Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

21 වැනි සියවසේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලංකාවෙන්

පසුගිය දිනක විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් විෂ්ලේෂණ සමාගමක් වන ක්‍රික්විස් සමග එක්ව 21 වැනි සියවසේ බිහිවුණු විශිෂ්ටතම ක්‍රීඩකයන් නම් කරනු ලැබුවා. එහි දී 21 වැනි සියවස තුළ බිහිවුණු හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තේරී පත්වුණේ මුත්තයියා මුරලිදරන් නම් විශිෂ්ට දඟපන්දු යවන්නා යි.

මුරලිදරන් වසර 18ක් ටෙස්ට් පිටියේ රැඳී සිටියා 

1992 වසරේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 133ක් ක්‍රීඩා කිරීමෙන් පසුව සිය තරග දිවිය නිමා කළේ 2010 වසරේ දී යි. එම කාල සමය තුළ ප්‍රතිවාදී පිතිකරුවන්ව භීතියට පත්කළ මෙම සුපිරි දඟ පන්දු යවන්නා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු සුපිරිම පන්දු යවන්නන් කිහිපදෙනා අතරට අයත්.  

මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් වාර්තා රැසක හිමිකරුවෙක් 

වසර 143ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු වාර්තා රැසක උරුමකරුවෙකු වන මුරලිදරන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ උපරිමයට පැමිණියේ 21 වැනි සියවස ආරම්භයත් සමග යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුරලිදරන් 21 වැනි සියවසේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වුණා. මුරලි සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ බිහිකළ අසමසම වාර්තාවන් කිහිපයක් පහත දැක්වෙනවා.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා 

මුත්තයියා මුරලිදරන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ දී කඩුලු 800ක් දවාගෙන තිබෙනවා. ඔහු ඉන් කඩුලු 227ක් 20 වැනි සියවසේ දී දවාගන්නා විට කඩුලු 573ක්ම දවාගෙන තිබෙන්නේ 27 වැනි සියවසේ දී යි. ඒ අනුව 21 වැනි සියවස තුළ දෙවැනියට වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් ලබාගත් පන්දු යවන්නා බවට පත්ව සිටින්නේ මුරලිදරන් නම් පන්දු යවන්නා යි. එහි දී ඔහු තරග 85ක දී ලබාගත් කඩුලු 573 දෙවැනි වන්නේ එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් තරග 151ක දී ලබාගත් කඩුලු 584ට පමණ යි.

මුරලිදරන් ටෙස්ට් පිටියේ දී දස්කම් දක්වමින් (gettyimages)

21 වැනි සියවසේ ඉනිමක හොඳම පන්දු යැවීම 

21 වැනි සියවසේ දී ටෙස්ට් ඉනිමක වාර්තා වුණු හොඳම පන්දු යැවීම මුත්තයියා මුරලිදරන් විසින් සිදුකළේ 2001 වසරේ දී යි. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අස්ගිරිය පිටියේ පැවති එම තරගයේ දී මුරලිදරන් ලකුණු 51කට කඩුලු 9ක් දවාගත්තේ පන්දුවාර 40ක් ක්‍රියාත්මක කරමින්. එදා මුරලිදරන්ට සිම්බාබ්වේ ඉනිමේ සියලුම පිතිකරුවන් දවාගැනීමට අනගි අවස්ථාවක් උදා වුණා. එහි දී ලකුණු 201කට දැවීගිය සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලු 9ම උරුම වුණේ මුරලිදරන්ට යි. නමුත් සිම්බාබ්වේ ඉනිම ලකුණු 230කට සීමාවන තුරුම මුරලිදරන්ට අවසන් කඩුල්ල දවාගැනීමට හැකි වුණේ නැහැ. මුරලිදරන් එදා එම කඩුල්ල දවාගත්තා නම් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් වීමට නියමිතව තිබුණේ ඔහුගේ නම ඉදිරියේ යි.

මුරලිදරන් සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම සිදුකරමින් (Wisden Cricket)

වැඩිම වාර ගණනක් ඉනිමක දී කඩුලු 5 බැගින් දවාගැනීම 

මුරලිදරන් වැඩිම වාර ගණනක් ටෙස්ට් ඉනිමක කඩුලු 5 බැගින් ලබාගත් පන්දු යවන්නා බවට පත්ව සිටිනවා. එහි දී මුරලිදරන් අවස්ථා 67ක දී කඩුලු 5 බැගින් ලබාගන්නා විට එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ රැඳී සිටින ෂේන් වෝන් එම දස්කම දක්වා තිබෙන්නේ අවස්ථාවන් 37ක දී පමණ යි. එලෙස මුරලිදරන් කඩුලු 5 බැගින් ලබාගත් වාර 67න් 50ක් වාර්තා වී තිබෙන්නේ 21 වැනි සියවස තුළ දී යි.

