Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ශූරයින් හැඬවූ මෙක්සිකෝවේ සුපිරි තරුව

පාපන්දු ලෝක ශූරයින් ලෙසින් මෙවර ලෝක කුසලානයට සහභාගී වූ ප්‍රබල ජර්මානු කණ්ඩායමට මෙවර ඔවුන් මුහුණදුන් පළමු තරගයේදී ම නොසිතූ පරාජයකට මුහුණදීමට සිදුවිය. ඒ මෙක්සිකෝවට එරෙහිවයි. පසුගිය 17 වැනි දින රුසියාවේ මොස්කව් නගරයේ දී එම තරගය පැවැත්වුනේ F කාණ්ඩයේ තරගයක් ලෙසිනි. මුල සිටම ආක්‍රමණශීලීව ක්‍රීඩා කල මෙක්සිකෝ ක්‍රීඩකයින් ප්‍රථම භාගයේ දී තරඟයේ පාලනය සියතට ගැනීමට සමත්විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් තරඟයේ 35 වැනි මිනිත්තුවේ දී මෙක්සිකෝවේ ඉදිරිපෙළ ක්‍රීඩක, 22 හැවිරිදි, හර්වින් ලොසානෝ විසින් විශිෂ්ට ගෝලයක් වාර්තා කිරීමට සමත්විය.

 “ඔචෝආ විසින් වළක්වන ලද ටෝනි කෲස්ගේ විශිෂ්ට නිදහස් පහර” (Getty Images)

ඉන්පසු තරගය අවසන් වන තෙක්ම ගෝල වාර්තා කිරීමට ප්‍රබල ජර්මානු කණ්ඩායම උත්සාහ කළද එම සියලුම උත්සාහයන් ව්‍යර්ථ කිරීමට මෙක්සිකෝවේ දැල් රකින ක්‍රීඩක ගුලෙර්මෝ ඔචෝආ ප්‍රමුඛ මෙක්සිකෝ ක්‍රීඩකයින්ට හැකිවිය. ඒ අනුව තරගය ගෝල 1-0 ක් ලෙසින් ජයගනිමින් සමස්ත ලෝකයම පුදුමයට පත්කිරීමට ඔචෝආ ඇතුළු මෙක්සිකෝ ක්‍රීඩකයින්ට හැකිවිය. එම තරඟයේ දී ඔචෝආ විසින් ජර්මානු ක්‍රීඩකයින් විසින් එල්ල කරන ලද ලද පහරවල් 9 ක් වළක්වාලීමට සමත්විය. එයට ජර්මනියේ ටෝනි කෲස් විසින් එල්ල කරන ලද විශිෂ්ට නිදහස් පහර විශිෂ්ට ආකාරයෙන් වළක්වාලීම ද ඇතුලත් ය. අද “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් සාකාච්ඡා කරන්නේ ලෝකයේම අවධානය දිනාගත් මෙක්සිකෝවේ දැල් රකින්නා වන ගියෙර්මෝ ඔචෝආ (Guillermo Ochoa) ගැනයි.

2014 පාපන්දු ලෝක කුසලානය

ඔචෝආ ප්‍රථමයෙන්ම ලෝක ප්‍රසිද්ධ වන්නේ 2014 පාපන්දු ලෝක කුසලානයේදී ය. එහිදී A කාණ්ඩයෙන් ක්‍රීඩා කල මෙක්සිකෝ කණ්ඩායම සමඟින් A කාණ්ඩයේ ක්‍රීඩා කරන ලද අනෙකුත් රටවල් වූයේ සත්කාරක, ප්‍රබල බ්‍රසීලය, ක්‍රොයේෂියාව සහ කැමරූනයයි.

බ්‍රසීලයට එරෙහිව

2014 පාපන්දු ලෝක කුසලානයේ මෙක්සිකෝව සහභාගී වූ දෙවැනි තරඟය 2014 ජූනි මස 18 වැනි දින පැවැත්වුණේ සත්කාරක බ්‍රසීලය සමඟින්ය. එම තරඟයේ දී තමා කවුදැයි ලොවට පෙන්වූ ඔචෝආ එම තරගය පුරාම සිය අණසක පැතිරවීමට සමත්විය. සත්කාරක වාසියත් සමඟින් තරගයේ ජය පහසුවෙන්ම බ්‍රසීලය සතු වනු ඇති බවට බොහෝ ක්‍රීඩා ලෝලීන් විශ්වාස කළද ඔචෝආ ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් එම තරඟය 0-0 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමාවිය.

