Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ උත්සාහක දිනුමේ ශූරයෝ

යම් ක්‍රීඩකයෙකු උත්සාහක දිනුමක් වාර්තා කිරීම රග්බි තරගයක දක්නට ලැබෙන උද්වේගකර මොහොතක්. එලෙස උත්සාහක දිනුම ලබාගන්නා ක්‍රීඩකයාට ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආකර්ෂණය ලබාගැනීමට හැකි වෙනවා. නමුත්, එසේ ලබාගන්නා උත්සාහක දිනුම රග්බි ලෝක කුසලාන තරගයක දී ලබාගත්තොත් එයට ලැබෙන්නේ අමතර වටිනාකමක්. වසර 32ක් පැරණි රග්බි ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී උත්සාහක දිනුම් 12කට වඩා ලබාගත් ක්‍රීඩකයන් හතර දෙනෙකු හමුවනවා.

ජෝනා ලොමූ (නවසීලන්තය)- උත්සාහක දිනුම් 15

ලෝක රග්බි පිටියේ දක්නට ලැබුණු හොඳම වින්ගර් ක්‍රීඩකයෙකු වුණු ලොමූ, 1995 සහ 1999 රග්බි ලෝක කුසලාන තරගාවලිවල දී නවසීලන්තය නියෝජනය කළා. එම තරගාවලි 2 දී ම වැඩිම උත්සාහක දිනුම් ලාභියා බවට පත්වුණු ලොමූ, තරග 11ක දී උත්සාහක දිනුම් 15ක් ලබාගත්තා. නමුත්, රග්බි ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමක සමාජිකයෙකු බවට පත්වීමේ අවස්ථාව කිසිදු දිනක ඔහුට ලැබුණේ නැහැ. 

1995 රග්බි ලෝක කුසලාන තරගාවලිය 

මෙම තරගාවලියේ දී උත්සාහක දිනුම් 7ක් වාර්තා කළ ජෝනා ලොමූ, තරගාවලිය තුළ වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වුණා. එහි දී මූලික වටයේ තරගයක දී අයර්ලන්තය හමුවේ ලොමූ ලබාගත් උත්සාහක දිනුම් ද්විත්වය නවසීලන්ත ජයග්‍රහණයට විශාල සවියක් වුණා. එදා අවුරුදු 20ක තරුණයෙකු ලෙසින් තරගාවලියට එක්වුණු ලොමූ, රග්බි ලෝකයේම අවධානයට ලක් වුණේ එංගලන්තයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ දී යි. එම තරගයේ දී නවසීලන්තයේ ලකුණු මැෂිම බවට පත් වුණු ලොමූ, උත්සාහක දිනුම් 4ක් වාර්තා කළේ සිය කණ්ඩායම දෙවන වරටත් රග්බි ලෝක කුසලාන අවසන් තරගයකට රැගෙන යමින්. නමුත්, දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් තරගයේ දී ලොමූට කිසිදු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට හැකි වුණේ නැහැ. එදා නවසීලන්තයට රග්බි ලෝක කුසලානය අහිමිවීමට එයත් හේතුවක් වුණා.

1999 රග්බි ලෝක කුසලාන තරගාවලිය 

1999 රග්බිලෝක කුසලාන තරගාවලියේ දී යළි සුපුරුදු දස්කම් අතරට පිවිසි ලොමූ, උත්සාහක දිනුම් 8ක් වාර්තා කළේ තරගාවලිය තුළ වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා වෙමින්. එහි දී මූලික වටයේ තරගවල දී ටොංගා සහ ඉතාලිය හමුවේ උත්සාහක දිනුම් 2 බැගින් ලබාගැනීමට ලොමූ සමත් වුණා.

එම රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී සුපිරි දස්කම් පෙන්වූ නවසීලන්තය, අනපේක්ෂිත අයුරින් අවසන් පූර්ව තරගය පරාජයට පත් වුණේ ප්‍රංශය හමුවේ යි. එහි දී ලොමූ උත්සාහක දිනුම් 2ක් ලබාගත්තත් එය නවසීලන්ත පරාජය වැළැක්වීමට ප්‍රමාණවත් වුණේ නැහැ.

