Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2004 ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා විජයග්‍රාහී එක් දින තරගාවලිය

එළඹෙන සැප්තැම්බර් 2 වැනිදා ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් අතර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් ආරම්භ වීමට නියමිත යි. අවසන් වරට ශ්‍රී ලංකාවේ දී දෙරට අතර පැවැත්වුණු එක්දින තරගාවලි ද්විත්වයම ජයග්‍රහණය කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායම යි. ඒ අනුව ශ්‍රී ලංකාව අවසන් වරට අප්‍රිකානුවන් හමුවේ මෙරට දී එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළේ 2013 වසරේ දීයි. 

එලෙස ගෙවුණු වසර කිහිපය ඇතුළත දකුණු අප්‍රිකානුවන් ලක්බිමේ පැවති එක්දින තරගාවලිවල දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණත්, ඈත අතීතයේ දී ඔවුන් ශ්‍රී ලංකා බිමේ දී දරුණු එක්දින තරගාවලි පරාජයන් ලැබුවා.  ඒ අයුරින් දකුණු අප්‍රිකාව මෙරට දී ලැබූ දරුණුත ම පරාජය වුණේ 2004 ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ දී ලද පරාජය යි. මෙතැන් සිට ඔබ හමුවේ දිග හරින්නට යන්නේ එම තරගාවලිය පිළිබඳ මිහිරි මතකය යි. 

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 3ක තියුණු ජයක් 

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ පළමු තරගයකොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී  2004 අගෝස්තු 20 වැනිදා ආරම්භ වුණා. එදා කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නායකයා මුලින් ම පන්දුවට පහරදීමට තීරණය කළා. සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණක් ඉටු කළ දකුණු අප්‍රිකානු මුල් පෙළ පිතිකරුවන් මැනවින් පන්දුවට පහර දෙමින් පන්දුවාර 28.2ක් අවසානයේ දී දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 138/2 දක්වා ඉහළ දැමුවා. ඒ අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායම පසුබෑමකට ලක් ව සිටි අවස්ථාවක ක්‍රියාත්මක වුණු උපුල් චන්දන රුඩොල්ෆ් සහ කාලිස් යන පිතිකරු යුගළය පිටියෙන් ඉවත් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 157/4 බවට පත්වුණා.

රුඩොල්ෆ් පන්දුවට පහරදෙමින් – getty images

 

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකානු ඉනිම බිඳ වැටෙමින් තිබුණු අවස්ථාවක ක්‍රියාත්මක වුණු මාක් බවුචර් පන්දු 40කින් වේගවත් ලකුණු 58ක් ලබා ගත්තා. එනිසා පන්දුවාර 46.4ක් අවසන් වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 241ක් ලබා සිටියා. ඒ වන විට කඩුල්ලේ රැඳී සිටි බවුචර් සහ ක්ලූස්නර් යන පිතිකරු යුගළයේ සැලැස්ම වුණේ අවසන් පන්දු 20දී හැකි තරම් ලකුණු ප්‍රමාණයක් ලබාගැනීම යි.

ඔවුන්ගේ එම බලාපොරොත්තුව බිඳ දැමූ චමින්ද වාස් පන්දු 8කදී කඩුලු 3ක් දවාගෙන සිදු කළ සුපිරි පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකා ඉනිම 263/9 ලෙසින් නිමාවට පත්වුණා. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු වාස් ලකුණු ලකුණු 33කට කඩුලු 4ක් දවාගත්තා. 

චමින්ද වාස්  – getty images

 

විදුලි ආලෝක ධාරා මධ්‍යයේ ලකුණු 264ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක මාවන් අතපත්තු සහ අවිශ්ක ගුණවර්ධන අර්ධ ශතක වාර්තා කළා. එනිසා පන්දු වාර 33.3ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 170/3 බවට පත් ව තිබුණා. ඒ අයුරින් තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබුණු මොහොතක ක්‍රියාත්මක වුණු දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් පන්දු 41 තුළ ලකුණු 41ක් ලබා දී කඩුලු 3ක් දවා ගත්තා.

එලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට පත්ව සිටි අවස්ථාවේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ තිලකරත්න දිල්ෂාන් පන්දු 37කින් නොදැවී ලකුණු 38ක් ලබා ගෙන සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමු කළා. අවසානයේ දී කෞෂාල් ලොකුආරච්චි ෂෝන් පොලොක්ගේ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ජයග්‍රාහී ලකුණු කිහිපය ලබාගැනීම අමතක නොවන සිදුවීමක් වුණා.

