Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙවර පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා නොකරන සුපිරි කණ්ඩායම් 9ක්

2022 පාපන්දු ලෝක කුසලානය මේ වන විට තරගකාරී අන්දමින් කටාර් රාජ්‍යයේ දී ක්‍රියාත්මක වනවා. ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන්නේ කණ්ඩායම් 32 ක් වුවත් එම වටයට පිවිසීම සඳහා වසර 3 ක පමණ කාලයක් තිස්සේ ලොව පාපන්දු ක්‍රීඩා කරන සියලු ම කණ්ඩායම් සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කරනවා. මෙම තරග සියල්ල අවසන් වෙද්දී ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට තරම් දක්ෂතා සහිත ක්‍රීඩකයන්ට මෙන් ම හැකියාව ඇති රටවල් කිහිපයකට ම සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉවත් වීමට සිදු වුණා.

1. ඉතාලිය

2021 යුරෝපීය ශූරයන් වුවත් ඉතාලිය මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තේ නෑ – www.marca.com

මෙවර පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ වරම් නොලැබුණු ප්‍රධානත ම කණ්ඩායම වන්නේ ඉතාලිය යි. ලොව අංක 1 පාපන්දු ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගණනාවක් ම සතු ඔවුන් 2018 පාපන්දු ලෝක කුසලානයට ද සුදුසුකම් නොලැබීම විශේෂත්වයක්. 1934, 1938, 1982 හා 2006 යන අවස්ථා හතරේ දී ඉතාලිය පාපන්දු ලෝක ශූරතාව දිනා ගත්තා.

ලෝක කුසලාන 5 ක් ජයග්‍රහණය කොට තිබෙන බ්‍රසීලයට පසුව වැඩි ම ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමේ සම වාර්තාවට ද ඔවුන් හිමිකම් කියනවා. ඉතාලියට අමතර ව ජර්මනිය ද ලෝක කුසලාන 4 ක් ජයග්‍රහණය කළා. මේ හේතුව නිසා ම ඉතාලියට ලෝක කුසලාන වරම් අහිමි වීම සමස්ත පාපන්දු ලෝකය ම මවිතයට පත් කිරීමට සමත් වුණා.

යුරෝපීය පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ දී ඉතාලිය C කාණ්ඩයෙන් තරග කළා. එහිදී තරග 8 ක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණ 4 ක් සහ ජය පරාජයෙන් තොර 4 ක් වාර්තා කිරීමට ඉතාලිය සමත් වුණා. ස්විට්සර්ලන්තය ජයග්‍රහණ 5 ක් සහ ජය පරාජයෙන් තොර තරග 3 ක් වාර්තා කරගෙන ඉතාලියට ඉහළින් C කාණ්ඩය අවසන් කළා. මේ නිසා ඉතාලියට යුරෝපා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ Play Offs වටයට ගමන් කිරීමට සිදු වුණා.

උතුරු මැසිඩෝනියාව ඉතාලිය පරාජයට පත් කළ අවස්ථාව – www.espn.com

එහිදී තමන් තරග වැදුණ Play Off අවසන් පූර්ව වටයේ දී ඔවුන් උතුරු මැසිඩෝනියාව හමුවේ ගෝල 1-0 ක අනපේක්ෂිත පරාජයක් ලබා ගත්තා. එකී පරාජයත් සමඟ ම ඉතාලියට 2022 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමේ වරම් අහිමි වුණා. 2021 යුරෝ ශූරතාව ද දිනා ගත් ඉතාලිය මෙවර ලෝක කුසලානයේ දී දකින්නට නොලැබෙන්නේ ඉහත පරාජය හේතුවෙන්.

2. ස්වීඩනය

ලෝක කුසලාන වරම් අහිමි වී යන තවත් යුරෝපා රාජ්‍යයක් වන්නේ ස්වීඩනය යි. ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ කැපී පෙනෙන දස්කම් දක්වා ඇති ඔවුන් මේ දක්වා තරගාවලි 12 කට තම සහභාගීත්වය සටහන් කළා. 1958 ලෝක කුසලාන අනුශූරතාව මෙන් ම 1950 සහ 1994 දී තෙවන ස්ථානය දිනා ගැනීමට ද ස්වීඩනය සමත් වුණා.

2018 දී ක්‍රීඩා කළත් ස්වීඩනය මෙවර ලෝක කුසලානයෙන් ඉවතට විසි වුණා – www.goal.com

2022 යුරෝපා පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ දී ඔවුන් B කාණ්ඩයෙන් ක්‍රීඩා කළා. එහිදී තරග 8 ක් ක්‍රීඩා කොට 5 ක් ජයග්‍රහණය කළ ස්වීඩනය තම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වුණා. මේ නිසා Play Offs වටයට ගමන් කළ ඔවුන් පළමු අවසන් පූර්ව වටයට චෙක් ජනරජය සමඟින් තරග කළා.

