Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගාලු පිටියේ ක්‍රිකට් වාර්තා අලුත් කළ සිංහ-කිවි ටෙස්ට් තරගය

පසුගිය කාල සමයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිය නිසා උදාසීනව පැවති ටෙස්ට් ක්‍රිකට් පිටිය යළි උණුසුම් වෙමින් පවතිනවා. එම ටෙස්ට් තරග උණුසුම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ටත් තදින්ම දැනෙන්නේ මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය නිසා යි. තරග 2කින් සමන්විත එම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමිකරදෙමින්. එහිදී ගාලු පිටියේ ක්‍රිකට් වාර්තා අලුත් කරමින් ලබාගත් ජයග්‍රහණය සමගින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා. 

ගාලු පිටියේ දී නවසීලන්තයට එරෙහිව තවත් ටෙස්ට් ජයක් 

1998 වසරේ ගාලු පිටියේ පැවති මංගල ටෙස්ට්  තරගය සඳහා සහභාගි වුණේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය යි. එදා සිට 2019 වසර දක්වා ගාලු පිටියේ දී නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව කිසිදු ටෙස්ට් පරාජයක් ලබා තිබුණේ නැහැ. නමුත් මෙවර ටෙස්ට් තරගයේ දී නවසීලන්තයට එම අමිහිරි පරාජිත වාර්තාව වෙනස් කිරීමට හොඳම අවස්ථාවක් උදාවුණා. එහෙත් ශ්‍රී ලංකා නායක දිමුත්ගේ විශිෂ්ඨ ශතකය නවසීලන්ත බලාපොරොත්තු බිඳ දමමින් වාර්තාගත ජයක් ශ්‍රී ලංකාවට උරුමකර දුන්නා. 

අකිල සහ ලක්මාල් නවසීලන්ත පළමු ඉනිම 249කට සීමා කරයි 

ගාලු පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගවල දී කාසියේ වාසිය ඉතාමත් තීරණාත්මක සාධකයක් වන්නේ මෙම  තණතීරුවේ සිව්වන ඉනිමේ පන්දුවට පහරදීමට ඇති අපහසුකම නිසා යි. එම නිසාම මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක විලියම්සන් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් එක් අවස්ථාවක කිසිවෙකු නොදැවී ලකුණු 64ක් ලබා සිටියා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු අකිල ධනංජය ඉක්මනින්ම කඩුලු 3ක් දවාගනිමින් නවසීලන්ත ලකුණු පුවරුව 71/3 බවට පත්කළා.

අකිල විසින් නවසීලන්ත නායක විලියම්සන්ව දවාගත් අවස්ථාව (gettyimages)

එලෙස ඉක්මනින්ම කඩුලු 3ක් දැවීයාමෙන් පසුව පිටියේ එක්වුණු ටේලර් සහ නිකලස් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක සබඳතාවයක් ගොඩනැගූ නිසා දිනය නිමාවන විට නවසීලන්ත ලකුණු පුවරුව 203/5 ලෙසින් දිස්වුණා. එහිදී දැවීගිය කඩුලු 5ම අකිල ලබාගන්නා විට පිත්තෙන් දස්කම් දැක්වූ ටේලර් නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 86ක්. දෙවන දිනයේ දී නවසීලන්ත පිතිකරුවන් පළමු ඉනිම වෙනුවෙන් විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමේ අරමුණෙන් පිටියට පිවිසියත් සුරංග ලක්මාල් 29/4ක් ලෙසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා නවසීලන්ත පළමු ඉනිම ලකුණු 249කට සීමාවුණා.

ලක්මාල් විසින් ටේලර්ව ලකුණු 86කට දවාගත් අවස්ථාව (gettyimages)

දික්වැල්ල සහ ලක්මාල් ශ්‍රී ලංකා පළමු ඉනිම 267කට රැගෙන යයි 

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 249කට සීමා කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසියේ පළමු ඉනිම සඳහා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමේ අරමුණෙන්. එහිදී කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ලබාගත් අර්ධ ශතක නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 143/2 බවට පත්වුණේ නවසීලන්ත පන්දු යවන්නන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින්. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු අජාස් පටෙල් ප්‍රමුඛ නවසීලන්ත පන්දු බලඇණිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 18ක් තුළ උදුරාගත් නිසා  ශ්‍රී ලංකා ලකුණු පුවරුව 161/7 බවට පත්වුණා. 

