Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුරලි එංගලන්ත බිමේ සිදුකළ හොඳම ටෙස්ට් පන්දුයැවීම් 5ක්

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු දක්ෂතම පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් සිය තරග දිවිය තුළ ටෙස්ට් කඩුලු 800ක් බිඳදැමීමට සමත් වුණා. එනිසා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා ලෙස වැජඹෙනවා. වසර 18ක් පුරා ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැඳී සිටි මුරලිදරන් තරග 133කට සහභාගි වුණා. ඔහු  ලක්බිමේ දී කඩුලු 493ක් දවාගත් අතර, විදෙස් රටවල දී කඩුලු 307ක් දවාගත්තා. 

මුරලිදරන් විදේශ රටවල දී දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගැනීමේ දී, ඔහු රටවල් 4ක දී පන්දු යැවීමේ සාමාන්‍ය 20කට අඩුවෙන් පවත්වාගෙන තිබෙනවා. නවසීලන්තයේ දී- 19.97, ශ්‍රී ලංකාවේ දී- 19.57 , බංග්ලාදේශයේ දී- 19.45, එංගලන්තයේ දී- 19.21 ලෙසින් මුරලිගේ පන්දු යැවීමේ සාමාන්‍යයන් සටහන් වුණා. මෙහි සුවිශේෂී කරුණ වන්නේ දඟපන්දු යවන්නෙකු වන මුරලි, වේගපන්දු යවන්නන්ට වඩාත් හිතකර එංගලන්ත තණතීරුවල කැපී පෙනෙන දස්කම් දක්වා තිබීම යි. 

එනිසා මේ ලිපිය මුරලිදරන් එංගලන්ත බිමේ දී සිදුකරන ලද හොඳම ටෙස්ට් පන්දු යැවීම් පහ වෙනුවෙන් වෙන්කෙරෙනවා.

5) 143/5- එජ්බැස්ටන් ටෙස්ට් තරගය 2002

ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්ත බිමේ දී ලැබූ දරුණුතම ටෙස්ට් තරග පරාජය 2002 වසරේ දී වාර්තා වුණා. ඒ එජ්බැස්ටන් පිටියේ දී පැවති ටෙස්ට් තරගයක දී ඉනිමක සහ ලකුණු 111ක දැවැන්ත පරාජයක් හිමිකර ගැනීමත් සමග යි. එම තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිම සඳහා ලබාගැනීමට හැකිවුණේ ලකුණු 162ක් පමණ යි. කිසිදු ලාංකීය පිතිකරුවෙකුට ලකුණු 50 සීමාව ඉක්මවීමට නොහැකි වීම මෙහි කැපී පෙණුනු සිදුවීමක් වුණා.

ඉන්පසු සිය පළමු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම, එක් අවස්ථාවක දී කඩුලු 2ක් දැවී ලකුණු 338ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක පසුවුණා. එංගලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහරදෙමින් සිටි මොහොතක ක්‍රියාත්මක වුණු මුරලිදරන් ලකුණු 143කට කඩුලු 5ක් දවාගනිමින් එංගලන්ත ඉනිම ලකුණු 545කට සීමා කළා. මුරලිගේ පන්දු හමුවේ මයිකල් වෝන්, මාක් බුචර්, නසාර් හුසේන්, ඇලෙක් ස්ටුවර්ට්, සහ ඇන්ඩෘ ෆ්ලින්ටොප් යන මුල් පෙළ පිතිකරුවන් පස් දෙනා දැවීගියා. මුරලි මෙසේ ශ්‍රී ලංකා කණ්ඩායමට යළි නැගී සිටීමට අවස්ථාවක් ලබාදුන්නත් ශ්‍රී ලංකා පිතිකරුවන් ඉන් නිසි ප්‍රයෝජන ලබාගත්තේ නැහැ. එනිසා ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 272කට සීමා වී, ප්‍රතිවාදීන්ට ඉනිමක සහ ලකුණු 111ක දැවැන්ත ජයක් උරුම වුණා.

මුරලිදරන් කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

4) 86/6- එජ්බැස්ටන් ටෙස්ට් තරගය 2006

2006 ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලෝඩ්ස් පිටියේ දී පැවැත්වුණා. එදා ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවන ඉනිමේ දී සටන්කාමී පිතිකරණයක නිරත වෙමින්, ලබන්නට ගිය නියත පරාජයක් වලක්වා ගත්තා. එනිසා අප ක්‍රීඩකයන් එජ්බැස්ටන් පිටියේ පැවති දෙවන ටෙස්ට් තරගයට අවතීර්ණ වුණේ යහපත් මානසිකත්වයකින්. එවැනි වටපිටාවක ආරම්භ වුණු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. නමුත් එංගලන්ත වේගපන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගැනීමට හැකිවුණේ ලකුණු 141ක් පමණ යි.

