Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අසීරුවෙන් මංගල ටෙස්ට් ශතකය ලබාගත් ලංකා පිතිකරුවෝ

මංගල ටෙස්ට් ශතකය ලබාගැනීම ඕනෑම පිතිකරුවෙකුගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන සිදුවීමක්. සමහර පිතිකරුවන් ඉතාමත් පහසුවෙන් එම දස්කම දැක්වුවත්, සමහර පිතිකරුවන්ට තම මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට සිදුවුණේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුව යි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුව මංගල ටෙස්ට් ශතකය ලබාගත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු හමුවනවා. ඔවුන් සියලුදෙනාම මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට පෙර ඉනිම් කිහිපයක දීම ශතකය අසලටම පැමිණ එය අහිමි කරගත්තේ ඉතාමත්ම අවාසනාවන්ත අයුරින්.

රංජන් මඩුගල්ලේ 

80 දශකයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ රංජන් මඩුගල්ලේ අවස්ථාවන් 2ක දීම ටෙස්ට් ශතකය අසලටම පැමිණ එය අහිමිකරගත්තේ අනිත් අන්තයෙන් සහායට පිතිකරුවෙකු නොමැති වුණු නිසා යි. එම නිසාම රංජන්ට සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට වසර 3ක් පමණ බලා සිටින්නට සිදු වුණා.

1982 වසරේ දී ගිලිහී ගිය මංගල ටෙස්ට් ශතකය 

1982 වසරේ පැවති ශ්‍රී ලංකා-පාකිස්ථානු ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ක්‍රියාත්මක වුණේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 1ක් දැවී ලකුණු 294ක් ලබා සිටියේ සිදත් වෙත්තමුණි ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් ශතකය ලබාගනිමින් දියත් කළ සුපිරි ඉනිම නිසා යි. එලෙස ශ්‍රී ලංකා ඉනිම ස්ථාවරව පැවති අවස්ථාවේ රෝයි ලකුණු 98කට දැවීයාමත් සමගම රංජන් පිටියට පිවිසියා. නමුත් ඉන් අනතුරුව ඉක්මනින් කඩුලු බිඳවැටුණු නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 385/7ක් බවට පත්වුණා. එම අවස්ථාවේ දී රංජන් සහ සෝමචන්ද්‍ර ද සිල්වා ලකුණු 61ක අගනා සබඳතාවයක් ගොඩනගන අතරතුර රංජන් සිය මංගල ටෙස්ට් ශතකයට සමීප වෙමින් සිටියා. එදා කිසිවෙකු නොසිතූ අයුරින් රංජන්ගේ මංගල ටෙස්ට් ශතක සිහිනය බොඳ කළ රිස්වාන් උස් සමාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 3ම ලකුණු 8ක් තුළ දවාගැනීමට සමත් වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ලකුණු 454කට දැවීයන විට රංජන් මඩුගල්ලේ නොදැවී ලකුණු 91ක් ලබාගෙන සිටියේ සිය මංගල ටෙස්ට් ශතකය අවාසනාවන්ත ලෙස අහිමි කරගනිමින්.

