Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ධාවන පථයට සමු දුන් ෆෝමියුලා වන් පුරාවෘත්තය: සෙබස්තියන් වෙටල්

1950 දශකය දක්වා අතීතයට දිවයන ෆෝමියුලා වන් ධාවන තරග ඉතිහාසයේ ලෝක ශූරයන් 34 දෙනෙක් බිහි වී තිබෙනවා. ඒ අතරින් ලෝක ශූරතාව සිව් වරක් හෝ ඊට වැඩියෙන් ජයග්‍රහණය කොට ඇත්තේ රියදුරන් 5 දෙනෙක් පමණ යි. එම ධාවකයන් 5 දෙනා අතරට එක් වූ සෙබස්තියන් වෙටල් නම් තරුව මේ වසරේ පැවති ෆෝමියුලා වන් ලෝක ශූරතාවෙන් අනතුරුව ධාවන පථයට සමු දීමට තීරණය කළා. මෙම ලිපිය සෙබස්තියන් වෙටල් සම්බන්ධයෙන් සැකසෙන්නක්.

කුඩා සෙබස්තියන් වෙටල් – www.faz.com

ජර්මනියේ උපන් වෙටල්

එවකට බටහිර ජර්මනියට අයත් ව තිබූ හෙපන්හෙයිම් හීදි 1987 ජූලි මස 3 වනදා සෙබස්තියන් වෙටල් උපත ලැබුවා. ඔහුගේ පවුලේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සහ බාල සොහොයුරෙක් ද සිටියා. කෙසේ වුවත් කුඩා කාලයේ දී සෙබස්තියන් වෙටල් අධ්‍යාපනයට එතරම් දක්ෂතා දැක්වූයේ නෑ. ඔහු පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයකු නොවුණත් යම්තාක් දුරකට විභාගයන් සමත් කර ගැනීමට සමත් වුණා.

කුඩා සෙබස්තියන් වෙටල් ගේ දිවියේ මයිකල් යන නම තිබූ විරුවන් තිදෙනෙක් සිටියා. ඒ ෆෝමියුලා වන් ධාවන ශූර මයිකල් ෂූමාකර්, සුප්‍රකට බාස්කට්බෝල් ක්‍රීඩක මයිකල් ජෝර්ඩන් සහ සුපිරි ගායක මයිකල් ජැක්සන් යන අය යි. වෙටල්ට කුඩා කාලයේ දී මයිකල් ජැක්සන් මෙන් ගායකයෙක් වීමේ වුවමනාව තිබුණ ද එයට අවශ්‍ය කටහඬක් ඔහු සතු ව නොතිබීම නිසා එය සිහිනයක් ම වුණා.

ඔහු කාර්ටින් සඳහා යොමු වන විට යන්තම් තුන් හැවිරිදි වියේ පසු වීම විශේෂත්වයක්. ධාවන තරගවලට ක්‍රමයෙන් ප්‍රිය කරන්නට පටන් ගත් සෙබස්තියන්, එය කෙටි කලකින් තමන්ගේ ජීවිතයේ වඩාත් වැදගත් ම අංගය බවට පත්කර ගත්තා. 1995 සිට කාර්ටින් තරගවලට යොමු වෙමින් රෙඩ්බුල් ජූනියර් කාර්ටින් කණ්ඩායමට ද ඔහු එක් වුණා. 2001 වසරේ පැවති මොනාකෝ කාර්ට් කුසලානය ජයග්‍රහණය කළ සෙබස්තියන් වෙටල් ඉන් අනතුරු ව ධාවන පථය තුළ තමන්ට දිගු ගමනක් ඇති බව පෙන්වමින් සිටියා.

