Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කඳුළු සලමින් පිටියෙන් ඉවත් වූ සලා ලෝක කුසලානයට ක්‍රීඩා කරයිද?

ඕනෑම ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෙකුගේ සිහිනය වන්නේ ලෝක කුසලාන තරඟාවලියකට ක්‍රීඩා කිරීමය. ක්‍රීඩා සමාජ මට්ටමෙන් ක්‍රීඩා කරන විට සිහිනය වන්නේ චැම්පියන්ස් ලීග් ශූරතාවය දිනා ගැනීමය. තමන්ගේ රට ලෝක කුසලාන තරඟාවලියකට සුදුසුකම් ලබා තිබියදී, ලෝක කුසලානය ආරම්භ වීමට සති 3 ක කාලයක් පමණක් ඉතිරිව තිබියදී ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වූවහොත්? තරඟ සමය පුරාවටම චැම්පියන්ස් ලීග් තරඟාවලියේ හොඳින් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම එහි අවසාන මහා තරඟය කරා ගෙන ඒමට විශාල දායකත්වයක් ලබාදුන් ක්‍රීඩකයෙක් චැම්පියන්ස් ලීග් අවසාන මහා තරඟයේ දී ආබාධයකට ලක්වූවහොත්? මෙලෙස අවාසනාවන්ත ලෙසින් ආබාධයට ලක්වූයේ ඊජිප්තුව සහ ලිවර්පූල් කණ්ඩායම නියෝජනය කරන මොහමෙද් සලා ය.

ආබාධයට ලක්වීම

“සලා ආබාධයට ලක්වූ අවස්තාව” (Peter Schatz)

මෙවර චැම්පියන්ස් ලීගයේ අවසාන මහා තරඟය පැවැත්වුනේ මැයි 26 වැනි දින යුක්රේනයේ කියෙව් නුවරදීය. තරඟය පැවැත්වුනේ ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම සහ එංගලන්තයේ ලිවර්පූල් කණ්ඩායම අතරයි.

මුල් විනාඩි කිහිපයේ දී ලිවර්පූල් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කල අතර එක වරම මොහමෙද් සලා පිටිය මැද ඇදවැටුණි. ඒ රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ නායක සර්ජියෝ රාමෝස් සමඟ පන්දුව ලබාගැනීමට කල උත්සාහයකදී ඔවුන් දෙදෙනාගේ දෑත් එකිනෙක පැටලීම නිසාය. ඉන්පසු ලිවර්පූල් කණ්ඩායමේ වෛද්‍ය ඒකකයේ පිරිස පැමිණ සලාට ප්‍රතිකාර කළහ. ඉන්පසු විනාඩි කිහිපයක් ක්‍රීඩා කල සලා නැවතත් පිටියේ දිගාවූයේ ඔහුගේ ආබාධය වඩාත් උග්‍ර වීම නිසාය. ඒ අනුව නැවතත් ලිවර්පූල් කණ්ඩායමේ වෛද්‍ය ඒකකයේ පිරිස ක්‍රීඩාංගනයට පැමිණි අතර සලා කඳුළු සලමින් ඔවුන් සමඟින් ක්‍රීඩාංගනයෙන් පිටව ගියේ ලිවර්පූල් කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්ගේ නෙතට කඳුලක් ගෙන දෙමිනි. ඒ තරඟයේ 30 වැනි මිනිත්තුවේදී ය.

සලා පිටියෙන් ඉවත්ව ගිය පසු

“ගැරත් බේල් වාර්තා කල විශිෂ්ට ගෝලය” (Sportskeeda.com)

