Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නයිජීරියාව අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

මාර්තු 23 වන දා නැමීබියාවේ දී පැවති අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියක දී නයිජීරියාව ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගනිමින් එම ලෝක කුසලානයට තේරී පත්වුණා. මෙය නයිජීරියානු ක්‍රිකට් කණ්ඩායමක් ලෝක මට්ටමේ තරගාවලියකට සුදුසුකම් ලද පළමු අවස්ථාව යි.

නයිජීරියාවට ක්‍රිකට් හඳුන්වා දෙන ලද්දේ 19 වන සියවසේ දී ඉංග්‍රීසීන් විසින්. 20 වන සියවසේ මුල සිටම විශේෂයෙන් ගෝල්ඩ් කෝස්ට්හි කණ්ඩායම් සමග නයිජීරියාව ක්‍රිකට් ක්‍රීඩා කළා. 1960 දී නයිජීරියාව නිදහස ලබා ස්වල්ප කලකින් පාපන්දු ක්‍රීඩාව නයිජීරියාවේ ජනප්‍රිය වන්නට පටන් ගත් අතර ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණු අවධානය අඩු වුණා. 1970 දශකයේ දී බටහිර අප්‍රිකානු රටවල් කිහිපයක් එක්ව බටහිර අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සංවිධානය කරද්දී ප්‍රධානම දායකත්වයක් ලබා දුන්නේ නයිජීරියාව යි. 2002 සිට නයිජීරියාව තනිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අර්ධ සාමාජිකයකු ලෙස කටයුතු කරනවා.

අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ වටය​

මීළඟ අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය 2020 ජනවාරි සහ පෙබරවාරි මාසවල දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත යි. මේ සඳහා රටවල් 16ක කණ්ඩායම් සහභාගී වීමට නියමිත අතර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් 11ක් සුදුසුකම් ලබා ගත්තා. තවත් ස්ථාන පහක් සඳහා විවිධ කලාපවලින් කණ්ඩායම් සුදුසුකම් ලැබීමට නියමිත යි.

මේ අනුව අප්‍රිකානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය නැමීබියාවේ වින්ඩ්හෝක් නගරයේ දී පවත්වනු ලැබුණා. මේ සඳහා සත්කාරක නැමීබියාව, නයිජීරියාව​, ටැන්සානියාව​, කෙන්යාව​, උගන්ඩාව සහ සියෙරා ලියෝන් රාජ්‍යය සම්බන්ධ වුණා. නැමීබියාව හැර අන් සියළු රටවල් නැගෙනහිර අප්‍රිකානු හෝ බටහිර අප්‍රිකානු කලාපයන්හි පිහිටි රටවල් වනවා.

ජයග්‍රාහී නයිජීරියා ක්‍රීඩකයෝ (ICC)

තරගාවලියේ අවසන් දිනයේ දී නයිජීරියාව සහ සියෙරා ලියෝන් අතරත්, නැමීබියාව සහ කෙන්යාව අතරත්, ටැන්සානියාව සහ උගන්ඩාව අතරත් තරග තුනක් පැවැත්වුණා. මේ වෙද්දී එක් එක් කණ්ඩායම් සහභාගී වූ තරගවලින් නයිජීරියාව සහභාගී වූ තරග හතරම ජයගෙන තිබුණා. නැමීබියාව තරග තුනක් ජයගෙන තිබුණා. නැමීබියාව මෙම තරගාවලියේ පළමු ස්ථානය ලැබීමට නම් කෙන්යාව විශාල ලකුණු සංඛ්‍යාවකින් පරාජය කර, නයිජීරියාව සියෙරා ලියෝන් හමුවේ පරාජය වේයැ යි බලාපොරොත්තු තබා සිටිය යුතු වුණා.

නැමීබියාව මෙම පළමු කාර්යය සාර්ථක කරගත්තා. ඔවුන් කෙන්යාව සමග පැවති තරගය ලකුණු 198කින් ජයගත්තා. මෙහිදී නැමීබියාව ලකුණු 294ක් ලබාගත් අතර කෙන්යාව ලබාගත්තේ ලකුණු 96ක් පමණ යි. මෙම තරගය පැවතුණේ නයිජීරියාව සහ සියරා ලියෝන් අතර තරගය පැවති ක්‍රීඩාංගණය ආසන්නයේ යි. මෙම තරගය කලින් නිම වූ අතර එහි ප්‍රතිඵලය දැනගත් විට තමන් අනිවාර්යයෙන්ම සියෙරා ලියෝන් පරාජය කළයුතු බව නයිජීරියානුවන් වටහා ගත්තා.