අගනා ලකුණු 64ක් ලබාගත් මාවන් අතපත්තු – getty images

කෙටි ලකුණු පුවරුව 

  • දකුණු අප්‍රිකාව- 263/9 (50), (කාලිස්- 74, බවුචර්- 58, වාස්- 33/4, චන්දන- 47/2)
  • ශ්‍රී ලංකාව- 265/7 (49), (අතපත්තු- 64, අවිශ්ක- 51, දිල්ෂාන්- 38*, එන්ටිනි- 46/2)

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් 

තරගයේ වීරයා- චමින්ද වාස් 

එන්ටිනි කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – getty images

සොයිසාගේ සුපිරි පන්දු යැවීම හමුවේ අප්‍රිකානුවන්ට තවත් පරාජයක් 

තරගාවලියේ දෙවන තරගය ආර් ප්‍රේමදාස පිටියේ දී දිවා තරගයක් ලෙසින් පැවැත්වුණා. උදෑසන තණතීරුවේ තිබුණු ජීවය උකහාගත් දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් නිවැරදි එල්ලයකට අනුව පන්දු යැව්වා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 24.5ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව  86/5 ලෙසින් දිස්වුණා. එම අවස්ථාවේ තරගයේ වැඩි වාසිය දකුණු අප්‍රිකානුවන්ට හිමි ව තිබුණා. 

ඒ අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියක වැටී සිටි අවස්ථාවක පිටියේ එකතු වුණු කුමාර් සංගක්කාර සහ උපුල් චන්දන පන්දු 116කින් වටිනා ලකුණු 93ක් ලබා ගත්තා. ලකුණු 63ක් ලබා ගෙන සිටි සංගක්කාර දුවද්දී දැවී යාමත් සමඟින් එම සබඳතාව නිමාව දුටුවත් චන්දන නොදැවී ලබා ගත් ලකුණු 61 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ශ්‍රී ලංකා ඉනිම 213/9 ලෙසින් සටහන් වුණා.

සංගක්කාරගේ ඉනිමේ අවස්ථාවක් – getty images

 

ලකුණු 214ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිතිකරුවන් නුවන් සොයිසාගේ සුපිරි වේගපන්දු යැවීම හමුවේ අන්ද මන්ද වුණා. එනිසා ඔවුන්ගේ මුල් කඩුලු 6 ලකුණු 50ක් ඇතුළත දැවී ගියා. එහි දී සොයිසා මුල් කඩුලු 5ම දවාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එය සොයිසාගේ එක්දින දිවියේ කඩුලු 5ක් දවාගත් මුල් ම සහ එක ම අවස්ථාව ලෙසින් සටහන් වුණා.

ඒ අයුරින් කඩා වැටුණු ඉනිම ගොඩ ගැනීම සඳහා උත්සාහ ගත් පොලොක් අගනා ලකුණු 54ක් ලබා ගත්ත ද එය දකුණු අප්‍රිකානු පරාජය වැලැක්වීමට ප්‍රමාණවත් වුණේ නැහැ. එනිසා පන්දුවාර 48.5ක් ඇතුළත දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 176කට සීමා වුණා.

සොයිසාගේ පන්දුවක් හමුවේ ගිබ්ස් දැවීගිය අවස්ථාව – getty images

 

කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකාව- 213/9 (50), (සංගක්කාර- 63, චන්දන- 61*, කාලිස්- 20/3, එන්ටිනි- 50/2)
  • දකුණු අප්‍රිකාව- 176/10 (48.5), (පොලොක්- 54, ක්ලූස්නර්- 40, සොයිසා- 26/5, දිල්ෂාන්- 52/4)

ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක් 

තරගයේ වීරයා- නුවන් සොයිසා 

හේරත්ගේ පන්දුවක් හමුවේ ගිබ්ස් දැවීගිය අවස්ථාව  

අතපත්තුගේ නායකත්වයේ ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි 

පළමු තරග දෙක ම පරාජය වුණු නිසා තරගාවලියේ තව දුරටත් රැඳීසිටීම සඳහා දකුණු අප්‍රිකානුවන්ට තෙවන තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වුණා. එවැනි වටපිටාවක රංගිරි දඹුලු පිටියේ දී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් දකුණු අප්‍රිකානු නායකයා මුලින් ම පන්දුවට පහර දීමට තීරණය කළා.

එදා තරගය සඳහා යොදා ගත්  තණතීරුව දඟ පන්දු යවන්නන්ට වඩාත් උචිත අයුරින් සකසා තිබුණු නිසා දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබා ගැනීමට හැකිවුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී දකුණු අප්‍රිකානු ඉනිම 191/9ක් ලෙසින් සටහන් වුණා. අසීරු තණ තීරුවක ඉවසීමෙන් පන්දුවට පහරදුන් ජැක් කාලිස් ලකුණු 52ක් ලබා ගනිද්දී හේරත් සහ දිල්ෂාන් කඩුලු 3 බැගින් බිඳ දැමුවා. 

අතපත්තුගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – getty images

ඉන් පසු ව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට දකුණු අප්‍රිකානු පන්දු යවන්නගෙන් ප්‍රබල පීඩනයක් එල්ල වුණා. එනිසා  පන්දුවාර 41ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 145/6 ලෙසින් දිස්වුණා.

තරගය දෙපිලට ම විවෘත වුණු එම අවස්ථාවේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මාවන් අතපත්තු අනිත් අන්තයේ සිටි චමින්ද වාස් ද රැක ගෙන සිය කණ්ඩායම ජය කණුව වෙත රැගෙන ගියා.