එම තරගය ගෝල 1-0 කින් ජයග්‍රහණය කොට Play Offs අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්ත ද අවසන් තරගයේ දී පෝලන්තය හමුවේ ගෝල 2-0 ක පරාජයක් ලැබීම නිසා ස්වීඩනයට 2022 ලෝක කුසලානය නියෝජනය කිරීමට හැකියාව ලැබෙන්නේ නෑ. 2006 සිට මේ දක්වා පැවති ලෝක කුසලාන 5 දී ස්වීඩනය ක්‍රීඩා කොට ඇත්තේ තරගාවලි 2 කට පමණක් වීම ද විශේෂත්වයක්.

3. රුසියාව

2018 පාපන්දු ලෝක කුසලානයේ සත්කාර රාජ්‍යය මෙන් ම එවර තරගාවලියේ පෙරළිකාර දස්කම් දැක්වූ රුසියාව ද මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නේ නෑ. සුදුසුකම් ලැබීමේ වටයෙන් Play Offs වටය දක්වා ගමන් කළ ද ඉන් අනතුරුව එරට ට පැනවුණු ක්‍රීඩා තහනම මෙයට ප්‍රධානත ම හේතුව වුණා.

දේශපාලන මත ගැටුම් නිසා ලෝක කුසලානය අහිමි වී ගිය රුසියාව – www.tass.com

යුරෝපා සුදුසුකම් ලැබීමේ වටයේ H කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්ව රුසියාව Play Offs වටය දක්වා ගමන් කළා. ඔවුන් අවසන් පූර්ව වටයේ දී පෝලන්තය හමුවීමට නියමිත ව තිබුණා. යුක්රේන රුසියා යුද්ධයේ වැරදිකරු රුසියාව බවට යුරෝපය තීරණය කළ අතර ම මේ නිසා ඔවුන් සියලු ම ක්‍රීඩා තරගවලින් ඉවත් කිරීමට කටයුතු යෙදුණා.

පාපන්දු ක්‍රීඩාවෙන් ද රුසියාව ඉවත් කිරීමට යුරෝපීය පාපන්දු ෆෙඩරේෂණය කටයුතු කළා. යුරෝපීය පාපන්දු තරග සඳහා ක්‍රීඩා කිරීම රුසියානු ක්‍රීඩා සමාජවලට තහනම් වූ අතර ම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ රුසියාව සහභාගී වීමට නියමිත ව තිබූ පෝලන්ත තරගයෙන් නිතරග ජයක් පෝලන්තයට හිමි වුණා. මේ හේතුව නිසා තරගයකට සහභාගී නොවීම ලෝක කුසලාන බලාපොරොත්තු අතහැර ගැනීමට රුසියාවට සිදු වුණා.

4. කොලොම්බියාව

දකුණු අමෙරිකානු කලාපයේ පෙරළිකාර පාපන්දු කණ්ඩායමක් වන කොලොම්බියාවට මෙවර පාපන්දු ලෝක කුසලානය නියෝජනය අහිමි වී ගියා. ඒ අසාර්ථක ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයක් අවසන් කිරීම හේතුවෙන්. දකුණු අමෙරිකානු කලාපයේ සිටිනා කණ්ඩායම් නිසා ලෝක කුසලාන අවසන් වටයට පිවිසීමට දැඩි තරගකාරිත්වයක් නිර්මාණය වී තිබෙනවා.

කොලොම්බියා ජාතික පාපන්දු කණ්ඩායම – www.bolavip.com

කොලොම්බියාව මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ දී ක්‍රීඩා කළ තරග 18 න් ජයග්‍රහණය කළේ 5 ක් පමණ යි. ජය පරාජයෙන් තොර 8 ක් සහ තවත් තරග 5 ක් පරාජයට පත් වීමට ඔවුන්ට සිදු වුණා. මේ නිසා ප්‍රසාද ලකුණු සටහනේ 6 වන තැන දක්වා පසු බසිමින් කොලොම්බියා ලෝක කුසලාන සිහිනය නිමාව දුටුවා. වත්මන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 17 වන ස්ථානයේ පසුවන ඔවුන් අනිවාර්යයෙන් ම ලෝක කුසලාන තරගාවලියේ සිටිය යුතු කණ්ඩායමක් බවට බොහෝ විචාරකයන් ප්‍රකාශ කරනවා.

