Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින පිටියේ දී ලකුණු 40ට අඩුවෙන් දැවීගිය කණ්ඩායම්

1971 ජනවාරි 5 වැනිදා ලොව පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර මෙල්බර්න් පිටියේ දී පැවැත්වුණා. එදා සිට අද දක්වා ගෙවුණු වසර 50ක කාලය තුළ එක්දින තරග 4284ක් පැවැත්වුණා. මේ එක්දින ක්‍රිකට් තරගවල උද්වේගකර බව වැඩිවුණේ  2000 වසරෙන් පසුව යි. ඒ, ක්‍රිකට් ක්‍රීඩාවට විශාල වශයෙන් අනුග්‍රාහකයන් සම්බන්ධවීම නිසා වැඩි ලකුණු ලබාගන්නා එක්දින තරග පැවැත්වීමට සංවිධායකයන් උනන්දුවීම හේතුවෙන්. තරග සංවිධායකයන්ගේ එකම ඉලක්කය වුණේ එක්දින තරග සඳහා තිබුණු ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිකර ගැනීම යි.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පසු කලෙක ලකුණු 400 සීමාව පවා ඉක්මවා ගිය එක්දින තරග දක්නට ලැබුණා. අද වන විට කණ්ඩායමක් ලකුණු 400කට වඩා ලබාගත් අවස්ථාවන් 20ක් එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ දී හමුවනවා. එම අවස්ථාවන් 20ම වාර්තා වුණේ 2006 වසරෙන් පසුව පැවති එක්දින තරගවල දී යි. 2000 වසරෙන් පසුව ඉහළ ලකුණු වාර්තා වුණු එක්දින තරග හමුවනවා සේම අඩුම ලකුණු වාර්තා වුණු එක්දින තරගත් හමුවනවා. එදා මෙදාතුර එක්දින තරගයක දී කණ්ඩායමක් ලකුණු 40කට අඩුවෙන් දැවීගිය අවස්ථා 4ම හමුවන්නේ 2000 වසරෙන් පසුව පැවති එක්දින තරගවල දී යි. 

මෙහි සුවිශේෂී සිදුවීම වන්නේ එම අවස්ථා හතරෙන් 3ක දීම ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ සිම්බාබ්වේ සහ කැනඩාව යන කණ්ඩායම් ලකුණු 40කට අඩුවෙන් දැවීයාම යි. එය අදටත් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් වී තිබෙන අද්විතීය වාර්තාවක්.  මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එක්දින තරගවල දී යම් කණ්ඩායමක් ලකුණු 40කට අඩුවෙන් දැවීගිය එක්දින තරග හතර යි.

4) සිම්බාබ්වේ- 38/10 (15.4) ශ්‍රී ලංකාවට එරෙහිව 2001 වසරේ දී 

2001 වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ දී LG අබාන්ස් තුන්කොන් එක්දින තරගාවලිය පැවැත්වුණා. ඒ සඳහා ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සහභාගි වුණා. තරගාවලියේ පළමු වටයේ මුල්ම තරගය කොළඹ SSC පිටියේ දී ක්‍රීඩා කෙරුණේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් අතර යි. එම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදී කණ්ඩායමට ලබාදුන්නා. 

එදා වාස්ගේ සුපිරි වේගපන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ මුල්පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එනිසා සිම්බාබ්වේ මුල් කඩුලු 3ම ලකුණු 11 තුළ දැවීගියා. ඉන් පසුව පිටියේ එකතු වුණු ස්ටුවර්ට් කාලයිල් සහ ක්‍රේග් විෂාර්ට් සීරුවෙන් පන්දුවට පහරදෙමින් සිම්බාබ්වේ ලකුණු පුවරුව 27/3 දක්වා ඉහළ දැමුවා. නමුත් එම අවස්ථාවේ යළි ක්‍රියාත්මක වුණු වාස් පිට-පිටම යැවූ පන්දු 3කදී ස්ටුවර්ට් කාලයිල්, ක්‍රේග් විෂාර්ට් සහ ටැටෙන්ඩා ටයිබු යන පිතිකරුවන් තිදෙනාව දවාගෙන කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කළා. එය ලාංකීය පන්දු යවන්නෙකු එක්දින තරගයක දී වාර්තා කළ මුල්ම කඩුලු ත්‍රිත්වය ලෙසින් ඉතිහාසගත වුණා. එසේම එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පිටියක් තුළ වාර්තා වුණු මුල්ම කඩුලු ත්‍රිත්වය බවට ද පත්වුණා.

සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 27ක් තුළ දැවීයාමෙන් පසුව කිසිදු පිතිකරු යුගලයකට යළි සිම්බාබ්වේ ඉනිම ගොඩනැගීමට හැකියාව ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 15.4ක් තුළ සියලුම පිතිකරුවන් දැවී සිම්බාබ්වේ කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 38ක් පමණ යි. අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු චමින්ද වාස් ලකුණු 19කට කඩුලු 8ක් දවාගෙන එක්දින තරගවල දී යම් පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම තම නම ඉදිරියේ සටහන් කරගත්තා. ඔහු අතින් බිඳවැටුණේ මුත්තයියා මුරලිදරන් 2000 වසරේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 30කට කඩුලු 7ක් දවාගෙන තබා තිබුණු වාර්තාව යි. ඒ අයුරින් වාස් තැබූ සුපිරි වාර්තාව අදටත් නොනැසී පවතින බව මෙහි දී සඳහන් කළ යුතු යි.

සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු 38 එම අවධියේ දී යම් කණ්ඩායමක් එක්දින තරගයක දී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වුණා. ඊට පෙර එම අමිහිරි වාර්තාවට හිමිකම් කීවේ 1993 වසරේ දී  කේප් ටවුන් නුවර නිව්ලන්ඩ්ස් පිටියේ පැවති තරගයක දී බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ ලකුණු 43කට දැවීගිය පාකිස්ථානු කණ්ඩායම යි. එදා සිම්බාබ්වේ කණ්ඩායම ලබාදුන් ලකුණු 39ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 4.2ක් අවසානයේ දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එලෙස වාර්තා පිට වාර්තා බිහිවුණු එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තැබූ වාර්තා මේ අයුරින් දක්වන්නට පුළුවන්.

1) එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම- චමින්ද වාස් 19/8

2) එක්දින තරගයක් අඩුම පන්දුවාර ප්‍රමාණයක දී නිමාවීම 

3) ප්‍රතිවාදී කණ්ඩායමක් අඩුම පන්දුවාර ප්‍රමාණයක දී දවාගැනීම 

4) යම් කණ්ඩායමක් අඩුම පන්දුවාර ප්‍රමාණයක දී ජයග්‍රාහී ඉලක්කය හඹායාම 

5) ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු මුල්ම වරට එක්දින කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම 

නමුත් ඉහත වාර්තා අතරින් 2 සහ 3 යන වාර්තා ද්විත්වය 2020 වසරේ පැවති නේපාල්-ඇමරිකා තරගයේ දී බිඳ වැටුණා. 

වාස් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු යවමින් (Gettyimages) 

3) කැනඩාව- 36/10 (18.4) ශ්‍රී ලංකාවට එරෙහිව 2003 වසරේ දී 

2003 එක්දින ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවත්වුණා. එම තරගාවලිය යටතේ පැවති 18 වන තරගයේ දී ශ්‍රී ලංකාව සහ කැනඩාව තරග වැදුණා. එදා වේගපන්දු යවන්නන්ට වාසිදායක අයුරින් සකසා තිබුණු බෝලන්ඩ් පාක් තණතීරුව තුළ මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවුණේ කැනඩා පිතිකරුවන්ට යි. එහි දී චමින්ද වාස් සහ ප්‍රභාත් නිස්සංක තණතීරුවේ තිබුණු ජීවය උකහාගෙන සුපිරි පන්දු යැවීමක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කැනඩා කණ්ඩායමේ මුල් කඩුලු 6 ලකුණු 12ක් ඇතුළත දැවීගියා.

නිස්සංකගෙන් ප්‍රබල ඉල්ලීමක් (gettyimages)

එම අවස්ථාවේ දී කැනඩා පසුපෙළ පිතිකරුවන් සිය කණ්ඩායමේ ගෞරවය බේරාගැනීම සඳහා ප්‍රබල සටනක නිරත වුණත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් එයට ඉඩක් ලැබුණේ නැහැ. එනිසා පන්දුවාර 18.4ක් අවසානයේ දී කැනඩා ඉනිම ලකුණු 36කට සීමා වුණා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු ප්‍රභාත් නිස්සංක ලකුණු 12කට කඩුලු 4ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් චමින්ද වාස් ලකුණු 15කට කඩුලු 3ක් දවාගත්තා. කැනඩා කණ්ඩායම ලබාගත් ලකුණු 36 එම අවධියේ දී එක්දින තරගයක දී වාර්තා වුණු අඩුම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. එසේම ලෝක කුසලාන තරගයක දී යම් කණ්ඩායමක් ලබාගත් අවම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක්වුනා. එලෙස ශ්‍රී ලංකාව බිහිකළ ලෝක කුසලාන වාර්තාව අදටත් නොනැසී පවතිනවා.

වාස් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (gettyimages)

පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 4.4ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී තිබිය දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණු ලකුණු ප්‍රමාණය ලබාගත්තා. ලෝක කුසලාන තරගයක ජයග්‍රාහී ඉලක්කය අඩුම පන්දුවාර ප්‍රමාණයක දී ලබාගත් කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව ඉතිහාසගත වුණා. එසේම එම තරගය ලෝක කුසලාන ඉතිහාසය තුළ අඩුම පන්දුවාර ප්‍රමාණයකින් ප්‍රතිඵලයක් සහිතව නිමාවුණු තරගය බවට පත්වුණා. ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක් හිමිවුණු අතර, තරගයේ වීරයා ලෙස ප්‍රභාත් නිස්සංක සම්මාන ලබාගත්තා.

