Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ඉතිහාසයේ පෙරළිකාරීම ‘ගිම්හාන ට්‍රාන්ස්ෆර් වින්ඩෝව’

ට්‍රාන්ස්ෆර් වින්ඩෝව (Transfer Window) කියන්නේ පාපන්දු ක්‍රීඩකයන් ක්‍රීඩා සමාජ අතර හුවමාරු වීමට ඉඩ සලසන කාල පරාසයක් බව පාපන්දු ලෝලීන් හොඳාකාර ව ම දන්නවා. සාමාන්‍යයෙන් එක් පාපන්දු සමයකට මෙවැනි අවස්ථා දෙකක් පවතිනවා. නව පාපන්දු සමයක් ඇරඹෙන්නට පෙරාතුව අගෝස්තුවේ දී පැවැත්වෙන ගිම්හාන ට්‍රාන්ස්ෆර් වින්ඩෝව බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්න ට්‍රාන්ස්ෆර් වින්ඩෝව වන බව සැකයක් නැහැ.

අනෙක් වින්ඩෝව වන්නේ ජනවාරි මාසයේ දී විවෘත වන ශීත සෘතු ට්‍රාන්ස්ෆර් වින්ඩෝවයි. 2021/22 පාපන්දු සමය ආරම්භ කරමින් ගිම්හාන ට්‍රාන්ස්ෆර් වින්ඩෝව අගෝස්තු 31 වැනි දා අවසන් වුණා. ඒ පාපන්දු ලෝලීන් අපේක්ෂා නොකළ පෙරළිකාරී ක්‍රීඩක මිලදී ගැනීම් සහ විකිණීම් රැසක් සිදු වීමෙන් අනතුරුව යි. මේ ඒ ගැන සාරාංශයක්.

messi psg
ලයනල් මෙසී PSG කණ්ඩායමේ හිමිකරු නසර් අල් කලීෆා සමඟ – rpp.pe

අඩු වියදමකින් වැඩි වාසි හිමි කරගත් පැරිස් කණ්ඩායම

මෙවර ගිම්හාන ට්‍රාන්ස්ෆර් වින්ඩෝවේ දී බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් කණ්ඩායම වූයේ පැරිස් සැන් ජර්මාන් (PSG) කණ්ඩායමයි. එයට ප්‍රධාන හේතුව වන්නේ කිසිදු මුදලක් නොගෙවා ප්‍රකට පාපන්දු ක්‍රීඩකයන් රැසක් ම තමන් සතු කරගන්නට ඔවුන් සමත් වීම නිසයි. ඒ අතර ලොව විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයකු වන ලයනල් මෙසී ද සිටීම විශේෂ වනවා. ලයනල් මෙසී බාසිලෝනා ක්‍රීඩා සමාජයේ වසර 20 කට අධික කාලයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයකු වනවා. ඔහු බාසිලෝනා ප්‍රථම කණ්ඩායමේ ද වසර 15කට අධික කාලයක් ක්‍රීඩා කර ඇති අතර එම කණ්ඩායමෙන් ඔහු කිසිදිනක ඉවත් නොවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළා.

නමුත් බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ඇතිව තිබූ දැඩි මුල්‍ය අර්බුදය හමුවේ ලයනල් මෙසී හට නව ක්‍රීඩක කොන්තත්තුවක් ලබාදීමට එම ක්‍රීඩා සමාජය අපොහොසත් වුණා. මේ නිසා ලයනල් මෙසීව නිදහස් කිරීමට ඔවුන්ට සිදුවූ අතර PSG කණ්ඩායම මෙසී හට ඇමෙරිකානු ඩොලර් මිලියන 41 ක වාර්ෂික වැටුපක් ලබාදීම වෙනුවෙන් තම ලංසු ඉදිරිපත් කළා. එවැනි සුපිරි ක්‍රීඩකයකු සඳහා වැටුප් ගෙවීමට සමත්කම් දක්වන්නේ යුරෝපීය පාපාන්දු ක්‍රීඩා සමාජ ඉතා සුළු ගණනක් පමණයි. එම නිසා ලයනල් මෙසී PSG කණ්ඩායම වෙනුවෙන් ඉදිරි වසර දෙක සඳහා ක්‍රීඩා කරනු ඇති.