කිවියන්ට එරෙහිව අහිමි කරගත් ටෙස්ට් ශතකය 

1984 වසරේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එදා හැඩ්ලි සහ චැට්ෆිල්ඩ් විසින් සිදුකළ මනරම් පන්දු යැවීම ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ත අසරණ වුණු නිසා ඔවුන්ගේ මුල් කඩුලු 5ම ලකුණු 63ක් තුළ බිඳ වැටුණා. නමුත් එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් වටිනා සබඳතාවයක් පැවැත්වූ රංජන් සහ අර්ජුණ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 184/5 දක්වා ඔසවා තැබුවා. ශ්‍රී ලංකා ඉනිම ස්ථාවරවෙමින් පැවති අවස්ථාවේ දී අර්ජුණ ලකුණු 37කට දැවී ගියත් රංජන් සිය සටන අත්හැරියේ නැහැ. ඔහු අවසන් පිතිකරුවන් කිහිපදෙනාව ද රැකගෙන එදා දියත් කළ සටන්කාමී ඉනිම නිසාම එක් අවස්ථාවක ශ්‍රී ලංකා ලකුණු පුවරුව 249/8 ලෙසින් දිස් වුණා. ඒ වන විට ශතකයට තරමක් ආසන්නව සිටි රංජන් එදා මංගල ටෙස්ට් ශතකය ලබාගනු ඇතැ යි බොහෝ දෙනෙකු සිතුවා. නමුත් රංජන්ගේ මංගල ටෙස්ට් ශතක සිහිනය නැවත වරක් සුන් කළ දැමූ චැට්ෆිල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 2ම ලකුණු 7ක් තුළ දවාගන්නා විට රංජන් නොදැවී ලකුණු 89ක් ලබා සිටියා.

රංජන් මඩුගල්ලේ (gettyimages)

හෂාන් තිලකරත්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට වඩාත්ම වෙහෙස වුණු පිතිකරුවා බවට පත්වුණේ හෂාන් තිලකරත්න යි. 90 දශකයේ මුල් භාගයේ  ඉනිම් ගණනාවක දී ලකුණු 80 සීමාව ඉක්මවා ගිය හෂාන්ට සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට විශාල වෙහෙසක් දරන්නට වුණා. එහි දී දක්නට ලැබුණු ඉතාමත් කණගාටුදායක සිදුවීම වුණේ හෂාන් පිට පිටම ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිම් 2ක දී ලකුණු 93 බැගින් ලබාගත්ත ද මංගල ටෙස්ට් ශතකය සම්පූර්ණ කිරීමට නොහැකි වීම යි. 1992 වසරේ අග භාගයේ දී නවසීලන්තයට එරෙහිව සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී හෂාන් ලකුණු 93කට දැවීගියා. ඉන් මාස 3කට පසුව එංගලන්තයට එරෙහිව සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී හෂාන්ට නැවතත් නොදැවී ලකුණු 93ක් ලබා සිටින්නට වුණේ අනිත් අන්තයේ සිටි සියලුම පිතිකරුවන් දැවීගිය නිසා යි. එලෙස වසර ගණනාවක් බලා සිටීමෙන් පසුව හෂාන් සිය මංගල ටෙස්ට් ශතකය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබාගත්තේ 1994 වසරේ දී යි. පහත දැක්වෙන්නේ හෂාන් වසර 2ක් තුළ ටෙස්ට් ඉනිමක දී ලකුණු 80 ඉක්මවා ගිය අවස්ථා යි.

1) 82- ඕස්ට්‍රේලියාවට එරෙහිව 1992 වසරේ දී 

2) 93- නවසීලන්තයට එරෙහිව 1992 වසරේ දී 

3) 93*- එංගලන්තයට එරෙහිව 1993 වසරේ දී 

4) 86- ඉන්දියාවට එරෙහිව 1993 වසරේ දී 

5) 92- දකුණු අප්‍රිකාවට එරෙහිව 1993 වසරේ දී 

6) 80- ඉන්දියාවට එරෙහිව 1994 වසරේ දී 

7) 83*- පාකිස්ථානයට එරෙහිව 1994 වසරේ දී 

හෂාන් දකුණු අප්‍රිකාවට එරෙහිව 1993 වසරේ දී පන්දුවට පහරදෙමින් (gettyimages)

කුමාර් සංගක්කාර

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු පිතිකරුවන් අතුරින් වඩාත්ම සාර්ථක පිතිකරුවා බවට පත්වුණු කුමාර් සංගක්කාරත් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට ගොස් අවස්ථා 2ක දී අවාසනාවන්ත වුණු පිතිකරුවෙක්. සිය ටෙස්ට් දිවියේ 6වැනි සහ 8වැනි තරගවල දී එලෙස ශතකය අහිමිකරගත් සංගක්කාර 10 වැනි ටෙස්ට් තරගයේ දී සිය ශතකය සම්පූර්ණ කළ බව මෙහි දී සිහිපත් කළ යුතු යි. එහි දී අවසන් කඩුල්ල සඳහා ලකුණු 20ක වටිනා සබඳතාවයක් ගොඩනගමින් මුරලිදරන් මංගල ටෙස්ට් ශතකය ලබාදුන් සහායත් සංගක්කාරට කිසිදු දිනක අමතක නොවනු ඇති.

