Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2008 බීජිං ඔලිම්පික් උළෙලේ ඇමරිකානු දිය කිඳුරා

1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ දී ලෝක වාර්තා හතක් සමගින් රන් පදක්කම් 7ක් දිනාගැනීමට ඇමරිකානු පිහිනුම් ශූර මාක් ස්පිට්ස් සමත්වුණා. එදා ස්පිට්ස් ලබාගත් රන් පදක්කම් 7 තනි ඔලිම්පික් තරගාවලියක දී යම් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ලබාගත් වැඩිම රන් පදක්කම් ප්‍රමාණය ලෙසින් වසර 36ක් වාර්තා අතර රැඳී පැවතුණා. නමුත් එලෙස ස්පිට්ස් තබා තිබුණු සුපිරි ඔලිම්පික් වාර්තාව 2008 ඔලිම්පික් තරගාවලියේ දී බිඳ දැමීමට සමත්වුණේ ඔහුගේම රටින් බිහිවුණු පිහිනුම් ශූරයෙක්. නමින් මයිකල් ෆෙල්ප්ස් වුණු ඔහු ලෝක වාර්තා 7ක් සහ ඔලිම්පික් වාර්තාවක් සමගින් රන් පදක්කම් 8ක් ලබාගත්තේ ඔලිම්පික් ඉතිහාසය තුළ සිය නාමය රන් අකුරින් සටහන් කරගනිමින්.

මීටර් 200 නිදහස් ආර ඉසව්ව 

2004 ඇතැන්ස් ඔලිම්පික් තරගාවලියේ දී මෙම ඉසව්වේ රන් පදක්කම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඉයන් තෝප්ට හිමිවන විට ෆෙල්ප්ස්ට ලෝකඩ පදක්කමින් සෑහීමකට පත්වීමට සිදුවුණා. එම නිසාම ෆෙල්ප්ස් 2008 බීජිං ඔලිම්පික් තරගාවලියේ දී මෙම ඉසව්ව ජයග්‍රහණය කිරීම සඳහා තරග බිමට පිවිසියා. එහිදී මූලික වටය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට ෆෙල්ප්ස් සමත්වුණත් දෙවන අවසන් පූර්ව තරගයේ දී ඔහුට ලබාගැනීමට හැකිවුණේ තෙවන ස්ථානය යි. නමුත් අවසන් තරගයේ දී යළි සුපුරුදු රිද්මයට පිවිසි ෆෙල්ප්ස් රන් පදක්කම දිනාගත්තේ නව ලෝක වාර්තාවක් පිහිටුවමින්. 

ෆෙල්ප්ස් ජයග්‍රහණය ලබාගත් අවස්ථාව (gettyimages)

මීටර් 100 සමනල ආර ඉසව්ව 

2008 බීජිං ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 සමනල ආර ඉසව්ව සඳහා පෙල්පස් තරගවදින විට එම ඉසව්වේ ලෝක වාර්තා ලාභියා වුණු ඉයන් ක්‍රෝකර් ද එම ඉසව්ව සඳහා තරගවැදුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු මෙම ඉසව්වේ පළමු වටය අවසන් වන විට නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට සර්බියානු ක්‍රීඩක සැවික් සමත්වුණා. අවසන් පූර්ව වටයේ දීත් ෆෙල්ප්ස්ට වඩා හොඳ කාලයක් වාර්තා කළ සැවික් සුපිරි දස්කම් දැක්වූයේ ෆෙල්ප්ස්ට ප්‍රබල අභියෝගයක් වෙමින්. බලාපොරොත්තු වුණු පරිදිම අවසන් තරගයේ දී ෆෙල්ප්ස්ට සැවික්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල කළත් ෆෙල්ප්ස් රන් පදක්කම දිනාගත්තේ නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින්. එහිදී ෆෙල්ප්ස් තත්පර 50.58කින් ඉසව්ව නිමාකරන විට තත්පර 50.59ක කාලයක් වාර්තා කළ සැවික්ට රිදී පදක්කම හිමිවුණා. එලෙස ලබාගත් ජයග්‍රහණයත් සමගින් මෙම ඉසව්ව පිට පිටම ඔලිම්පික් තරගාවලි 2ක දී ජයග්‍රහණය කළ මුල්ම ක්‍රීඩකයා බවට පත්වීමට ෆෙල්ප්ස්ට අවස්ථාවක් ලැබුණා.