psg free transfers
හකීමි, රාමෝස්, දොන්නරුම්මා සහ විනාල්ඩම් යන ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ ගිවිසුම්ගතවූ වාර්ෂික වැටුප්  – sportsextral.com

මුදල් වැය කිරීමකින් තොරව රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක සර්ජියෝ රාමෝස් ද PSG කණ්ඩායම හා එක්වීම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් තවත් ක්‍රීඩක හුවමාරුවක් ලෙස දැක්විය හැකියි. ඔහුද තවත් වසර දෙකක් සඳහා PSG කණ්ඩායම සමඟ ගිවිසුම්ගත ව සිටිනවා. AC milan කණ්ඩායමේ හිටපු ගෝල රකින ක්‍රීඩක ජන්ලුයිජි දොන්නරුම්මා ද වසර 5ක කාලයක් සඳහා PSG සමඟ නොමිලේ ගිවිසුම්ගත වූ අතර ලිවර්පුල් හි මැද පෙළ ක්‍රීඩක ජිනී විනාල්ඩම් ද PSG කණ්ඩායම සමඟ වසර තුනක් සඳහා ගිවිසුම්ගත වුණේ නොමිලේ සිදු වූ ක්‍රීඩක හුවමාරුවක් (Free Transfer) ලෙසයි.

ඉහත ක්‍රීඩකයන්ට අමතර ව ඉතාලියේ ඉන්ටර් කණ්ඩායමේ පසු පෙළ ක්‍රීඩක අශ්රාෆ් හකීමි යුරෝ මිලියන 60කට ද FC Porto කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩක ඩැනීලෝ පෙරෙයිරා යුරෝ මිලියන 16කට ද මිලදී ගැනීමට PSG කණ්ඩායමට හැකි වුණා. මෙවර ගිම්හාන ට්‍රාන්ස්ෆර් වින්ඩෝවෙන් PSG කණ්ඩායම උපරිම පල නෙළාගත් බව බොහෝ ක්‍රීඩා විචාරකයන් පවසනවා. පළමු ශුරයන්ගේ කුසලාන ජය සඳහා යාමට සුපිරි ක්‍රීඩකයන් රැසකින් සමන්විත මෙවර PSG කණ්ඩායමට හැකිවේදැයි සියලු පාපන්දුලෝලීන් අවධානයෙන් සිටිනවා.

cr7 at man utd 2008
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සමඟ 2008 වසරේදී – si.com

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ක්‍රීඩක මිලදීගැනීම්

එංගලන්තයේ සුප්‍රකට පාපන්දු කණ්ඩායමක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයත් තම පාපන්දු කණ්ඩායම ශක්තිමත් කර ගැනීමට මෙවර ට්‍රාන්ස්ෆර් වින්ඩෝව යොදාගත්තා. ලොව විශිෂ්ටම පාපන්දු ක්‍රීඩයකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නැවතත් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හා එක්වීම කිසිවකුත් බලාපොරොත්තු නොවූ ක්‍රීඩක හුවමාරුවක් බව දැක්විය හැකියි.

