Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2001 ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රාහී මතකය

ශ්‍රී ලංකා-බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී එළඹෙන ඉරිදා ආරම්භ වීමට නියමිත යි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කොදෙව්වන් සමඟින් උරෙනුර ගැටීමට සූදානම් වන මොහොතක මීට වසර 20කට පෙර පැවති ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලියක් පිළිබඳ මතකය යළි අවදි කිරීමට අප තීරණය කළා.

2001 වසරේ ලක්බිමේ දී පැවති එම ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව්වන් හමුවේ ලබා ගත් මුල් ම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය බවට පත්වුණා. එය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු මුල් ම පූර්ණ තරගාවලි ජයග්‍රහණය ලෙසින් ද සටහන් වුණා. මෙතැන් සිට දිගහැරෙන්නේ 2001 ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලිය පිළිබඳ මතකය යි. 

ගාලු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10ක පහසු ජයක් 

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායක කාල් හූපර්පන්දුවට  මුලින් ම පහර දීමට තීරණය කළා. සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කළ කොදෙව් පිතිකරුවන් පළමු දිනය නිමාවට පත්වන විට කඩුලු 3ක් දැවී ලකුණු 316ක් ලබා ගෙන ප්‍රබල ස්ථානයක පසුවුණා. එහි දී තෙවන කඩුල්ල වෙනුවෙන් බ්‍රයන් ලාරා සහ රාම්නරේෂ් සර්වාන් අතර පැවති ලකුණු 145ක අගනා සබඳතාව කොදෙව් ඉනිම ස්ථාවරත්වයට පත් කළා. එදා කොදෙව්වන් වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වුණු ලාරා නොදැවී ලකුණු 117ක් වාර්තා කරද්දී සර්වාන් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 88ක් ලබා ගත්තා.

ලාරා පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

දෙවන දිනය ආරම්භයේ දී මැනවින් පන්දුවට පහර දුන් ලාරා සහ හූපර් පහසුවෙන් ලකුණු ලබා ගත්තා. එනිසා කොදෙව් ලකුණු පුවරුව 393/3 බවට පත්වුණා. ඒ මොහොත වන විට තරගයේ පාලනය කොදෙව්වන් අතට පත් ව තිබුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පීඩනයකට හසුව සිටි මොහොතක ක්‍රියාත්මක වුණු මුරලිදරන් ලකුණු 69ක් ලබා සිටි හූපර් දවා ගත්තා.

ඉන් නොනැවතුණු මුරලිදරන් ලකුණු 178ක් ලබා ගෙන සිටි ලාරා දවාගැනීමත් සමඟින් කොදෙව් ඉනිමේ කඩුලු පෙරහර ආරම්භ වුණා. එදා කොදෙව්වන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 25ක් තුළ දැවී ගිය නිසා ඔවුන්ට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 448ක් පමණ යි. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මුරලිදරන් ලකුණු 126කට කඩුලු 6ක් බිඳ දමද්දී ඔහුට අගනා සහායක් ලබා දුන් වාස් කඩුලු 4ක් දවා ගත්තා.

මුරලිදරන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

 

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 103ක් ලබා ගෙන සිටියා. තරගයේ තෙවන දිනයේ දිවා ආහාරයට පෙර ලකුණු 61ක් ලබාගෙන සිටි මාවන් අතපත්තු දැවීයාමත් සමඟ පිටියේ එක් වුණු මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 162ක වටිනා සබඳතාවක් ගොඩනැගුවා.

එම වටිනා සබඳතාව නිමා කරමින් ලකුණු 99ක් ලබාගෙන සිටි මහේල අවාසනාවන්ත අයුරින් දුවද්දී දැවී ගියා. එලෙස මහේල දැවීගියත් දිනය නිමා වන තුරු නොදැවී කඩුල්ලේ රැඳී සිටි සංගක්කාර අගනා ලකුණු 126ක් ලබා ගත්තා. එනිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 343/3 ලෙසින් දිස්වුණා. 

