Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව කොදෙව් දූපත්වල දී ලබාගත් මංගල ටෙස්ට් ජයග්‍රහණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් මුල්ම වරට බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී ටෙස්ට් තරගයක් සඳහා සහභාගි වුණේ 1997 වසරේ දී යි. එදා සිට ගෙවුණු වසර 24ක කාලය තුළ අපේ ක්‍රීඩකයන් කොදෙව් දූපත්වල දී ටෙස්ට් තරග 9කට සහභාගි වී තිබෙනවා. ඉන් තරග 4ක ජයග්‍රහණය කොදෙව්වන්ට හිමිවෙද්දී ශ්‍රී ලංකාවට ජයගත හැකිවුණේ තරග 2ක් පමණ යි. ශ්‍රී ලංකාව කොදෙව්වන් හමුවේ ලබාගත් ජයග්‍රහණ දෙකෙන් මුල්ම ජයග්‍රහණය 2008 වසරේ දී වාර්තා වූ අතර, දෙවන ජයග්‍රහණය ඉන් වසර 10කට පසුව ලබාගැනීමට අවස්ථාව උදාවුණා. 

2018 වසරෙන් පසුව ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර කොදෙව් දූපත්වල දී පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන මාර්තු 21 වැනිදා ආරම්භ වීමට නියමිත යි. එම ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳව අපගේ ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු තබාගෙන සිටිනවා. එම නිසා අපේ කණ්ඩායම මීට වසර 13කට පමණ පෙර කොදෙව් දූපත්වල දී වාර්තා කළ මංගල ටෙස්ට් ජයග්‍රහණය පිළිබඳව කතා කරන්නට අප තීරණය කළා.

ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයට ටෙස්ට් තත්ත්වය හිමිවෙයි 

2007 එක්දින ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පැවැත්වුණා. ඒ වෙනුවෙන් කොදෙව් දූපත්වලට අයත් ගයානාහි ප්‍රොවිඩන්ස් නමින් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරනු ලැබුවා. 2008 වසරේ පැවති ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ එම ක්‍රීඩාංගණය යි. එදා ප්‍රොවිඩන්ස් පිටියේ ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගය පැවැත්වීමත් සමගම ලෝකයේ 97 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසින් එය ඉතිහාසයට එක්වුණා. 

මහේල කාසියේ වාසිය දිනාගනියි 

එදා තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේ පළමු ඉනිමේ දී හැකි තරම් ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කිරීමේ අරමුණ ඇතිව යි. එම තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා දිගු කලකට පසුව රංගන හේරත්ව සහ තිලාන් තුෂාරව එකතු කරගෙන සිටියා. හේරත්, මාස 30කට පසුව ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීම සඳහා වරම් ලබාගෙන තිබුණා. තුෂාරට ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමිවුණේ වසර 5කට පමණ පසුව යි. කොදෙව්වනුත් වසර 3කට පසුව රයන් හයින්ඩ්ස්ව යළි කණ්ඩායමට කැඳවා තිබුණා. ඊට අමතරව වමත් දඟපන්දු යවන්නෙකු වුණු සුලෙයිමන් බෙන් එදා සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළා. 

පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට   

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි මලින්ද වර්ණපුර සහ මයිකල් වැන්ඩෝර්ට් මුල සිටම කොදෙව් පන්දු යවන්නන් හමුවේ මනාව සිය පිත්ත හසුරවනු ලැබුවා. එහි දී වර්ණපුර වේගයෙන් ලකුණු ලබාගනිද්දී වැන්ඩෝට් ඔහුට හුරුපුරුදු මන්දගාමී ශෛලියෙන් ක්‍රීඩා කළා. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු 85ක් එකතු කරගෙන තිබුණා. වර්ණපුර ලකුණු 53ක් ලබාගෙන සිය ටෙස්ට් තරග දිවියේ දෙවන අර්ධ ශතකය වාර්තා කරන විට වැන්ඩෝට් ලකුණු 32ක් ලබාගෙන සිටියා.