 තුන්වන එක්දින තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව – getty images  

 

ඒ අයුරින් පන්දුවාර 47.4ක් තුළ ශ්‍රී ලංකාව ජයග්‍රාහී කඩඉම පසු කරද්දී අතපත්තු පන්දු 140කින් නොදැවී ලකුණු 97ක් ලබා ගෙන සිටියා. එලෙස ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් තරග 2ක් ඉතිරි ව තිබිය දී තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

කෙටි ලකුණු පුවරුව 

  • දකුණු අප්‍රිකාව- 191/9 (50), (කාලිස්- 52, ගිබ්ස්- 49, දිල්ෂාන්- 25/3, හේරත්- 28/3, ලොකුආරච්චි- 23/2)
  • ශ්‍රී ලංකාව- 192/6 (47.4), (අතපත්තු- 97*, මහේල- 21, ක්ලූස්නර්- 36/2)

ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා- මාවන් අතපත්තු 

කාලිස් දැවීගිය අවස්ථාව – getty images

ශ්‍රී ලංකා පිතිකරුවන් දකුණු අප්‍රිකානුවන් දණගස්වයි 

රංගිරි දඹුලු පිටියේ දී දිවා තරගයක් ලෙසින් පැවැත්වුණු මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක මාවන් අතපත්තු විවේක ගන්වා තිබුණා. එනිසා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ මහේල ජයවර්ධනට යි. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් යළිත් වරක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 23.5ක් අවසන් වන විට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 115/5 ලෙසින් දිස්වුණා. එදා දකුණු අප්‍රිකානුවන් අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පොලොක් ලබාගත් ලකුණු 52කට පින්සිදු වන්නට ඔවුන්ගේ ඉනිම 235/7 ලෙසින් නිමාව දුටුවා.

 

ලකුණු 236ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මුල් පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. එනිසා ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 31.1 අවසන් වෙද්දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 138ක් ලබා ගෙන සිටියා. ඒ මොහොතේ ලකුණු 46ක් ලබාගෙන සිටි සමන් ජයන්ත දැවී ගියත් ඉන් නොසැලුණු මහේල සහ සංගක්කාර නොබිඳුණු ලකුණු 98ක සබඳතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජය කණුව වෙත රැගෙන ගියා. 

ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව මහේල සහ සංගක්කාර – getty images

 

කෙටි ලකුණු පුවරුව 

  • දකුණු අප්‍රිකාව- 235/7 (50), (පොලොක්- 52, ස්මිත්- 46, ලොකුආරච්චි- 39/2)
  • ශ්‍රී ලංකාව- 236/3 (46.1), (සංගක්කාර- 74*, අවිශ්ක- 52, මහේල- 48*, පීටර්සන්- 22/1)

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා- කුමාර් සංගක්කාර 

ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් 

සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති පස්වන සහ අවසන් එක්දින තරගයේ දී පන්දුවට මුලින් ම  පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එදා සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර සහ සමන් ජයන්ත ලබා ගත් අර්ධ ශතක නිසා පන්දුවාර 42.3ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 248/3 ලෙසින් දිස්වුණා. එම අවස්ථාවේ දී දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉක්මනින් ම කඩුලු කිහිපයක් ලබා ගත් නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 308ක් පමණ යි.

ජයසූරියගේ ඉනිමේ අවස්ථාවක් – getty images

 

එදා සිය ගෞරවය බේරා ගැනීම වෙනුවෙන් සටනට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන් පන්දුවාර 40.3ක් නිමාව දකිද්දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 210ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට යම් කිසි අනතුරු ඇඟවීමක් කළා.

එම අනතුරු ඇඟවීම තඹ දොයිතුවකට මායිම් නොකළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානුවන්ගේ අවසන් කඩුලු 7ම ලකුණු 49ක් ඇතුළත බිඳ දැමුවා.

කාලිස් පහරක් එල්ල කරමින් – getty images

එහි දී කාලිස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් අගනා ලකුණු 101ක් ලබා ගනිද්දී උපුල් චන්දන ලකුණු 61කට කඩුලු 5ක් දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත වුණා. ඒ අයුරින් ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් තරග 5-0ක් ලෙසින් පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට උරුම වුණා. එය ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන එක්දින තරගාවලි ජයග්‍රහණයක් බවට පත්වුණා.

 

කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකාව- 308/8 (50), (ජයසූරිය- 79, සංගක්කාර- 72, ජයන්ත- 51, ලැන්ග්වේල්ඩ්- 31/3)
  • දකුණු අප්‍රිකාව- 259/10 (48.1), (කාලිස්- 101, රුඩොල්ෆ්- 48, චන්දන- 61/5, ජයසූරිය- 47/3)

ශ්‍රී ලංකාවට ලකුණු 49ක ජයක් 

තරගයේ වීරයා- උපුල් චන්දන 

තරගාවලියේ වීරයා- කුමාර් සංගක්කාර 

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – getty images

කවරයේ ඡායාරූපය - ආර් ප්‍රේමදාස පිටියේ පැවති තරගාවලියේ දෙවන තරගයේදී - getty images

මූලාශ්‍ර-

espncricinfo

Related Articles