබඳුන තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට ලකුණු 376ක් ලබාගත්තා. එංගලන්තය ලබාගත් ලකුණු 376ට එරෙහිව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු රැස්කිරීමට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියලුදෙනාම දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 36ක් පමණ යි. එහිදී එංගලන්තය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරතවුණු විල්ෆ්රඩ් රෝඩ්ස් ලකුණු 17කට ලබාගත් කඩුලු ප්‍රමාණය 7ක්. 

විල්ෆ්රඩ් රෝඩ්ස් (gettyimages)

දකුණු අප්‍රිකාව 1932 වසරේ දී ලකුණු 36කට දැවීගියේ ඕස්ට්‍රේලියාව හමුවේ යි.

1932 වසරේ දී පැවති ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ පස්වන  ටෙස්ට් තරගය පැවැත්වුණේ මෙල්බර්න් ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම අයන්මොන්ගර් සහ නෑෂ් විසින් සිදුකළ සුපිරි පන්දු යැවීම ඉදිරියේ ලකුණු 36කට දැවීගියා. එහිදී බර්ට් අයන්මොන්ගර් ලකුණු 6කට කඩුලු 5ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් ලෝරන්ස් නෑෂ්  ලකුණු 18කට කඩුලු 4ක් ලබාගත්තා.

බර්ට් අයන්මොන්ගර්  (gettyimages)

අයර්ලන්තය 2019 වසරේ දී ලකුණු 38කට දැවීගියේ එංගලන්තය හමුවේ යි.

2019 වසරේ දී එංගලන්ත සහ අයර්ලන්තය අතර පැවති එකම ටෙස්ට් තරගය පැවැත්වුණේ ලෝඩ්ස් පිටියේ දී යි.  එම තරගයේ සිව්වන ඉනිමේ දී ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම ලකුණු 38කට දැවීගියා. එහිදී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස්  ලකුණු 17කට කඩුලු 6ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 19කට කඩුලු 4ක් ලබාගත්තා. 

ක්‍රිස් වෝක්ස් කඩුල්ලක් ලබාගැනීමේ සතුට සමරමින්  (gettyimages)

ඕස්ට්‍රේලියාව 1888 වසරේ දී ලකුණු 42කට දැවීගියේ එංගලන්තය හමුවේ යි.

1888 වසරේ පැවති අළුබඳුන තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ සිඩ්නි පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට ලකුණු 113ක් ලබාගත්තා. එංගලන්තය ලබාගත් ලකුණු 113ට එරෙහිව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු රැස්කිරීමට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියලුදෙනාම දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 42ක් පමණ යි. එහිදී ජෝජ් ලෝමන් සහ රොබට් පීල් කඩුලු 5 බැගින් දවාගත්තා.

රොබට් පීල්  (gettyimages)

නවසීලන්තය 1946 වසරේ දී ලකුණු 42කට දැවීගියේ ඕස්ට්‍රේලියාව  හමුවේ යි. 

1932 වසරේ දී පැවති ඕස්ට්‍රේලියා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වුණේ වෙලිංටන් නුවර බේසින් රිසර්ව්  ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම බිල් ඕ රයිලි විසින් ලකුණු 11කට කඩුලු 5ක් දවාගනිමින් සිදුකළ සුපිරි පන්දු යැවීම ඉදිරියේ ලකුණු 42කට දැවීගියා

බිල් ඕ රයිලි (gettyimages)

ඉන්දියාව 1974 වසරේ දී ලකුණු 42කට දැවීගියේ එංගලන්තය හමුවේ යි.

1974 වසරේ පැවති එංගලන්ත-ඉන්දියා ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ලන්ඩන් නුවර ලෝඩ්ස්  පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 629ක් ලබාගන්නා විට ඉන්දියාවට පළමු ඉනිම සඳහා ලබාගැනීමට හැකිවුණේ  ලකුණු 302ක් පමණ යි. ඉන් පසුව සිය දෙවන ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම කිසිවෙකු නොසිතූ ආකාරයකය ලකුණු 42කට දැවීගියේ ක්‍රිස් ඕල්ඩ් ලකුණු 21කට කඩුලු 5ක් ලබාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි. 

ක්‍රිස් ඕල්ඩ් (gettyimages)

කවරයේ ඡායාරූපය - වෝක්ස්  අයර්ලන්තය හමුවේ දස්කම් දක්වමින් (gettyimages)

Related Articles