ෆෙල්ප්ස් රන් පදක්කම ලබාගත් මොහොත  (gettyimages)

මීටර් 200 සමනල ආර ඉසව්ව 

ෆෙල්ප්ස් තරග කළ ඉසව් අතුරින් ඔහු වඩාත් ප්‍රිය කළ ඉසව්වක් ලෙස මීටර් 200 සමනල ආර ඉසව්ව හැඳින්වීමට පුළුවන්. මෙම ඔලිම්පික් තරගාවලිය ආරම්භ වන විටත් මෙම ඉසව්වේ ලෝක වාර්තා ලාභියා ලෙස වැජඹීමට ෆෙල්ප්ස් වාසනාවන්ත වුණා. එම නිසා කිසිදු අභියෝගයකින් තොරව අවසන් තරගය දක්වා ගිය ෆෙල්ප්ස්ට කිසිදු ක්‍රීඩකයෙකුගෙන් සැලකිය යුතු තරම් අභියෝගයක් එල්ල වුණේ නැහැ. එලෙස ඉතාමත් පහසුවෙන් අවසන් තරගයට පිවිසි ෆෙල්ප්ස් අවසන් තරගයේ දී ඔහුගේ ම ලෝක වාර්තාව අලුත් කරමින් රන් පදක්කම දිනාගනු ලැබුවා.

ෆෙල්ප්ස් අවසන් තරගයේ දී තරගවදිමින්  (gettyimages)

මීටර් 200 මෙඩ්ලි ඒකල ඉසව්ව 

මෙඩ්ලි ඉසව්වේ දී තරගකරුවාට මීටර් 200ක දුර ප්‍රමාණය අවසන් කිරීමට සිදුවන්නේ ආර 4ම භාවිතා කරමින්. එහිදී මුල් මීටර් 50 සමනල ආර ඔස්සේ පිහිනන තරගකරුට දෙවන මීටර් 50 පිහිනීමට සිදුවන්නේ පසුපස ආරට යි. ඉන් පසුව තෙවන මීටර් 50 ළය ආර ඔස්සේ පිහිනන තරගකරුවා එය අවසන් කළ යුත්තේ නිදහස් ආරට යි. එම නිසා මෙම මෙඩ්ලි ඒකල ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට නම් ක්‍රීඩකයාට ආර 4ම හොඳින් පිහිනීමේ හැකියාව තිබිය යුතුයි. එදා බීජිං ඔලිම්පික් තරගාවලියට අවතීර්ණ වන විටත් මෙම ඉසව්වේ ලෝක වාර්තාව මෙන්ම ඔලිම්පික් වාර්තාව ෆෙල්ප්ස්ගේ නම ඉදිරියේ සටහන් වී තිබුණා. එම නිසා 2008දී ත් ඉතාමත් පහසුවෙන් මෙම ඉසව්ව ජයග්‍රහණය කළ ෆෙල්ප්ස් එහිදී විනාඩි 1:54.23ක කාලයක් වාර්තා කළේ නව ලෝක වාර්තාවක් පිහිටුවමින් 

ෆෙල්ප්ස් මීටර 200 මෙඩ්ලි ඉසව්වේ රන් පදක්කම සමගින් (gettyimages)