පටෙල් විසින් මෙන්ඩිස්ව දවාගත් අවස්ථාව (gettyimages)

නොසිතු අවස්ථාවක සිදුවුණු හදිසි බිඳවැටීම නිසා තරගයේ වාසිය නවසීලන්තය දෙසට හැරුණත් දික්වැල්ල සහ ලක්මාල් ලෙහෙසියෙන් පරාජය භාරගැනීමට සූදානම් වුණේ නැහැ. ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙසින් ප්‍රසිද්ධ දික්වැල්ල මෙම තීරණාත්මක අවස්ථාවේ දී ඉවසීමෙන් ක්‍රීඩා කරමින් ලක්මාල් සමග එක්ව ලකුණු 81ක සබඳතාවයක් ගොඩනැගුවා. ඔවුන් දෙදෙනා එලෙස ගොඩනැගූ වටිනා ලකුණු 81ක සබඳතාවය නිසා ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 267ක් ලබාගත්තේ නවසීලන්තයට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් සිටිමින්. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු දික්වැල්ල ලකුණු 61ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් ලක්මාල් ලබාගත් ලකුණු ප්‍රමාණය 40ක්. 

දික්වැල්ල සහ ලක්මාල් පන්දුවට පහරදෙමින් (gettyimages)

ශ්‍රී ලංකාවට ලකුණු 268ක ඉලක්කයක්

ලකුණු 18ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 25ක් තුළ දැවීගියා. නමුත් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලේතම් සහ නිකොලස් එකතු කළ ලකුණු 56 නිසා කිවි ලකුණු පුවරුව ස්ථාවර තත්වයකට පත්වුණා. එලෙස ස්ථාවර වෙමින් පැවති කිවි ඉනිම නැවතත් අසීරු තත්ත්වයකට පත්කළ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් තිදෙනා ලකුණු 43ක් ඇතුළත තවත් නවසීලන්ත කඩුලු 3ක් දවාගත්තා. එක්වරම 124/6 බවට පත්වුණු කිවි ඉනිම නැවතත් ගොඩනැගීමේ වගකීම භාරගත් වොට්ලින් අගපෙළ පිතිකරුවන් රැකගනිමින් දියත්කළ සටන්කාමී ඉනිම නිසා නවසීලන්තය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 285ක් ලබාගත්තා. එහිදී නවසීලන්තය වෙනුවෙන් වොට්ලින් ලකුණු 77ක් ලබාගන්නා විට ඔහුට අනගි අහයක් ලබාදුන් සමර්විලී නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 40ක්. 

වොට්ලින්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

නවසීලන්තය දෙවන ඉනිම සඳහා ලබාගත් ලකුණු 285 නිසා සිව්වන ඉනිමේ දී ශ්‍රී ලංකාවට ලකුණු 268ක ඉලක්කයක් හඹායාමට සිදුවුණා. මෙම තරගයට පෙර ගාලු පිටියේ දී සාර්ථකව හඹාගොස් ජයග්‍රහණය කර තිබුණ වැඩිම ලකුණු ප්‍රමාණය 99ක් වුණු නිසා මෙය ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු ප්‍රමාණයක් වුණා.

දිමුත් සහ තිරිමාන්න ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක් ලබාදෙයි 

ගාලු පිටියේ දී සිව්වන ඉනිමේ ලකුණු හඹායාම පසුගිය දශක 2ක පුරාවටම ඉතාමත් අසීරු කාර්යයක් වුණා. නමුත් එම අභියෝගය සාර්ථකව භාරගත් දිමුත් සහ තිරිමාන්න සිව්වන දිනය නිමාවන තුරුම පන්දුවට පහරදුන්නේ අල්කුණු පුවරුවට ලකුණු 133ක් එකතු කරමින්. ඉන් පසුව 5 වැනි දිනයේ උදෑසන ත් සංයමයෙන් පන්දුවට පහරදුන් මොවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 161ක සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවතට යොමු කරමින්. 

දිමුත් සහ තිරිමාන්න පන්දුවට පහරදෙමින් (gettyimages)

දිමුත්ගේ වාර්තාගත ශතකය ශ්‍රී ලංකා ජය තහවුරු කරයි 

තිරිමාන්න ලකුණු 64කට දැවීගියත් සිය වගකීම මැනවින් ඉටුකළ දිමුත් අගනා ලකුණු 122ක් ලබාගත්තේ ගාලු පිටියේ දී සිව්වන ඉනිමේ පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්. එහිදී දිමුත් ලකුණු 122කට දැවීගියත් නොබියව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 4ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් එම ජයග්‍රහණයත් සමගින් ඔවුන් 1-0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගත්තා.

