Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කඩුල්ලක් දවාගනිමින් එක්දින තරග දිවිය නිමාකළ පන්දු යවන්නෝ

එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දී අපට ඉතාමත් දක්ෂ පන්දු යවන්නන් හමුවනවා. ඉන් සමහරක් පන්දු යවන්නන් තම ක්‍රිකට් දිවිය තුළ සුපිරි දස්කම් දක්වමින් ගෞරවාන්විතව තරග දිවියෙන් සමුගත්තත් ඇතැම් පන්දු යවන්නන්ට එවැනි වාසනාවක් උරුමවන්නේ නැහැ. එලෙස ගෞරවාන්විතව සමුගන්නා පන්දු යවන්නන් එදිනට දක්වන දස්කම්වල දිග, පළල අනුව ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආකර්ෂණය වෙනස් වනවා. මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගාවලියේ දී ලසිත් මාලිංග එවැනි ගෞරවාන්විත සමුගැනීමක් ලබාගත්තේ සිය එක්දින දිවියේ අවසන් පන්දුවෙනුත් කඩුල්ලක් ලබාගනිමින්. මෙම ලිපිය වෙන්වන්නේ සිය එක්දින දිවියේ යැවූ අවසන් පන්දුවෙනුත් කඩුල්ලක් දවාගත් පන්දු යවන්නන් වෙනුවෙනුයි.

ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව ) – එක්දින කඩුලු 338

2019 වසරේ දී බංග්ලාදේශය සමග පැවති පළමු එක්දින තරගයේ දී ලසිත් මාලිංග එක්දින දිවියෙන් සමුගන්නා විට ලබාගෙන තිබුණු කඩුලු ප්‍රමාණය 338ක්. එහිදී ඔහු සිය එක්දින දිවියේ දී යැවූ අවසන් පන්දුවෙන් මුස්ටෆිසුර් රහමාන්ව දවාගැනීමට සමත් වුණා. සිය අවසන් එක්දින තරගයේ දී පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වුණු මාලිංග පන්දුවාර 9.4ක් තුළ ලකුණු 38ක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් කඩුලු 3ක් දවාගත්තා. 

මාලිංග අවසන් එක්දින කඩුල්ල දවාගත් අවස්ථාව (gettyimages)

අනිල් කුම්බ්ලේ (ඉන්දියාව ) – එක්දින කඩුලු 337

2007 ලෝක කුසලාන තරගාවලිය යටතේ බර්මියුඩාවට එරෙහිව පැවති තරගය කුම්බ්ලේ සහභාගි වුණු අවසන් එක්දින තරගය යි. එම තරගයේ දී පන්දුවාර 9.1ක් තුළ ලකුණු 38ක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් කඩුලු 3ක් දවාගැනීමට කුම්බ්ලේ සමත්වුණා. එහිදී ඔහු සිය එක්දින දිවියේ යැවූ අවසන් පන්දුවෙන් බර්මියුඩා පිතිකරු මලාචි ජෝන්ස් දැවීගියා.

කුම්බ්ලේ විසින් ජෝන්ස්ව  දවාගත් අවස්ථාව (gettyimages)

ඉම්රාන් ඛාන් (පාකිස්ථානය ) – එක්දින කඩුලු 182

1992 එක්දින ලෝක කුසලාන අවසන් තරගය ඉම්රාන් ඛාන් සහභාගි වුණු අවසන් එක්දින තරගය යි. එම තරගයේ දී සිය එක්දින දිවියේ යැවූ අවසන් පන්දුවෙන් එංගලන්ත පිතිකරු රිචඩ් ඉලිංග්වර්ත් දවාගැනීමට ඉම්රාන්ට හැකිවුණා. එම තරගයේ දී පන්දුවාර 6.2ක් යැවූ ඉම්රාන්ගේ පන්දු යැවීම සටහන් වුණේ 43/1ක් ලෙස යි.