සංගක්කාරගේ අගනා ඉනිමේ අවස්ථාවක් -gettyimages.com

 

සිව්වන දිනයේ දිවා ආහාරයට පෙර ආනල්ඩ් සහ සංගක්කාර යන පිතිකරුවන් දැවී ගිය නිසා ශ්‍රී ලංකා ඉනිම 395/5 බවට පත් වුණා. එහි දී සංගක්කාර ලකුණු 140කට දුවද්දී දැවී යාම බලවත් පාඩුවක් වුණා.

එලෙස කොදෙව්වන් යළි තරගයට අවතීර්ණ වන්නට උත්සාහ දැරූ මොහොතක ක්‍රියාත්මක වුණු හෂාන් තිලකරත්න සහ තිලාන් සමරවීර හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 154ක් එකතු කළා. ඒ අයුරින් හෂාන් සහ තිලාන් ක්‍රීඩා කළ ඉනිම් නිසා ශ්‍රී ලංකා පළමු ඉනිම 590/9 ලෙසින් නිමාව දුටුවා. එදා වටිනා ඉනිමක් ක්‍රීඩා කළ හෂාන් නොදැවී ලකුණු 105ක් ලබා ගනිද්දී තිලාන් ලකුණු 77ක් වාර්තා කළා. 

හෂාන් ශතකය සම්පූර්ණ කළ අවස්ථාව – gettyimages.com

 

ලකුණු 142ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ කොදෙව්වන් සිව්වන දිනය නිමා වෙද්දී කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබා ගෙන සිටියා. තරගයේ අවසන් දිනය ආරම්භයේ හොඳින් පන්දුවට පහර දුන් ඩැරන් ගංගා සහ රාම්නරේෂ් සර්වාන් කොදෙව් ලකුණු පුවරුව 70/1 දක්වා ඉහළ දැමුවා.

ඒ මොහොතේ ලකුණු 33ක් ලබා සිටි ගංගා, බණ්ඩාරතිලකගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟ ම කොදෙව් ඉනිමේ කඩා වැටීම ආරම්භ වුණා. ඉන් අනතුරුව මුරලිදරන්ගේ ග්‍රහණයට යළිත් හසුවුණු කොදෙව්වන්ට සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 144ක් පමණ යි. එහි දී සුපිරි පන්දු යැවීමක නිරත වුණු මුරලිදරන් ලකුණු 44කට කඩුලු 5ක් දවාගන්නා විට වාස් සහ බණ්ඩාරතිලක අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සර්වාන්ට එරෙහි ව ප්‍රබල ඉල්ලීමක් කරමින්- gettyimages.com

 

ඉන් පසුව ලකුණු 3ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් හිමි වුණා. එදා සමස්ත තරගය පුරාවට පන්දුවෙන් සුපිරි දස්කම් දක්වමින් ලකුණු 170කට කඩුලු 11ක් දවාගත් මුරලිදරන්ට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. 

මුරලිදරන් හමුවේ කොදෙව්වන් යළිත් අසරණයි

මහනුවර අස්ගිරිය පිටියේ දී පැවති දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක සනත් ජයසූරියපන්දුවට පහරදීමට  මුලින් ම තීරණය කළා. විටින් විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණු නිසා ශ්‍රී ලංකා පළමු ඉනිම දින දෙකකට වැඩි කාලයක් ක්‍රියාත්මක වුණා.

ඒ අනුව තෙවන දිනයේ දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 288කට නිමාව දුටුවා. එහි දී දක්ෂ ලෙස පන්දුවට පහර දුන් මහේල සහ හෂාන් පිළිවෙළින් ලකුණු 88ක් සහ 87ක් ලබා ගත්ත ද සෙසු පිතිකරුවන්ට දස්කම් අතරට පිවිසීමට හැකියාවක් ලැබුණේ නැහැ. එදා කොදෙව්වන් වෙනුවෙන් පෙඩ්‍රෝ කොලින්ස් කඩුලු 4ක් බිඳ දමද්දී ඩිලන් සහ රාම්නරීන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

මහේලගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ කොදෙව්වන් තරගයේ තෙවන දිනය නිමා වෙද්දී කඩුල්ලක් දැවී ලකුණු 39ක් ලබා ගෙන සිටියා. සිව්වන දිනය ආරම්භයේ දී මැනවින් පන්දු යැවූ සොයිසා සහ මුරලිදරන් කොදෙව් ලකුණු පුවරුව 72/3 බවට පත් කළා. නමුත් ඉන් නොසැලුණු ලාරා සහ ලකුණු 54ක සබඳතාවක් ගොඩනගමින් කොදෙව් ලකුණු පුවරුව 126/3 දක්වා ඔසවා තැබුවා.

තරගය දෙපිලට ම විවෘත ව පැවති එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු මුරලිදරන් ලකුණු 23ක් ලබා ගෙන සිටි හූපර්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟින් කොදෙව් ඉනිම අඩපණ වුණා. එනිසා කොදෙව් ඉනිම ලකුණු 191කට සීමා වුණා. එහි දී ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 24කට බිඳ වැටීම සුවිශේෂී සිදුවීමක් වුණා. කොදෙව් පිතිකරුවන් එලෙස එකා පිට එකා දැවී යද්දී සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ලාරා ලකුණු 74ක් ලබා ගත්තා. පන්දුවෙන් දස්කම් දැක්වූ මුරලිදරන් සහ වාස් කඩුලු 4 බැගින් දවා ගත්තා.

සොයිසාගේ පන්දුවක් හමුවේ ගේල් දැවීගිය අවස්ථාව – gettyimages.com

 

සිව්වන දිනයේ දී සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් දිනය නිමා වෙද්දී කඩුල්ලක් දැවී ලකුණු 128ක් ලබාගෙන සිටියා. තරගයේ අවසන් දිනයේ දී වේගයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 20කදී ලකුණු 96ක් ලබා ගත්තා. එනිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 224/6 බවට පත්වුණා. ඒ සමඟ ම ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවමින් කොදෙව්වන්ට ලකුණු 322ක ඉලක්කයක් ලබා දුන්නා.

දිවා විවේකයට පෙර සිය දෙවන ඉනිම ආරම්භ කළ කොදෙව්වන් මුරලිදරන්ගේ සුපිරි පන්දු යැවීම ඉදිරියේ යළිත් වරක්  අන්ත අසරණ තත්ත්වයකට පත්වුණා. එහිදී ඔවුන්ට සියලු දෙනා ම දැවී දවාගැනීමට හැකිවුණේ ලකුණු 190ක් පමණ යි. එහි දී කොදෙව් අවසන් කඩුලු 4 ලකුණු 5ක් තුළ බිඳ වැටීම සුවිශේෂී සිදුවීමක් වුණා. එදා කොදෙව්වන් හමුවේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු මුරලිදරන් ලකුණු 81කට කඩුලු 6ක් දවා ගත්තා.

මුත්තයියා මුරලිදරන් – gettyimages.com

 

ඒ අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 131ක ජයග්‍රහණයක් ලබා ගත් අස්ගිරිය ටෙස්ට් තරගයේ දී ජයග්‍රහණයේ නියමුවා වුණු මුරලිදරන් සමස්ත තරගය පුරාවට ලකුණු 135කට කඩුලු 10ක් බිඳ දැමුවා. එනිසා ඔහුට යළිත් වරක් තරගයේ වීරයේ සම්මානය හිමිවුණා. 