වෙටල් කාර්ටින් සඳහා සහභාගී වූ අවස්ථාවක් – www.kartcom.com

ෆෝමියුලා ධාවනයට එක්වෙයි

2004 වර්ෂයේ දී Formula BMW ADAC ශූරතාව සඳහා එක්වූ ඔහු එවර ඉතා ම පහසුවෙන් එය ජයග්‍රහණය කළා. ශූරතාව සඳහා තරග අදියර 20 ක් ඇතුළත් වූ අතර ම සෙබස්තියන් වෙටල් එයින් ජයග්‍රහණය කළ අදියර සංඛ්‍යාව 18 ක්. ඔහු ඉන් අනතුරු ව 2005 වර්ෂයේ දී යුරෝ තරගාවලියේ ෆෝමියුලා 3 අංශයෙන් තරඟ වැද පස්වන ස්ථානය දිනා ගත්තා. වෙටල් ගේ දස්කම් දුටු ෆෝමියුලා වන් කණ්ඩායමක් වන විලියම්ස් ඔහු පරීක්ෂා කිරීමට ද තීරණය කොට තිබුණා.

BMW Sauber ෆෝමියුලා වන් කණ්ඩායම හා එක් වීමට 2006 වර්ෂයේදී ඔහුට හැකියාව ලැබුණා. එම වර්ෂයේදී Sauber ෆෝමියුලා වන් කණ්ඩායමේ පරීක්ෂා කිරීමේ රියදුරෙක් ලෙස කටයුතු කරමින් ඔහු ෆෝමියුලා 3 තරග සඳහා දිගට ම සහභාගී වුණා. 2006 වර්ෂයේදී Sauber ෆෝමියුලා වන් කණ්ඩායමේ තෙවන රියදුරු අසුන දිනා ගත් වෙටල්, 2006 හංගේරියා අදියරේ පළමු පුහුණු වටයට සහභාගී වුණා. එහි හොඳ ම කාල වාර්තා ඔහුගේ නම ඉදිරියේ සටහන් වීම විශේෂත්වයක්. එම වසරේ දී තරග කිරීමට ඔහුට අවස්ථාව ලැබුණේ නෑ.

වෙටල් Sauber BMW සමඟ තරග වදිමින් – www.f1.com

2007 කැනඩා අදියරට ප්‍රථමයෙන් Sauber කණ්ඩායමේ ප්‍රධාන ධාවකයෙක් වූ රොබට් කියුබිකා අනතුරකට ලක් වීම නිසා එදින සෙබස්තියන් වෙටල්ට ධාවනයේ යෙදීමේ අවස්ථාව හිමි වුණා. තම පළමු ධාවන තරගයේ 8 වන ස්ථානය දිනා ගනිමින් ෆෝමියුලා වන් ඉතිහාසයේ ප්‍රසාද ලකුණු ලබා ගත් ළාබාලත ම ධාවකයා යන වාර්තාව ද වෙටල් තමන් සතු කර ගත්තා. එම තරගයෙන් පසුව අනාගතයේ වඩාත් දක්ෂ ධාවකයෙක් බිහි වන බවට ඉඟි පළවෙමින් තිබුණා යැයි ප්‍රකාශ කිරීම නිවැරදි යි.

වෙටල් ෆෝමියුලා වන් පිටියේ ඉදිරියට ම

2008 වර්ෂයේ දී ටෝරො රොසෝ ධාවන කණ්ඩායම සමඟින් ගිවිසුම්ගත වන වෙටල් සාර්ථක තරග වාරයක් අවසන් කළා. 2008 ඉතාලි අදියරේ දී ටෝරො රොසෝ වෙනුවෙන් ධාවනයේ යෙදෙමින් තම මුල් ම ගෝන් ප්‍රී ජයග්‍රහණය ලබා ගැනීමට ඔහු සමත් වුණා. එම ජයග්‍රහණය ලබා ගන්නා විට වෙටල් ගේ වයස අවුරුදු 21 දින 74 ක් වූ අතර ම එය ෆෝමියුලා වන් ඉතිහාසයේ ම ජයග්‍රහණයක් ලැබූ ළාබාලත ම ධාවකයා යන වාර්තාව ද බිඳ දැමුවා. සුදුසුකම් ලැබීමේ වටයෙන් ප්‍රථම ස්ථානය දිනා ගෙන තරගය මුලින් ම ආරම්භ කිරීමේ අවස්ථාව ලබා ගත් (Pole Position) ළාබාලත ම ධාවකයා වන්නේ ද ඔහු යි.

