Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20/20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම වේගපන්දු යවන්නා ලංකාවෙන්

2005 වසරේ ආරම්භ වුණු 20/20 තරග රටාව නිසා ක්‍රිකට් ක්‍රීඩාව වෙනස්ම මඟකට යොමු වුණා. එතෙක් පන්දු යවන්නන්ට ක්‍රිකට් පිටිය තුළ දී තිබුණු වාසිය 20/20 තරග රටාවේ ආගමනයත් සමගම ක්‍රමයෙන් නැති වී ගියා. එම නිසා සීමිත පන්දුවාර තරගවල දී පන්දු යවන්නන්ගේ දස්කම් අභිබවා පිතිකරුවන්ගේ දස්කම් මතුවන්නට පටන් ගත්තා. එම තත්ත්වය එක්දින පිටියටත් වඩා ඉස්මතු වුණේ 20/20 ක්‍රිකට් පිටිය තුළ දී යි. 

20/20 පිටියේ දී පිතිකරුවන් ඉදිරියේ බොහෝ පන්දු යවන්නන් අසරණ වෙද්දී, අනික් අතට පිතිකරුවන් අසරණ කළ පන්දු යවන්නන් ද සිටියා. 20/20 පිටිය තුළ යෝකර් පන්දුවේ රජු ලෙසින් හඳුන්වනු ලබන ලසිත් මාලිංගත් එවැනි පන්දු යවන්නෙක්. 20/20 පිටිය තුළ දී දැක්වූ සුපිරි දස්කම් සලකා බලා, 20/20 ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු දක්ෂතම වේගපන්දු යවන්නා ලෙසින් විස්ඩන් සඟරාව විසින් ඔහු නම් කළේ පසුගිය ජූනි මාසයේ දී යි. 

මාලිංග වසර 14ක සිට 20/20 පිටියේ රැඳී සිටිනවා 

2006 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මුල්ම වරට 20/20 තරගයක් ක්‍රීඩා කළේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව යි. එම තරගයේ සිට අද වන තුරු ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම නියෝජනය කළ මාලිංග තරග 84කට ක්‍රීඩා කර තිබෙනවා. එම කාල සමය තුළ ප්‍රතිවාදී පිතිකරුවන්ව භීතියට පත්කළ මෙම දක්ෂ පන්දු යවන්නා කඩුලු 107ක් ලබාගැනීමට සමත් වුණා. 

මාලිංග 20/20 ක්‍රිකට් වාර්තා රැසක හිමිකරුවෙක් 

වසර 15ක් පැරණි 20/20 ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු වාර්තා කිහිපයකම උරුමකරුවෙකු වන මාලිංග වේග පන්දුවෙන් ප්‍රතිවාදී පිතිකරුවන් අසරණ කළා. 20/20 පිටිය තුළ දී පන්දු යවන්නෙකු ලෙසින් ලබාගත් සාර්ථකත්වය නිසා 20/20 ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු හොඳම වේගපන්දු යවන්නා වීමේ වාසනාව ඔහුට හිමි වුණා. මාලිංග 20/20 පිටිය තුළ දී බිහි කළ සුපිරි වාර්තා කිහිපයක් පහත දැක්වෙනවා.

20/20 ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා 

ලසිත් මාලිංග 20/20 ක්‍රිකට් දිවිය තුළ දී කඩුලු 107ක් දවාගෙන තිබෙනවා. 20/20 ජාත්‍යන්තර තරගවල දී කඩුලු 100ක් දවාගෙන ඇති එකම පන්දු යවන්නා වන්නේ ද මාලිංග යි. කඩුලු 98ක් දවාගත් පාකිස්ථානයේ ෂයිඩ් අෆ්රිඩි සහ කඩුලු 92ක් ලබාගෙන තවමත් 20/20 ක්‍රිකට් පිටියේ රැඳී සිටින බංගලාදේශයේ ශකිබ් අල් හසන් මාලිංගට පසුව වැඩිම 20/20 කඩුලු ප්‍රමාණයක් ලබාගත් පන්දු යවන්නන් දෙදෙනා යි.  