5. චිලී

තවත් දකුණු අමෙරිකානු පෙරළිකාරයෙක් වන චිලිය, 2014 පාපන්දු ලෝක කුසලානයේ දී එවකට ලෝක ශූරයන් වූ ස්පාඤ්ඤය පරාජයට පත් කිරීම අදටත් ජනප්‍රිය සිදුවීමක්. 2015 සහ 2016 වසරවල දී කොපා අමෙරිකා ශූරතාව ජයග්‍රහණය කිරීමට පවා චිලී රාජ්‍යය සමත් වුණා. ඉන් පසුව අසාර්ථක වූ ඔවුන් 2018 ලෝක කුසලානය ක්‍රීඩා නොකිරීම ද විශේෂත්වයක්.

2014 දී පෙරළිකාරයන් වීමෙන් පසුව චිලී රාජ්‍යය තවමත් ලෝක කුසලානයකට ක්‍රීඩා කළේ නෑ – www.bolavip.com

දකුණු අමෙරිකානු සුදුසුකම් ලබා ගැනීමේ වටයේ දී තරග 18 ක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණ 5 ක් ජය පරාජයෙන් තොර 4 ක් සහ පරාජයන් 9 ක් චිලී වාර්තා කර ගත්තා. එම ප්‍රසාද ලකුණු පළමු කණ්ඩායම් 4 අතරට එක් වීමට ප්‍රමාණවත් වුණේ නෑ. ලකුණු සටහනේ 7 වන ස්ථානයට පත් වූ චිලී රාජ්‍යය ලෝක 2022 ලෝක කුසලානයෙන් ඉවතට විසි වුණා.

6. පේරු

2018 පාපන්දු ලෝක කුසලානය නියෝජනය කළ මෙන් ම, 2019 කොපා අමෙරිකා අනුශූරතාව ද දිනා ගත් පේරු රාජ්‍යයට Play Offs වටයේ තරගය පරාජයට පත් වීම නිසා ලෝක කුසලාන බලාපොරොත්තු අතහැර ගැනීමට සිදු වුණා. ඔවුන් සුදුසුකම් ලැබීමේ වටයේ තරග 18 කින් 7 ක් ජයග්‍රහණය කොට 3 ක් ජය පරාජයෙන් තොරව හා 8 ක් පරාජයට පත් වී ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දිනා ගත්තා.

ඕස්ට්‍රේලියා තරගය පරාජය වීමෙන් අනතුරු ව පේරු ක්‍රීඩකයෝ – www.futbolperuano.com

මේ නිසා පේරු රාජ්‍යය අන්තර් මහද්වීපික Play Offs වටය දක්වා ගමන් කළා. එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් ව සිටියේ ඕස්ට්‍රේලියාව යි. එම Play Offs වටයේ තරගය දඬුවම් පහර වටයක් දක්වා ගමන් කළ අතර එහිදී පේරු පරාජයට පත් කරමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය සටහන් කළා. එම පරාජයත් සමඟ පේරු බලාපොරොත්තු සුන් වෙද්දී ඕස්ට්‍රේලියාව 2022 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා.

7. ඊජිප්තුව

පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම් හි 39 වන ස්ථානයේ මෙන් ම 7 වරක් අප්‍රිකානු ශූරතාව දිනා ගෙන සිටින ඊජිප්තුව යනු වටිනා ඉතිහාසයක් සහිත පාපන්දු කණ්ඩායමක්. 1990 වසරෙන් පසුව ප්‍රථම වතාවට 2018 දි ලෝක කුසලානයකට සුදුසුකම් ලබා ගත් ඔවුන් 2022 තරගාවලියට ද එක්වීමේ බලාපොරොත්තු සහිත ව ක්‍රීඩා කළා. අප්‍රිකා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් වටය දක්වා ගමන් කළ ඔවුන්ට ලැබුණ ප්‍රතිවාදියා වූයේ සෙනගාලය යි.

සෙනගාල ප්‍රේක්ෂකයන් ලේසර් කිරණ වලින් එල්ල කළ ප්‍රහාර ඊජිප්තුවට දැඩි බලපෑමක් එල්ල කළා – www.sportsbrief.com

සෙනගාලය සහ ඊජිප්තුව අතර පැවති පළමු අදියරේ තරගය ඊජිප්තුව 1-0 ලෙස ජයග්‍රහණය කළා. නමුත් දෙවන අදියර 1-0 ජයග්‍රහණය කළ සෙනගාලය මෙම තරගය දඬුවම් පහර වටයක් දක්වා රැගෙන ගියා. එහි දී සෙනගාල ප්‍රේක්ෂකයන් ලේසර් කිරණ යොමු කරමින් ඊජිප්තු ක්‍රීඩකයන් අසීරුතාවට පත් කිරීමටද කටයුතු කළා. කෙසේ වෙතත් දඬුවම් පහරවලින් පරාජයට පත් වීම නිසා ඊජිප්තුවට 2022 පාපන්දු ලෝක කුසලානය නියෝජනය කිරීමේ වරම් අහිමි වුණා.