මීටර් 400 මෙඩ්ලි ඒකල ඉසව්ව 

මීටර් 400 මෙඩ්ලි ඒකල ඉසව්වේ දී තරගකරුවෙකුට ආර 4ම භාවිතා කරමින් මීටර් 100 බැගින් පිහිනීමට සිදුවනවා. මෙම ඉසව්ව ආරම්භ කරන විටත් ලෝක සහ ඔලිම්පික් වාර්තාවල හිමිකරුවා බවට පත්ව සිටි ෆෙල්ප්ස් විනාඩි 4:03.84ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගත්තේ නව ලෝක වාර්තාවක් පිහිටුවමින්. එහිදී ෆෙල්ප්ස් සහ රිදී පදක්කම දිනාගත් හංගේරියානු ක්‍රීඩකයා අතර තත්පර 2කට වැඩි කාල වෙනසක් දක්නට ලැබුණා.

 ෆෙල්ප්ස් මීටර් 400 මෙඩ්ලි ඉසව්ව ජයග්‍රහණය කරමින්(gettyimages)

මීටර් 100×4 නිදහස් ආර සහාය ඉසව්ව 

2004 ඇතන්ස් ඔලිම්පික් තරගාවලියේ දී ඇමරිකානු කණ්ඩායමට මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිව තිබුණා. ඔවුන් අවසන් වරට මෙම ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් ව තිබුණේ 1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේ දී යි. 2008 බීජිං ඔලිම්පික් තරගාවලියේ දී මෙම ඉසව්වෙන් ඇමරිකාවට ප්‍රබලම අභියෝගයක් එල්ල කළ කණ්ඩායම් 2ක වුණේ ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව යි. ඉතාමත් තියුණු තරගයක් පැවැත්වුණු මෙම ඉසව්වේ අවසන් තරගයේ පළමු මීටර් 100 අවසන් වන විට පෙරමුණේ පසුවුණේ ඕස්ට්‍රේලියාව යි. එහිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු මීටර් 100 තරග කළේ ඒමන් සලිවන් විසින්. නමුත් තරගයේ දෙවන මීටර් 100 අවසන් වන විට ඇමරිකානුවන් තරගයේ පෙරමුණ ගනිද්දී ප්‍රංශය දෙවන ස්ථානයට පැමිණියා. තරගයේ තෙවන මීටර් 100 සඳහා ඇමරිකානු ක්‍රීඩක ජෝන්ස් තත්පර 47.65ක කාලයක් ගතකරන විට ප්‍රංශ ක්‍රීඩක බොස්කට් ඒ සඳහා තත්පර 46.63ක කාලයක් ගතකළේ තරගයේ මීටර් 300ක් අවසන් වන විට ප්‍රංශය පෙරමුණේ තබමින්. ඒ අනුව අවසන් මීටර් 100දී ප්‍රංශය වෙනුවෙන් මීටර් 100 නිදහස් ආර ඉසව්වේ ලෝක  වාර්තා ලාභී ඇලේන් බර්නාඩ් තරග කිරීමට නියමිතව සිටින විට ඇමරිකාව වෙනුවෙන් තරග කිරීමට නියමිතව සිටියේ ජේසන් ලිසැක් නම් ක්‍රීඩකයා යි. එම නිසාම ප්‍රංශය රන් පදක්කම දිනාගනු ඇතැයි බොහෝදෙනෙකු සිතා සිටියත් අවසන් මීටර් 100 තුළ බර්නාඩ්ට වඩා තත්පර 0.67ක කාලයක් ඉදිරියෙන් සිටි ලිසැක් ලෝක වාර්තාවක් තබමින් තරගය නිමා කළා. එහිදී ඇමරිකාව රන් පදක්කම දිනාගත්තේ සමස්ත තරගයේ දී ප්‍රංශයට වඩා තත්පර 0.08ක් ඉදිරියෙන් සිටිමින්.