වැන්ඩෝර්ට් සහ වර්ණපුර පන්දුවට පහරදෙමින් (gettyimages)

දිවා ආහාරයෙන් පසුව හොඳින් පන්දුවට පහරදුන් වැන්ඩෝට් සිය ටෙස්ට් තරග දිවියේ 4 වන අර්ධ ශතකය වාර්තා කළා. නමුත් ඉන් ටික මොහොතකට පසුව ජෙරොම් ටේලර් එවූ පන්දුවක් හමුවේ වැන්ඩෝට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 130/1 ලෙසින් දිස්වුණා. වැන්ඩෝට්ගේ නික්මයාමෙන් පසුව පිටියේ එක්වුණු වර්ණපුර සහ සංගක්කාර කොදෙව් පන්දු යවන්නන් හමුවේ අපහසුවකින් තොරව ලකුණු ලබාගත්තා. ඒ අතරතුර වර්ණපුර ක්‍රමයෙන් සිය මංගල ටෙස්ට් ශතකය කරා ළඟාවුණා. එදා ඔහු ශතකයට ආසන්න වෙමින් ලකුණු 95ක් ලබාසිටිය දී ගේල් එවූ පන්දුවකට පළමු ස්ලිප්හි පන්දු රැකි ඩ්වේන් බ්‍රාවෝ අතට උඩපන්දුවක් ලබාදුන්නා. නමුත් බ්‍රාවෝ අතින් එය ගිලිහී ගියා. ඉන්පසු සිය මංගල ශතකය ලබාගත් වර්ණපුර තේ පානය වන තුරු නොදැවී පන්දුවට පහරදෙමින් ලකුණු 114ක් ලබාගත්තා. එම නිසා තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්ත්වය 190/1 බවට පත්ව තිබුණා.

වර්ණපුර මංගල ටෙස්ට් ශතකය ලබාගත් මොහොත (gettyimages)

තේ පානයෙන් පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 15ක් එක්වෙද්දී ලකුණු 120ක් ලබා සිටි මලින්ද වර්ණපුර බ්‍රාවෝගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රාම්ඩීන්ට උඩපන්දුවක් ලබා දී දැවීගියා. ඔහුගේ නික්මයාමෙන් පසුව සංගක්කාරට එකතු වුණු මහේල ශ්‍රී ලංකා ලකුණු පුවරුව 243/2 දක්වා ඔසවා තැබුවා. ඒ අතරතුර සංගක්කාර සිය ටෙස්ට් තරග දිවියේ 25 වැනි අර්ධ ශතකය ලබාගත්තා. ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර තත්ත්වයකට පත්ව තිබුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ජෙරොම් ටේලර් එකම පන්දුවාරයක් තුළ සංගක්කාරව සහ සමරවීරව  දවාගත් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 243/4 බවට පත්වුණා. ඉන් අනතුරුව සීරුවෙන් පන්දුවට පහරදුන් මහේල සහ දිල්ෂාන් දිනය නිමාවන විට සිය කණ්ඩායමේ ලකුණු තත්ත්වය 269/4 දක්වා ඉහළ දැමුවා. 

ටේලර් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (gettyimages)

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 479කට නිමාව දකියි 

තරගයේ දෙවන දිනයේ උදෑසන ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 8ක් එක්වෙද්දී ලකුණු 20ක් ලබා සිටි දිල්ෂාන් ටේලර්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීගියා. අනතුරුව ප්‍රසන්න ජයවර්ධන සහ මහේල ලකුණු 54ක සබඳතාවයක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු තත්ත්වය 331/5 දක්වා ඉහළ දැමුවා. නමුත් දෙවන දිනයේ දිවා ආහාරයෙන් පසුව යැවුණු පළමු පන්දුවාරයේ දීම ඩැරන් පවෙල්ගේ පන්දුවක් කෙළින්ම  කඩුල්ලේ වැදීමෙන් ප්‍රසන්න ලකුණු 21කට දැවීගියා.