“ඔචෝආ විසින් වළක්වන ලද නේමාර්ගේ ප්‍රහාරය” (Action Images)

එම තරඟයේ දී බ්‍රසීලය විසින් එල්ල කරන ලද, ගෝල බවට පරිවර්තනය විය යුතු පහරවල් කිහිපයක්ම ඔචෝආ විසින් වළක්වන ලදී. බ්‍රසීලයේ නේමාර් විසින් හිසෙන් එල්ල කරන ලද පහරක් ඔචෝආ විසින් වළක්වාලූ අතර එය, ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම වළක්වාලීම් කිහිපය අතරට ද එක්විය. තරගයෙන් අනතුරුව එවකට බ්‍රසීලයේ පුහුණුකරු ලුයිස් ෆෙලිප් ස්කොලාරි ද ඇතුළුව බොහෝ දෙනා ඔචෝආ ගේ දස්කම් අගය කරන ලදී. එම තරගයේදී වීරයා සම්මානයෙන් ද ඔචෝආ පිදුම් ලැබීය.

“මේක මගේ ජීවිතයේ හොඳම තරගය. සත්කාරක රටකට එරෙහිව ඔවුන්ගේම ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ මේ විදියට දස්කම් දක්වන්න ලැබීම ලොකු සතුටක්”

තරගයෙන් අනතුරුව ඔචෝආ විසින් ප්‍රකාශ කරන ලදී. 2014 ලෝක කුසලානයේ මූලික වටයේ මෙක්සිකෝව සහභාගී වූ අනෙකුත් තරඟ ද්විත්වයෙන් ද 1-0 (කැමරූනයට එරෙහිව) සහ 3-1 ක් (ක්‍රොයේෂියාවට එරෙහිව) ලෙසින් ජයගත් මෙක්සිකෝව අවසාන 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය. මූලික වටයේ එම තරග දෙකේදී ද ඔචෝආගේ දස්කම් කැපී පෙනුණි.

නෙදර්ලන්තයට එරෙහිව

 “නෙදර්ලන්තයට එරෙහිව දස්කම් දක්වමින්” (EPA)

ප්‍රබල රටවල් වලට දස්කම් දැක්වීම ඉදිරියටම ගෙනගිය ගුලෙර්මෝ ඔචෝආ 16 දෙනාගේ වටයේ දී ප්‍රබල නෙදර්ලන්තයට එරෙහිව ද විශිෂ්ට හැකියාවන් ප්‍රදර්ශනය කරන ලදී. 2014 ජූනි 29 වැනි දින බ්‍රසීලයේ දී පැවති එම තරඟයේ 48 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට මෙක්සිකෝවේ ජිඔවානි ඩොස් සැන්ටොස් සමත්විය. අවසන් මිනිත්තු කිහිපය වන තෙක්ම නෙදර්ලන්ත ක්‍රීඩකයින්ට ගෝල වාර්තා කිරීමට ඔචෝආ විසින් අවකාශ ලබා නොදුන්නද තරඟයේ 88 සහ 90+4 (දඬුවම් පහරකි) මිනිත්තු වලදී නෙදර්ලන්තයේ වෙස්ලි ශ්නයිඩර් සහ ක්ලාස් යාන් හුන්ටලාර් විසින් ගෝල දෙකක් වාර්තා කලෙන් තරගයෙන් 2-1 ක් ලෙසින් ජය ලබමින් අර්ධ අවසන් පූර්ව වටය වෙත ප්‍රවිෂ්ට වීමට නෙදර්ලන්තයට හැකිවිය. තරඟයෙන් මෙක්සිකෝ කණ්ඩායම පරාජය වූවද ඔචෝආ විසින් ප්‍රදර්ශනය කරන ලද විශිෂ්ට දස්කම් හේතුවෙන් එම තරගයේදී ද තරගයේ වීරයා සමානය ඔචෝආට හිමිවිය.

ලෝක කුසලානයෙන් පසු

“කේලර් නවාස් (වමේ) සහ ඔචෝආ (දකුණේ)” (Getty Images)

2014 ලෝක කුසලානයේ දී මතුවූ දැල් රකින්නන් අතුරින් චිලී දේශයේ ක්ලවුඩියෝ බ්‍රාවෝ, කොස්ට රිකාවේ කේලර් නවාස් සහ මෙක්සිකෝවේ ඔචෝආ කැපී පෙනුණි. බොහෝ ක්‍රීඩා ලෝලීන් අපේක්ෂා කළ පරිදි මෙම දැල් රකින්නන් තිදෙනාටම ඔවුන් පෙර නියෝජනය කල ක්‍රීඩා සමාජ වලට වඩා හොඳ ක්‍රීඩා සමාජ වල දොරටු විවර වීය. ස්පාඤ්ඤයේ ක්‍රීඩා සමාජ වන බාර්සිලෝනා කණ්ඩායම බ්‍රාවෝ ද, රියල් මැඩ්රිඩ් කණ්ඩායම නවාස් ද, මලගා කණ්ඩායම ඔචෝආ ද සිය කණ්ඩායම් වලට එකතුකරගන්නා ලදී.