ලංකාවට පසු සිය පළමු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 5ක් දැවී ලකුණු 290ක් ලබා සිටියා. ඒ වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කෙවින් පීටර්සන් අගනා ලකුණු 142ක් ලබාගෙන සිය කණ්ඩායම විශාල ලකුණු ප්‍රමාණයක් කරා ගෙනයාමට මාන බලමින් සිටියා. නමුත් එංගලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු සුන්කළ මුරලිදරන් සහ මාලිංග අවසන් කඩුලු 5ම ලකුණු 5ක් තුළ දවාගැනීම නිසා එංගලන්ත පළමු ඉනිම ලකුණු 295කට සීමා වුණා. දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මුරලිදරන් ලකුණු 86කට කඩුලු 6ක් දවාගත්තා. 

අනතුරුව සිය දෙවන ඉනිම සඳහා ලකුණු 231ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන්ට ලකුණු 78ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදුන්නා. මේ ඉලක්කය හඹාගිය එංගලන්තය කඩුලු 4ක් දැවී තිබිය දී ජයග්‍රාහී කඩයිම පසුකර ගියා. එහි දී යලිත් වරක් පන්දුවෙන් දස්කම් දැක්වූ මුරලිදරන් ලකුණු 29කට කඩුලු 4ක් දවාගත්තා. එම තරගය අවසානයේ විචාරකයන් පවසා සිටියේ එංගලන්තය ලකුණු 175ක පමණ ඉලක්කයක් හඹාගියා නම් එය මුරලිදරන්ගේ තරගයක් වන්නට ඉඩ තිබුණු බවයි. එදා ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණත් මුරලිදරන් සමස්ත තරගය පුරාවට ලකුණු 115කට කඩුලු 10ක් දවාගැනීම අමතක නොවන සිදුවීමක් වුණා.

මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ පීටර්සන් දැවීගිය අවස්ථාව (gettyimages)

3) 155/7- ඕවල් ටෙස්ට් තරගය 1998

1998 වසරේ අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කෙනිංටන් ඕවල් පිටියේ දී ටෙස්ට් තරගයක් පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නා. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනගත් එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් සීරුවෙන් පන්දුවට පහරදුන්නා. එනිසා එංගලන්ත කණ්ඩායම 209/3 ලෙස ලකුණු ලබාගනිමින් ප්‍රබල ස්ථානයකට පත්ව සිටියා. මෙවිට මුරලිදරන් ඉක්මනින් කඩුලු කිහිපයක් දවාගෙන එංගලන්ත ලකුණු පුවරුව 277/6 බවට පත්කළා. නමුත් ඉන්පසු ජෝන් ක්‍රෝලි නොදැවී ලකුණු 156ක් ලබාගනිමින් දියත් කළ සුපිරි පිතිහරඹය නිසා එංගලන්ත පළමු ඉනිම ලකුණු 445ක දී නිමාව දුටුවා. එදා ප්‍රතිවාදී පිතිකරුවන්ව මනාව පාලනය කළ මුරලිදරන් ලකුණු 155කට කඩුලු 7ක් දවාගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත වුණා.

මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ කෝක් දැවීගිය අවස්ථාව (gettyimages)

2) 70/8- ට්‍රෙන්ට් බ්‍රිජ් ටෙස්ට් තරගය 2006

2006 ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ තෙවන තරගය ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 231ක් ලබාගත්තා. ඉන්පස පන්දුවට පහරදුන් එංගලන්ත පිතිකරුවන්ට ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් කිසිදු බුරුලක් ලැබුණේ නැහැ. එනිසා එංගලන්ත පළමු ඉනිම ලකුණු 229කට සීමාවුණා. එහි දී පන්දුවෙන් දස්කම් දැක්වූ මුරලිදරන් ලකුණු 62කට කඩුලු 3ක් දවාගත්තා. ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 2ක් පමණක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනාම දැවී ලකුණු 322ක් ලබාගත්තා. ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 325ක ඉලක්කයක් හඹායාමට සිදුවුණා.