ඔහු මැන්චෙස්ටර් සිටි කණ්ඩායම හා එක්වීමට සියල්ල සුදානම් ව තිබියදී පසුදින මැන්චෙස්ටර් යුනයිටඩ් හා එක්වීම පාපන්දු ලෝකය තුළ ආන්දෝලනයකට තුඩු දුන් මාතෘකාවක් වුණා. වසර දෙකක කාලයක් සඳහා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හා ගිවිසුම්ගත වූ අතර ඒ සඳහා යුරෝ මිලියන 15 ක මුදලක් යුවෙන්ටස් කණ්ඩායම වෙත ගෙවීමට ඔවුන් කටයුතු කර තිබුණා.

jadon sancho with ole solskjaer
ජේඩන් සංචෝ මැන්චෙස්ටර් පුහුණුකරු සමඟ – el-yom.com

පසුගිය වසරේත් උත්සාහ දැරූ ඩොර්ට්මන්ඩ් ක්‍රීඩක ජේඩන් සංචෝ මිලදී ගැනීමේ උත්සාහය යුරෝ මිලියන 85 ක මුදලකට සාර්ථක කර ගැනීමට මෙවර ට්‍රාන්ස්ෆර් වින්ඩෝවේ දී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට හැකි වුණා. එසේ ම රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ රෆායෙල් වරාන් ද යුරෝ මිලියන 40 ක මුදලකට යුනයිටඩ් හා එක්වීම විශේෂත්වයක්. රෝනාල්ඩෝගේ ආගමනය සහ ජේඩන් සංචෝ ඇතුළු ක්‍රීඩකයන්ගේ සංකලනය වසර 9කට පසු ප්‍රීමියර් ලීග් ශූරතාව දිනා ගැනීමට මග පාදනු ඇතැයි යන්න ලොව පුරා වෙසෙන මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාවයි.

අමුතු ම ක්‍රීඩක හුවමාරු සිදු කළ බාසිලෝනා කණ්ඩායම

බාසිලෝනා ක්‍රීඩා සමාජය මුල්‍ය අර්බුදයක පැවතියත් මුදල් නොගෙවා ක්‍රීඩක හුවමාරු කිහිපයක් සිදුකරන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ අතරින් වඩා සාර්ථක ක්‍රීඩක ගිවිසුම් ගත වීම ලෙස ඔලිම්පික් ලියොන් කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩක මෙම්ෆිස් ඩිපායි බාසිලෝනා වෙත එක් වීම දැක්විය හැකියි. ඔහුට අමතර ව මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ පසු පෙළ ක්‍රීඩක එරික් ගාසියා සහ එම කණ්ඩායමේ ම සුපිරි ක්‍රීඩක සර්ජියෝ අගුවේරෝ යන ක්‍රීඩකයන් ද බාසිලෝනා වෙත එක්වුණේ කිසිදු මුදල් ගෙවීමකින් තොරව යි. මෙම්ෆිස් සහ අගුවේරෝ වසර දෙකක් සඳහාත් එරික් ගාසියා වසර 5ක් සඳහාත් බාසිලෝනා කණ්ඩායම සමඟ ගිවිසුම්ගත ව සිටිනවා.

barcelona free transfers
අගුවේරෝ, මෙම්ෆිස් සහ එරික් ගාසියා යන ක්‍රීඩකයින් – everythingbarca.com

රියාල් බෙටීස් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩක එමර්සන් රොයාල් මෙවර ගිම්හාන ට්‍රාන්ස්ෆර් වින්ඩෝවේදී බාසිලෝනා කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවේ යුරෝ මිලියන 14 ක මුදලකට යි. ඔහු සඳහා නිදහස් කිරීමේ නියමයක් (Release Clause) ලෙස යුරෝ මිලියන 300 ක මුදලක් ද ගිවිසුම්ගත කර තිබුණා. නමුත් ට්‍රාන්ස්ෆර් වින්ඩෝව අවසන් වීමට පැය කීපයක් තිබිය දී යුරෝ මිලියන 25ක මුදලකට ඔහු ටොටන්හැම් කණ්ඩායමට විකුණා දැමීමට බාසිලෝනා පරිපාලනය තීරණය කළා. මෙම මුදලින් යුරෝ මිලියන 5ක් බෙටිස් කණ්ඩායමට ගෙවිය යුතුයි.