සලා ලිවර්පූල් කණ්ඩායමේ සිටින හොඳම ක්‍රීඩකයාය. ඔහු පිටිය හැරගිය පසු තරඟයේ මුල් විනාඩි කිහිපයේ මෙන් ලිවර්පූල් කණ්ඩායම සුපුරුදු රිද්මයෙන් යුතුව ක්‍රීඩා කරනු දැකගත නොහැකි විය. එයින් උපරිම ප්‍රයෝජන ලබන්නට රියල් මැඩ්රිඩ් කණ්ඩායමට හැකි වූ අතර තරඟයේ 51 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට කරීම් බෙන්සෙමාට හැකිවිය. ඉන්පසු තරඟයේ 55 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් තරඟය සම මට්ටමට ගෙන ඒමට ලිවර්පූල් කණ්ඩායමේ සාඩියෝ මානේ ට හැකිවූ නමුත් 64 වැනි මිනිත්තුවේ දී රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ගැරත් බේල් ලබාගත් විශිෂ්ට ගෝලය සමස්ත ලිවර්පූල් කණ්ඩායම පසුපසට ඇද දැමීමට සමත්විය. එයින් නොනැවතුන ගැරත් බේල් 83 වැනි මිනිත්තුවේ දී ද ගෝලයක් වාර්තා කරනු ලැබුවේ රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ජයග්‍රහණය තරහවුරු කරමිනි. ඒ අනුව 3-1 ක් ලෙසින් තරඟය ජයගත් රියල් මැඩ්රිඩ් කණ්ඩායම පිට පිට තුන්වැනි වරටත් චැම්පියන්ස් ලීග් ශූරතාවය දිනාගැනීමට සමත්විය. රියල් මැඩ්රිඩ් කණ්ඩායම වාර්තා කල පළමුවැනි සහ තෙවැනි ගෝල දෙකම ලිවර්පූල් කණ්ඩායමේ දැල් රකින ක්‍රීඩක කේරියස්ගේ අතපසුවීම් නිසා ලබාගත් ගෝල වීම විශේෂත්වයකි.

සිද්ධියට ලැබුණ ප්‍රතිචාර

“යුර්ගන් ක්ලූප්” (liverpoolecho.co.uk)

තරඟය අවසන් වන්නටත් ප්‍රථම සලා ආබාධයට ලක්වීමේ සිද්ධිය ලෝකය පුරාම පැතිරුණි. විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි වල සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි වල ප්‍රධානම මාතෘකාව වූයේ සලාගේ මෙම සිද්ධියයි. සමහරු රාමෝස්ට චෝදනා කරන ලද්දේ ඔහු සිතාමතා මෙය සිදුකල බව පවසමිනි. තවත් සමහරුන් ප්‍රකාශ කරන ලද්දේ අනතුර සිදුවූයේ සලාගේ වැරැද්ද නිසා බවයි. චැම්පියන්ස් ලීග් අවසාන මහා තරඟයෙන් අනතුරුව ලිවර්පූල් කණ්ඩායමේ පුහුණුකරු යුර්ගන් ක්ලූප් ද සිද්ධිය පිලිබඳ සිය අදහස ප්‍රකාශ කලේය.

“ පරාජය වූවාට පසුව අපි කියන දේවල් පරාජය සඳහා නිදහසට කරුණු කියනවා වගේ තමයි. නමුත් මට හිතෙන්නේ එම අභියෝගය (රාමොස්ගෙන් එල්ල වූ) ටිකක් සැර වැඩියි කියලයි.”

ඊට අමතරව ක්ලූප් විසින් මෙලෙස ද ප්‍රකාශ කරන ලදී.

“ඒක මල්ලවපොර ක්‍රීඩාවක් වගේ”

සලා ගේ ප්‍රතිචාර

සිද්ධිය පිළිබඳව සලා මෙසේ කරුණු දක්වා තිබුනේ ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේය.

සලාගේ ඉන්ස්ටග්‍රෑම් සටහන​

මෙම ආබාධය නිසා සලාට මෙවර පාපන්දු ලෝක කුසලානය මඟහැරෙනු ඇතැයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කලද සලා සහ ඊජිප්තු පාපන්දු සංගමය මුල සිටම විශ්වාස කරනු ලැබුවේ සලාට මෙවර ලෝක කුසලානය නියෝජනය කිරීමට හැකිවනු ඇති බවටයි.

සලා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ස්පාඤ්ඤය වෙත පැමිණි අවස්තාවේදී මැඩ්රිඩ් අගනුවර ගුවන් තොටුපලේ දී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කිහිපයක් ඔහුගෙන් අසන ලදී.

“ඔබ ලෝක කුසලානයට සූදානම් ද?”

“රාමෝස් හිතලමද ඔබව ආබාධයට ලක් කරේ?”

“ඔබ මීළඟ තරඟ සමයේ දී රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමඟින් එකතු වෙනවාද?”

මේ ආකාරයට මාධ්‍යවේදීන් ප්‍රශ්න යොමු කලද මින් එකඳු ප්‍රශ්නයකට හෝ සලා පිළිතුරු ලබාදුන්නේ නැත.

