Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුරෝ කුසලාන පාපන්දු පිටියේ වැඩිම ගෝල ලත් සුපිරි තරු 4ක්

ඉතාලියට දෙවන වරටත් ශූරතාව හිමි කර දෙමින් මෙවර යුරෝ කුසලානය නිමාව දුටුවා. 1968 වසරට පසු යුරෝ කුසලාන ශූරතාව දිනාගත් ඉතාලිය අවසන් තරගයේ දී එංගලන්ත කණ්ඩායම හමුවේ තියුණු ජයක් හිමි කර ගත්තා. තරගාවලිය පුරාවටම අපරාජිතව සිටි ඉතාලියට අවසන් තරගයේ දී එංගලන්තයෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වුණා. එනිසා නියමිත කාලය අවසානයේ දී තරගයේ ලකුණු තත්ත්වය 1-1 බවට පත්ව තිබුණා. එම අවස්ථාවේ තරගයේ ජයග්‍රාහකයන් තීරණය කිරීම සඳහා ලබාදුන් දඬුවම් පහරවලින් 3ක් ඉතාලිය සාර්ථක කරගනිද්දී එංගලන්තයට සාර්ථක කරගැනීමට හැකිවුණේ දඬුවම් පහර 2ක් පමණ යි. එනිසා තරගයේ ජයග්‍රහණය ඉතාලියට හිමිවුණා.

මෙවර යුරෝ කුසලානය දිනාගත් ඉතාලි කණ්ඩායම
මෙවර යුරෝ කුසලානය දිනාගත් ඉතාලි කණ්ඩායම – agran Josh

ඒ ආකාරයට ඉතාලිය සහ එංගලන්තය සාර්ථක ප්‍රතිඵල නෙළාගනිද්දී පසුගිය වර යුරෝ කුසලාන ශූරයන් වුණු පෘතුගාල කණ්ඩායමට මෙවර කණ්ඩායම් 16 තරග වටයෙන් ඉදිරියට යාමට හැකියාව ලැබුණේ නැහැ. එලෙස පෘතුගාල කණ්ඩායම අසාර්ථක වුණත් සුපුරුදු දස්කම් දැක්වීමට සමත් වුණු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල 5ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත්වුණා. ඔහු එම ගෝල 5 වාර්තා කිරීමත් සමඟ ම යුරෝ කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා බවට පත්වුණේ ප්‍රංශ ක්‍රීඩක මයිකල් ප්ලැටිනිගේ වසර 37ක් පැරණි වාර්තාවක් බිඳ දමමින්. ඒ අයුරින් රොනාල්ඩෝ යුරෝ කුසලාන ඉතිහාසය වෙනස් කළ නිසා මෙතැන් සිට ඔබට කියන්නට යන්නේ යුරෝ කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් සුපිරි ක්‍රීඩකයන් සිව්දෙනා පිළිබඳව යි.

ග්‍රිස්මන් තරගාවලියේ වීරයා සම්මානය සමඟින්
ග්‍රිස්මන් තරගාවලියේ වීරයා සම්මානය සමඟින් – Marca

4) ඇන්ටෝනි ග්‍රිස්මාන් (ප්‍රංශය)- ගෝල 7යි 

2014 වසරේ සිට ප්‍රංශ කණ්ඩායම නියෝජනය කරන ඇන්ටෝනි ග්‍රිස්මාන් තරග 95කදී ගෝල 38ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. දැනට ප්‍රංශය සතුව සිටින දක්ෂතම ඉදිරි පෙළ ප්‍රහාරක ක්‍රීඩකයකු වන ග්‍රීස්මාන් 2018 පාපන්දු ලෝක කුසලානය සිය රටට දිනාදීම සඳහා විශාල මෙහෙයක් ඉටු කළා. එහි දී තරගාවලියේ දෙවන වැඩිම ගෝල ලාභියා වුණු ග්‍රිස්මාන් ගෝල 4ක් වාර්තා කළා. ඒ අයුරින් විශිෂ්ට දස්කම් දැක්වූ දැක්වීමට සමත් වුණු සුපිරි තරුව 2016 වසරේ දී මුල්ම වරට යුරෝ කුසලාන තරගාවලියකට සහභාගි වුණා. 