2008 වර්ෂයේ දී සෙබස්තියන් වෙටල් දැක්වූ මෙම කැපී පෙනන දස්කම් සම්බන්ධයෙන් තම අවධානය යොමු කළ ෆෝමියුලා වන් දැවැන්ත කණ්ඩායම් නාමයක් වන රෙඩ්බුල් ඔහු එකතු කර ගැනීමට කටයුතු කළා. ඒ අනුව 2009 සිට සෙබස්තියන් වෙටල් රෙඩ්බුල් කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත් වුණා. ඔහු ආරම්භක වර්ෂයේ දී ම සාර්ථක වෙමින් අදියර 4 ක ජයග්‍රහණය සමඟින් සමස්ත ලෝක ශූරතා සටහනේ දෙවන ස්ථානය දිනා ගත්තා.

රෙඩ්බුල් සමගින් එක්වීම සෙබස්තියන් වෙටල් ගේ ක්‍රීඩා දිවිය වෙනස් කිරීමට සමත් වුණා – www.autoweek.com

වෙටල් ගේ ධාවන තරග දිවියේ වඩාත් වැදගත් ම වර්ෂය 2010 දී ක්‍රියාත්මක වුණා. ෆෙරාරි කණ්ඩායම නියෝජනය කළ අත්දැකීම් බහුල ෆර්නැන්ඩෝ ඇලොන්සෝ සමඟින් කරට කර ධාවනයේ යෙදෙමින් අදියර 5 ක ජයග්‍රහණය දිනා ගැනීමට සෙබස්තියන් වෙටල් සමත් වුණා. ඔහු ප්‍රසාද ලකුණු 256 ක් වාර්තා කරද්දී අලොන්සෝ ලබා ගත්තේ ප්‍රසාද ලකුණු 252 ක් පමණ යි. ඒ අනුව 2010 ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනා ගනිමින් එවැනි දස්කමක් කළ ලොව ළාබාලත ම ධාවකයා යන වාර්තාව ද අලුත් කිරීමට ඔහු සමත් වුණා.

සෙබස්තියන් වෙටල් නවත්වන්නේ කොහොමද?

එතැන් පටන් එළඹෙන වසර කිහිපයේ දී ෆෝමියුලා වන් ධාවන පථය තුළ සෙබස්තියන් වෙටල් රජ කළා. පිළිවෙළින් 2011 දී අදියර 11 ක ජයග්‍රහණය සමගින් ලෝක ශූරතාව, 2012 දී අදියර 5 ක ජයග්‍රහණය සමඟින් ලෝක ශූරතාව, 2013 දී අදියර 13 ක ජයග්‍රහණය සමඟින් ලෝක ශූරතාව ඔහු දිනා ගත්තා. සෙබස්තියන් වෙටල් පිට පිට ම ජයග්‍රහණය කළ ෆෝමියුලා වන් ලෝක ශූරතා ගණන 4ක්.

2013 වර්ෂයේ ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමේ දී එක දිගට අදියර 9 ක් ජය ගැනීමට වෙටල් සමත් වුණා. එම වාර්තාව අදටත් නොබිඳී පවතිනවා. එකී කාලයේ දී ෆෝමියුලා වන් ධාවන පථය තුළ සෙබස්තියන් වෙටල් පරාජයට පත් කිරීම කිසි ලෙසකින්වත් පහසු වුණේ නෑ. ලුවිස් හැමිල්ටන්, නිකෝ රොස්බර්ග්, ෆර්නැන්ඩෝ ඇලොන්සෝ, වැනි ධාවකයන් කිහිප දෙනෙක් හැරුණ විට වෙනත් අයගෙන් ලෝක ශූරතාවට කිසිඳු බලපෑමක් එල්ල වූයේ නෑ.