එම අවස්ථාවේ දී පිටියට පිවිසි වාස් සිය නායකයාට උපරිම සහායක් ලබාදෙමින් පිතිකරණයේ නියැළුණු නිසා දෙවන දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 418/6 ලෙසින් දිස්වුණා. ඒ වන විට නොදැවී ලකුණු 120ක් ලබා සිටි මහේල සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 22 වැනි ශතකය ලබාගත්තා. එදා වාස් ලකුණු 4ක් ලබා සිටි අවස්ථාවේ දී ටේලර්ගේ පන්දුවකට තෙවන ස්ලිප්හි පන්දු රකිමින් සිටි ඩෙවොන් ස්මිත්ට ලබාදුන් උඩපන්දුව රැකගත්තා. කොදෙව්වන්ට තේ පානය වන විට විශාල වාසියක් ලබාගැනීමට අවස්ථාවක් තිබුණා. නමුත් අවාසනාවන්ත ලෙස ඔවුන්ට එය ගිලිහී ගියා. 

 මහේලගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

තේ පානයෙන් පසුව වාස් සහ මහේල ශ්‍රී ලංකා ලකුණු පුවරුව 457/6 ලෙස ඉහළ දමා තිබුණු අවස්ථාවේ මහේල ලකුණු 136කට දැවීගියේ ගේල් යැවූ පන්දුවක් හමුවේ යි. ඉන් සුළු මොහොතකට පසුව  476/8 ලෙස ලකුණු ලබාගෙන සිටිය දී ශ්‍රී ලංකා ඉනිම අත්හිටවනු ලැබුවා. එදා සිය ඉනිම අවසන් වන තුරුම නොදැවී පන්දුවට පහරදුන් වාස් අගනා ලකුණු 54ක් ලබාගනිද්දී ටේලර් ලකුණු 110කට කඩුලු 4ක් දවාගත්තා. ඉන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ කොදෙව්වන් දිනය නිමාවන විට කඩුල්ලක් දැවී ලකුණු 29ක් ලබා සිටියා.

වාස්ගේ ඉවසිලිමත් ඉනිමේ එක් මොහොතක් (gettyimages)

තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට 

තෙවන දිනයේ උදෑසනින්ම තිලාන් තුෂාර ක්‍රියාත්මක වුණා. එහි දී ඔහුගේ පන්දු හමුවේ ඩෙවොන් ස්මිත් සහ මාලන් සැමුවෙල්ස් දැවීගියේ පිළිවෙලින් ලකුණු 14ක් සහ 5ක් ලබා සිටිය දී යි. කොදෙව් ලකුණු පුවරුව 58/3 ලෙසින් දිස්වුණු අවස්ථාවේ එක්වුණු සර්වාන් සහ චන්ද්‍රපෝල් සිය කණ්ඩායමේ ලකුණු තත්ත්වය 99 දක්වා ඉහළ දැමුවා. නමුත් එම අවස්ථාවේ චන්ද්‍රපෝල් මුරලිදරන්ගේ පන්දුවකට ලකුණු 23කට දැවීගිය නිසා දිවා ආහාරය සඳහා තරගයන් නතර කරන විට කොදෙව් ලකුණු පුවරුව 107/4 බවට පත්ව තිබුණා.

තුෂාර කඩුල්ලක් දවාගැනීමෙන් සතුට පත්වුණු අයුරු (gettyimages)

ඉන්පසුව කොදෙව් ලකුණු පුවරුවට තවත් ලකුණු 2ක් එකතු වන විට බ්‍රාවෝ මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ දැවීගියා. එම කඩුල්ල බිඳවැටීමෙන් පසුව සර්වාන් සහ රාම්ඩීන් ලකුණු 53ක් එකතු කරමින් කොදෙව් ලකුණු තත්ත්වය 162/5 දක්වා ඉහළ දැමුවා. එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු වාස් ලකුණු 80ක් ලබා සිටි සර්වාන්ව දවාගැනීමත් සමගම කොදෙව්වන් අසීරු අඩියකට වැටුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තෙවන දිනය නිමා වන විට කොදෙව්වන් කඩුලු 9ක් දැවී ලකුණු 269ක් ලබා සිටියා.