2018 ලෝක ශූරයන් වුණු ප්‍රංශ කණ්ඩායම
2018 ලෝක ශූරයන් වුණු ප්‍රංශ කණ්ඩායම – Dawn

එම තරගාවලියේ පළමු තරග වටයේ දී වැඩි දස්කමක් දැක්වීමට අසමත් වුණු මෙම ක්‍රීඩකයා ඇල්බේනියාවට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා. එදා තීරණාත්මක මොහොතක ඔහු ලබාගත් ගෝලය ප්‍රංශ කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමු කළා. පළමු තරග වටය අවසානයේ දී A කාණ්ඩයේ පෙරමුණ ගත් ප්‍රංශයට කණ්ඩායම් 16 තරග වටයේ දී මුණ ගැසුණේ අයර්ලන්ත කණ්ඩායම යි. එම තරගයේ දෙවන විනාඩියේ දී අයර්ලන්ත ක්‍රීඩක බ්‍රැඩී දඬුවම් පහරක් මඟින් ගෝලයක් වාර්තා කළා. ඉන් අනතුරුව අයර්ලන්ත ක්‍රීඩකයන් ආක්‍රමණශීලී තරග රටාවක නිරත වුණු නිසා තරගයේ 57 වන විනාඩිය අවසන් වෙද්දීත් අයර්ලන්තය තරගයේ පෙරමුණ ගෙන සිටියා. ඒ තීරණාත්මක අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ඇන්ටෝනි ග්‍රිස්මාන් 58 සහ 61 යන විනාඩිවල දී ගෝල වාර්තා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රංශයට ගෝල 2-1ක ජයක් උරුම වුණා. 

අර්ධ අවසන් පූර්ව තරග වටයේ දී ප්‍රබල ප්‍රංශ කණ්ඩායම, අයිස්ලන්තය හමුවේ ගෝල 5-2ක පහසු ජයක් හිමිකර ගත්තා. එහි දී ග්‍රිස්මාන් ද එක් ගෝලයක් වාර්තා කළා. එලෙස සුපිරි දස්කම් දක්වමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණි ප්‍රංශයට අවසන් පූර්ව තරගයේ දී උරෙනුර ගැටීමට සිදුවුණේ එවකට ලෝක ශූරයන් වුණු ජර්මානු කණ්ඩායම සමඟ යි. එදා ජර්මානුවන් අන්දමන්ද කළ ග්‍රිස්මාන් වටිනා ගෝල 2ක් වාර්තා කරමින් වසර 16කට පසුව සිය රට යුරෝ කුසලාන අවසන් තරගයකට රැගෙන ගියා. අවසන් තරගයේ දී මෙම සුපිරි තරුවට දස්කම් පෙන්වීමට නොහැකි වුණු නිසා ප්‍රංශයට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවුණා. එදා සමස්ත තරගාවලිය පුරාම ගෝල 6ක් ලබාගත් ග්‍රිස්මාන් තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත් වුණා. ඒ අයුරින් 2016 යුරෝ තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ ග්‍රිස්මාන් මෙවර තරගාවලියේ දී ලබාගත්තේ එක් ගෝලයක් පමණ යි. එනිසා ප්‍රංශයට කණ්ඩායම් 16 තරග වටයෙන් ඉදිරියට යාමට හැකිවුණේ නැහැ. ඒ අනුව ග්‍රිස්මාන් යුරෝ කුසලාන තරග 11කට සහභාගි වෙමින් ගෝල 7ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.   

ෂියරර් 1996 යුරෝ කුසලානයේ දී දස්කම් දක්වමින්
ෂියරර් 1996 යුරෝ කුසලානයේ දී දස්කම් දක්වමින්  – The Mirror

3) ඇලන් ෂියරර් (එංගලන්තය)- ගෝල 7යි 

1992-2000 කාල සමයේ එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ ඇලන් ෂියරර් තරග 63කදී ගෝල 30ක් වාර්තා කිරීමට සමත් වුණා. ෂියරර් මුල්ම වරට යුරෝ කුසලානයක් සඳහා සහභාගි වුණේ 1992 වසරේ දීයි. එදා දුර්වල තරග රටාවක නිරත වුණු එංගලන්තයට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවුණා. එහි දී ප්‍රංශයට එරෙහිව තරගයට පමණක් ක්‍රීඩා කළ මෙම ක්‍රීඩකයා ගෝල වාර්තා කිරීමට සමත් වුණේ නැහැ. ඒ අයුරින් පළමු යුරෝ කුසලාන තරගාවලියේ දී අසාර්ථක වුණු ෂියරර් 1996 යුරෝ කුසලාන තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. 

1996 යුරෝ කුසලාන තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදුණු එංගලන්ත කණ්ඩායම සිය කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත්තා. එහි දී සුපිරි දස්කම් දැක්වූ ෂියරර් නෙදර්ලන්තයට එරෙහිව ගෝල 2ක් වාර්තා කරද්දී ස්විට්සර්ලන්තය සහ ස්කොට්ලන්තය හමුවේ ගෝලය බැගින් වාර්තා කළා. ඉන් පසුව පැවති අර්ධ අවසන් අවසන් පූර්ව වටයේ දී දඬුවම් පහර 4-2ක් ලෙසින් ස්පාඤ්ඤය හමුවේ ජය ලබාගත් එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසුණා. අවසන් පූර්ව වටයේ දී ජර්මනියට එරෙහිව පැවති තරගයේ නියමිත කාලය තුළ දෙපිලම ගෝලය බැගින් ලබා ගත්තා. එහි දී එංගලන්තය ලබාගත් එකම ගෝලය මොහු වාර්තා කළා. 

