Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ශතකයකින් උපන්දිනය සැමරූ, පිතිකරුවන් සිව්දෙනා

සාමාන්‍යයෙන් සිය උපන්දිනය යෙදී තිබෙන දිනය වාසනාවන්ත දිනයක් බව බොහෝ දෙනෙකු සිතා සිටිනවා. එම නිසාම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටින ක්‍රීඩකයන් පවා සිය උපන්දිනය යෙදී තිබෙන දිනයේ දී ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වනවා. නමුත් එලෙස ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතුරින් එම දිනය වාසනාවන්ත දිනයක් බවට පත්කර ගැනීමට හැකි වුණේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට පමණ යි. එම ක්‍රීඩකයන් අතුරින් සිය උපන්දිනය යෙදී තිබුණු දිනයේ එක්දින ශතක ලබාගත් ක්‍රීඩකයන් සිව්දෙනෙකු හමුවනවා. මේ ලිපිය තුළින්  ඔවුන් සිව්දෙනා ලබාගත් ශතක පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනවා. 

විනෝද් කම්බිලි- එංගලන්තයට එරෙහිව ලකුණු 100* (1993 වසරේ දී)

1993 වසරේ දී එංගලන්තය සහ ඉන්දියාව අතර එක්දින තරගාවලියක් පැවැතුණා. එම තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ජායිපූර් නුවර, සවායි මන්සිං පිටියේ දී යි. 1993 වසරේ ජනවාරි 18 වැනිදා පැවති එම තරගය ඉන්දීය කණ්ඩායමේ යොවුන් පිතිකරු විනෝද් කම්ලිට වැදගත් එකක් වුණේ එදිනට ඔහුගේ 21 වැනි උපන්දිනය යෙදී තිබීම යි. එදා කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 59කට දැවී ගියා. එම අවස්ථාවේ දී කම්බ්ලිට එකතු වුණු ඔහුගේ පාසල් මිතුරු ටෙන්ඩුල්කාර් ඉන්දීය ඉනිම ගොඩනැගීමේ කාර්යය ඇරඹුවා. එහි දී ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුණු ලකුණු 164ක සබඳතාවය නිසා නියමිත පන්දුවාර 48 අවසානයේ දී ඉන්දීය ඉනිම සටහන් වුණේ 223/3 ලෙසින්. එදා ඉන්දීය ඉනිම වර්ණවත් කළ ටෙන්ඩුල්කාර් පන්දු 81කින් ලකුණු 82ක් ලබාගන්නා විට සිය උපන්දිනය දා අගනා ඉනිමක් ක්‍රීඩා කළ කම්බ්ලි, පන්දු 149කින් ලකුණු 100ක් ලබාගත්තේ මංගල එක්දින ශතකය වාර්තා කරමින්. නමුත් එම තරගය ඉන්දීය කණ්ඩායම පරාජය වුණත්, කම්බ්ලිට තරගයේ වීරයා සම්මානය හිමි වුණේ සිය උපන්දිනය අමතක නොවන දිනයක් බවට පත්කරමින්.

කම්බ්ලිගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

සචින් ටෙන්ඩුල්කාර්- ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 143 (1998 වසරේ දී)

1998 වසරේ සාජා නුවර දී කොකාකෝලා තුන්කොන් තරගාවලිය පැවැත්වුණා. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය යන රටවල් එම තරගාවලිය සඳහා සහභාගි වුණා. එලෙස පැවැත්වුණු තරගාවලියේ 6 වැනි තරගය 1998 වසරේ අප්‍රේල් 22 වැනිදා ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණා. එය ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ගේ 25 වැනි උපන්දිනය යෙදී තිබුණු දිනය නිසා ඔහු එදින සුපිරි දස්කම් දක්වනු ඇතැ යි ඉන්දීය ප්‍රේක්ෂකයන් අනුමාන කළා. නමුත් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7කට ලකුණු 284ක් ලබාගත්තේ ඉන්දීය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්. ඉන්පසුව, ලකුණු 285ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 4ම ලකුණු 138කට දැවී ගියා. ඒ අතරතුර සාජා පිටිය හරහා හමා ගිය වැලි කුණාටුවක් නිසා තරගය විනාඩි 25කට නතර කිරීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 276ක ඉලක්කයක් පන්දුවාර 46ක් තුළ හඹා යාමට සිදුවුණා. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ටෙන්ඩුල්කාර් හයේ පහර 5ක් සමගින් පන්දු 131ක් තුළ ලකුණු 143ක් ලබාගත්තේ සිය එක්දින තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින්. එදා ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ අනුමානය නිවැරදි කරමින් සුපිරි ඉනිමක් දියත්කළ ටෙන්ඩුල්කාර් අවසානයේ දී ඩේමියන් ෆ්ලෙමිංගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ගිල්ක්‍රිස්ට්ට උඩපන්දුවක් ලබාදීමෙන්. එම අවස්ථාවේ දී විනිසුරුවරයා ඔහු දැවී නොගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළත් සිය ක්‍රීඩාශීලීත්වය පෙන්නුම් කළ ටෙන්ඩුල්කාර් පිටියෙන් ඉවත් වුණා. එලෙස ටෙන්ඩුල්කාර් දැවී යාමෙන් පසුව ඉන්දීය කණ්ඩායම තරගය පරාජය වුණත්, තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට ඔහු සමත් වුණා.