වෙටල් පිට පිට ම දිනූ ලෝක ශූරතා සංඛ්‍යාව 4ක් – www.f1.com

2014 දී සෙබස්තියන් වෙටල් පෙර වර්ෂයන්ට වඩා සෑහෙන අසාර්ථක වුණා. ඔහු එවර තරග වාරයේ දී එක් ජයග්‍රහණයක් හෝ ලබා නොගත් අතර ම තෙවන ස්ථාන 3 ක් සහ එක් දෙවන ස්ථානයක් පමණක් හිමි කර ගත්තා. මේ නිසා වෙටල්ට අවසන් ලෝක ශූරතා සටහනේ 5 වන ස්ථානය දක්වා පසු බැසීමට සිදු වුණා. එම පරාජයෙන් අනතුරු ව රෙඩ්බුල් කණ්ඩායම හැර යන ඔහු 2015 සිට ෆෙරාරි සමඟින් නව ගමනක් ආරම්භ කළා.

ෆෙරාරි සමඟ ගත කළ සමය

2015 වර්ෂයේ සිට ෆෙරාරි ධාවන කණ්ඩායම සමඟින් නව ගමනක් ආරම්භ කළ සෙබස්තියන් වෙටල් තම ආරම්භක තරග වාරයේ දී ම ජයග්‍රහණ 3ක් වාර්තා කිරීමට සමත් වුණා. මෙම කාලය වන විට මර්සිඩීස් කණ්ඩායම තම ආධිපත්‍යය ෆෝමියුලා වන් ධාවන පථය පුරාවට ම පැතිරවීමට කටයුතු කරමින් සිටියා. නිකෝ රොස්බර්ග් සහ ලුවිස් හැමිල්ටන් දෙපළ එකල සුපිරි ධාවනයක නිරත වුණා.

මේ නිසා ම ෆෙරාරි කණ්ඩායම සමඟ සිටි සෙබස්තියන් වෙටල් 2015 ලෝක ශූරතාවේ තෙවන ස්ථානය දිනා ගත්තා. 2016 ලෝක ශූරතාවේ දී සෙබස්තියන් වෙටල් කිසිදු ගෝන් ප්‍රී ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නෑ. දෙවන ස්ථාන 3 ක් සහ තෙවන ස්ථාන 4 ක් ද දිනා ගනිමින් වෙටල් සමස්ත ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පත් වුණා.

2017 වර්ෂය වන විටත් ෆෝමියුලා වන් ධාවන පථයේ මර්සිඩීස් ආධිපත්‍යය බිඳ වැටී තිබුණේ නෑ. ලුවිස් හැමිල්ටන් ජයග්‍රහණ රැල්ලක් වාර්තා කරමින් සිටියා. 2017 ලෝක ශූරතාවේ දී හැමිල්ටන්ට හොඳ අභියෝගයක් ලබා දෙමින් ඔහු අදියර 5 ක් ජයග්‍රහණය කළා. ප්‍රසාද ලකුණු 317 ක් ලබා ගත්ත ද පස්වන වතාවටත් ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට එය වෙටල්ට ප්‍රමාණවත් වුණේ නෑ. ඔහු එවර ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වුණා.

‍ෆෙරාරි සමග වසර කිහිපයක් කැපී පෙනෙන දස්කම් දැක්වීමට වෙටල් සමත් වුණා – www.autoweek.com

2018 ලෝක ශූරතාවේ ද ප්‍රතිඵලයේ වෙනසක් සිදු වූයේ නෑ. එවර ද සෙබස්තියන් වෙටල් ජයග්‍රහණ 5 ක් ලබා ගෙන ලුවිස් හැමිල්ටන්ට දෙවැනි වී තරග වාරය අවසන් කළා. 2019 දී ද අදියර දෙකක ජයග්‍රහණය සටහන් කර ගෙන සෙබස්තියන් වෙටල් සමස්ත ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දිනා ගත්තා. 2019 තරග වාරයේ දී ඔහු ලබා ගත් සිංගප්පූරු අදියරේ ජයග්‍රහණයෙන් පසුව වෙටල් නැවතත් ජයග්‍රහණයන් ලබා ගත්තේ නෑ. 2020 ලෝක ශූරතාවේ දී ෆෙරාරි සමඟින් අතිශය අසාර්ථක වූ සෙබස්තියන් වෙටල් 13 වන ස්ථානයට පත් වුණා.