මුරලිදරන් ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවාගත් අවස්ථාවක් (gettyimages)

වැඩිම වාර ගණනක් ටෙස්ට් තරගයක දී කඩුලු10 බැගින් දවාගැනීම 

ටෙස්ට් තරගයක කඩුලු 10 බැගින් වැඩිම වාර ගණනක් දවාගත් පන්දු යවන්නා බවට පත් වුණේ මෙම විශිෂ්ට පන්දු යවන්නා යි. එහි දී මුරලිදරන් තරග 22ක දී කඩුලු 10 බැගින් ලබාගන්නා විට එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ රැඳී සිටින ෂේන් වෝන් එම දස්කම දක්වා තිබෙන්නේ තරග 10ක දී පමණ යි. එලෙස මුරලිදරන් තරගයක කඩුලු 10 බැගින් ලබාගත් වාර 22න් 20ක් ලබාගත්තේ 21 වැනි සියවස තුළ දී යි.

මුරලිදරන් ටෙස්ට් තරගයක කඩුලු 10ක් දවාගත් අවස්ථාවක් (gettyimages)

පිට පිටම වැඩිම වාර ගණනක් ටෙස්ට් තරගවල දී කඩුලු 10 බැගින් ලබාගැනීම 

මුරලිදරන් ටෙස්ට් තරග 22ක දී කඩුලු 10 බැගින් දවාගන්නා විට පිට පිටම තරග 4ක දී කඩුලු 10 ලබාගත් අවස්ථාවන් 2ක් සටහන් වුණා.

එහි දී ඔහු මුලින්ම 2001 වසරේ දී එම දස්කම දක්වනු ලැබුවේ මෙසේ යි.

1) ඉන්දියාව සමග SSC පිටියේ දී- 196/11

2) බංග්ලාදේශය සමග SSC පිටියේ දී- 111/10

3) කොදෙව්වන් සමග ගාලු පිටියේ දී- 170/11

4) කොදෙව්වන් සමග අස්ගිරියේ දී- 135/10

ඉන් පසුව නැවතත් මුරලිදරන් එම දස්කම දක්වනු ලැබුවේ 2006 වසරේ දී යි.

1) එංගලන්තය සමග එජ්බැස්ටන්හි දී- 135/10

2) එංගලන්තය සමග නොටිංහැම් හි දී- 132/11

3) දකුණු අප්‍රිකාව සමග SSC පිටියේ දී- 172/10

4) දකුණු අප්‍රිකාව සමග පී සරා ඕවල් හි දී- 225/12

ඒ අනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ පිට පිටම ටෙස්ට් තරග 4ක දී කඩුලු 10 බැගින් ලබාගත් ලොව එකම පන්දු යවන්නා ලෙසින් මුරලිදරන් වාර්තා අතරට එක්ව තිබෙනවා. ඔහුට පෙර එම වාර්තාව හිමිව තිබුණු ඕස්ට්‍රේලියාවේ ක්ලැරී ග්‍රිමට් පිට පිටම ටෙස්ට් තරග 3ක දී කඩුලු 10 බැගින් ලබා තිබුණේ 1936 වසරේ දී යි.

වැඩිම ටෙස්ට් තරගාවලි ප්‍රමාණයක දී තරගාවලියේ වීරයා සම්මානය දිනාගැනීම 

ටෙස්ට් තරගාවලි 61ක් සඳහා ක්‍රීඩා කළ මුත්තයියා මුරලිදරන් ඉන් තරගාවලි 11ක දී තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගෙන තිබෙනවා. ඒ අනුව මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වැඩිම වාර ගණනක් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා. එහි දී මුරලිදරන් එම සම්මානවලින් 7ක් දිනාගත්තේ 21 වැනි සියවසේ දී යි.

මුරලිදරන් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් අවස්ථාවක් (gettyimages)

මුරලිදරන් 21 වැනි සියවස තුළ දැක්වූ දස්කම් විශිෂ්ට යි 

මුත්තයියා මුරලිදරන් නම් විශිෂ්ට දඟපන්දු යවන්නා ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී දැක්වූ අති විශිෂ්ට යි. ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී ලබාගත් ජයග්‍රහණයන් රැසක නියමුවා බවට පත් වුණේ මෙම සුපිරි දඟපන්දු යවන්නා යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් විස්ඩන් සඟරාව විසින් 21 වැනි සියවසේ බිහිවුණු විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා  ලෙස මුත්තයියා මුරලිදරන්ව නම් කරනු ලැබුවා. එලෙස ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ විශිෂ්ටතම ආකාරයේ ගෞරවයක් හිමිකරගත් මුත්තයියා මුරලිදරන්ට Roar සිංහල වෙතින් සුභ පැතුම්.

කවරයේ ඡායාරූපය- (gettyimages)

Related Articles