 ටෙන්ඩුල්කාර්ගේ ඉනිමේ අවස්ථාවක් (sportstar)

සනත් ජයසූරිය- බංග්ලාදේශයට එරෙහිව ලකුණු 130 (2008 වසරේ දී)

2008 වසරේ ජූනි 30 වැනිදා ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සුපිරිම පිතිකරුවෙකු වූ සනත් ජයසූරිය, සිය 39 වැනි උපන්දිනය යෙදී තිබුණා. එදින ම එම වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සුපිරි හතර වටයේ තරගය කරච්චි පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර යි. එදා පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ගොඩනැගූ ලකුණු 201ක සබඳතාවය නිමාව දුටුවේ ජයසූරිය දැවී යාමත් සමග යි. එහි දී බංග්ලාදේශ පන්දු යවන්නන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ ජයසූරිය හතරේ පහර 16ක් සහ හයේ පහර 6ක් සමගින් ලකුණු 130ක් ලබාගත්තේ පන්දු 88ක් තුළ දී යි. සිය 39 වැනි උපන්දිනය දා තරගයේ වීරයා සම්මානය හිමි කර ගනිමින් ජයසූරිය දැක්වූ සුපිරි දස්කම් නිසා එම තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණේ ලකුණු 158කින්. 

ජයසූරිය ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

රොස් ටේලර්- පාකිස්ථානයට එරෙහිව ලකුණු 131* (2011 වසරේ දී)

2011 ලෝක කුසලාන තරගාවලිය යටතේ නවසීලන්තය සහ පාකිස්ථානය අතර තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ක්‍රීඩාපිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 2ම ලකුණු 55ක් තුළ දැවී ගිය අවස්ථාවේ පිටියට පිවිසියේ රොස් ටේලර් නම් නවසීලන්ත පිතිකරුවා යි. එදිනට ටේලර්ගේ 27 වැනි උපන්දිනය යෙදී තිබුණු නිසාම පිත්තෙන් සිය යුතුකම ඉටුකිරීමට අධිෂ්ඨාන කරගත් ඔහු, පන්දුවාර 45ක් අවසන් වන විට නවසීලන්ත ලකුණු පුවරුව 202/5 බවට පත් කළා. එතෙක් සංයමයෙන් පන්දුවට පහරදෙමින් සිටි ටේලර්, අවසන් පන්දුවාර 5 දී ඕරාම් සමග එක්ව පාකිස්ථානු පන්දු යවන්නන්ගෙන් උදුරාගත් ලකුණු ප්‍රමාණය 100ක්. එදා අක්තාර්ගේ එක් පන්දුවාරයක දී ලකුණු 26ක් උදුරාගත් ටේලර්, තවත් ලකුණු 28ක් ලබාගත්තේ රසාක් යැවූ පන්දුවාරයක දී යි. එලෙස සිය උපන්දිනය දා අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ ටේලර්, අවසානයේ දී පන්දු 124ක් තුළ හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 131ක් ලබාගත්තා. 

ටේලර් ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

කවරයේ ඡායාරූපය- සනත් ජයසූරිය බංග්ලාදේශය සමග තරගයේ දී (gettyimages)

Related Articles