සලා සමඟින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ස්පාඤ්ඤය වෙත ගිය ලිවර්පූල් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා වන රුබෙන් පොන්ස් පැවසුවේ මෙවැන්නකි.

“සලා මාත් සමඟ කිසිම දෙයක් ප්‍රකාශ කරේ නෑ රාමෝස් ගැන. මම හිතන්නේ නෑ රාමෝස් සමඟ සලා තරහෙන් සිටිනවා කියලා. ක්‍රීඩාවේ දී මේ වගේ දේවල් සිදුවෙනවා. සලා විශ්වාස කරනවා ඔහුට ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නට හැකිවේ යැයි කියලා.”

සර්ජියෝ රාමෝස් ද ට්විටර් පණිවිඩයක් මඟින් සලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කලේය.

වෙනත් ප්‍රතිචාර

එම සිද්ධියට අදාළ වීඩ්යෝ දර්ශන නැවත නැවතත් නරඹන විට පෙනී යන්නේ එය ක්‍රීඩාවේ දී සිදුවන අනතුරක් ලෙසින් වූවත් මේ වනවිට අන්තර්ජාල පරිශීලකයින් ලක්ෂ 5 ට වැඩි පිරිසකගේ අත්සනින් යුතු පෙත්සමක් UEFA (යුරෝපීය පාපන්දු සංගමය) සහ FIFA වෙත බාරදීමට සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ සිද්ධිය පිලිබඳ නැවත විමර්ශනයක් සිදුකර සර්ජියෝ රාමෝස් හට දඬුවම් ලබාදෙන මෙන් ඉල්ලමිනි.

ඊජිප්තු ජාතික නීතීඥ වරයෙකු වන වස්සෙම් වාභා විසින් ඩොලර් බිලිනයකට අධික වන්දියක් ඉල්ලමින් රාමොස්ට එරෙහිව නඩුවක් පවරා තිබේ. එයට අමතරව ඔහු මේ පිළිබඳව FIFA වෙතද පැමිණිලි කර තිබෙනවා. මෙම සිද්ධිය නිසා සලා ට ඇතිවූ කායික සහ මානසික පීඩනය සහ මෙම සිද්ධිය නිසා ඊජිප්තු ක්‍රීඩා ලෝලීන්ට ඇතිවූ මානසික පීඩනය වෙනුවෙන් ඔහු එම නඩුව ගොනුකර ඇත.

මීට අමතරව ඉන්දුනීසියාවේ සිටින ලිවර්පූල් කණ්ඩායමේ රසිකයින් විසින් එරට ස්පාඤ්ඤ තානාපති කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වීමට ද සැලසුම් කෙරිණ​.

මොහමෙද් සලා පිළිබඳ කෙටියෙන්

“සලා මෙවර ප්‍රිමියර් ලීගයෙහි වැඩිම ගෝල ලාභියාට හිමි රන් පාවහන සමඟින්” (citizentv.co.ke)

මොහමෙද් සලා උපත ලබා තිබෙන්නේ 1992 ජූනි 15 වැනි දින ඊජිප්තුවේදී ය. 2010 වසරේ දී ඊජිප්තුවේ එල්-මොකාව්ලූන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමේ අවකාශය සලා හට උදාවන අතර එහිදී ඔහු සතු වේගය සහ දක්ෂතා මැනවින් ප්‍රදර්ශනය කිරීමට සලාට හැකිවුණි. ඒ අනුව 2012 වසරේ දී ස්විට්සර්ලන්තයේ බාසල් ක්‍රීඩා සමාජය හා එක්වන සලා එහිදී ද විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූයේය. ඒ අනුව එංගලන්තයේ චෙල්සි කණ්ඩායම සලා සිය කණ්ඩායමට එකතුකරගනු ලැබුවේ 2014 වසරේ දී ය. එහෙත් චෙල්සි කණ්ඩායම වෙනුවෙන් සිය සුපුරුදු දස්කම් දැක්වීමට සලා අපොහොසත් වූ අතර ඒ අනුව චෙල්සි කණ්ඩායමේ ගිවිසුමේ සිටිමින් (Loan) ඉතාලියේ ෆියොරන්ටීනා සහ රෝමා යන කණ්ඩායම් වලට සලා ක්‍රීඩා කලේය. එහිදී රෝමා කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ සාලාව 2016 වසරේ සිට රෝමා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත් කරගැනීමට රෝමා කණ්ඩායම කටයුතු කරන ලදී.