සර්වාන් පන්දුවට පහරදෙමින් (gettyimages)

කොදෙව්වන්ට ලකුණු 437ක දැවැන්ත ඉලක්කයක්

තරගයේ සිව්වන දිනයේ උදෑසනින්ම කොදෙව් පළමු ඉනිම ලකුණු 280කට සීමාවුණා. එහි දී මුරලිදරන්, වාස් සහ තුෂාර කඩුලු 3 බැගින් දවාගත්තා. ඉන් අනතුරුව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස්කළා. එම නිසා සිව්වන දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 83ක් ලබා සිටියා.

එදා ශ්‍රී ලංකා කණ්ඩායම අත තරගයේ පාලනය තිබුණු නිසා අපේ පිතිකරුවන් හැකිතරම් වේගයෙන් ලකුණු ලබාගැනීමට උත්සාහ කළා. එහි දී වර්ණපුර ලකුණු 62ක්, සමරවීර නොදැවී 56ක් ලෙස ලකුණු ලබාගනිමින් දැක්වූ දස්කම් නිසා පන්දුවාර 57ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 240/7 ලෙසින් දිස්වුණා. ඒ වන විට ශ්‍රී ලංකාව කොදෙව්වන්ට වඩා ලකුණු 436ක් ඉදිරියෙන් සිටි නිසා ශ්‍රී ලංකා නායකයා ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

එම අවස්ථාව වන විට දිනය නිමාවීමට පැය 2කට ආසන්න කාලයක් තිබුණා. ඒ අනුව දිනයේ අවසන් හෝරා දෙක තුළ පන්දුවාර 23කට මුහුණදුන් කොදෙව්වන් කඩුල්ලක් දැවී ලකුණු 96ක් ලබාගත්තා. එහි දී ගේල් වෙනුවට ඉනිම ආරම්භ කළ බ්‍රාවෝ නොදැවී ලකුණු 46ක් ලබාගන්නා විට සර්වාන් නොදැවී ලකුණු 34ක් ලබාගත්තා. එම නිසා අවසන් දිනයේ දී කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 341ක් අවශ්‍ය වුණා. 

සමරවීරගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ශ්‍රී ලංකාවට ලකුණු 121ක විශිෂ්ට ජයක් 

අවසන් දිනය ආරම්භයේ සිටම බ්‍රාවෝ සහ සර්වාන් ඉතාමත් විශ්වාසයෙන් පන්දුවට පහරදුන්නා. එම නිසා එක අවස්ථාවක කොදෙව්වන් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 156ක් ලබා සිටියා. ඒ වන විට සර්වාන් සහ බ්‍රාවෝ අතරේ ලකුණු 134ක සබඳතාවයක් ගොඩනැගී තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් තරගය ගිලිහෙමින් පැවති එම මොහොතේ ක්‍රියාත්මක වුණු මුරලිදරන් ලකුණු 83ක් ලබා සිටි බ්‍රාවෝව දවාගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දිවා ආහාරය වන විට කොදෙව් ලකුණු පුවරුව 170/2 ලෙසින් දිස්වුණා.