ට්‍රාන්ස්ෆර් වින්ඩෝවේ අවසන් මොහොතේදී සිදුවූ බාසිලෝනා පිලේ වැදගත් ම ක්‍රීඩක විකිණීම වූයේ අන්ටුවාන් ග්‍රීස්මාන් යළි ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම වෙත ණයක් ලෙස ලබා දීමයි. ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම පසුගියවර ස්පාඤ්ඤ ලීගයේ ශූරයන් වූ අතර ඒ සඳහා බාසිලෝනාහි සිට ඇට්ලෙටිකෝ වෙත ගිය ලුවිස් සුවාරිස් හේතු වූ බවට කිසිදු සැකයක් නැහැ. තමන්ගේ සෘජු ප්‍රතිවාදීන් ශක්තිමත් කිරීමට නැවතත් එවැනි ම තීරණයක් ගැනීමට බාසිලෝනා පරිපාලනය යොමු කළේ අන්ටුවාන් ග්‍රීස්මාන් ගේ ඉහළ වැටුප යි. ඔහු වසරකට යුරෝ මිලියන 35ක වැටුපක් සඳහා බාසිලෝනා පිල සමඟ ගිවිසුම්ගත ව සිටියා. එසේම අන්ටුවාන් ග්‍රීස්මාන් බාසිලෝනා කණ්ඩායම තුළදී එතරම් සාර්ථකත්වයක් නොපෙන්වීමත් යුරෝ මිලියන 40 කට මිලදී ගැනීමේ විකල්පයක් (Option to buy) සහිත ව ඇට්ලෙටිකෝ වෙත යැවීමට හේතුවනවා.

emerson greizman
එමර්සන් රොයාල් සහ අන්ටුවාන් ග්‍රීස්මාන් – football-espana.net

බාසිලෝනා ඉදිරිපෙළ ශක්තිමත් කිරීම සඳහා සෙවියා FC කණ්ඩායමේ ලූක් ඩියෝනග් ණයක් ලෙස මිල දී ගැනීමට ට්‍රාන්ස්ෆර් වින්ඩෝවේ අවසන් මොහොතේදී තීරණය කර තිබුණා. මෙය බාසිලෝනා ක්‍රීඩා ලෝලීන්ගේ අප්‍රසාදයට හේතු වූවත් ලූක් ඩියෝනග් ගේ වැටුපෙන් 50% ක් තවදුරටත් සෙවියා FC විසින් ගෙවිය යුතු බව සඳහන්.

සෙසු ක්‍රීඩක අලෙවි වීම් සහ අලෙවි අසාර්ථක වීම්

2021/22 ගිම්හාන ට්‍රාන්ස්ෆර් වින්ඩෝවේ දී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වුයේ ඇස්ටන් විලා කණ්ඩායමේ ජැක් ග්‍රීලිෂ් වනවා. ඔහු යුරෝ මිලියන 117 කට මිලදී ගනු ලැබුවේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම යි. චෙල්සි කණ්ඩායම විසින් ඉන්ටර් කණ්ඩායමේ සාර්ථක පාපන්දු සමයන් දෙකක් ගත කළ රොමේලු ලුකාකු යුරෝ මිලියන 115 කට මිලදී ගත්තා. ඒ ඔවුන් සතු ව සිටි ඉදිරිපෙළ ක්‍රීඩක ටැමි ඒබ්‍රහම් ඉතාලියේ රෝමා කණ්ඩායමට යුරෝ මිලියන 40ක මුදලකට විකිණීමෙන් පසුව යි. ජේඩන් සන්චෝ සහ අශ්රෆ් හකීමි යන ක්‍රීඩකයන් වැඩි ම මිලකට අලෙවි වූ ක්‍රීඩක ලයිස්තුවේ තෙවන සහ සිවු වන ස්ථාන දිනා ගෙන සිටිනවා.

jack grealish at man city
මෙවර වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූ ජැක් ග්‍රීලිෂ් – bbc.co.uk

මේ අතර පසුගිය වසරේදී බොහෝ දෙනාගේ අවධානය යොමු වූ ලයිප්සිග් කණ්ඩායමේ ඩයෝට් උපමෙකානෝ ක්‍රීඩකයා යුරෝ මිලියන 42කට බයර්න් මියුනික් විසින් මිලදී ගනු ලැබුවේ මෙවර ට්‍රාන්ස්ෆර් වින්ඩෝවේදී යි.