ඇමරිකානු කණ්ඩායම ජයග්‍රහණය කළ මොහොත (gettyimages)

මීටර් 200×4 නිදහස් ආර සහාය ඉසව්ව 

මයිකල් ෆෙල්ප්ස්, රයන් ලොක්ටි, සහ පීටර් වැන්ඩකායි යන ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනාම සිටි ඇමරිකානු කණ්ඩායමට අභියෝග කිරීමට තරම් අනිකුත් කණ්ඩායම් ප්‍රබල මට්ටමක සිටියේ නැහැ. එම නිසාම මෙම ඉසව්ව ආරම්භයේ සිටම ඇමරිකාව ඉදිරියෙන් සිටියා. එහිදී පළමු මීටර් 200 තරගකළ ෆෙල්ප්ස් ලබාදුන් සාර්ථක ආරම්භය නිසා ඇමරිකානුවන් පහසුවෙන්ම රන් පදක්කම දිනාගත්තේ විනාඩි 6:58.56ක කාලයක් වාර්තා කරමින්. එදා ඇමරිකානුවන් එම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කළේ ඔවුන් විසින්ම 2007 වසරේ දී පිහිටුවා තිබුණු ලෝක වාර්තාව තත්පර 4කින් පමණ ඉදිරියට රැගෙනයමින්. 

ඇමරිකානුවන් රන් පදක්කම ලබාගනිමින් (gettyimages)

මීටර් 100×4 මෙඩ්ලි සහාය ඉසව්ව 

මෙඩ්ලි සහාය ඉසව්වේ දී පළමු මීටර් 100 පසුපස ආරට පිහිනන තරගකරු තරගයේ යෙදෙන අතර දෙවන මීටර් 100 තරගයේ යෙදෙන්නේ ළය ආරට පිහිනන තරගකරු යි. ඉන් පසුව තෙවන මීටර් 100 සමනල ආරට  පිහිනන තරගකරුවා තරගවදින විට තරගය අවසන් කරන්නේ නිදහස් ආරට පිහිනීමේ යෙදෙන තරගකරුවා විසින්. එදා තරගය සඳහා ඉදිරිපත් වුණු ඇමරිකානු කණ්ඩායමේ මීටර් 100 සමනල ආර රන් පදක්කම් ලාභී ෆෙල්ප්ස් මෙන්ම මීටර් 100 පසුපස ආර රන් පදක්කම් ලාභී ආරොන් ප්‍රීසල් ද සිටියා. ඔවුන්ට අමතරව කණ්ඩායමේ සිටි ජේසන් ලිසැක් මීටර් 100 නිදහස් ආර ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගෙන තිබුණා. නමුත් ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් ළය ආර මීටර් 100 පිහිනීමට සිටි බ්‍රෙන්ඩන් හැන්සන් එම දිනවල දස්කම් අතර සිටියේ නැහැ. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ පළමු මීටර් 100 අවසානයේ දී ඇමරිකාව පෙරමුණට පැමිණියේ ආරොන් ප්‍රීසල් දක්ෂ ලෙස තරග වැදීම නිසා යි. නමුත් ඉන්පසුව පැවති ළය ආර මීටර් 100 තුළ දී එම ඉසව්වේ ලෝක වාර්තා ලාභියා වුණු කොසුකි කිටජිමා මනරම් තරග රටාවක නිරතවීම නිසා ජපානය තරගයේ පෙරමුණ ගත්තා. නමුත් ඉන් පසුව සමනල ආර මීටර් 100 තුළ සුපුරුදු දස්කම් පෙන්වූ ෆෙල්ප්ස් තරගයේ වාසිය ඇමරිකාව දෙසට හරවා දුන්නා. එලෙස ඇමරිකාව දෙසට දෝලනය වුණු තරගය ලෝක වාර්තාවක් සමග අවසන් කළ ලිසැක් ෆෙල්ප්ස් ලබාගත් 8 වැනි රන් පදක්කම දිනාගැනීමට සිය දායකත්වය ලබාදුන්නා. 

කවරයේ ඡායාරූපය - ෆෙල්ප්ස් බීජිං ඔලිම්පික් උළෙලේදී  (gettyimages)

Related Articles