8. ඇල්ජීරියාව

අප්‍රිකානු කණ්ඩායම් අතර මෑතකාලීන ව ඇල්ජීරියාව සුපිරි දස්කම් දැක්වූ කණ්ඩායමක්. ලෝක කුසලානයට ප්‍රථම ව කටාර් හි පැවති පෙරහුරු තරගාවලිය වන ෆිෆා අරාබි කුසලානය ද ඇල්ජීරියාව ජයග්‍රහණය කළා. ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටවලදී ද සාර්ථක වූ ඇල්ජීරියාව එහි අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා. එවර ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටියේ කැමරූනය යි.

අනපේක්ෂිත පරාජයෙන් විස්මයට පත්ව සිටින ඇල්ජීරියා ක්‍රීඩකයෝ – www.newsdayzimbabwe.com

කැමරූනයේ පැවති පළමු අදියර ගෝල 1-0 ක් ලෙසින් ඇල්ජීරියාව ජයග්‍රහණය කළා. ඇල්ජීරියාවේ පැවති දෙවන අදියර අතිශය තියුණු සටනකින් පසුව ගෝල 2-1 කින් ජයග්‍රහණය කිරීමට කැමරූනය සමත් වුණා. සමස්ත තරගය ගෝල 2-2 ක් වුවත් තමන්ගේ මවුබිමෙන් පිටත ගෝල 2 ක් වාර්තා කිරීම නිසා (Away Goal Rule)* කැමරූනය මෙම තරගය ජයග්‍රහණය කළා. ඒ අනුව ඇල්ජීරියාවට 2022 ලෝක කුසලාන බලාපොරොත්තු අහිමි වුණා.

*Away Goal Rule යනු කණ්ඩායම් දෙකක් එකිනෙක අදියර දෙකක ක්‍රීඩා කිරීමේදී ලබාදෙන නීතියකි. එහිදී අදියර දෙකේම ගෝල සම වුවහොත් තම මවු රටෙන් පිටත වැඩිම ගෝල ලබා සිටින කණ්ඩායමට ජයග්‍රහණය හිමි වේ. යම් හෙයිකින් එම ගෝල ද සමාන නම් පමණක් දඬුවම් පහර වටයකට ගමන් කරයි.

9. නයිජීරියාව

1994 සිට 2018 දක්වා පැවති ලෝක කුසලාන තරගාවලි 7 න් 6 ක් ම නියෝජනය කිරීමට නයිජීරියාව සමත් වුණා. ඔවුන්ගේ විචිත්‍රවත් ඇඳුම් විලාසිතා මෙන් ම ලෙහෙසියෙන් අත නොහරින ක්‍රීඩා රටාව වසර ගණනාවක් පුරාවට පාපන්දු ලෝක කුසලානවල සංකේතයක් බවට ද පත් වුණා. කෙසේ වුවත් සුදුසුකම් ලැබීමේ වටයේ දී අත්වුණ පරාජ නිසා නයිජීරියා ලෝක කුසලාන බලාපොරොත්තු ද කලින් ම නිමාව දුටුවා.

2006 වර්ෂයෙන් පසුව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට නයිජීරියාවට සිදු වුණා – www.theguardiannigeria.com

අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් තරගයට නයිජීරියාව සමගින් ඝානාව තරග වැදුණා. එහි ඝානාවේ පැවති පළමු අදියර නිමාව දුටුවේ 0-0 ක ජය පරාජයෙන් තොරවයි. මීළඟට නයිජීරියාවේ පැවති තරගයද 1-1 ක් ව ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා. නමුත් තම මවුබිමෙන් පිටත ලබාගත් ගෝල ගණන වැඩි නිසා (Away Goal Rule) මෙම තරගයේ ජයග්‍රහණය ඝානාවට හිමි වුණා. 2006 වසරෙන් පසුව පැවති සෑම ලෝක කුසලානයක් ම නියෝජනය කළ නයිජීරියාව මෙවර තරගාවලියේ දී දැකගන්නට ලැබෙන්නේ නෑ.

කවරයේ ඡායාරූපය - පාපන්දු ලෝක කුසලානය - JEWEL SAMAD/AFP via Getty Images
මූලාශ්‍ර :
www.fifa.com
www.allfootball.com

Related Articles