දිමුත්ගේ අගනා ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්ත පළමු ඉනිම  – 249/10 (83.2), (ටේලර් -86, අකිල – 80/5, ලක්මාල් – 29/4)

ශ්‍රී ලංකා පළමු ඉනිම – 267/10 (93.2), (දික්වැල්ල -61, මෙන්ඩිස් -53, මැතිව්ස් -50, පටෙල් -89/5)

නවසීලන්ත දෙවන ඉනිම – 285/10 (106), (වොට්ලින් – 77, ඇඹුල්දෙනිය – 99/4)

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 268/4 (86.1), (කරුණාරත්න – 122, තිරිමාන්න -64, සවුති – 33/2)

ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා – දිමුත් කරුණාරත්න

මෙම ටෙස්ට් තරගයේ දී අලුත් වුණු ගාලු පිටියේ ක්‍රිකට් වාර්තා

මෙම ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක ජයග්‍රහණයක් ලබාගත්තේ ගාලු පිටියේ පැවති ටෙස්ට් වාර්තා 2ක් බිඳ දමමින්. එහිදී ආරම්භක පිතිකරු යුගලය වුණු තිරිමාන්න සහ දිමුත්ට වාර්තාවක් පිහිටුවීමට තිබුණු අවස්ථාව ගිලිහී ගියා.

ගාලු පිටියේ සිව්වන ඉනිමේ දී පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය දිමුත්ගේ නමට 

ගාලු පිටියේ සිව්වන ඉනිමේ දී පිතිකරුවෙකුට ශතකයක් ලබාගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එම නිසාම 1998 වසරේ සිට මේ දක්වා ගාලු තණතීරුවේ සිව්වන ඉනිමේ වාර්තා වී ඇත්තේ ශතක 3ක් පමණ යි. එහිදී පහත පිතිකරුවන් තිදෙනා එලෙස ශතක ලබා තිබෙනවා.

1) දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව)  – නවසීලන්තයට එරෙහිව ලකුණු 122 (2019 වසරේ දී)

2) ජොනතන් ට්‍රොට් (එංගලන්තය) – ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 112 (2012 වසරේ දී)

3) මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) – ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 105 (2011 වසරේ දී) 

ගාලු පිටියේ දී කණ්ඩායමක් හඹාගිය වැඩිම ලකුණු ප්‍රමාණය වුණේ මෙම ලකුණු 268යි 

ගාලු පිටියේ දී සිව්වන ඉනිමේ ලකුණු හඹායාමට ගොස් අමාරුවේ වැටුණු කණ්ඩායම් රැසක හමුවනවා. 2009 වසරේ දී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 168ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථානු කණ්ඩායම එක් අවස්ථාවක 71/2 ලෙසින් ලකුණු ලබාසිටියත් අවසානයේ දී ඔවුන්ගේ ඉනිම ලකුණු 117කට සීමාවුණා. එසේම 2012 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 340ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය 233/4 ලෙසින් ප්‍රබල තත්ත්වයකට පත්ව සිටියා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත ඉනිම ලකුණු 264කට සීමාකළේ ගාලු පිටියේ ලකුණු හඹායාමට ඇති අසීරුබව නැවතත් පෙන්වමින්. නමුත් මෙම තරගයේ දී ගාලු පිටියේ ඉතිහාසය වෙනස් කළ ශ්‍රී ලංකාව ලකුණු 268ක ඉලක්කයක් හඹාගොස් ජයග්‍රහණය කළා. ගාලු පිටියේ සිව්වන ඉනිමේ දී  හඹාගිය වැඩිම ලකුණු ප්‍රමාණයන් මෙසේ දැක්විය හැකියි.

1) ශ්‍රී ලංකා කණ්ඩායම විසින් නවසීලන්තයට එරෙහිව – 268/4 (2019 වසරේ දී)

2) ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාකිස්ථානයට එරෙහිව – 99/3  (2014 වසරේ දී)

3) ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඉන්දියාවට එරෙහිව – 96/0  (2010 වසරේ දී) 

මෙය ශ්‍රී ලංකා ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය යටතේ සහභාගි වුණු පළමු ටෙස්ට් තරගය යි. මෙම ජයග්‍රහණය සමගින් ශ්‍රී ලංකාවට හිමිවුණු ප්‍රසාද ලකුණු ප්‍රමාණය 60ක්. ඒ අනුව මේ වන විට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. 

කවරයේ ඡායාරූපය - දිමුත් ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

Related Articles