සියෙරා ලියෝන් කණ්ඩායම ලබාගෙන තිබුණේ ලකුණු 138ක් පමණ යි. මේ අනුව නයිජීරියාවට ලකුණු 139ක ඉලක්කයක් ලැබුණා. පන්දු වාර 50ක තරගයක එය එතරම් විශාල ඉලක්කයක් නොවුණ ද සියෙරා ලියෝන් කණ්ඩායම නයිජීරියානුවන් තදබල පීඩනයකට ලක් කළා. එක් අවස්ථාවක ඔවුන් කඩුළු 7ක් වැටී සිටියේ ලකුණු 91කට යි. මේ අතර වැසි වළාකුලක් ද ක්‍රීඩාංගණය වෙත පැමිණෙමින් තිබුණා. නමුත් පීටර් අහෝ නොදැවී ලකුණු 21ක් ලබාගනිමින් නයිජීරියාව ජයග්‍රහණය කරා ගෙන ගියා. කඩුළු 8කට ඔවුන් ලකුණු 139ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

පීටර් අහෝ (ICC)

මේ අනුව ටෙස්ට් රටවල් 12න් 11ක් තෝරාගත් පසු 2020 අවුරුදු 19න් පහළ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලද පළමු කණ්ඩායම ලෙස නයිජීරියාව වාර්තා වුණා. ඇමරිකා මහාද්වීප​, ආසියාව​, නැගෙනහිර ආසියා – පැසිෆික් කලාපය සහ යුරෝපය යන කලාප හතරෙන් තවත් කණ්ඩායම් හතරක් තෝරාගනු ඇති.

නව බලාපොරොත්තු

අවුරුදු 19න් පහළ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ අප්‍රිකානු කලාපයේ තරගාවලිය කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ නව බලාපොරොත්තු ජනිත කරන්නක් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසා සිටියා. මෙම තරගාවලියේ දී දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනකුම දස්කම් දැක්වූවා. උගන්ඩාවේ සෙෆානියා අරිනායිත්වේ මෙයින් කැපී පෙනුණ අයෙක්. සිය ප්‍රවේගකාරී පිතිකරණයෙන් ඔහු ප්‍රතිවාදී පන්දු යවන්නන් අසරණ කළා. නැමීබියාවට එරෙහි තරගයේදී පන්දු 30කින් ලකුණු 69ක් ලබාගත් ඔහු ටැන්සානියාවට එරෙහිව තරගයේදී පන්දු 40කින් නොදැවී ලකුණු 102ක් ලබාගත්තා.

සෙෆානියා අරිනායිත්වේ (ICC)

තරගාවලිය පුරාවටම සත්කාරක නැමීබියාවේ පිතිකරුවන් හොඳ දස්කම් දැක්වූවා. ටැන්සානියාවට එරෙහිව ලකුණු 132ක් ලබාගත් රමෝන් විල්මට් මෙයින් ප්‍රධාන යි.

තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ සියෙරා ලියෝනයේ චාර්ල්ස් කාර්ග්බෝ විසින්. ඔහු කෙන්යාවට එරෙහිව ලකුණු 32කට කඩුළු 6ක් දවාගනිමින් සිය පිළට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට උපකාර වුණා. සියෙරා ලියෝනයේම සැමුවෙල් කොන්ටේ උගන්ඩාවට එරෙහිව කඩුළු පහක් ලබා ගත්තා. නයිජීරියාව සමග තරගයේ දී කොන්ටේ ඉතා හොඳින් පන්දු යැවූ නමුත් කාර්ග්බෝ සාර්ථක වූයේ නැහැ.

නයිජීරියාවේ නායක ඔක්පේ සිල්වෙස්ටර් මෙම තරගාවලියේ හොඳම ක්‍රීඩකයා වුණා. ඔහු සමස්ථ තරගාවලියේදී ලකුණු 111ක් ලබාගත් අතර කඩුළු 9 ක් ද දවාගත්තා. ඊට අමතරව ඔහු සිය කණ්ඩායම ඉතා හොඳින් මෙහෙයවූවා.

Cover Image: උගන්ඩාවට එරෙහිව තරගය ජයගත් නයිජීරියානුවන් (Prime News)

Related Articles