මාලිංග 20/20 පිටියේ දී දස්කම් දක්වමින් (gettyimages)

පන්දුවාරයක් තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගැනීම 

20/20 තරගයක දී පිට පිටම යැවූ පන්දු 4කින් කඩුලු 4ක් දවාගත් පන්දු යවන්නන් දෙදෙනෙකු සිටිනවා. ඒ ලසිත් මාලිංග සහ රෂීඩ් ඛාන් යන පන්දු යවන්නන් දෙදෙනා යි. රෂීඩ් ඛාන් අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව එම දස්කම දක්වනු ලැබුවේ පන්දුවාර 2ක් ඇතුළත යි. නමුත් මාලිංග විසින් නවසීලන්ත කණ්ඩායමේ මුන්රෝ, රදර්ෆඩ්, ග්‍රෑන්ඩ්හෝම්, සහ ටේලර් යන පිතිකරුවන් සිව්දෙනාව පිට පිටම පන්දු 4කින් දවාගැනුනේ එකම පන්දුවාරයක දී යි. ඒ අනුව 20/20 තරග ඉතිහාසයේ පන්දුවාරයක් තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගත් පන්දු යවන්නා ලෙසින් මාලිංග ඉතිහාසගත වී තිබෙනවා. 

මාලිංග පන්දු 4කින් කඩුලු 4ක් ලබාගත් අවස්ථාව (gettyimages)

20/20 පිටියේ කඩුලු ත්‍රිත්වයේ රජු ඔහු යි 

20/20 ක්‍රිකට් ඉතිහාසය තුළ දී කඩුලු ත්‍රිත්වයන් 13ක් වාර්තා වී තිබෙනවා. එහි දී කඩුලු ත්‍රිත්ව 2ක් ලබාගත් එකම පන්දු යවන්නා බවට පත්ව තිබෙන්නේ ලසිත් මාලිංග යි. ඔහු සිය 20/20 ක්‍රිකට් දිවියේ මුල්ම කඩුලු ත්‍රිත්වය ලබාගත්තේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව යි. 2017 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති එම තරගයේ දී මාලිංගගේ පන්දු හමුවේ දැවීගියේ මුෂ්ෆිකර් රහීම්, මෂ්රෆි මොර්ටාසා, සහ මෙහෙදි හසන් යන පිතිකරුවන් තිදෙනා යි. මාලිංග සිය 20/20 තරග දිවියේ දෙවන කඩුලු ත්‍රිත්වය ලබාගත්තේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව යි. 2019 වසරේ මහනුවර පල්ලෙකැලේ පිටියේ පැවති එම තරගයේ දී මුන්රෝ, රදර්ෆඩ්, ග්‍රෑන්ඩ්හෝම්, සහ ටේලර් යන පිතිකරුවන් මාලිංගගේ පන්දු හමුවේ දැවී ගියා.

මාලිංග බංග්ලාදේශයට එරෙහිව කඩුලු ත්‍රිත්වය ලබාගත් අවස්ථාව  (gettyimages)

20/20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලබාගත් වේග පන්දුයවන්නා 

ලසිත් මාලිංග 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ දී තරග 31කට ක්‍රීඩා කර තිබෙනවා. එහි දී මාලිංග කඩුලු 38ක් දවාගත්තේ 20/20 ලෝක කුසලාන ඉතිහාසය තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගත් වේග පන්දු යවන්නා බවට පත්වෙමින්. 2018 වසරේ දී 20/20 ක්‍රිකට් පිටියෙන් සමුගත් ෂහිඩ් අෆ්රිඩි තරග 34ක දී කඩුලු 39ක් ලබාගෙන 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටියි. නමුත් මාලිංග ඊළඟ 20/20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින නිසා එම වාර්තාවත් ඉදිරියේ දී මාලිංගගේ නම ඉදිරියේ සටහන් වීමට තිබෙන ඉඩකඩ වැඩියි.

මාලිංග 20/20 ලෝක කුසලාන තරගයක දී දස්කම් දක්වමින් (gettyimages)

මාලිංග 20/20 පිටිය තුළ දැක්වූ දස්කම් විශිෂ්ට යි 

ලසිත් මාලිංග නම් දක්ෂ වේගපන්දු යවන්නා 20/20 ක්‍රිකට් පිටියේ දී දැක්වූ දස්කම් අති විශිෂ්ට යි. ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ක්‍රිකට් පිටියේ දී ලබාගත් ජයග්‍රහණයන් රැසක නියමුවා බවට පත් වුණේ මෙම සුපිරි වේගපන්දු යවන්නා යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් විස්ඩන් සඟරාව විසින් 20/20 ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු විශිෂ්ටතම වේගපන්දු යවන්නා ලෙස ලසිත් මාලිංගව නම් කරනු ලැබුවා. 20/20 ක්‍රිකට් ඉතිහාසය තුළ විශිෂ්ටතම ආකාරයේ ගෞරවයක් හිමිකරගත් ලසිත් මාලිංගට Roar සිංහල වෙතින් සුබ පැතුම්.

කවරයේ ඡායාරූපය- (gettyimages)

Related Articles