දකුණු අප්‍රිකාවේ දී ගිලිහී ගිය වටිනා ටෙස්ට් ශතකය 

2001 වසරේ දී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හි දී පැවති ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම ආරම්භ කරන විට ඔවුන්ට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 259ක් අවශ්‍ය වුණා. එදා ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවන ඉනිමේ දී හොඳින්ම පන්දුවට පහර දී කණ්ඩායමේ ලකුණු පුවරුව 234/5 දක්වා රැගෙන එන අතරතුර සංගක්කාර සිය මංගල ටෙස්ට් ශතකය ආසන්නයට පැමිණියා. නමුත් එම අවස්ථාවේ කිසිවෙකු නොසිතූ අයුරින් ක්‍රියාත්මක වුණු දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 248/9 බවට පත්කළේ සංගක්කාරව එක් අන්තයක තනි කරමින්. එම අවස්ථාවේ දී සංගක්කාර තවත් ලකුණු 4ක් සිය එකතු කරගනිමින් ශතකය කරායාමට උත්සාහ කළත් මකායා එන්ටිනිගේ පන්දුවක් හමුවේ ලකුණු 98කට දැවීගියේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින්. 

දඩබ්බර පහරක් නිසා අහිමිකරගත් මංගල ටෙස්ට් ශතකය

2001 වසරේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ක්‍රියාත්මක වුණේ අස්ගිරිය පිටියේදී යි. එම තරගයේ දී එංගලන්තයට වඩා ලකුණු 90ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 3ක් තුළ දවාගැනීමට ගෆ් සහ කැඩික් සමත් වුණා. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට වැටී තිබුණු අවස්ථාවේ අගනා ඉනිමක් ක්‍රීඩා කළ සංගක්කාර ශ්‍රී ලංකා ලකුණු පුවරුව 181/6 දක්වා රැගෙන ගියේ මංගල ටෙස්ට් ශතකය කරා ළඟාවෙමින්. ඒ වන විට නොදැවී ලකුණු 95ක් ලබා සිටි සංගක්කාරට හයේ පහරකින් සිය ශතකය සම්පූර්ණ කිරීමට ඇති වුණු ආශාව නිසාම ක්‍රොෆ්ට් එවූ පන්දුවට ඉදිරියට පැන පහරක් එල්ල කරනු ලැබුවා. නමුත් ඔහුගේ අවාසනාවට පිත්ත පරයමින් පන්දුව කඩුලු රකින්නා වෙතට ගියා. එම අවස්ථාවේ එංගලන්ත කඩුලු රකින්නා ක්ෂණයකින් කඩුල්ල බිඳදැමීමත් සමගම සංගක්කාරට නැවත වරක් සිය මංගල ටෙස්ට් ශතකය අහිමි වුණා.

සංගක්කාර එංගලන්තය හමුවේ දැවීගිය අවස්ථාව (gettyimages)

ඇන්ජලෝ මැතිව්ස් 

වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් සපිරිම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස්  සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට යාමේ දී අමතක නොවන ඉරණමකට ගොදුරු වුණු ක්‍රීඩකයෙක්. ඒ මංගල ටෙස්ට් ශතකය පෙනි පෙනී තිබිය දී දුවද්දී දැවීයාමකට හසුවීමෙන්. එය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ යම් පිතිකරුවෙකු මංගල ටෙස්ට් ශතකය අභියස සිටිය දී අවාසනාවන්තම ලෙස දැවීගිය ආකාරය ලෙසින් සටහන් වුණා.