ඉන් පසුව දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයා තීරණය කළ අවස්ථාවේ 5-4ක ජයක් හිමිවුණේ ජර්මනියට යි. එදා එංගලන්තය තරගාවලියෙන් ඉවත් වුණත් සමස්ත තරගාවලිය පුරාවට ගෝල 5ක් ලබාගත් මෙම ක්‍රීඩකයා තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත්වුණා. එය එංගලන්ත ක්‍රීඩකයකු යුරෝ කුසලානයක දී වැඩිම ගෝල ලාභියා බවට පත්වුණු එකම අවස්ථාව ලෙසින් වාර්තා අතර රැඳී පවතිනවා. ඉන් පසුව 2000 වසරේ දී පැවැත්වුණු යුරෝ කුසලාන තරගාවලියේ දී එංගලන්තය යළි අසාර්ථක වුණා. එදා ඔවුන් පළමු තරග වටයෙන් ඉවත් වුණේ පෘතුගාලය සහ රුමේනියාව හමුවේ පරාජය ලබමින්. එලෙස එංගලන්තය පරාජයට පත්වුණත් සුපුරුදු දස්කම් අතරට පැමිණි ෂියරර් ජර්මනියට සහ රුමේනියාවට එරෙහිව ගෝලය බැගින් වාර්තා කළා. ඒ අනුව ඇලන් ෂියරර් එංගලන්තය වෙනුවෙන් යුරෝ කුසලාන තරග 9කදී ගෝල 7ක් වාර්තා කර තිබෙන බව සඳහන් කළ යුතුයි. 

ප්ලැටිනි 1984 යුරෝ කුසලානය සමඟ
ප්ලැටිනි 1984 යුරෝ කුසලානය සමඟ – EuroSport

2) මයිකල් ප්ලැටිනි (ප්‍රංශය)- ගෝල 9යි 

80 දශකයේ දී ලෝක පාපන්දු පිටියේ සිටි දක්ෂතම ක්‍රීඩකයන් අතුරින් මයිකල් ප්ලැටිනිට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. එදා ප්‍රංශ කණ්ඩායම ලෝක පාපන්දු පිටියේ ඔසවා තැබූ මෙම සුපිරි තරුව සිය රටට 1984 යුරෝ කුසලානය දිනාදීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කළා. එනිසා අදටත් ක්‍රීඩා විචාරකයන් එය හඳුන්වන්නේ ප්ලැටිනිගේ යුරෝ කුසලානය ලෙස යි. එය ප්‍රංශ කණ්ඩායමක් ප්‍රධාන පෙළේ පාපන්දු කුසලානයක් දිනාගත් මුල්ම අවස්ථාව බවට පත්වුණු නිසා ප්ලැටිනිගේ නම එරට පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියවුණා.

1984 වසරේ යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශ වීරයා ප්ලැටිනි ගැන ලිපිය කියවන්න.

එවර යුරෝ කුසලාන තරගාවලියේ දී පළමු කාණ්ඩය යටතේ තරග වැදුණු ප්‍රංශ කණ්ඩායම ඩෙන්මාර්කය හමුවේ 1-0, බෙල්ජියම හමුවේ 5-0, සහ යුගෝස්ලාවියාව හමුවේ 3-2 ලෙසින් ජයග්‍රහණ වාර්තා කළා. එහි දී සුපිරි දස්කම් ප්‍රදර්ශනය කළ ප්ලැටිනි, බෙල්ජියම සහ යුගෝස්ලාවියාව හමුවේ ත්‍රිත්ව ගෝල වාර්තා කළා. යුරෝ කුසලාන ඉතිහාසයේ ත්‍රිත්ව ගෝල 2ක් වාර්තා කළ එකම ක්‍රීඩකයා ලෙසින් ඔහු තවමත් වාර්තා අතර රැඳී සිටිනවා. ඊට අමතරව ඩෙන්මාර්කය හමුවේ ගෝලයක් වාර්තා කළ මෙම සුපිරි තරුව පළමු වටයේ දී ප්‍රංශය ලබාගත් ගෝල නවයෙන් 7ක ම හිමිකරුවා වුණා. 