ලොමූ 1995 රග්බි ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී (gettyimages)

බ්‍රයන් හබානා (දකුණු අප්‍රිකාව)- උත්සාහක දිනුම් 15

2007-2015 කාල සීමාව තුළ රග්බි ලෝක කුසලාන තරග 18ක් ක්‍රීඩා කළ බ්‍රයන් හබානා, එහි දී උත්සාහක දිනුම් 15ක් වාර්තා කළා. එහි දී 2007 රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට උරුමකර දීම සඳහා ඔහු දැවැන්ත මෙහෙයක් ඉටුකළා. නමුත් ඉන් පසුව පැවති රග්බි ලෝක කුසලාන තරගාවලිවල දී හබානාට එවැනි සුපිරි දස්කම් දැක්වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

2007 රග්බි ලෝක කුසලාන තරගාවලිය

2007 රග්බි ලෝක කුසලාන තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා වුණු හබානා, එහි දී උත්සාහක දිනුම් 8ක් ලබාගත්තා. ඔහු සහභාගි වුණු මුල්ම රග්බි ලෝක කුසලාන තරගයේ දී සැමෝවා කණ්ඩායමට එරෙහිව උත්සාහක දිනුම් 4ක් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඊට අමතරව මූලික වටය යටතේ ඇමරිකාවට එරෙහිව පැවති තරගයේ දීත් හබානා, උත්සාහක දිනුම් 2ක් වාර්තා කළා. එලෙස පළමු වටයේ තරගවල දී සුපිරි දස්කම් දැක්වූ හබානා, ආජන්ටිනාවට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ දී යළි ක්‍රියාත්මක වුණේ උත්සාහක දිනුම් 2ක් ලබාගනිමින්. සමස්ත තරගාවලිය පුරාවටම හබානා දැක්වූ සුපිරි දස්කම් නිසාම දකුණු අප්‍රිකාවට දෙවන වරටත් රග්බි ලෝක කුසලානය උරුම වුණා. 

2011 රග්බි ලෝක කුසලාන තරගාවලිය

2011 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී බ්‍රයන් හබානාට දස්කම් අතරට පැමිණීමට හැකි වුණේ නැහැ. තරගාවලිය පුරාවටම ඔහු වාර්තා කළේ උත්සාහක දිනුම් 2ක් පමණ යි. හබානා අසාර්ථක වුණු නිසාම දකුණු අප්‍රිකානු කණ්ඩායමටත් අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉහළට ගමන් කිරීමට හැකි වුණේ නැහැ. එහි දී දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව තරගයේ දී 11-9ක පරාජයක් ලැබුවේ ඕස්ට්‍රේලියාව හමුවේ යි. 

2015 රග්බි ලෝක කුසලාන තරගාවලිය

2015 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී හබානා උත්සාහක දිනුම් 5ක් වාර්තා කළා. එහි දී ඔහු දැක්වූ සුවිශේෂී දස්කම බවට පත්වුණේ ඇමරිකාවට එරෙහිව උත්සාහක දිනුම් 3ක් වාර්තා කිරීම යි. එලෙස මූලික වටයේ තරගවල දී දකුණු අප්‍රිකාව දස්කම් දැක්වූවත්, තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය හමුවේ 18-20ක පරාජයක් උරුම කරගැනීමට ඔවුන්ට සිදුවුණා. එහි දී හබානා, කිසිදු උත්සාහක දිනුමක් ලබා නොගැනීම දකුණු අප්‍රිකානු පරාජයට යම් බලපෑමක් කළා. 

හබානා 2007 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී දස්කම් දක්වමින් (gettyimages)

ඩ්‍රිව් මිචෙල් (ඕස්ට්‍රේලියාව)- උත්සාහක දිනුම් 14

2007-2015 කාල සීමාව තුළ රග්බි ලෝක කුසලාන තරග 13ක දී ඕස්ට්‍රේලියාව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුණේ, මිචෙල්ට. එහි දී ඔහු උත්සාහක දිනුම් 14ක් වාර්තා කළත්, කිසිම අවස්ථාවක තම රටට රග්බි ලෝක කුසලානය උරුමකර දීමට ඔහුට හැකි වුණේ නැහැ. 