දුවන්නට ගොස් වැරදීමෙන් අහිමිකරගත් අගනා ශතකය 

2009 වසරේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ තෙවන තරගය මුම්බායි නුවර බ්‍රැබෝන් පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව 188/4 ලෙසින් දිස් වුණු අවස්ථාවේ මැතිව්ස් පිටියට පිවිසියා. ඉන් අනතුරුව ඉතාමත් වේගයෙන් ලකුණු රැස් කළ මැතිව්ස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 362/8 බවට පත්ව තිබුණු අවස්ථාවේ වේගයෙන් ශතකය කරා යමින් තිබුණා. එදා මුරලිව අනිත් අන්තයේ තබාගත් මැතිව්ස් ඉක්මනින්ම ලකුණු 16ක් ලබාගත්තේ සිය පෞද්ගලික ලකුණු ප්‍රමාණය 98 දක්වා ඉහළ දමාගනිමින්. ඉන් පසුව ශ්‍රීසාන්ත් යොමු කළ කෙටි පන්දුවට ෆුල් පහරක් එල්ල කළ මැතිව්ස් ලකුණු 2ක් ලබාගැනීමට උත්සාහ කළත් ටෙන්ඩුල්කාර් මැනවින් පන්දුව රැකගෙන දෝනි වෙත යොමු කළා. එම අවස්ථාවේ දෝනි කිසිදු ප්‍රමාද වීමකින් තොරව කඩුල්ල බිඳ දැමීමත් සමගම මැතිව්ස් ලකුණු 99කට දුවද්දී දැවීගියේ සිය මංගල ටෙස්ට් ශතකය අවාසනාවන්ත ලෙස අහිමි කරගනිමින්.

මැතිව්ස් දුවද්දී දැවීගිය අවස්ථාව (gettyimages)

කැංගරුවන්ට එරෙහිව අහිමි කරගත් ශතකය 

2011 වසරේ ගාලු පිටියේ පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ සිව්වන ඉනිමේ දී ශ්‍රී ලංකාවට ලකුණු 379ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට සිදු වුණා. නමුත් එදා ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායම අසරණ වුණු නිසාම ඔවුන්ගේ මුල් කඩුලු 5ම ලකුණු 68ක් තුළ දැවීගියා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරා යමින් තිබුණු අවස්ථාවක පිටියට පිවිසි මැතිව්ස් අනිත් අන්තයේ සිටි මහේල සමග එක්ව ලකුණු 142ක වටිනා සබඳතාවයක් ගොඩනැගුවේ කැංගරුවන්ට යම් අනතුරු ඇඟවීමක් කරමින්. නමුත් එම අනතුරු ඇඟවීම දෙදරායමින් මහේල ලකුණු 105කට දැවීයාමෙන් පසුව පිටියේ තනි වුණු මැතිව්ස් හුදෙකලා සටනක නිරත වුණා. ඒ අනුව එදා මැතිව්ස් නොදැවී ලකුණු 95ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 249/8 දක්වා ඔසවා තැබුවේ මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට ආසන්න වෙමින්. ඉතාමත් අසීරුවෙන් ඉනිම ගොඩනගමින් ශතකය කරා පැමිණි මැතිව්ස්ට එය සම්පූර්ණ කරගැනීමට වොට්සන් ඉඩදුන්නේ නැහැ. එහි දී වොට්සන් එවූ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමත් සමගම මැතිව්ස් දැවීයන විට ලකුණු පුවරුවේ ඔහුගේ නම ඉදිරියෙන් සටහන්ව තිබුණේ ලකුණු 95ක් පමණ යි.

මැතිව්ස් දැවීගිය අවස්ථාව (gettyimages)

කවරයේ ඡායාරූපය- සංගක්කාර 2001 අස්ගිරිය ටෙස්ට් තරගයේ දී දැවීගිය අවස්ථාව (gettyimages)

Related Articles