එහිදී 2016-2017 තරඟ සමය පුරාවටම රෝමා කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ සලා 2017 වසරේ දී එංගලන්තයේ ලිවර්පූල් කණ්ඩායම හා එක්වූයේය. ඒ යුරෝ මිලියන 42 ක මුදලකටය. එහිදී සලා තව තවත් දක්ෂතා දැක්වීමට සමත් වූ අතර ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් ලීග් ගෝල 32 ක් රැස් කරමින් 2017/18 තරඟ සමයේ ප්‍රිමියර් ලීගයෙහි වැඩිම ගෝල ලාභියාට හිමි රන් පාවහන දිනාගැනීමට ද සලාට හැකිවිය. එම ගෝල 32 වාර්තාවක් වන අතර ඒ අනුව ප්‍රිමියර් ලීග් එක් තරඟ සමයක දී (තරඟ 38 තරඟ සමයකදී) වැඩිම ගෝල ලාභියා වන්නේ ද සාලය. (මෙයට පෙර වාර්තාව වී තිබුනේ ගෝල 31 කි. ඇලන් ශියරර්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලුයිස් සුආරෙස් එක් තරඟ සමයක දී ගෝල 31 බැගින් රැස් කරගෙන තිබුණි). ඊට අමතරව චැම්පියන්ස් ලීග් තරඟාවලියේ ද ගෝල 10 ක් රැස් කිරීමට සැලට හැකිවූ අතර ලිවර්පූල් කණ්ඩායමට අවසාන මහා තරඟය තෙක් පැමිණීමට එය මහඟු පිටිවහලක් විය.

“සලා ඊජිප්තු ජාතික කණ්ඩායම නියෝජනය කරමින්” (Tarek Abdel Hamid/AFP)

ඊජිප්තු 20 න් පහල සහ 23 න් පහල කණ්ඩායම් ද නියෝජනය කල සලා 2011 වසරේ සිට ඊජිප්තු ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකි. මේ දක්වා ඊජිත්පු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරඟ 57 ට සහභාගී වී ඇති සලා එහිදී ගෝල 33 ක් ලබාගැනීමට සමත්වී තිබේ. මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ තරඟ වලදී විශිෂ්ට දස්කම් දැක්වීමට සලාට හැකිවූ අතර සුදුසුකම් ලැබීමේ තරඟාවල අප්‍රිකා කලාපයේ වැඩිම (සම) ගෝල ලාභියා බවට ද පත් වූයේය. එහි ප්‍රථිපලය වූයේ වසර 28 ට පසුව ඊජිප්තු කණ්ඩායම මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමයි. පසුගිය වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබාගැනීමටත් සලාට හැකිවිය.

සලා මෙවර පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කරයි ද?

සලා ආබාධයට ලක්වූ පසු ප්‍රථමයෙන්ම වාර්තා වූයේ ඔහුට මාස දෙකක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්වීමට සිදුවන බවයි. එය එසේ වූවා නම් සලාට ලෝක කුසලානය මඟ හැරෙනු ඇත. ආබාධ වූවාට පසු සලාට ප්‍රතිකාර කිරීම සඳහා ලිවර්පූල් කණ්ඩායම සහ ඊජිප්තු පාපන්දු සංගමය ගත ප්‍රයත්නය අති විශිෂ්ටය. ලෝකයේ හොඳම ප්‍රතිකාර සලා හට ලබාදුන් අතර බොහෝ පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකිරීමෙන් අනතුරුව මේ වනවිට ඊජිප්තු පාපන්දු සංගමය ප්‍රකාශ කර තිබෙන්නේ ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට සලාට හැකිවනු ඇති බවයි. කෙසේනමුත් ජූනි 15 වැනිදා උරුගුවේ දේශයට එරෙහිව පැවැත්වෙන තරඟයට ක්‍රීඩා කිරීමට සලාට නොහැකි වන නමුත් ජූනි 19 වැනි දින රුසියාවට එරෙහිව පැවැත්වෙන තරඟයට ක්‍රීඩා කිරීමේ අවස්තාව සලා හට හිමිවනු ඇත.

Cover – Phil Noble/Reuters

Related Articles