ඉන් පසුව පෘතුගාලට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයෙන් ගෝල 3-2ක ජයක් හිමිවුණේ ප්‍රංශයට යි. එදා 119 වන විනාඩියේ දී ප්‍රංශය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබාගත් ප්ලැටිනි නැවතත් සුපිරි වීරයකු බවට පත්වුණා. එදා ස්පාඤ්ඤයට එරෙහිව පැවති අවසන් මහා තරගයේ දී ප්‍රංශය ගෝල 2-0ක ජයක් වාර්තා කරද්දී මුල්ම ගෝලය වාර්තා කිරීමට සමත් වුණේ මෙම සුපිරි ක්‍රීඩකයා යි. ඒ අනුව තරග 5කදී ගෝල 9ක් වාර්තා කළ ප්ලැටිනි යුරෝ කුසලාන තරගාවලියක දී වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙසින් තවමත් වාර්තා අතර රැඳී සිටිනවා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2016 යුරෝ කුසලානය සමඟ
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2016 යුරෝ කුසලානය සමඟ – Scroll.in

1) ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (පෘතුගාලය)- ගෝල 14යි

2003 වසරේ සිට පෘතුගාලය නියෝජනය කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර තරග 179කට ක්‍රීඩා කර ගෝල 109ක් ලබාගැනීමට සමත් වුණා. 2004 වසරේ දී මුල්ම වරට යුරෝ කුසලාන තරගාවලියක් සඳහා ක්‍රීඩා කළ රොනාල්ඩෝ එහි දී ගෝල 2ක් වාර්තා කළා. ඉන් පළමු ගෝලය මූලික වටයේ තරගයක දී ග්‍රීසියට එරෙහිවත් අනිත් ගෝලය අවසන් පූර්ව තරගයේ දී නෙදර්ලන්තයට එරෙහිවත් වාර්තා කළා. එදා අවසන් පූර්ව තරගයේ දී රොනාල්ඩෝ ලබාගත් ගෝලය පෘතුගාලයට සිය මුල්ම යුරෝ කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා සහායක් වුණා. අවසන් තරගයේ දී පෘතුගාල කණ්ඩායම ග්‍රීසිය හමුවේ අනපේක්ෂිත පරාජයක් උරුමකරගත් බව මෙහි දී සිහිපත් කළ යුතුයි.

2008 යුරෝ කුසලාන තරගාවලියේ දී පෘතුගාලයට අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉදිරියට යාමට හැකිවුණේ නැහැ. එම තරගාවලියේ දී රොනාල්ඩෝ ලබාගත් එකම ගෝලය චෙක් ජනරජය හමුවේ වාර්තා කළා. 2012 යුරෝ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය දක්වා පැමිණීමට පෘතුගාලය සමත් වුණා. එම තරගාවලියේ දී රොනාල්ඩෝ ගෝල 3ක් වාර්තා කළා. එහි දී ඔහු මූලික වටයේ තරගයක දී නෙදර්ලන්තය හමුවේ ගෝල දෙකකුත් අර්ධ අවසන් පූර්ව තරගයේ දී චෙක් ජනරජය හමුවේ ගෝලයකුත් වාර්තා කළා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායමේ ශක්තිය ගැන මෙම ලිපියෙන් දැනගන්න.

2016 වසරේ දී යුරෝ කුසලානය ජයග්‍රහණය කළේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් යුත් පෘතුගාල කණ්ඩායම යි. එවර තරගාවලියේ පළමු වටයේ තරගයක දී හංගේරියාව හමුවේ ගෝල 2ක් වාර්තා කළ රොනාල්ඩෝ අවසන් පූර්ව තරගයේ දී වේල්සය හමුවේ ගෝලයක් වාර්තා කළා. පසුගිය දිනවල පැවති යුරෝ කුසලාන තරගාවලියේ දී පෘතුගාලය කණ්ඩායම් 16 වටයෙන් ඉවත්වීම අවාසනාවන්ත සිදුවීමක් වුණා. එහි පළමු වටයේ තරගවල දී දස්කම් දැක්වූ රොනාල්ඩෝ ප්‍රංශය සහ හංගේරියාව හමුවේ ගෝල 2 බැගින් වාර්තා කළා.  ජර්මනිය හමුවේත් ගෝලයක් වාර්තා කළා. තරගාවලිය පුරාවට ගෝල 5ක් වාර්තා කළ මෙම සුපිරි තරුව තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත්වුණා. ඒ අනුව යුරෝ කුසලාන ඉතිහාසය තුළ තරග 25කට සහභාගි වී ඇති මෙම සුපිරි තරුව ගෝල 14ක් ලබානිමින් යුරෝ කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස වැජඹෙමින් සිටිනවා. 

කවරයේ ඡායාරූපය- රොනාල්ඩෝ 2021 යුරෝ තරගාවලියේ දී (Marca)

මූලාශ්‍ර-

goal.com

uefa.com 

 

Related Articles