රියාල් මැඩ්රිඩ් කණ්ඩායම විසින් මෙවර කැපී පෙනෙන ක්‍රීඩක මිලදී ගැනීමක් ලෙස සිදු කළේ බයර්න් මියුනික් කණ්ඩායමේ ඩේවිඩ් ඇලබා නොමිලේ සිදුවූ ක්‍රීඩක හුවමාරුවක් ලෙස මැඩ්රිඩ් කණ්ඩායම සමඟ එක් වීමයි. රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය බවට පත් ව තිබුණේ PSG කණ්ඩායමේ කිලියන් එම්බාප්පේ මිලදී ගැනීම බව මෙවරත් ට්‍රාන්ස්ෆර් වින්ඩෝවේ දී දැකිය හැකි වුණා. ඔවුන් 2017 වසරේ සිට ඒ සඳහා තම ලංසු ඉදිරිපත් කරන අතර මෙවර එය සාර්ථක වීමට ඉතා ආසන්නයට පැමිණියා. මැඩ්රිඩ් කණ්ඩායමේ යුරෝ මිලියන 220 ක ලංසුවත් අවසන් දිනයේ දී බැහැර කළ PSG ක්‍රීඩා සමාජය කිලියන් එම්බාප්පේ දීර්ඝ කාලීන ව තබා ගැනීම උදෙසා උත්සාහ කරනවා. නමුත් එම්බාප්පේ තම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව PSG සමඟ දීර්ඝ කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ලබන වසරේ දී ඔහු නොමිලයේ ම PSG කණ්ඩායමෙන් ඉවත් වනු ඇති බවට බොහෝ දෙනා මත පළ කරනවා.

alaba lukaku upamecano
ඩේවිඩ් ඇලබා, රොමේලු ලුකාකු සහ උපකෙම්කානෝ යන ක්‍රීඩකයන් – en.as.com

මේ අතර ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම යුරෝ මිලියන 35 කට රොඩ්රිගෝ ඩේ පෝල් නම් යුඩනිස් ක්‍රීඩකයා මිලදී ගත් අතර එහි මැද පෙළ ක්‍රීඩක සාවුල් නිගේස් චෙල්සි කණ්ඩායම වෙත ණයක් ලෙස ලබා දීම සිදුවුණා. චෙල්සි කණ්ඩායමේ ඔලිවර් ජිරවුඩ් මෙවර ක්‍රීඩා කරන්නේ AC මිලාන් කණ්ඩායමටයි.

මේ සියලු ම ක්‍රීඩක හුවමාරුවලින් පසු ලොව පුරා පාපන්දු ක්‍රීඩාලෝලීන් දෑස් දල්වා ගෙන බලාසිටින්නේ නව ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා සමාජ සිය දක්ෂතා පෙන්වනතුරුයි. ශුරයන්ගේ කුසලානයේ මූලික වටයේ තරඟත් ලබන සතියේ ආරම්භ වීමට නියමිත නිසා සුපිරි ක්‍රීඩා සමාජ අතර හැකියා උරගා බැලෙන අයුරු ප්‍රේක්ෂකයන්ට නුදුරේදී ම දැකගන්නට ලැබේවි.

කවරයේ ඡායාරූපය: theathletic.com

මූලාශ්‍ර:

transfermarkt.com 

sportingnews.com 

skysports.com 

dknation.draftkings.com

eurosport.com 

goal.com 

Related Articles