නිස්සංකට තරගයේ වීරයා සම්මානය හිමිවුණු අවස්ථාව (gettyimages)

2) ඇමරිකාව- 35/10 (12) නේපාලයට එරෙහිව 2020 වසරේ දී

2020 පෙබරවාරි 12 වැනිදා නේපාලයේ ත්‍රිභුවාන් ජාත්‍යන්තර පිටියේ දී නේපාලය සහ ඇමරිකාව අතර එක්දින තරගයක් පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් නේපාල නායකයා ඇමරිකානුවන්ට මුලින්ම පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඇමරිකානු පිතිකරුවන් මුල් පන්දුවාර කිහිපය තුළ සීරුවෙන් පන්දුවට පහරදුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 6ක් නිමාව දකිද්දී  ඇමරිකා ලකුණු පුවරුව 23/1 බවට පත්වුණා.

එලෙස ගොඩනැගෙමින් තිබුණු ඇමරිකානු ඉනිමේ කඩාවැටීම ආරම්භ වුණේ නේපාල නායකයා අන්ත දෙකෙන්ම දඟපන්දු යවන්නන් ක්‍රියාත්මක කරවීමත් සමග යි. එහි දී සන්දීප් ලමිචාන් සහ සුෂාන් බාරි එක්ව පන්දුවාර 6ක් ඇතුළත් ලකුණු 12ක් පමණක් ලබාදෙමින් ඇමරිකානු කණ්ඩායමේ ඉතිරි කඩුලු 9ම දවාගත්තා. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ලමිචාන් ලකුණු 16කට කඩුලු 6ක් ලබාගනිද්දී බාරි ලකුණු 5කට කඩුලු 4ක් බිඳදැමීමට සමත් වුණා.

පසුව ජයග්‍රාහී ඉලක්කය හඹාගිය නේපාල පිතිකරුවන් පන්දුවාර 5.2ක් අවසානයේ දී කඩුලු 2ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එලෙස අවසන් වුණු තරගය අඩුම පන්දුවාර ප්‍රමාණයක දී නිමාව දුටු තරගය ලෙසින් වාර්තා අතරට එක් වුණා. එසේම එක්දින තරගයක දී යම් කණ්ඩායමක සියලුම පිතිකරුවන් අඩුම පන්දුවාර ප්‍රමාණයක් තුළ දැවීගිය අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසගත වුණා.

ලකුණු 16කට කඩුලු 6ක් දවාගත් ලමිචාන් (DNA India)

1) සිම්බාබ්වේ- 35/10 (18) ශ්‍රී ලංකාවට එරෙහිව 2004 වසරේ දී 

2004 ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලියේ තෙවන තරගය හරාරේ පිටියේ දී පැවැත්වුණා. තරගාවලියේ මුල් තරග 2ක පරාජය වී සිටි සිම්බාබ්වේ කණ්ඩායමට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවන් එක් අවස්ථාවක කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබා සිටියා. ඒ වන විට පන්දුවට පහරදෙමින් සිටි බ්‍රෙන්ඩන් ටේලර් සහ ඩියොන් ඊබ්‍රාහිම් යන පිතිකරු යුගලයගේ එකම අධිෂ්ඨානය වුණේ හොඳ සබඳතාවයක් ගොඩනගමින් විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගැනීම සඳහා අඩිතාලමක් දැමීම යි.

නමුත් සිම්බාබ්වේ පිතිකරුවන්ගේ එම බලාපොරොත්තු සුන්කළ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් පන්දුවාර 18ක් තුළ සිම්බාබ්වේ ඉනිම ලකුණු 35කට සීමා කළා. එහි දී සාර්ථක පන්දු යැවීමක නිරත වුණු වාස් ලකුණු 11කට කඩුලු 4ක් ලබාගනිද්දී දිල්හාර ප්‍රනාන්දු ලකුණු 18කට කඩුලු 2ක් දවාගත්තා. එසේම සිය මංගල එක්දින තරගයට සහභාගි වුණු ෆර්වීස් මහරුෆ් ලකුණු 3කට කඩුලු 3ක් දවාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. 

සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු 35 එක්දින තරගයක දී වාර්තා වුණු අඩුම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. ඉන් පසුව ලකුණු 36ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 9.2ක් තුළ කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එහි දී සමන් ජයන්ත හයේ පහරකින් ජයග්‍රාහී ලකුණු ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක් හිමිවුණු තරගයේ වීරයා සම්මානය චමින්ද වාස්ට හිමිවුණා.

මහරුෆ්, පනයන්ගාරාව දවාගෙන සිම්බාබ්වේ ඉනිම ලකුණු 35කට සීමා කළ අවස්ථාව (gettyimages)

කවරයේ ඡායාරූපය- චමින්ද වාස් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව දස්කම් දක්වමින් (gettyimages)

Related Articles