ඉම්රාන් ඛාන් 1992 ලෝක කුසලාන අවසන් තරගයේ අවසන් කඩුල්ල දවාගත් අවස්ථාව (gettyimages)

ඉර්ෆාන් පතාන් (ඉන්දියාව ) – එක්දින කඩුලු 173

2012 වසරේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලිය යටතේ පැවති 5 වැනි එක්දින තරගය පතාන් සහභාගි වුණු අවසන් එක්දින තරගය යි. එම තරගයේ දී පන්දුවාර 10ක් තුළ ලකුණු 61ක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් කඩුලු 5ක් දවාගැනීමට පතාන් සමත්වුණා. එහිදී ඔහු සිය එක්දින දිවියේ යැවූ අවසන් පන්දුවෙන් ශ්‍රී ලංකා  පිතිකරු සචිත්‍ර සේනානායක දැවීගියා.

පතාන්  විසින් සචිත්‍රව  දවාගත් අවස්ථාව (gettyimages)

ෂේන් බොන්ඩ් (නවසීලන්තය) – එක්දින කඩුලු 147

2010 වසරේ පැවති ඕස්ට්‍රේලියා-නවසීලන්ත එක්දින තරගාවලිය යටතේ පැවති 5 වැනි තරගය බොන්ඩ් ක්‍රීඩා කළ අවසන් එක්දින තරගය යි. එම තරගයේ දී පන්දුවාර 9.1ක් තුළ ලකුණු 26කට කඩුලු 4ක් දවාගත් බොන්ඩ් එක්දින දිවියේ යැවූ අවසන් පන්දුවෙන් ක්ලින්ට් මැකේව දවාගත්තා.

බොන්ඩ් විසින් මැකේව දවාගත් අවස්ථාව (gettyimages)

රොජර් හාපර් (බටහිර ඉන්දීය කොදෙව් ) – එක්දින කඩුලු 100

1996 වසරේ පැවති කොදෙව්-ශ්‍රී ලංකා එක්දින තරගාවලිය යටතේ පැවති එකම එක්දින තරගය හාපර්   සහභාගි වුණු අවසන් එක්දින තරගය යි. එම තරගයේ දී පන්දුවාර 9.3ක් තුළ ලකුණු 34ක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් කඩුලු 3ක් දවාගැනීමට හාපර්  සමත්වුණා. එහිදී ඔහු සිය එක්දින දිවියේ යැවූ අවසන් පන්දුවෙන් ශ්‍රී ලංකා පිතිකරු මුත්තයියා මුරලිදරන් දැවීගියා.

රොජර් හාපර් (gettyimages)

ලොන්වැබෝ සොත්සොබේ (දකුණු අප්‍රිකාව ) – එක්දින කඩුලු 94

2013 වසරේ පැවති ඉන්දු-දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය යටතේ පැවති 2 වැනි එක්දින තරගය සොත්සොබේ සහභාගි වුණු අවසන් එක්දින තරගය යි. එම තරගයේ දී පන්දුවාර 7.1ක් තුළ ලකුණු 25ක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් කඩුලු 4ක් දවාගැනීමට සොත්සොබේ  සමත්වුණා. එහිදී ඔහු සිය එක්දින දිවියේ යැවූ අවසන් පන්දුවෙන් ඉන්දීය පිතිකරු මොහොමඩ් ෂමී දැවීගියා.

සොත්සොබේ  අවසන් එක්දින තරගයේ දී  (gettyimages)

ඇලන් බෝඩර් (ඕස්ට්‍රේලියාව ) – එක්දින කඩුලු 73

1994 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරග 8කින් සමන්විත වුණු එක්දින තරගාවලිය බෝඩර් ක්‍රීඩාකළ අවසන් එක්දින තරගාවලිය යි. එහිදී බෝඩර් අවසන් වරට පන්දු යැවූ තරගාවලියේ 5 වැනි තරගයේ දී බෝඩර් පන්දුවාර 7.5ක් යවමින් ලකුණු 27කට දවාගත් කඩුලු ප්‍රමාණය 3ක්. එලෙස ඔහු දවාගත් කඩුලු තුන අතුරින් ෆැනී ද විලියර්ස්ව දවාගත්තේ බෝඩර්ගේ එක්දින දිවිය තුළ යැවූ අවසන් පන්දුවෙන්.