2007 රග්බි ලෝක කුසලාන තරගාවලිය

මෙම තරගාවලිය මිචෙල්ගේ රග්බි ලෝක කුසලාන දිවියේ හොඳම තරගාවලිය බවට පත් වුණා. මූලික වටයේ තරගවල දී ජපානය සහ කැනඩාව සමග උත්සාහක දිනුම් 2ක බැගින් වාර්තා කළ මිචෙල්, ෆිජී කණ්ඩායමට එරෙහිව එරෙහිව උත්සාහක දිනුම් 3ක් වාර්තා කළා. නමුත්, ඉන්පසුව පැවැත්වුණු අර්ධ අවසන් පූර්ව තරගයේ දී මිචෙල් දස්කම් නොදැක්වීම නිසා ඕස්ට්‍රේලියාව ලකුණු 10-12ක් ලෙස එංගලන්තය හමුවේ පරාජයට පත් වුණා.

2011 රග්බි ලෝක කුසලාන තරගාවලිය

2011 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී මිචෙල්ට දස්කම් අතරට පැමිණීමට හැකි වුණේ නැහැ. සමස්ත තරගාවලිය පුරාවටම උත්සාහක දිනුම් 2ක් පමණක් වාර්තා කළ මිචෙල්, ඒවා ලබාගත්තේ මූලික වටය යටතේ පැවති තරගවල දී යි.

2015 රග්බි ලෝක කුසලාන තරගාවලිය

2015 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය දිනාගත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි. එදා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සිය යුතුකම ඉටුකළ මිචෙල්, උත්සාහක දිනුම් 4ක් වාර්තා කළා. එහි දී ස්කොට්ලන්තයට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය කළේ 35-34 ලෙස ලකුණු ලබාගනිමින්. එලෙස ඕස්ට්‍රේලියාව තියුණු ජයක් ලැබූ අවස්ථාවේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ මිචෙල්, උත්සාහක දිනුම් 2ක් වාර්තා කළේ සිය කණ්ඩායමට සවියක් වෙමින්.

මිචෙල් ස්කොට්ලන්ත තරගයේ දී දස්කම් දක්වමින් (gettyimages)

ඩග් හොව්ලෙට් (නවසීලන්තය)- උත්සාහක දිනුම් 13 

2003 සහ 2007 රග්බි ලෝක කුසලාන තරගාවලිවල දී නවසීලන්තය නියෝජනය කළ හොව්ලෙට්, තරග 10ක දී උත්සාහක දිනුම් 13ක් වාර්තා කළා. 

2003 රග්බි ලෝක කුසලාන තරගාවලිය

මූලික වටයේ තරගවල දී හොව්ලෙට්, උත්සාහක දිනුම් 6ක් වාර්තා කළා. එහි දී ඉතාලිය, ටොංගා, සහ වේල්ස් යන කණ්ඩායම්වලට එරෙහිව ඔහු උත්සාහක දිනුම් 2ක බැගින් ලබාගත්තා. නමුත් තීරණාත්මක අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරගවල දී හොව්ලෙට්ට උත්සාහක දිනුම් වාර්තා කිරීමට හැකි වුණේ නැහැ. එම නිසාම අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය 22-10ක් ලෙස ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වුණා. ඉන් අනතුරුව පැවති තෙවන ස්ථානය තේරීමේ තරගයේ දී හොව්ලෙට් උත්සාහක දිනුමක් වාර්තා කළේ ප්‍රංශ කණ්ඩායම හමුවේ යි. ඒ අනුව තරගාවලිය පුරාවට ම හොව්ලෙට් උත්සාහක දිනුම් 7ක් වාර්තා කරමින් දස්කම් දැක්වුවත් නවසීලන්තයට හිමි වුණේ 3 වැනි ස්ථානය යි. 

2007 රග්බි ලෝක කුසලාන තරගාවලිය 

2007 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්ත ගමන නිමා වුණේ අර්ධ අවසන් පූර්ව වටයෙන්. තරගාවලියේ මූලික වටයේ තරගවල දී හොව්ලෙට් ඉහළ දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ඉතාලිය සමග උත්සාහක දිනුම් 3ක් වාර්තා කළ හොව්ලෙට්, ස්කොට්ලන්තයට එරෙහිව තවත් උත්සාහක දිනුම් 2ක් ලබාගත්තේ සුවිශේෂී දස්කම් දක්වමින්. නමුත් ප්‍රංශයට එරෙහිව 18-20 ලෙස පරාජයට පත් වුණු තරගයේ දී හොව්ලෙට් දස්කම් අතරට නොපැමිණි නිසා නවසීලන්තයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. 

හොව්ලෙට් 2003 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී දස්කම් දක්වමින් (gettyimages)

කවරයේ ඡායාරූපය: ජෝනා ලොමූ, 1999 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී (gettyimages)

Related Articles