බ්‍රාවෝ පන්දුවට පහරදෙමින් (gettyimages)

දිවා ආහාරය සහ තේ පානය අතර කාලය තරගයේ අවසන් ප්‍රතිඵලය සඳහා වඩාත් තීරණාත්මක වුණා. එදා කිසිවෙකු නොසිතූ අයුරින් සුපිරි පන්දු යැවීමක නිරතවුණු වාස් දිවා ආහාරයෙන් සුළු මොහොතකට පසුව සැමුවෙල්ස් සහ චන්ද්‍රපෝල් යන පිතිකරු යුගලයම දවාගත් නිසා කොදෙව් ලකුණු පුවරුව 178/4 බවට පත්වුණා. එම අවස්ථාවේ දී පිටියට පිවිසි ගේල් අනිත් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි සර්වාන් සමග එක්ව කොදෙව්වන්ගේ ලකුණු තත්ත්වය 212/4 දක්වා ඉහළ දැමුවා. ඒ වන විට කොදෙව්වන්ට තරගය ජයග්‍රහණය කිරීමට අපහසු තත්ත්වයක් උදාවී තිබුණා. එම නිසා ඔවුන් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් කරගැනීම සඳහා සටන් කළා. 

වාස් කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

නමුත් එම අවස්ථාවේ දී කොදෙව්වන් අසීරු අඩියකට ඇද දමමින්, ලකුණු 72ක් ලබා සිටි සර්වාන් තුෂාරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීගියා. ඉන් පසුව පිටියට පිවිසි රයන් හයින්ඩ්ස් ද වැඩි වේලාවක් යන්නට පෙර මුරලිට ගොදුරු වුණු නිසා තේ පානය සඳහා තරගය නතර කරන විට කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලබාසිටියේ ලකුණු 230ක් පමණ යි. එදා ගේල් සහ රාම්ඩීන් කොදෙව්වන්ව පරාජයෙන් බේරාගනු ඇති බවට ඔවුන්ගේ ක්‍රීඩාලෝලීන් විශ්වාස කළා.

නමුත් තේ පානයෙන් පසුව යැවූ පළමු පන්දුවාරයෙන්ම ලකුණු 1ක් ලබා සිටි රාම්ඩීන් තුෂාරගේ පන්දුවක් හමුවේ දැවීගියා. ඉන් පසුව ගේල් නොදැවී ලකුණු 51ක් ලබාගෙන සිය කණ්ඩායම පරාජයෙන් බේරාගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වුණා. නමුත් වාස් ලකුණු 61කට කඩුලු 5ක් දවාගනිමින් සිදුකළ සුපිරි පන්දුයැවීම හමුවේ එම උත්සාහය නිෂ්ඵල එකක් වුණා. ඒ අනුව කොදෙව් ඉනිම ලකුණු 315කට නිමාව දැකීමත් සමගින් ශ්‍රී ලංකාවට ලකුණු 121ක විශිෂ්ට ජයග්‍රහණයක් උරුම වුණා. එය කොදෙව් දූපත්වල දී ශ්‍රී ලංකාව ලබාගත් මුල්ම ජයග්‍රහණය ලෙසින් ඉතිහාසගත වුණා. 

අවසන් කඩුල්ල දැවීයාමෙන්  පසුව  සතුටට පත්වුණු වාස් (gettyimages)

 

කෙටි ලකුණු පුවරුව  

ශ්‍රී ලංකා පළමු ඉනිම- 476/8, (මහේල- 136, වර්ණපුර- 120, වාස්- 54*, ටේලර්- 110/4)

කොදෙව් පළමු ඉනිම- 280/10, (සර්වාන්- 80, වාස්- 48/3, තුෂාර- 59/3, මුරලිදරන්- 112/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 240/7, (වර්ණපුර- 62, සමරවීර- 56*, බෙන්- 59/3)

කොදෙව් දෙවන ඉනිම- 315/10, (බ්‍රාවෝ- 83, සර්වාන්- 72, ගේල්- 51*, වාස්- 61/5, මුරලිදරන්- 112/3)

ශ්‍රී ලංකාවට ලකුණු 121ක ජයක් 

තරගයේ වීරයා- චමින්ද වාස් 

කවරයේ ඡායාරූපය- තරගය අවසන් කිරීමට මුරලි රැකගත් සුපිරි උඩපන්දුව (gettyimages)

Related Articles