නමුත් ඒ අතරින් බ්‍රාවෝ සහ නවාස් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්වූවද ඔචෝආට සැලකිව යුතු දස්කම් දැක්වීමට නොහැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් 2016 වසරේ දී ග්‍රනාඩා කණ්ඩායම සමඟින් එකතුවීමට ඔචෝආට සිදුවූයේ ණය හුවමාරුවකටයි. (Loan) මේ වනවිට බෙල්ජියමේ ස්ටෑන්ඩර්ඩ් ලිඒස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ඔචෝආ 2017/18 තරඟ සමයේ දී බෙල්ජියානු කුසලානය (පිලිමළුන් පිටුදැකීමේ තරඟාවලිය) දිනූ ස්ටෑන්ඩර්ඩ් ලිඒස් කණ්ඩායමේ ද ප්‍රබල සාමාජිකයෙකි. ඉදිරි තරග​ සමය සඳහා යුරෝපයේ ප්‍රබල ක්‍රීඩා සමාජයකට ඔචෝආ ඇතුලත් වනු ඇති බවට ද විවිධ ඉඟි ලැබෙමින් තිබේ.

ජාතික කණ්ඩායම වෙනුවෙන්

“2015 උතුරු ඇමෙරිකානු රන් කුසලානය දිනූ ඔචෝආ ඇතුළු මෙක්සිකෝ කණ්ඩායම” (AP Photo/Michael Perez)

ක්‍රීඩා සමාජ මට්ටමෙන් උපරිම තලයට පැමිණීමට නොහැකි වූවද කවදත් ජාතික මට්ටමේ තරගවලදී සිය උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කල ඔචෝආ මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ වලදී දස්කම් දක්වමින් මෙක්සිකෝව මෙවර ලෝක කුසලානය වෙත ගෙන ඒමට අතිමහත් සේවයක් ඉටු කලේය. 1985 වසරේ ජූලි 13 වැනි දින උපත ලබා ඇති ඔචෝආ වයස අවුරුදු 20 සිටම මෙක්සිකෝ ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබයි. මෙක්සිකෝව විසින් ජයග්‍රහණය කරන ලද 2009 සහ 2015 උතුරු ඇමරිකානු රන් කුසලාන තරඟාවලි දෙකම නියෝජනය කිරීමට ඔචෝආට හැකිවිය. 2018 සහ 2014 ට අමතරව 2006 සහ 2010 පාපන්දු ලෝක කුසලාන තරගාවලිවලදී ද මෙක්සිකෝව නියෝජනය කරන්නට ඔචෝආට හැකිවිය. මේ දක්වා ජාත්‍යාන්තර තරඟ 94 කදී මෙක්සිකෝව නියෝජනය කිරීමට ඔචෝආ ට හැකිවී තිබේ.

පුද්ගලික ජීවිතය

“ඔචෝආ සිය බිරිඳ සහ දියණිය සමඟින්” (muzul.com)

පුද්ගලික ජීවිතයේ දී ඉතා සුහදශීලී චරිතයක් වන ඔචෝආ ඉතා නිහතමානී ක්‍රීඩකයෙකු ලෙසින් ද ප්‍රසිද්ධයි. ඔචෝආ විවාහ වී සිටින්නේ මෙක්සිකානු නිරූපිකාවක් වන කාර්ලා මෝරා සමඟින්ය. මේ වනවිට ඔවුන් දෙදෙනාට 5 හැවිරිදි දියණියක් සහ 3 හැවිරිදි පුත්‍රයෙක් සිටී. ඉඩලද සෑම අවස්ථාවකදීම සිය පවුලත් සමඟින් කාලය ගත කිරීමට ඔචෝආ දැඩි කැමැත්තක් දක්වයි.

ඉදිරි තරග

මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ දී තවත් තරග දෙකකට ඔචෝආ ඇතුළු මෙක්සිකෝ කණ්ඩායම සහභාගී වේ. ජූනි මස 23 වැනිදා දකුණු කොරියාව සමඟිනුත් ජූනි මස 27 වැනිදා ස්වීඩනය සමඟිනුත් ය. මේ වනවිටත් අවසාන 16 දෙනාගේ වටය පිළිබඳ ඉහලින්ම බලාපොරොත්තු තබා සිටින මෙක්සිකෝවට එයින්ද ඉදිරියට ගමන් කිරීමට හැකියාව තිබෙන බව ක්‍රීඩා ලෝලීයෝ විශ්වාස කරන අතර ඒ සඳහා ඔචෝආගෙන් අනගි සහයක් ලැබෙනු ඇතැයි ද ඔවුන් විශ්වාස කරනු ලබයි.

Cover – sports.yahoo.com

Related Articles