ඇස්ටන් මාර්ටින් හා එක්ව ක්‍රීඩා දිවිය නිමා කරයි

2021 නව ෆෝමියුලා වන් තරග වාරයේ දී ෆෙරාරි කණ්ඩායමෙන් ඉවත් වන සෙබස්තියන් වෙටල් ඇස්ටන් මාර්ටින් සමඟින් එකතු වුණා. ෆෙරාරි සමඟ එක් ව වසර 5 ක කාලයක් පුරා මර්සිඩීස්ට සුවිශේෂී සටනක් ලබා දීමට ඔහු ක්‍රියා කළ අන්දම ප්‍රසංශනීය බවට බොහෝ ෆෝමියුලා වන් විචාරකයන් මත පළ කරනවා. ඇස්ටන් මාර්ටින් සමඟ 2021 සහ 2022 තරගවාරවල දී ධාවනයේ යෙදුණත් සෙබස්තියන් වෙටල් වසර ද්විත්වයේ ම 12 වන ස්ථානය දිනා ගත්තා.

2021 ෆෝමියුලා වන් ලෝක ශූරතාවේ දී ඇස්ටන් මාර්ටින් සමඟ අසර්බයිජාන් අදියරේ දෙවන ස්ථානය දිනා ගැනීම ඔහු අවසන් වසර ද්විත්වයේ දැක්වූ ඉහළත ම දක්ෂතාව යි. මේ වසරේ ලෝක ශූරතාවේ දී තමන්ගේ සුපිරි ෆෝමියුලා වන් ක්‍රීඩා දිවිය අවසන් කිරීමට සෙබස්තියන් වෙටල් තීරණය කළා. 2022 අබුඩාබි අදියරේ දී ඔහු වෙනුවෙන් සියලු ම ධාවකයන් මෙන් ම කණ්ඩායම්වල සාමාජිකයන් ද එකතු වී සමු ගැනීම සංවිධානය කිරීම අතිශය සුන්දර මොහොතක් බවට පත් වුණා.

ප්‍රේක්ෂකයන්ට තම අවසන් තරගයෙන් පසුව ආචාර දක්වන වෙටල් – www.planetf1.com

2007 අමෙරිකා ගෝන් ප්‍රී අදියරෙන් ධාවන පිටියට එක් වූ ඔහු තරග 299 ක් ආරම්භ කළා. ආරම්භ නොකළ එක් අදියරක් ද තිබෙන නිසා සෙබස්තියන් වෙටල් ධාවනයේ යෙදුනණු සමස්ත ෆෝමියුලා වන් තරග අදියර සංඛ්‍යාව 300 ක්. එහිදී ජයග්‍රහණ 53 ක් සහ Podium ජයග්‍රහණ (දෙවන වන සහ තෙවන ස්ථාන සමඟ) 122 ක් ලබා ගැනීමට සමත් වුණා. වේගවත් ම වට 38 ක් සහ සුදුසුකම් ලැබීමට පවත්වන කාල ගණන වට ප්‍රථම ස්ථාන 57 ක් ද ඔහුගේ ක්‍රීඩා දිවියට අයත්.

මේ ආකාරයෙන් වර්ණවත් ධාවන තරග යුගයක් පවත්වා ගත් සෙබස්තියන් වෙටල් ලත් ලෝක ශූරතා 4ට අමතර ව අනෙක් කාල සමයන්ගේ ද ලබා දුන් සටන්කාමී ධාවනයට ෆෝමියුලා වන් පිටිය පුරා විශාල ගෞරවාදයරක් හිමි වුණා. අදටත් ජර්මනියේ මෙන් ම ලොව පුරා ෆෝමියුලා වන් ප්‍රේක්ෂකයන් අතරේ නොමැකෙන පුරාවෘත්තයක් ලෙසින් සෙබස්තියන් වෙටල් නාමය සටහන් වී තිබෙනවා.

කවරයේ ඡායාරූපය - තම අවසන් තරගය අවසන් වී ප්‍රේක්ෂකයන් වෙතට සමු ගැනීම ප්‍රකාශ කරන සෙබස්තියන් වෙටල් - www.motorsports.com
මූලාශ්‍ර :
www.formula1.com
www.autosport.com
www.racefans.net

Related Articles