වාස්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ තවත් විශිෂ්ට ටෙස්ට් තරග ජයක් 

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති අවසන් ටෙස්ට් තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය හිමි කර ගෙන තිබුණා. එනිසා කොදෙව්වන් සිය ගෞරවය බේරා ගැනීමේ අරමුණෙන් එම තරගයට අවතීර්ණ වුණා. එදා කාසියේ වාසිය දිනා ගෙන පන්දුවට  මුලින් ම පහරදුන් කොදෙව්වන් පළමු දිනය නිමාවට පත්වන විට කඩුලු 3ක් දැවී ලකුණු 327ක් ලබා ගෙන ප්‍රබල ස්ථානයක පසුවුණා. එහි දී සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ලාරා නොදැවී ලකුණු 178ක් ලබා ගෙන සිටියා. ලාරාට අගනා සහායක් ලබාදුන් සර්වාන් ලකුණු 69ක් වාර්තා කළා. ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 194ක සබඳතාවක් ගොඩනැඟීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

ලාරාගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

දෙවන දිනයේ දී තරගයට අවතීර්ණ වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් කොදෙව් ඉනිම ලකුණු 390කට සීමා කළා. එහි දී ලාරා ලකුණු 221ක් ලබාගෙන සිය ටෙස්ට් තරග දිවියේ සිව්වන ද්විත්ව ශතකය වාර්තා කළා. එදා කොදෙව් ඉනිම සුණුවිසුණු කළ චමින්ද වාස් ලකුණු 120කට කඩුලු 7ක් දවාගෙන සුපිරි පන්දු යැවීමක නිරත වුණා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 193ක් ලබාගෙන සිටියා.

එහි දී නායක ජයසූරියගේ පිත්තෙන් අගනා ලකුණු 85ක් වාර්තා වුණා. එදා ශ්‍රී ලංකා පිතිකරුවන් තවත් දින 1 1/2ක් පන්දුවට පහරදෙමින් කොදෙව්වන් අන්ත අසරණ තත්ත්වයකට පත් කළා. අවසානයේ දී සිව්වන දිනයේ දිවා ආහාරයෙන් පසුව තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 627/9 ලෙසින් සටහන් වුණා. එදා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හෂාන් නොදැවී ලකුණු 204ක් වාර්තා කරද්දී ජයසූරිය, සමරවීර, ආනල්ඩ් සහ සංගක්කාර අර්ධ ශතක ලබා ගත්තා. 

හෂාන් පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 237ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ කොදෙව්වන් දැඩි අධිෂ්ඨානයකින් පන්දුවට පහර දුන්නා. එනිසා එක් අවස්ථාවක කොදෙව් ලකුණු පුවරුව 203/3 බවට පත්ව තිබුණා. නමුත් පන්දුවෙන් යළිත් වරක් දස්කම් දැක්වූ චමින්ද වාස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳ ම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 71කට කඩුලු 7ක් දවාගත්තා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්  කොදෙව් ඉනිම ලකුණු 262කට සීමා වුණා. එදා කොදෙව්වන් වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වුණු ලාරා අගනා ලකුණු 130ක් වාර්තා කළා. සමස්ත තරගයේ දී ලකුණු 191කට කඩුලු 14ක් ලබාගත් වාස් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නකු ටෙස්ට් තරගයක දී සිදු කළ හොඳ ම පන්දු යැවීම වාර්තා කළා. එහි දී වාස් අතින් ඔහුගේ ම පැරණි වාර්තාවක් බිඳ වැටීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඊට පෙර වාස් 1995 නේපියර් ටෙස්ට් තරගයේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 90කට දවා ගෙන එම වාර්තාව පිහිටුවා තිබුණා.

චමින්ද වාස් – gettyimages.com

 

ඉන් පසුව ලකුණු 26ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළා. තරගය පුරාවට සුපිරි පන්දු යැවීමක නිරත වුණු චමින්ද වාස්ට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. කොදෙව්වන් ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙසින් පරාජයට පත්වෙද්දී පවා සුපිරි පිතිහරඹයක නිරත වුණු බ්‍රයන් ලාරා තරගාවලිය පුරාවට ලකුණු 688ක් ලබා ගැනීමට සමත් වුණා. එනිසා ඔහුට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා. 

කවරයේ ඡායාරූපය- තරගාවලියේ කැපී පෙනුණු ශ්‍රී ලංකා පිතිකරු හෂාන් - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com 

howstat.com 

Related Articles