ඇලන් බෝඩර් (gettyimages)

ග්ලැඩ්ස්ටෝන් ස්මෝල් (එංගලන්තය) – එක්දින කඩුලු 58

2010 වසරේ පැවති එංගලන්ත-පාකිස්ථාන එක්දින තරගාවලිය යටතේ පැවති 3 වැනි තරගය ස්මෝල් ක්‍රීඩාකළ අවසන් එක්දින තරගය යි. එම තරගයේ දී පන්දුවාර 5.1ක් තුළ ලකුණු 28කට කඩුලු 1ක් දවාගත් ස්මෝල් එක්දින දිවියේ යැවූ අවසන් පන්දුවෙන් අකීබ් ජාවෙඩ්ව දවාගත්තා.

ග්ලැඩ්ස්ටෝන් ස්මෝල්  ( gettyimages )

රිචඩ් ස්නෙල් (දකුණු අප්‍රිකාව ) – එක්දින කඩුලු 44

1996 වසරේ පැවති එංගලන්ත-දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය යටතේ පැවති 6 වැනි තරගය ස්නෙල්  ක්‍රීඩාකළ අවසන් එක්දින තරගය යි. එම තරගයේ දී පන්දුවාර 9.4ක් තුළ ලකුණු 22කට කඩුලු 2ක් දවාගත් ස්නෙල් එක්දින දිවියේ යැවූ අවසන් පන්දුවෙන් නීල් ෆෙයාබ්‍රදර්ව දවාගත්තා.

රිචඩ් ස්නෙල්  (gettyimages)

ඇන්ඩ්‍රේ බෝතා (අයර්ලන්තය) – එක්දින කඩුලු 42

2011 ලෝක කුසලාන තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති තරගය බෝතා  සහභාගි වුණු අවසන් එක්දින තරගය යි. එම තරගයේ දී පන්දුවාර 10ක් තුළ ලකුණු 56ක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් කඩුලු 1ක් දවාගැනීමට බෝතා සමත්වුණා. එහිදී ඔහු සිය එක්දින දිවියේ යැවූ අවසන් පන්දුවෙන් කොදෙව් පිතිකරු කිමා රෝච්  දැවීගියා.

ඇන්ඩ්‍රේ බෝතා  (gettyimages)

මාක් ගිලෙස්පි (නවසීලන්තය) – එක්දින කඩුලු 37

2009 වසරේ පැවති කොදෙව්-නවසීලන්ත එක්දින තරගාවලිය යටතේ පැවති 5 වැනි තරගය ගිලෙස්පි  ක්‍රීඩාකළ අවසන් එක්දින තරගය යි. එම තරගයේ දී පන්දුවාර 10ක් තුළ ලකුණු 58කට කඩුලු 4ක් දවාගත් ගිලෙස්පි  එක්දින දිවියේ යැවූ අවසන් පන්දුවෙන් ෆිදෙල් එඩ්වර්ඩ්ස්ව දවාගත්තා.

මාක් ගිලෙස්පි  (gettyimages)

ගැරී කෝසියර් (ඕස්ට්‍රේලියාව) – එක්දින කඩුලු 14

1979 ලෝක කුසලාන තරගාවලිය යටතේ කැනඩාවට එරෙහිව පැවති තරගය කෝසියර් සහභාගි වුණු අවසන් එක්දින තරගය යි. එම තරගයේ දී පන්දුවාර 7.2ක් තුළ ලකුණු 17ක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් කඩුලු 2ක් දවාගැනීමට කෝසියර් සමත්වුණා. එහිදී ඔහු සිය එක්දින දිවියේ යැවූ අවසන් පන්දුවෙන් කැනඩා පිතිකරු ජිතේන්ද්‍ර පටෙල් දැවීගියා.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ටෝනි ඕපාත, නවසීලන්තයේ රිචඩ් වෙබ්, ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් වන වේන් ක්ලාක් සහ ග්‍රැහැම් මැකෙන්සි ඉහත දස්කම දක්වා තිබුණත් ඔවුන් එක්දින තරගවල දී කඩුලු 10 සීමාවට ළගාවී තිබුණේ නැහැ.

කවරයේ ඡායාරූපය - මාලිංග අවසන් එක්දින තරගයේ දී (gettyimages)

Related Articles