මේ ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙස්කොතික් සහ ස්ට්‍රාවුස් සාර්ථක ආරම්භයක් ලබාදුන්නා. එදා ඔවුන් යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් එකතු කළ ලකුණු 84 නිසා එංගලන්ත ලකුණු පුවරුව 84/0 ලෙසින් දිස්වුණත්, මුරලිදරන් අති විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 48ක් ඇතුළත කඩුලු 7ක් දවාගත්තා. එනිසා එංගලන්ත ලකුණු පුවරුව 132/7 දක්වා පල්ලම් බැස්සා. එංගලන්ත පසුපෙළ පිතිකරුවන් සටන්කාමී පිතිහරඹයක නිරත වුණත් ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 190කට සීමාවුණේ ශ්‍රී ලංකාවට ලකුණු 134ක ජයක් උරුමකර දෙමින්. එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු මුරලිදරන් ලකුණු 70කට කඩුලු 8ක් දවාගත්තා. එසේම සමස්ත තරගය පුරාවට ලකුණු 132කට කඩුලු 11ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තා.

මුරලිදරන් සුපිරි පන්දු යැවීමක නිරතවෙමින් (gettyimages)

1) 65/9- ඕවල් ටෙස්ට් තරගය 1998

1998 ශ්‍රී ලංකා-එංගලන්ත ඕවල් ටෙස්ට් තරගය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හමුවන අමතක නොවන ටෙස්ට් තරගයක්. ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත බිමේ දී මුල්ම වරට ටෙස්ට් තරග ජයක් වාර්තා කළේ මෙම තරගයේ දී යි. එදා කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 445ක් ලබාගත්තා. එංගලන්ත ඉනිමේ නැංගුරම වුණු ජෝන් ක්‍රෝලි නොදැවී ලකුණු 156ක් ලබාගත් අතර, ග්‍රැහැම් හික් ලකුණු 107ක් වාර්තා කළා. එදා එංගලන්ත පිතිකරුවන්ව මට්ටු කළ මුරලිදරන් ලකුණු 155කට කඩුලු 7ක් දවාගත්තා.

පසුව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 591ක් ලබාගනිමින් ප්‍රතිවාදීන්ට දැවැන්ත අභියෝගයක් එල්ල කළා. ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ සනත් ජයසූරිය අගනා ලකුණු 213ක් වාර්තා කළ අතර, ඔහුට අනගි සහායක් ලබාදුන් අරවින්ද ලකුණු 152ක් ලබාගත්තා. එදා අරවින්ද සහ ජයසූරිය තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 243ක සබඳතාවය ශ්‍රී ලංකා ඉනිමේ තීරණාත්මක සබඳතාවය බවට පත්වුණා. 

ශ්‍රී ලංකාවට වඩා ලකුණු 146ක් පිටුපසින් හිඳිමින් සිය දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත පිතිකරුවන්ට මුරලිගෙන් කිසිදු බුරුලක් ලැබුණේ නැහැ. මුරලිදරන්ගේ සුපිරි පන්දුයැවීම හමුවේ එංගලන්ත පිතිකරුවන් අන්ත අසරණ වුණා. එනිසා එංගලන්ත දෙවන ඉනිම ලකුණු 181කට සීමාවුණා. එදා එංගලන්ත දෙවන ඉනිම සුණුවිසුණු කළ මුරලිදරන් ලකුණු 65කට කඩුලු 9ක් දවාගත්තා. එය එම අවධියේ දී ලාංකීය පන්දු යවන්නෙකු ටෙස්ට් ඉනිමක දී වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වුණා වගේම, අදටත් ලාංකීය පන්දු යවන්නෙකු විදෙස් රටක දී ඉනිමක වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා අතර රැඳී පවතිනවා. සමස්ත තරගය පුරාවට ලකුණු 220කට කඩුලු 16ක් ලබාගත් මුරලිදරන් ටෙස්ට් තරගයක දී ලාංකීය පන්දු යවන්නෙකු ලබාගත් වැඩිම කඩුලු ප්‍රමාණය වාර්තා කළා. එම වාර්තාව අදටත් නොනැසී පවතිනවා.  

එදා ලකුණු 36ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක පහසු ජයක් වාර්තා කළා. එම ජයග්‍රහණය නිසා මුරලිදරන්ගේ කීර්ති නාමය ලොව පුරා පැතිරුණා. 

එම කාල සමය වන විට සෑම සංචාරයක දීම එංගලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන්නේ එකම එක ටෙස්ට් තරගයක් පමණ යි. නමුත් මෙම ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාවට තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලි ලබාදිය යුතු බවට එංගලන්තය තීරණය කළා. එය මුරලිදරන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන් විශාල ජයග්‍රහණයක්. 

මුරලිදරන් පන්දුවෙන් දස්කම් දක්වමින් (gettyimages)

කවරයේ ඡායාරූපය- මුරලිදරන් 1998 ඕවල් ටෙස්ට් තරගයේ දී දස්කම් දක්වමින් (gettyimages)  

මූලාශ්‍රයයන්- Howstat

Related Articles